කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය 

හර්ෂ ද සිල්වා

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවුවහොත් ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේ ද? යන්න ගැන ආර්ථිකයේ මතුව ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න රැසක් විමසුමට ලක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.
 
ප්‍රශ්නය: රට වැටිලා තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් තියෙනවාද?
 
අපේ වැඩපිළිවෙළ පදනම් වෙන්නෙ සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් මත. මේකෙ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි අපි වෙළෙඳපොළ විශ්වාස කරනවා. ඒ අනුව ආර්ථිකයේ තරගකාරී ව්‍යුහයක් හැදෙන්න ඕනෑ. ඒක මේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් පාලනය කරන ගජමිතුරු ධනවාදයක් නෙවෙයි. ඒක කරන්න නම් රජය දේවල් දෙකක් කළ යුතුයි. එකක් තමයි සාර්ව ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම. ඒ සඳහා ස්ථාවර පොලී අනුපාතයක් තිබිය යුතුයි. දෙක තමයි ස්ථාවර උද්ධමන වේගයක් තිබිය යුතුයි. නව මහ බැංකු පනත අනුවත් උද්ධමනය සියයට 5 හෝ ඊට අඩු අගයක තබා ගත යුතුයි. තුන්වැනුව රුපියලේ අගය ශක්තිමත්ව ස්ථාවර අගයක තියා ගන්නත් ඕනෑ. මේවා තමයි සාර්ව ආර්ථිකයක් වෙනුවෙන් ආණ්ඩුව කළ යුතු පළමු දේ. 
 
දෙවැනි එක තමයි ශක්තිමත් ආයතනික ව්‍යුහයක් පවත්වා ගෙන යෑම. හොරකම, දූෂණය වළක්වන ශක්තිමත් නීති හා ආයතන තිබිය යුතුයි. මේ දේවල් රාජ්‍ය මැදිහත්වීම මත කළ හැකි නම් ඒ මත තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. එයින් උත්පාදනය කරන ධනයෙන් කොටසක් සමාජයේ ඉලක්කගත පුද්ගලයන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ද අවශ්‍යයි.
 
ප්‍රශ්නය:ලංකාවේ ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සෙ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ඒ ආණ්ඩුව අල්ල ගන්නවා. ගජමිතුරු ධනවාදයට සජබ ආණ්ඩුවක් යටතේ ඉඩක් නෑ කියලා ඔබ කිව්වත් ඒ කතාව මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් ද?
 
මෙහෙමනෙ. ඇතැම් දේශපාලනඥයන් කියනවා ඔවුන් බලයට පත් වුණාට පසු හොරු අල්ලනවා කියලා. එහෙම කිසි දවසක හොරු අල්ලන්න බෑ. ඒක මිථ්‍යාවක්. උදාහරණයක් විදිහට සීනි බදු වංචාව කරපු කෙනාව ඇල්ලුව ද? සීනි බදු වංචාවක් වුණා කියලා ඉස්සෙල්ලාම හෙළි කළෙත් මම. හොරා කවුද කියලා හඳුන ගන්න පුළුවන් වුණාට වැඩක් නෑ. හොරාව අල්ල ගන්න පුළුවන් වෙන විදිහෙ නීති පද්ධතියකුත් තිබිය යුතුයි. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය තමයි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාංශයක් පිහිටුවන එක.
 
ප්‍රශ්නය:හර්ෂ ද සිල්වා සීනි බදු වංචාව ගැන විතරක් ඇයි කතා කරන්නෙ? මහ බැංකු බැඳුම්කර වංචාව ගැන හොයන්න ඕනි නැද්ද?
 
ඒ හැම වංචාවක් ගැනම අපි කතා කරනවා.
 
ප්‍රශ්නය:ඒ කියන්නෙ ඒ ගනුදෙනු ගැනත් හොයලා තීන්දු ගන්නවාද?
 
මම කියන්නෙ මේක තියෙන්න ඕනෑ දේශපාලනඥයාගේ අතේ නෙවෙයි. ඒක තිබිය යුත්තෙ නීතිපතිවරයා අතේ. වැරදිකාරයො අල්ල ගන්න නීතිපතිට ශක්තියක් තියෙන්න ඕනෑ.
 
