ඉන්දියාව සමග එකමුතුභාවය පළකිරිම ගැන ග්‍රී ලංකා රජයට ස්තුතියි


  • ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව වින්දිතයන්ට ඉන්දියාවේ එකමුතුභාවය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එකම ගෝලීය නායකයා  අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා යි.

  • නීති විරෝධි ලෙස අල්ලාගෙන සිටින කාශ්මීරයෙන් ඉවත් වීම සම්බන්ධව හැරුණු විට පාකිස්ථානය සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොවනු ඇති. 

Q මහ කොමසාරිස්තුමනි, පාකිස්ථානයට එරෙහිව මෑතකදී සින්දූර් මෙහෙයුම යටතේ හමුදා ක්‍රියාමාර්ග ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කළ හැකිද? එය පෙහෙල්ගාම් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පමණක් ක්‍රියාත්මක කරන ලද්දක් ද? ඉන්දියාවේ මෙයට පෙරත් ත්‍රස්තවාදී ප්‍රහාර රැසක් සිදු වී තිබෙනවා. ඉන්දියාව මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූයේ ඇයි කියා පැහැදිලි කළ හැකි ද? 

අප්‍රේල් 22 වැනි දින ලෂ්කර්-ඉ-තයිබා සංවිධානයට අයත් පාකිස්ථාන සහ පාකිස්ථානය විසින් පුහුණු කරන ලද ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පෙහෙල්ගාම් හිදී ඉන්දීය ජාතිකයන් 25 දෙනෙකු සහ එක් නේපාල ජාතිකයකු ඇතුළු සංචාරකයන් 26 දෙනෙකු මරා දැමුවා. මේ ප්‍රහාරයට ලක්වුණේ අහිංසක සංචාරකයන්. පිරිමි පුද්ගලයන් ඉලක්ක කරගෙන, ඔවුන්ගේ ජාතිය සහ ආගම මත පදනම්ව, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් ඉදිරියේදී මරා දැමුණා. මෙය මෙතෙක් ඉතිහාසයේ සිදු වූ ම්ලේච්ඡතම සහ කුරිරුතම ත්‍රස්තවාදී ප්‍රහාරයක්. 

2008 නොවැම්බර් 26 වැනි දින සිදු වූ මුම්බායි ප්‍රහාරයෙන් අනතුරුව, ඉන්දියාව තුළ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වූ විශාලතම  ත්‍රස්තවාදී ප්‍රහාරය මෙයයි. එය කාශ්මීරය තුළ සිදු වූ තවත් එක් ප්‍රහාරයක් පමණක් ලෙස නොදැකිය යුතුයි. එය අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් පමණක් නොවෙයි. එය අප රටේ හදවත, නිරාගමික ස්වභාවය සහ සංවර්ධනය කරා යන ගමන ඉලක්ක කරගත් ප්‍රහාරයක්. මෙම ප්‍රහාරයේ අරමුණ වූයේ, වාර්ගික අසමඟිය පැතිරවීම සහ  2024 වර්ෂයේ සිට ඉන්දියාවේ මෙම සුන්දරතම ප්‍ර‍දේශයට සංචාරකයන් මිලියන 23ක් පැමිණීම මගින්ම පිළිබිඹු කරන පරිදි ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයට බාධා පමුණුවීමයි. මෙවැනි ප්‍රහාර රැසක් සිදු කිරීමට සූදානමක් තිබෙන බවට බුද්ධි වාර්තා අපට ලැබී තිබුණා. 

අප පළමුව, අප්‍රේල් 23 වැනි දින ඉන්දූස් ජල ගිවිසුම තාවකාලිකව අත් හිටුවීම සහ දේශසීමා හරහා සංචරණය සහ වෙළෙඳාම අත්හිටුවීම ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් ගත්තා. 

පාකිස්ථානය බොහොම ආඩම්බරයෙන් ආරක්ෂාව ලබා දෙන ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහිව, පාකිස්ථානය කිසිදු පියවරක් නොගත් නිසා ඉන්දියාව පාකිස්ථානයේ සහ පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදී කඳවුරු නවයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් සින්දූර් මෙහෙයුම ක්‍රියාවට නැංවූවා. මේ ඉලක්කයන්ට බහ්වාල්පූර් හි පිහිටි සහ මුරිඩ්කේ හි පිහිටි ගෝලීය වශයෙන් තහනම් ත්‍රස්ත සංවිධාන වන ජයිෂ්-ඉ-මොහම්මද් (JeM)  සහ ලෂ්කර්-ඉ-තයිබා (LeT)  මූලස්ථාන ද ඇතුළත් වුණා. මෙම ගෝලීය ත්‍රස්තවාදී මධ්‍යස්ථානයන්හිදී සමස්තයක් වශයෙන් ත්‍රස්තවාදීන් 100කට අධික පිරිසක් මරා දැමුණා. 

