කච්චතිව් දූපතෙන් වැඩක් ගන්න කාලය ඇවිත් - පාත්ෆයින්ඩර් පදනම


උපුල් වික්‍රමසිංහ

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමි වී වසර 50 කට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් ශ්‍රී ලංකාව එම දූපතේ වටිනාකම නොසලකා හැර ඇතැයි ද සිවිල් අධ්‍යාපන සහ පර්යේෂණ ක්‍රියාකාරකම් එම දූපතේ ආරම්භ කිරීමට කාලය පැමිණ ඇතැයි ද පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි. 

එම දූපතේ උපයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් පාත්ෆයින්ඩර් පදනම විසින් කොළඹ දී සංවිධානය කරනු ලැබ තිබූ සංවාදයක දී එහි සභාපති හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ බර්නාඩ් ගුණතිලක ඒ බව පැවසීය.

එම දූපතේ නාවික හමුදා කඳවුරක් පිහිටා තිබීමත් අවුරුද්දකට වරක් පවත්වනු ලබන ආගමික උත්සවයත් හැරෙන්නට අන් කිසිදු ක්‍රියාකාරකමක් එහි සිදු නොවන බව ද සභාපතිවරයා හෙළි කළේ ය.

බොටම් ට්‍රෝලිං ධීවර ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු පතුල විනාශ වන බවත් අපේ මත්ස්‍ය සම්පත ටොන් ගණනින් අහිමි වෙන බවත් ප්‍රකාශ වුව ද පර්‌යේෂණ මගින් තහවුරු කර ගත් නිවැරදි දත්ත නොමැති වීම නිසා ඒවා පිළිබඳ සැබෑ තොරතුරු ලබා ගැනීමට නොහැකි වී ඇති බව ද ඔහු කීවේ ය. එබැවින් කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන පර්‌යේෂණ කටයුතු සිදුකිරීම ගැන ශ්‍රී ලංකා රජය දැන් කල්පනා කළ යුතු බව ද සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ පාත්ෆයින්ඩර් පදනමේ සාමාජික අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් දූපත ආසන්නයේදී ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගැනීම් සිදු නොකරන බව ය.

“පූනරීන්, කුදිරමලෙයි පොයින්ට්, ඉරණතිව්, අනලතිව් සහ ඩෙල්ෆ් දූපත ආසන්නයට පැමිණෙන ඉන්දියානු ධීවරයන්ව අත්අඩංගුවට ගනු ලබනවා. මේ ධීවරයන් අපේ දූපත් ආසන්නයට පැමිණෙද්දි තමයි අත්අඩංගුවට ගනු ලබන්නෙ ඔහු පැහැදිලි කළේ ය.

“බොටම් ට්‍රෝලිං ධීවර ක්‍රමය කච්චතිව් දූපත ආසන්නයේ සිදු වෙන්නෙ නෑ. එය සිදු වෙන්නෙ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ඇතුළත ශ්‍රී ලංකාව දෙසට වන මුහුදු කලාපයේ ඩෙල්ෆ් ඉරණතිව් ආදී දූපත් ආසන්නයේ. අන්තර්ජාතික සමුද්‍රීය සීමා රේඛාවේ ඉන්දියානු මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත නැති තරම්. මොකද ඔවුන් ඒ සියලු මත්ස්‍ය සම්පත සූරාගෙන තියෙන්නෙ. ඒ නිසා තමයි ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට එන්නෙ. ශ්‍රී ලංකා ජල තීරය මත්ස්‍ය සම්පතින් සාරවත්” කොළඹගේ කීවේ ය.