ප්‍රශ්නය:ඒත් අපි ලංකාවෙ නිතර දකින දෙයක් තමයි නීතිපතිවරයා මැදිහත් වෙලා නඩු පවරලා වැරදිකාරයො හිර කරන්න යද්දී දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා ඒ අයව බේරා ගන්න එක. ඔබලා පිහිටුවන ආණ්ඩුවක් යටතේ එහෙම නෙවෙයි කියලා අපි කොහොම විශ්වාස කරන්නෙ?
 
ඒ වෙනුවෙන් තමයි අපි සෘජු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් සකස් කරපු ආණ්ඩුකරණ වාර්තාවේ මේ කාරණය සම්බන්ධයෙන් පරිච්ඡේදයක්ම තියෙනවා. අලුතින් පත් කරපු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මගින් වංචාවලට අදාළ පුද්ගලයන් හසුකරගන්න බැරි නම් දේශපාලන අධිකාරියෙන් එළියට ගත් ස්වාධීන නීති පැවරීමේ කාර්යාංශයක් හරහා ඒ කටයුතු පවත්වාගෙන යා යුතු බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා. අපේ ආණ්ඩුව බලයට ආවොත් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාංශයක් ඇති කරනවා. ඒක පිහිටුවන්නෙ සාමාන්‍ය නඩු කටයුතු පවත්වාගෙන යන්න නෙවෙයි. දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙලා කරන දූෂිත ගනුදෙනුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඒක පත් කරන්නෙ. බැඳුම්කර හොරාද?, සීනි හොරාද? මේ හැම හොරෙක්ම අල්ලන්න දේශපාලනඥයා සම්බන්ධ වෙන්නෙ නෑ.
 
ප්‍රශ්නය:විපක්ෂනායකවරයා නිතරම කියනවා සජබ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නැවත සමාලෝචනය කරනවා කියලා. ඔබලා ඒ හරහා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
 
අපි එක දෙයක් තේරුම් ගන්න ඕනෑ. සමහරු කියනවා අයි.එම්.එෆ්. එක වැඩක් නෑ, අපි ළඟ වෙන විකල්ප තියෙනවා, වගේ කතා. ඒවා හොඳයි කිසිම දවසක ආර්ථිකයක් තියා ආයතනයක්වත් පාලනය නොකරපු අයට කියන්න. මම කතා කරන්නෙ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන විද්‍යාඥයෙක් හැටියට. ඒ වගේම මම කතා කරන්නෙ රැකියා සිය ගාණක් නිර්මාණය කරපු සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට. මම කතා කරන්නෙ ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයෙක් විදිහට. සමහරු කියනවා ණය ගත්ත අයගෙන් විතරක් ඒ ණය අය කරගන්න ඕනැ, ණය ගත්ත අයට ඡන්දය දෙන්න එපා වගේ කතා. ජාත්‍යන්තර වෙළෙඳපොළ එහෙම වැඩ කරන්නෙ නෑ. හොරු අල්ලන්න ඕනැ තමයි. ඒකට තමයි නීති ගෙන්න ඕනෑ. ඒකට තමයි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාංශයක් පිහිටුවිය යුත්තෙ. ඒවා කරන්න යම් කාලයක් යනවා. ඒ නිසා අපි ජාත්‍යන්තරයත් සමග එකට කටයුතු කරන්න ඕනෑ. කවුරුහරි කියනවා නම් ‘අපිට ජනවරමක් දෙන්න, අපි කොනක ඉඳන් හොරු අල්ලනවා’ කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
 
අපි කරන්නෙ මොනවද කියලා ‘බ්ලූ ප්‍රින්ට් 1 සහ 2 ’වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කරපු ප්‍රකාශනවල සඳහන් වෙනවා. වෙන කිසිම දේශපාලන පක්ෂයක් ඒ විදිහෙ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා නෑ. අපි ඒ ප්‍රකාශන දෙක යාවත්කාලීන කරලා ඒකෙ 3 වැනි ප්‍රකාශනයත් ළඟදීම එළි දක්වනවා. කළ යුතු වෙනස්කම් ගැන අපි අයි.එම්.එෆ්. එකේ පීටර් බෲවර්ට කෙළින්ම කිව්වා. පළමුවැනි එක තමයි බදු ව්‍යුහය වෙනස් කිරීම. රාජ්‍ය ආදායම් ඉපැයිය හැකි විකල්ප බදු ක්‍රම තියෙනවා. වෙන කිසිම දේශපාලන පක්ෂයක් එවැනි විකල්ප බදු ක්‍රමයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. අපි විතරයි ඉදිරිපත් කළේ. අපි පෙන්වලා දීලා තියෙනවා, උපයන විට ගෙවීමේ බද්ද සියයට 36 දක්වා වැඩි නොකර සියයට 24 මට්ටමේ තිබ්බම ප්‍රමාණවත් කියලා. ඒ බද්ද වැඩි කිරීමෙන් රජය අපේක්ෂා කළ ආදායම, සියයට 24 මට්ටමේ තබාගෙන ලබා ගන්න පුළුවන්.
 