ඉන්දීය අග්‍රමාත්‍යතුමා ප්‍රකාශ කළ පරිදි මෙය යුද්ධයේ යුගයක් නොවෙයි,  නමුත් මෙය ත්‍රස්තවාදයේ යුගයක් ද නොවෙයි

මරා දමන ලද, ජාත්‍යන්තර වශයෙන් හඳුනාගත් ත්‍රස්තවාදීන්ගේ අවමංගල්‍ය කටයුතු, රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර, ඒ සඳහා පාකිස්ථාන හමුදා නායකයන් සහභාගී වීම තුළින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ මෙම තහනම් ත්‍රස්තවාදී සංවිධාන ඉන්දියාවට එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තියේ උපාංගයක් ලෙසයි. එමෙන්ම,ත්‍රස්තවාදය භාවිතා කිරීමේ පාකිස්ථානයේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස මෙම තහනම් සංවිධාන විවෘතවම පාකිස්ථානයේ සහයෝගය සහ අනුග්‍රහය ලබන බවයි. 

ඉන්දියාව ත්‍රස්තවාදී බළකොටු පමණක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ අතර හමුදාව සහ සිවිල් වැසියන් වෙත ප්‍රහාර එල්ල නොවන බව ඉතා පරිස්සමෙන් සහතික කළා. පෙහෙල්ගාම් හි සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය හරහා පාකිස්ථානය තත්ත්වය උත්සන්න කිරීමට ගත් උත්සහය හමුවේ අපගේ ප්‍රතිචාරය තත්ත්වය උත්සන්න නොකරන ආකාරයේ, නිශ්චිත ඉලක්කගත, ප්‍රමාණානුකූල ප්‍රතිචාරයක් වුණා. ගැටුම් උත්සන්න නොකිරීමේ පැහැදිලි අභිප්‍රාය සමඟින් මේ බව පාකිස්ථාන පාර්ශ්වයට ද ප්‍රකාශ කර සිටියා. 

ත්‍රස්තවාදී තිප්පොළවල් විනාශ කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරනවා වෙනුවට, පාකිස්ථානය ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගැනීම තෝරා ගෙන පසු දින සන්ධ්‍යාවේ ඉන්දියාවේ  හමුදා පහසුකම්, පාසල්, විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන සහ නිවෙස් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළා. එවිට ඉන්දියාවට එවැනිම ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට සිදු වුණා. කෙසේ නමුත්, ඉන්දියාවේ ප්‍රතිචාරය එල්ල කරන ලද ප්‍රහාරයන්ට සුදුසු ප්‍රමාණයේ ප්‍රහාර වූ අතර පාකිස්ථානයේ හමුදා පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාරයන්ට සීමා වුණා.  

Q. පෙහෙල්ගාම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව, පාකිස්ථානය ත්‍රස්තවාදීන්ට අනුබල දෙන බවට ඉන්දියාව  චෝදනා කළා. මේ පිළිබ‍‍ඳ නිගමනයකට පැමිණියේ කෙසේ ද? ත්‍රස්තවාදය මෙහෙයවන්නන් සහ එයට අනුබල දෙන්නන්ට දඬුවම් ලබා දෙන බවට ඉන්දියාව ප්‍රතිඥා දුන්නා. මේ අරමුණ කොතෙක් දුරට ළඟා කරගෙන තිබෙනවාද? 

පෙහෙල්ගාම් ප්‍රහාරය සිදු වී සුළු වේලාවකින්ම ලෂ්කර්-ඉ-තයිබා සංවිධානයට අයත් The Resistance Front  නමැති ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාර ගත්තා. ප්‍රහාරයෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණවලදී, පාකිස්ථානය සමඟ මොවුන්ගේ පැහැදිලි සබඳතා අනාවරණය වී තිබෙනවා. ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන කටයුතු පාකිස්ථානය තුළ සහ පාකිස්ථානය වෙත සිදු වී තිබෙන බව පරීක්ෂණවලදී පැහැදිලිවම අනාවරණය වී තිබෙනවා. 

නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු, ඇසින් දුටු සාක්ෂි, කනෙන් ඇසූ සාක්ෂි සහ විද්‍යුත් සාක්ෂි අනුව මෙම ත්‍රස්තවාදීන්ට පාකිස්ථානයේ හමුදා කඳවුරක් සමඟ සබඳතා පැවති බව පැහැදිලිවම පෙන්නුම් කරනවා. මෙම මූලාශ්‍ර, මෙම කණ්ඩායමේ සැලසුම්කරුවන් සහ අනුබල දෙන්නන් පිළිබඳව පැහැදිලි චිත්‍රයක් අපට ලබා දී තිබෙනවා. 

පාකිස්ථානයේ වත්මන් ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් විසින් Sky News  වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාව ඔබ දකින්න ඇති. දශක ගණනාවක් පුරා ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ බව සහ ත්‍රස්තවාදීන්ට සහාය දැක්වූ බව ඔහු එහිදී පිළිගත්තා. පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පාකිස්ථානයේ හිටපු විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ විසින් ද තවදුරටත් තහවුරු කර තිබෙනවා. පාකිස්ථානයේ හමුදා ප්‍රධානි අසීම් මුනීර් සහ පාකිස්ථානයේ ත්‍රස්තවාදී සංවිධාන පෙහෙල්ගාම් ප්‍රහාරයට දින කිහිපයකට පෙර කාශ්මීරයේ ප්‍රචණ්ඩකාරී මැදිහත්වීමක් අවශ්‍ය යැයි පවසමින් නිර්ලජ්ජිත වර්ගවාදී ප්‍රකාශ සිදු කළා. පෙහෙල්ගාම් ප්‍රහාරයට එවැනි නින්දිත ප්‍රකාශ ද  හේතු වූ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙනවා. ප්‍රහාරයේ ස්වභාවය, වින්දිතයන් ආගමික වශයෙන් වෙන් කර හඳුනාගැනීම සහ ප්‍රහාරය සිදු කළ ස්ථානය යන සියල්ල අසීම් මුනීර් කාශ්මීරය තුළ ප්‍රචණ්ඩත්වය උසිගන්වමින් සිදු කළ ප්‍රකාශයන් සමඟ මනාව ගැළපෙනවා. පාකිස්ථානය විසින් පෝෂණය කරන සහ පාකිස්ථානයේ සහයෝගය ලබන ත්‍රස්තවාදීන් පාකිස්ථානය වෙනුවෙනුත් පාකිස්ථානය ත්‍රස්තවාදීන් වෙනුවෙනුත් ක්‍රියා කරන බව සැවෙම දන්නා කරුණක්. 

පෙහෙල්ගාම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව, ඉන්දීය අග්‍රාමාත්‍යතුමා පාකිස්ථානයේ ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ව මෙහෙයවන්නන්ට ශක්තිමත් ප්‍රතිචාරයක් ලබා දෙන බවට අනතුරු ඇඟවූවා. ත්‍රස්තවාදීන් සහ ඔවුන් මෙහෙයවන්න් ලෝකයේ කෙළවර දක්වා හෝ හඹා යන බවට අග්‍රාමාත්‍යතුමා ප්‍රතිඥා දුන්නා. සින්දූර් මෙහෙයුම මෙම ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කරන ලද, නිරවද්‍යතාවයෙන් යුත් මෙහෙයුමක්. 

මැයි 7 වැනි දින අලු‍යම් කාලයේදී, ඉන්දියාව පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ සහ පාකිස්ථානයේ ත්‍රස්තවාදී කඳවුරු නවයක් සාර්ථකව විනාශ කළා. මෙම ප්‍රහාර සැත්කමකදී මෙන් ඉහළ නිරවද්‍යතාවයෙන් යුතුව ක්‍රියාවට නැංවූ, ත්‍රස්තවාදී යටිතල පහසුකම් විනාශ කිරීම අරමුණු කරගත්, ඉන්දියාව වෙත එවිය හැකි ත්‍රස්තවාදීන් මරා දමන ලද ප්‍රහාරයන්. මෙම ඉලක්ක අතරට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් සංවිධාන ලෙස නම් කර ඇති ලෂ්කර්-ඉ-තයිබා (Lahkar-e-Taiba - LeT)  සහ ජයිෂ්-ඉ-මොහොම්මද් (Jaish-e-Mohammad - JeM)  සංවිධානයන්ගේ ගෝලීය වශයෙන් දන්නා බහ්වල්පූර් සහ මුරිඩ්කේ මූලස්ථාන ද ඇතුළත් වුණා.  

