අස්වැසුම අවසන් ලැයිස්තුව ලබන 28 වැනිදා


අභියාචනා විරෝධතා ගොනු කරන්න දින 10 ක්

උපුල් වික්‍රමසිංහ

යාවත්කාලීන කරන ලද අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අවසන් ලැයිස්තුව මෙම මස 28 වැනි දින නිකුත් කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ තොරතුරු යථාවත් කිරීම සඳහා ඉල්ලුම් කර ඇති මුළු ගණන 3,124,036ක් බවත්, එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තොරතුරු සමීක්ෂණය කර තේරීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ එවා ඇති අයැදුම්පත් ගණන 2,928,377 ක් බවත් ඔහු කීවේ ය.

එම ලක්ෂ 29 ක අයැදුම්පත් ප්‍රමාණයෙන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අනුමත කරනු ලැබ ඇති අයැදුම්පත් ගණන 2,369,677 ක් බව ද ඒවාට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනුමතය දී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 11 දක්වා දින දහයක කාලය විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන බව ද ඒ අනුව ඕනෑම අයකුට අදාළ අවසන් ලැයිස්තුව මත පදනම්ව ප්‍රාදේශීය ලේකම්වරුන් හමුවේ විරෝධතා හෝ අභියාචනා හෝ ගොනු කළ හැකි බව ද හේ ප්‍රකාශ කළේ ය. 

අවසන් ලැයිස්තුවට තමාගේ නම ඇතුළත්ව නොමැති නම් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව ද ඔහු පැවසීය.

විරෝධතා හා අභියාචනා මාර්ගගතව යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී සභාපතිවරයා එයින් ඒ සඳහා වැය වෙන කාලය අඩු කර ගත හැකි බව ද සඳහන් කළේ ය.

විරෝධතා ඉදිරිපත් වී නොමැති ප්‍රතිලාභීන් වෙනුවෙන් යාවත්කාලීන කරන ලද ලැයිස්තුව යටතේ පළමු ගෙවීම නොවැම්බර් 27 වැනිදා සිදුකිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.