ප්‍රශ්නය:ඔබලගෙ ඒ යෝජනාවලට ලැබුණු ප්‍රතිචාර මොනවාද?
 
අපි ලියුමක් ලියලා මුදල් අමාත්‍යවරයාට ඒක ඉදිරිපත් කළා. නමුත් අපිට ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. හැබැයි අපි ඒ යෝජනා අයි.එම්.එෆ්. එකට දුන්නා. සමහර දේශපාලන පක්ෂ කියනවා උපයන විට ගෙවීමේ බද්ද අවශ්‍ය නෑ කියලා. ඒත් අපි එහෙම කියන්නෙ නෑ. ආදායම් වැඩි වෙන ප්‍රමාණය මත මේ බද්ද අය කළාට කමක් නෑ.
 
ප්‍රශ්නය:වක්‍ර බදු වැඩි කරලා පුද්ගල ආදායම් බදු සියයට 36 දක්වා වැඩි කරලා එකතු කරන බදු ආදායම් විනිවිදභාවයෙන් යුතුව වියදම් කරනවාද කියන එක ප්‍රශ්නයක්. සජබ ආණ්ඩුවක් යටතේ බදු ආදායම් විනිවිදභාවයෙන් යුතුව වියදම් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නෙ කොහොම ද?
 
පාර්ලිමේන්තුවේ 225 න් 12 දෙනෙක් විතරක් තමන්ගෙ වත්කම්, බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට භාර දීලා තියෙනවා. මමත් එයින් කෙනෙක්. අපිට හංගන්න දේවල් නෑ. මම කියන්නෙ අපි විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන මිනිස්සු. ජනතාව අපිට බලය දුන්නොත් බදු මුදල් වියදම් කරන විදිහ සම්බන්ධයෙනුත් විනිවිදභාවයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
 
ප්‍රශ්නය:කීප දෙනෙක් පිරිසිදු වුණු පළියට ඔබලා හදන ආණ්ඩුව පිරිසිදු එකක් වෙයි කියලා මිනිස්සුන්ට හිතන්න බෑ නේද?
 
මෙහෙමනෙ. හැම තැනම දූෂිතයෝ ඉන්නවා. දූෂිතයෝ නැති තැනක් නෑ. අපේ කණ්ඩායමේ දූෂිතයො නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක විශ්වාස කරන්න බෑ. විනිවිදභාවය වෙනුවෙන් ශක්තිමත් ආයතනික ව්‍යුහයක් පිහිටුවන්න ඕනෑ. ආණ්ඩුවේ කටයුතුවල විනිවිදභාවය ගැන මාධ්‍යවේදීන්ට ප්‍රශ්න කළ හැකි විය යුතුයි. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අදාළ ආයතන බැඳිලා ඉන්නවා. අපි මුදල් කාරක සභාව මාධ්‍යයට විවෘත කරලා තියෙනවා. ඒක මීට කලින් සිදු නොවුණු දෙයක්. විනිවිදභාවය අවශ්‍යයි. එවැනි සංස්කෘතියක් අපිට අවශ්‍යයි. එහෙම නැතුව තනි පුද්ගලයෙකුට මේක කරන්න බෑ.
 
ප්‍රශ්නය:දැනට කරගෙන යන ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ ආණ්ඩුවෙන් නතර නොවුණොත් මීට වෙනස් විදිහකට ඒ කටයුතු කරගෙන යන්න ඔබලට සැලසුමක් තියෙනවද?
 