අපගේ පණිවිඩය මනාව ඇසෙන පැහැදිලි පණිවිඩයක්. අප පාකිස්ථාන රජය සහ පාකිස්ථානය විසින් අනුග්‍රහය ලබා දෙන, ඉන්දියාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදීන් අතර කිසිදු වෙනසක් දකින්නේ නැහැ. ඉන්දියාව න්‍යෂ්ටික බියගැන්වීම් වලට බිය නොවන බව සහ පාකිස්ථාන රජයේ මෙම ආවරණය යටතේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට අප ඉඩ නොදෙන බව අප පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. අනාගතයේදී පාකිස්ථානය විසින් ඉන්දියාවට එරෙහිව සිදු කරන ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් පාකිස්ථානය විසින් ඉන්දියාවට එරෙහිව සිදු කරන යුද ක්‍රියාවක් ලෙස සලකන බවත් ඒ අනුව ප්‍රතිචාර දක්වන බවත් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළා. 

Q පෙහෙල්ගාම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉන්දියාව සමඟ එකමුතුභාවය පළ කළා. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක් ද? 

පෙහෙල්ගාම් ත්‍රස්තවාදී ප්‍රහාරයේ වින්දිතයන් සමඟ එකමුතුභාවය පළ කිරීම සහ ත්‍රස්තවාදය දැඩිව හෙළාදැකීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සිදු වී සුළු මොහොතකින්ම ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ ද කතා කර මෙම අදහස් පළ කළා. මෑතක දී ත්‍ර‍ස්තවාදයේ බිහිසුණු විපාක අත්විඳ ඇති රටක් වශයෙන්, ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය ප්‍රජාවන්ට, සමාජයන්ට සහ ආර්ථිකයන්ට සිදු කරන විනාශය හොඳින්ම වැටෙහෙනවා. ත්‍රස්තවාදය ගෝලීය පිළිලයක්. එබැවින් සියලු‍ රටවල් ත්‍රස්තවාදයට එරෙහිව එක්ව කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව වින්දිතයන්ට ඉන්දියාවේ එකමුතුභාවය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එකම ගෝලීය නායකයා  අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා යි. 

Q ඉන්දියාව පාකිස්ථානය සමඟ ජලය බෙදා ගන්නා ඉන්දූස් ජල ගිවිසුම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ  බලශක්ති ක්ෂේත්‍රයේ යෝජිත සම්බන්ධකතා ව්‍යාපෘතීන් පවතින බැවින් ඇතැම් අය මේ පිළිබඳව විවිධ මත පළ කරනවා. ඉන්දියාව මූලික මිනිස් අවශ්‍යතාවක් වන ජලය අවහිර කරන්නේ නම් අනික් දේවල් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරයි ද? මෙවැනි මත පිළිබඳ ඔබේ අදහස කුමක් ද? 

මේ කරුණු දෙක පැහැදිලිවම සැසඳිය නොහැකියි. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ අපගේ සබඳතා එකිනෙකට වෙනස්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තියේ ඉතා වැදගත් රටක්. වර්තමානයේ අපගේ සම්බන්ධතා සියලු‍ මට්ටම්වලදී පෙර නොවූ විරූ විශ්වාසයක් සහ සුහදත්වයක් පෙන්නුම් කරනවා. අපට ශ්‍රී ලංකාව සමඟ පමණක් නොවෙයි, භූතානය, නේපාලය සහ බංග්ලාදේශය වැනි රටවල් සමඟ ද බලශක්ති සම්බන්ධකතා ව්‍යාපෘතීන් තිබෙනවා. 

නමුත් පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ත්‍රස්තවාදය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස භාවිතා කරමින් විරුද්ධවාදී ස්ථාවරයක් අඛණ්ඩවම අනුගමනය කර තිබෙනවා. පාකිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ගෝලීය වශයෙන්ම හඳුනාගෙන තිබෙනවා. පසුගිය දශක තුන තුළ ලෝකයේ සිදුවූ සෑම ත්‍රස්තවාදී ක්‍රියාවකටම පාහේ පාකිස්ථානයේ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවක් පැවතී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරන ලද ත්‍රස්තවාදීන් වැඩිම පිරිස පාකිස්ථානයේ සිටිනවා. නැතහොත් පාකිස්ථානයේ පුහුණුව ලබා තිබෙනවා. ඔසාමා බින් ලාඩන්, මසූද් අසර් හෝ හාෆිස් සයිද් යන කවර ත්‍රස්තවාදියකු සම්බන්ධයෙන් වුවත් තත්ත්වය මෙයයි. රටක් ඔබේ රටේ පුරවැසියන්ව මරා දැමීම සඳහා ත්‍රස්තවාදීන් එවන විට ඔවුන් සමඟ සාමාන්‍ය වෙළෙඳ සම්බන්ධතා පැවතිය නොහැකියි. සුහදත්වය මත පදනම් වූ ව්‍යාපෘතීන් පැවතිය නොහැකියි. රුධිරයට සහ ජලයට එක්ව ගලා යා නොහැකි බව සහ ත්‍රස්තවාදයට සහ වෙළෙඳාමට එක්ව යා නොහැකි බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළේ ඒ නිසායි. 

