සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
ඉන්දික හේවාවිතාරණ
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ කාර්යයන් සහ සේවාවන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර වසර නවයක් ගත වී තිබුණත් එය අවසන් වී නොමැති බව එම මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරයි.
තාක්ෂණය උපයෝගි කර ගනිමින් අදාළ කටයුතු සිදු කිරීම සඳහා 2016 නොවැම්බර් 27 ආයතනයක් සමග ගිවිසුමකට එළඹ 2021 ඔක්තෝබර් ව්‍යාපෘති කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබු බවද එම සමිති පෙන්වා දෙයි.
සැලසුම් කාලය වරින්වර සංශෝධනය කර තිබූ නමුත් තවමත් ව්‍යාපෘති කටයුතු නිමකර සජීවී මෙහෙයුම් ක්‍රියාවලිය බවට පත්කර ගැනීමට නොහැකි වී තිබීම පිළිබඳව පසුගිය මැයි 30 වැනි දින නිකුත් වූ විගණන වාර්තාවක් මගින්ද හෙළි කර තිබෙන බව වෘත්තීය සමිති සඳහන් කරයි.
එමෙන්ම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඉතා අත්‍යවශ්‍ය යැයි හඳුනාගනු ලැබූ දෘඪාංග මිලදී ගැනීම වෙනුවෙන් රු.මිලියන 145.7 ක් වැය දරා තිබුණද, ඉන් රු. මිලියන 18.6 ක් වටිනා උපකරණ 2025 මාර්තු මස අවසානය වෙන විටද ගබඩාවල රඳවා තිබෙන බවට අදාළ විගණන වර්තාවෙන් පෙන්වා දෙන බව එම සමිති සඳහන් කරයි.
මේ නිසා සේවා ඒකක පිහිටු වීම, දැනට පවතින පද්ධතියෙන් නව පද්ධතියට නිවැරදි දත්ත මාරු කිරීම, විභජනය නොවූ දායක මුදල් සම්බන්ධ කටයුතු නිමාකිරීම යනාදිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කරයි.
මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු කර අදාළ ව්‍යපෘතිය අවසන් කර සේවා සැපයීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.
78,000කට අධික සේවායෝජක සංඛ්‍යාවකට සහ ලක්ෂ 20කට අධික සේවකයන්ට සුබසාධනය සලසන ලංකාවේ දෙවැනි විශාලතම සුබසාධන අරමුදල මෙය බවද වෘත්තීය සමිති සඳහන් කරයි