සුජිත් හේවාජුලිගේ
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙවැනි වාර්තා පොත්පත් යනාදිය සුරක්ෂිතව තැබීමට එහි ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන යොදා නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීම පිළිබඳ ප්රාරම්භක වාර්තාවද දෙපාර්තමේන්තු ප්‍රධානියා අනුමත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
පොතෙන් අස් කිරීමේ සෑම නියෝගයකම පිටපතක් විගණකාධිපතිවරයාට යැවිය යුතු වුවද කුරු නගුල හා තැටි නගුල පොතින් අස් කිරීමට අදාළ නියෝගයේ පිටපත් විගණකාධිපතිවරයාට යොමු කර නොතිබූ බව එහි සඳහන් වේ.
මේ අතර දෙපාර්තමේන්තුවේ මල් වගා පර්යේෂණ සංවර්ධන අංශය සුවහසක් මල් සංගම් වෙත බෙදා දීම වෙනුවෙන් මිලදීගෙන තිබූ පොලිතින් බෑග් හත්දාහක හිඟයක් පැවතුණු බවද වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වෙන්නේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.