ඉන්දූස් ජල ගිවිසුම අත්සන් තැබුණේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර සුහදත්වය, මිත්‍රත්වය සහ සහයෝගීතාව  ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. දශක ගණනාවක් පුරා ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය විසින් ත්‍රස්තවාදය යොදාගෙන තිබෙන අතර මෙම සුහදත්වය පාකිස්ථානය විසින් අවස්ථා ගණනක දී උල්ලංඝනය කර තිබෙනවා. පාකිස්ථානය සක්‍රීය ලෙස ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කර තිබෙනවා. එසේම, ගිවිසුම අත්සන් තැබූ 1960 දශකයට සාපේක්ෂව ස්ථල විද්‍යාත්මකව, ජල ශාස්ත්‍රීය විද්‍යාත්මකව සහ ජන විකාසනාත්මකව වෙනස්කම් රැසක් සිදු වී තිබෙනවා. දේශගුණික විපර්යා සහ නවීන තාක්ෂණය මෙන්ම පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම ගිවිසුම නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය මතු කර තිබෙනවා. කෙසේ වෙතත්, සාකච්ඡා සඳහා ඉන්දියාව විසින් දිගු කලක් තිස්සේ කරනු ලබන ඉල්ලීම් පාකිස්ථානය නොසලකා හරිමින් සිටිනවා. පාකිස්ථානය පැහැදිලි ලෙසම එදිරිවාදී  ආකාරයකින් කටයුතු කර තිබෙනවා. 

Q පාකිස්ථානය, ඉන්දීය ප්‍රහාර වලින් සිවිල් වැසියන්ට හානි වූ බව ප්‍රකාශ තිබෙන අතර ආතතීන් ඉහළ නැංවූවා යැයි ඉන්දියාවට චෝදනා කර තිබෙනවා. යුද්ධය උත්සන්න වීම වැළැක්වීමට ඉන්දියාව ගෙන ඇති රාජ්‍යතාන්ත්‍රික පියවර මොනවාද?

පෙහෙල්ගාම් ත්‍රස්තවාදී ප්‍රහාරයට අපගේ ප්‍රතිචාරය නිශ්චිත ඉලක්කගත, ප්‍රමාණානුකූල සහ පාකිස්ථානයේ දලු ලා වැඩෙන ත්‍රස්තවාදී යටිතල පහසුකම් වෙත පමණක් යොමු වූ ප්‍රතිචාරයක්. අප පැහැදිලි ලෙසම පාකිස්ථානයේ සිවිල් වැසියන් සහ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේ නැහැ. ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදීන්ට අප එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස අපගේ සිවිල් වැසියන් සහ හමුදා පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේ පාකිස්ථානය යි. අප පාකිස්ථානයේ හමුදා ගොඩනැගිලි සහ පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේ පාකිස්ථානය එවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පමණයි. සිවිල් වැසියන්ට හානි වීම වැළැක්වීම සඳහා මේ මුළු මෙහෙයුම පුරාම අප ක්‍රියාමාර්ග ගත්තේ නිශ්චිත ඉලක්කගතව, ඉහළ නිරවද්‍යතාවයෙන් යුතුව, මනා පාලනයක් සහිතව පරිස්සම් සහගතව යි. මුල සිටම අප වගකීම් සහගතව කටයුතු කර තිබෙන අතර තත්ත්වය උත්සන්න නොකිරීමේ අපගේ අභිප්‍රායන් පළ කර  තිබෙනවා. එසේම, ඒ බව පාකිස්ථානයට නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවට එරෙහි ඔවුන්ගේ ගුවන් ප්‍රහාරයන්ට ආවරණයක් ලෙස ජත්‍යන්තර ගුවන් යානා ඇතුළු සිවිල් ගුවන් යානා භාවිතා කිරීමට පාකිස්ථානය තීරණය කළ විටදී පවා අප සංයමයෙන් යුතුව ක්‍රියා කර සිවිල් මගීන්ගේ ආරක්ෂාව සහතික කළා. කෙසේ නමුත්, ඩ්‍රෝන, දිගු දුර අවි, ඉතා විනාශකාරී අවි සහ ප්‍රහාරක ගුවන්යානා භාවිත කරමින් උතුරු සහ බටහිර ඉන්දියාවේ හමුදා ඉලක්ක රැසක් වෙත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරමින් තත්ත්වය උත්සන්න කිරීමට කටයුතු කළේ පාකිස්ථානය යි. එසේම, පාකිස්ථානය පාලන රේඛාව සහ ජාත්‍යන්තර දේශසීමාව උල්ලංඝනය කරමින් ෂෙල් ප්‍රහාර එල්ල කළා. මේ ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව පාකිස්ථානය කුපිත කරවන කිසිවක් සිදු කළේ නැහැ. බොහෝ අවස්ථාවලදී පාකිස්ථානය ඉන්දියාවේ සිවිල් වැසියන්ට  දැඩි හානි පමුණුවන ආකාරයෙන් පාසල්, ආගමික ස්ථාන, රෝහල් සහ නිවාස වැනි සිවිල් ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළා. 

