ආයතනයට අයත් නැති ඉඩම් සංවර්ධනයට ජලජීවී අධිකාරිය කෝටි 10ක් වැය කරලා


සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියට අයත් නැති ඉඩම් පහක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වැය කර තිබුණද පසුගිය වසරේ මැයි මස 27  වැනිදා දක්වා කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකිරීම හේතුවෙන් වැය කරන ලද එම වියදම අපතේ ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

අධිකාරියට හිමිකාරිත්වය නොමැති හෙක්ටයාර් 1361.76ක ඉඩම් හතරක් සහ වපසරිය හඳුනාගත නොහැකි ඉඩමක යටිතල පහසුකම් සංවර්ධනයට 2017  වසරේදී මෙම  මුදල මෙසේ වැය කර තිබූ බව  වාර්තාවේ දැක්වේ.

මේ අතර ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතන මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රයක් පෞද්ගලික සමාගමක ඉඩමක සවිකර යන්ත්‍රය බදු දී තිබුණත් මේ දක්වා කිසිදු බදු මුදලක් ලැබී නැතැයි පවසන එම වාර්තාව රුපියල් ලක්ෂ හතළිහකට වැඩි මුදලක් මේ හේතුවෙන් ආයතනයට අහිමිව තිබූ බවද සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වෙන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.