GS වෙන්න උපාධිය ඕනෑ ජනපතිගෙන් ඉල්ලයි


ඉන්දික හේවාවිතාරණ

ග්‍රාම නිලධාරි සේවාවට බඳවා ගැනීමේ දී අවම අධ්‍යාපන සුදුසුකම උපාධිය  ලෙසට ප්‍රකාශ කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන  ලෙස ජනාධිපති අනුර කුමර දිසානායකගෙන් ඉල්ලා සිටින බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සඳහන් කරයි.

මේ වන විට ග්‍රාම නිලධාරි සේවාවේ ඇති වී තිබෙන පුරප්පාඩු 1658ක් සඳහා බඳවා ගැනීමට සැලසුම් කරමින්  තිබෙන බව ද එම සංගම් පෙන්වා දෙයි.

පසුගිය වසරේ අගෝස්තු 02 වැනි දින සකස් කළ සේවා ව්‍යවස්ථාව පැවැති ආණ්ඩුවේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ  වුවමනාවට සකස් කළ බවත් එය වර්තමානයට නොගැලපෙන නිසා වෘත්තිය සමිති විරෝධය දැක් වූ බවත් එම සමිති පෙන්වා දෙයි. මේ අනුව අදාළ සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා බඳවා ගැනීම් සිදු වෙන්නේ බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් ආකාරයට උසස් පෙළ  සමතුන්ගෙන් බව ද ඔවුහු පවසති. 

මෙම සේවාවෙහි රාජ්‍ය අණපනත් 250කට වැඩි ප්‍රමාණයක කටයුතු සිදුවෙන නිසා බඳවා ගැනීමේ අවම සුදුසුකම උපාධිය ලෙස ප්‍රකාශයට පත් කර සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට 2020 වසරේදී ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් යෝජනාවලියක් එවකට පැවති ආණ්ඩුවට භාරදුන් බව ද  සඳහන් කරයි.

මීට අමතරව පසුගිය වසරේ දී මෙම යෝජනා බලධාරීන්ට භාර දී තිබුණත් පසුගිය වසරේ දී සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේදීත් එම යෝජනා ඇතුළත් නොකළ බවද  සඳහන් කරයි.

මේ නිසා  ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් විසින් භාර දී තිබෙන යෝජනා ඇතුළත් කර බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් උපාධිය බවට පත් කර සේවා ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවත් පෙන්වා දෙයි.

බොහෝ සේවාවලට බඳවා ගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම් ඉහළ දමා තිබෙන බවත් ජනතාව සමග සිටිමින් කටයුතු කරන ග්‍රාම නිලධාරීන්ගේ සේවාව වැඩි දියුණු කිරීම සඳහා බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමීම ප්‍රමාද වෙමින් තිබෙන බවත් ග්‍රාම නිලධාරි සංගම් සඳහන් කරයි. 

සෑම වසරකදීම ග්‍රාම නිලධාරි සේවාවෙහි පුරප්පාඩු ඇති වුවත් බඳවා ගැනීම් සිදු වෙන්නේ වසර කිහිපයකට වරක් පමණක් හෙයින් එතෙක් ආසන්න වසමේ සිටින නිලධාරියා වැඩ බැලීමේ රාජකාරි සිදුකරන බවත් පෙන්වා දෙයි.

මේ නිසා නව බඳවා ගැනීම් යම් කාලයකට හෝ ප්‍රමාද කර ග්‍රාම නිලධාරි සේවාවේ  ගුණාත්මක භාවය ඉහළ  දැමීමට අදාළව වර්තමානයට ගැලපෙන ලෙස සේවා ව්‍යවස්ථාවක් සකස් විය යුතු බව සඳහන් කරයි.