පාකිස්ථානය විසින් දිගින් දිගටම තත්ත්වය උත්සන්න කරමින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්දියාව මැයි 10 වැනි දින පාකිස්ථාන හමුදා ගොඩනැගිලි සහ පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළා. එහිදී පාකිස්ථානයේ කඳවුරු 13ක් සැලකිය යුතු ලෙස විනාශ වුණා. ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් ඉන්දීය අවි මගින් පාකිස්ථානයේ හමුදා යටිතල පහසුකම් දැඩි ලෙස විනාශ වීම නිසා පාකිස්ථානයට ඉන්දියාව හමුවට  ඒමට සිදු වුණා. මැයි 10 වැනි දින සන්ධ්‍යාවේ පාකිස්ථානයේ හමුදා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්දියාවේ හමුදා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇමතුවා. ඉන් අනතුරුව දෙපාර්ශ්වය ගොඩබිමේ, ගුවනේ සහ මුහුදේ සියලු‍ හමුදා ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා අවබෝධතාවකට එළඹුණා. කළින් සඳහන් කළ පරිදි, මේ කාලය පුරාම ඉන්දියාව ක්‍රියාමාර්ග ගත්තේ පාකිස්ථානය විසින් තත්ත්වය උත්සන්න කරමින් ගනු ලැබූ පියවරවලට ප්‍රතිචාර වශයෙන්. එම ප්‍රතිචාර නිශ්චිත ඉලක්කගත, නිසි පරිදි ක්‍රමානුකූලව සලකා බලන ලද සහ ප්‍රමාණානුකූල ප්‍රතිචාර යි. පාකිස්ථානය මෙම අවබෝධය උල්ලංඝනය නොකරනු ඇති බවත්, ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහිව දැඩි සහ ස්ථිරසාර ක්‍රියාමාර්ග ගනු ඇති බවත්, ඉන්දියාවට එරෙහිව සිය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රතිපත්තිය අත්හරිනු ඇති බවත්,  අප අපේක්ෂා කරනවා. 

Q රෆායල් තුනක් ඇතුළු ඉන්දියාවේ යුද ගුවන් යානා හයක් බිම හෙළූ බව පාකිස්ථානය ප්‍රකාශ කළා. රෆායල් යනු ඉන්දියාව සතු අති නවීනතම ප්‍රහාරක යානයක්. පාකිස්ථානය ඉන්දියාවේ ගුවන්යානා බිම හෙළීම සඳහා චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා භාවිතා කළා. මෙය ඉන්දියාවට විශාල පරාජයක්. ඔබේ අදහස කුමක් ද? 