මේක වැදගත් ප්‍රශ්නයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වුණායින් පසු ඒ අනුව ණය ගෙවන්න පටන් ගන්න ඕනෑ. ගොඩක් අය මම ජනාධිපතිවරයාට කියපු කතාව තේරුම් අරගෙන නෑ. ජනාධිපතිතුමා හරහා අයි.එම්.එෆ්. එකත් එක්ක මම සාකච්ඡාවක් ඉල්ලුවා කියලා ඒ අය කියනවා. මට එහෙම සාකච්ඡාවක් ඕනැ නෑ. මම කියන්නෙ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුමට අස්සන් කරන්න කලින් මේක කරන්න පුළුවන් ද? බැරිද ? කියන එක ගැන දේශපාලන පක්ෂවල මතය කියන්න කියලා. බැරි නම් කෙළින්ම කියන්න, අපි බලයට ආවොත් මේක කරන්නෙ නෑ කියලා.
 
ප්‍රශ්නය:ඒ ගැන සජබය මොකක්ද කියන්නෙ ?
 
ඒක තමයි මම කියන්නෙ, අවසාන ගිවිසුම අස්සන් කරන්න කලින් අපිට සාකච්ඡාවක් ඕනෑ කියලා. ඒ ගිවිසුම අස්සන් කරන්න කලින් පැරිස් ක්ලබ් එකේ ප්‍රධාන රටවල් සමග සහ ජාත්‍යන්තර ණය හිමියන් නියෝජනය කරන ඇඩ්හොක් කණ්ඩායම සමග නිල සාකච්ඡාවක් අපිට අවශ්‍යයි. මේක කරන්න බැරිද? පුළුවන්ද? කියන තැනට සජබෙට එන්න ඕනෑ. එහෙම නොකර මේක අස්සන් කරලා අපි ආණ්ඩු බලයට ආවට පස්සෙ අපිට මේක කරගන්න බැරි වුණොත් ශ්‍රී ලංකාව දෙවැනි පාරටත් ණය පැහැර හැරි රටක් බවට පත් වෙනවා.
 
ප්‍රශ්නය:විදේශ විනිමය උපයන විකල්ප ක්‍රියාමාර්ග ඔබලා සතුව තියෙනව ද?
 
මම හැමදාම කියන කතාවක්නෙ ‘ලංකාව වටේ තියෙන තාප්ප කඩලා ලෝකෙට පාලම් බැඳිය යුතුයි’ කියන එක. මම විශ්වාස කරන්නෙ ගෝලීය වෙළෙඳපොළක්. මම විශ්වාස කරන්නෙ ගෝලීය නිෂ්පාදන ජාල හරහා දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය දියුණු කරන වැඩපිළිවෙළක්. ඒ වගේම අපනයන අභිමුඛ ආර්ථිකයක්. ඒ නිසා මගේ දැක්ම වෙන්නෙ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග ශක්තිමත්ව බැඳුණු ආර්ථිකයක්. මීළඟ අවුරුදු දහය පහළොව ඇතුළත ශීඝ්‍රයෙන් දියුණු වෙන්නෙ තමිල්නාඩු, ආන්ද්‍රා, කේරළ, කර්ණාටක සහ තෙළෙන්ඟනා කියන දකුණු ඉන්දියානු ප්‍රාන්ත පහ. ඒ හරහා අපේ ආර්ථිකයත් වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ලංකාව කියන්නෙ ජාත්‍යන්තරයත් සමග සම්බන්ධ වෙච්ච රටක්.
 
ප්‍රශ්නය:එට්කා ගිවිසුම මේ ආණ්ඩුව යටතේ අස්සන් කළොත් සජබ ආණ්ඩුවක් යටතේ ඒක සමාලෝචනය කරනව ද?
 
මේ ගිවිසුම වැදගත්. මේ ගිවිසුම අපි තවම හරියට දැකලා නෑ. මේ ගිවිසුම අස්සන් කළොත් ඉන්දියානු වෘත්තීයවේදීන් ලංකාවට ඇවිත් ව්‍යාපාර පටන් ගන්නා බවට මතයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් එහෙම කිරීමේ හැකියාවක් නෑ. ඒත් ඇතැම් දේවල් ඉන්දියාවත් එක්ක එකතු වෙලා අපිට කරන්න පුළුවන්. අපේ වෙළෙඳපොළ මීට වඩා විවෘත වෙන්න ඕනෑ. ඉන්දියාවේ වෙළෙඳපොළ තරණය කරන්න නම් අපිට ඉන්දියාව සමග ශක්තිමත් ගිවිසුමක් තිබිය යුතුයි.
 
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