ආණ්ඩුවේ රුපියල් 200 මහ වතු සමාගම් සේවකයන්ට පමණයි - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ


ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මෙරට වතු සමාගම් 25හි සේවය කරන පිරිස 115,000 ක් බව ද ඔහු කීවේ ය.

දිවයින පුරා කුඩා තේ වතු විශාල ප්‍රමාණයක් පවතින බවත් ඒවායෙන් රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 74 ක ප්‍රමාණයක් නිපදවන බවත් කී හෙතෙම එහෙත් එම කුඩා තේ වතුවල සේවය කරන කම්කරුවන්ට අයවැයෙන් යෝජිත රුපියල් 200 දීමනාව නොලැබෙන බව ද සඳහන් කළේ ය. 

දැනට වතුකම්කරුවන්ට ලැබෙන වැටුපට රජයෙන් රුපියල් 200 ක දෛනික පැමිණීමේ දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා මිලියන 5,000 ක් වෙන් කරන බව අයවැය කතාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

රජය මේ සා මුදලක් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කළ ද මහා පරිමාණ වතු සමාගම්වලින් බදු ආදායම් වශයෙන් රජයට ඊට සමාන හෝ එම අගය ඉක්මවා යන මුදලක් නොලැබෙන බව ද මහාචාර්යවරයා කීවේ ය.

විශාල වතුවලට අවශ්‍ය ඉඩම් ගොඩනැගිලි සහ වෙනත් යටිතල පහසුකම් රජය මගින් සපයා ඇතත් රජයට ඒවායෙන් සැලකිය යුතු කුලී ආදායමක් නොලැබීම ගැන අවධානය යොමු විය යුතු බව ද එම වතු සමාගම් යටතේ පවතින වතු ප්‍රජාවගේ සුබසාධනය වතු සමාගම්වල වගකීමක් වුවත් බහුතර වතු සමාගම් එය නොසලකා හැර ඇති බව ද හේ වැඩිදුරටත් පැවසීය.

වතු කම්කරුවන් සඳහා අඛණ්ඩව දීමනාවක් ලබා දීම අයවැයට  බරක් වෙන බවත් එයින් සැබෑ ප්‍රතිලාභ ලබන්නේ වතු සමාගම් හෙයින් ඒ සඳහා ජනතාවගේ බදු මුදල් යෙදවීම යුක්ති යුක්ත ද යන ප්‍රශ්නය මතු වෙන බවත් ඔහු සඳහන් කළේ ය.