පාකිස්ථානය මෙම ගැටුම අතරතුර කිසිදු පදනමක් නැති ප්‍රකාශ සිදු කර තිබෙනවා. බොරු සහ සාවද්‍ය තොරතුරු පැතිරවීම පාකිස්ථානයේ DNA  වලම තිබෙන බවක් තමයි පෙනෙන්නේ. පාකිස්ථානය ඉන්දියාවේ ආදම්පූර් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කළ බවටත් මෙවැනිම සාවද්‍ය ප්‍රකාශයක් සිදු කළා. ‍කෙසේ වෙතත්, මැයි 13 වැනි දින අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ආදම්පූර් ගුවන් හමුදා කඳවුර වෙත සිදු කළ සංචාරයේදී, මෙම ගුවන් කඳවුරට කිසිදු හානියක් සිදු වී නැති බවත් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක බවත් මුළු ලෝකයම දුටුවා. ඉන්දීය හමුදා පහසුකම් විනාශ කළ බවට පාකිස්ථානය කරන ප්‍රකාශ දශක ගණනාවක් මුළුල්ලේ පාකිස්ථානය පතුරුවන බොරු ප්‍රචාරවලම කොටසක් බව බොහෝ මාධ්‍ය ද වාර්තා කර තිබුණා. සිය භූමිය තුළ ත්‍රස්තවාදී යටිතල පහසුකම් පවතින බව ප්‍රතික්ෂේප කිරීම තුළ මේ තත්ත්වය වඩාත් හොඳින් දිස්වෙනවා. අනෙක් අතට, පාකිස්ථානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් සහ හමුදා ගොඩනැගිලි සහ පහසුකම් විනාශ වී ඇති ආකාරය පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූප ඇතුළු දෘශ්‍ය සාක්ෂි ඕනෑම කෙනෙකුට දැකගත හැකි පරිදි ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. පාකිස්ථානයේ ගුවන් ආරක්ෂණ පද්ධතීන් කුමන රටක නිපදවූ ඒවා වුවත්, මැයි 13 වැනි දින පාකිස්ථානයේ හමුදා කඳවුරු 13ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී ඉන්දීය ගුවන් හමුදාව පාකිස්ථානයේ ගුවන් ආරක්ෂණ පද්ධතීන් නිෂ්ක්‍රීය කළ බවත් අප දන්නවා. පාකිස්ථානයේ අවි පද්ධතීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධතීන් කුමන රටක නිපදවූ ඒවා වුවත්, ඒ සියල්ල ඉන්දියාව සාර්ථකව නිෂ්ක්‍රීය කළා. ඉන්දියාවේ දේශීය තාක්ෂණය සින්දූර් මෙහෙයුමේ පෙරමුණ ගෙන තිබෙනවා. එසේම, එම තාක්ෂණය එය වඩාත්ම අවශ්‍ය මොහොතේ දී නිසි ප්‍රතිඵල ලබා දී තිබෙනවා. 

Q ඉන්දියාව සහ පාකිස්ථානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  නිවේදනය කළා. ඔහු පැවසුවේ ඇමෙරිකාව සටන් විරාමය සඳහා මැදිහත් වූ බවයි. මේ සටන් විරාමය පිළිබඳව පැහැදිලි කළ හැකිද? පාකිස්ථානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග අවසන් ද? සටන් විරාමය දිගටම පවතී ද? 

ඉන්දියාව සහ පාකිස්ථානය ගොඩබිමේ, ගුවනේ සහ මුහුදේ ගැටුම් නැවැත්වීම සඳහා සෘජු ද්විපාර්ශ්වික සබඳතා හරහා අවබෝධයකට එළඹ තිබෙනවා. මෙය සිදු වුණේ මැයි 10 වැනි දින දෙරටේ හමුදා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ගේ සෘජු නියැළීම හරහා යි. සින්දූර් මෙහෙයුම අවසන් නැහැ. සින්දූර් මෙහෙයුම දැන් ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. පාකිස්ථානය සාමකාමිත්වය පවත්වා ගෙන යනවා නම් සහ ඉන්දියාවට එරෙහි ත්‍රස්තවාදය අත් හැරීමට ස්ථිරසාර පියවර ගන්නවා නම් ගැටුම් සිදු නොවනු ඇති. කලාපයේ සිදුවෙන කවර ගැටුමක වුවද වගකීම සෘජුවම පාකිස්ථානය සතුයි. ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් යුදමය  ක්‍රියාවක් ලෙස සලකනු ඇති අතර සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති. 

Q සින්දූර් මෙහෙයුම වැනි හමුදා ක්‍රියාමාර්ග දැන් ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තිය බව ඉන්දීය අග්‍රාමාත්‍යතුමා මෑතකදී ප්‍රකාශ කළා. මෙම මූලෝපායේ බලපෑම් මොනවාද? මෙයින් දෙපාර්ශ්වය අතර ආතතිය නැවතත් ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකාව කල්පනා කළ යුතු ද? 

මැයි 12 වැනි දින ජාතිය අමතමින්, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා, සින්දූර් මෙහෙයුම දැන් ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කළා. සින්දූර් මෙහෙයුම නව මිනුම් ලකුණක් ස්ථාපනය කර ඇති බවත් ත්‍රස්තවාදයට එරෙහි අපගේ සටන තුළ නව සාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් එතුමා සඳහන් කළා. පුළුල් ලෙස ගත් විට, මෙම ප්‍රවේශයේ අංග තුනක් තිබෙනවා. ප්‍රථමයෙන්, ඉන්දියාවට එරෙහිව සිදු කරන ඕනෑම ත්‍රස්තවාදි ක්‍රියාවකට ගැළපෙන පිළිතුරක් හිමි වෙනු ඇති; ඉන්දියාවේ කොන්දේසි මත පමණක්ම දැඩි ලෙස ප්‍රතිචාර දක්වනු ඇති. දෙවනුව ත්‍රස්තවාදය සඳහා ආවරණයක් වශයෙන් න්‍යෂ්ටික බිය වැද්දවීම් සිදු කිරීමට ගන්නා උත්සාහයන් ඉන්දියාව පිළිනොගනු ඇති. ඉන්දියාව න්‍යෂ්ටික බිය වැද්දවීම් යන ආවරණය යටතේ වර්ධනය වෙන ත්‍රස්ත තිප්පොළවල්වලට නිරවද්‍යතාවයෙන් යුතුව දැඩි ප්‍රහාර එල්ල කරනු ඇති. තෙවනුව, ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදයට අනුග්‍රහය ලබා දෙන රජය එකිනෙකින් වෙනස් ලෙස හඳුනා නොගනු ඇති. මෙම නව ප්‍රතිපත්තිය ජාතික ආරක්ෂාව සඳහා ඉන්දියාවේ ප්‍රවේශයේ වැදගත් වෙනසක් සනිටුහන් කරනවා. එසේම, ත්‍රස්තවාදය කිසි ලෙසකින්වත් නොඉවසන, දැඩි සහ ස්ථිර ස්ථාවරයකට පදනම සකස් කරනවා. 

නීති විරෝධි ලෙස අල්ලාගෙන සිටින කාශ්මීරයෙන් ඉවත් වීම සම්බන්ධව හැරුණු විට පාකිස්ථානය සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොවනු ඇති. 

Q මෙම ගැටුම ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට කෙසේ බලපායිද? අපගේ කලාපයේ ආරක්ෂාවට සිදු වෙන බලපෑම සම්බන්ධයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් කතා කරනවා. වර්තමන කලාපීය වර්ධනයන් යටතේ අනාගතයේදී ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන්නේ කෙසේ ද? 

ජාත්‍යන්තර ප්‍රජාව මූලිකවම අවධානය යොමු කළ යුත්තේ පාකිස්ථානයේ අභ්‍යන්තර කරුණු සහ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ත්‍රස්තවාදය යොදා ගැනීමට මිස ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ප්‍රතිචාරය පිළිබඳව නොවෙයි. 

සින්දූර් මෙහෙයුමේ මූලික කාරණය වෙන්නේ ත්‍රස්තවාදය කිසිසේත් නොඉවසීමයි. ශ්‍රී ලංකාව ද ත්‍රස්තවාදයෙන් බැට කා තිබෙන අතර ත්‍රස්තවාදය කිසිසේත් ඉවසන්නේ නැහැ. ඉන්දියාව සමඟ එකමුතුභාවය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. 

ඉන්දියාව පෙහෙල්ගාම් ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ අරමුණින් ත්‍රස්ත කඳවුරු විනාශ කිරීම සහ එවැනි ප්‍රහාර වැළැක්වීම සඳහා මැදිහත් වුණා. කලාපයේ ආර්ථික ස්ථායිතාවය ආරක්ෂාව මත රඳා පවතිනවා. එය විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකාව වැනි රටවලට වැදගත්. ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ දැඩි සහ ශක්තිමත් ස්ථාවරයේ අරමුණ වෙන්නේ කලාපය තුළ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය ගොඩනැගීමයි. 

ඉන්දීය අග්‍රමාත්‍යතුමා ප්‍රකාශ කළ පරිදි මෙය යුද්ධයේ යුගයක් නොවෙයි,  නමුත් මෙය ත්‍රස්තවාදයේ යුගයක් ද නොවෙයි. 

ලවන්ගා දෑරංගල