උපුල් වික්‍රමසිංහ
පවතින අධික වැසි තත්ත්වය හමුවේ ජලයෙන් කුඹුරු යට වීම නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසේ සිට තුන් ලක්ෂ හැට දහස දක්වා වූ ප්‍රමාණයකින් අඩු විය හැකි බව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල කුඹුරු හෙක්ටයාර් 50,000 සිට 80,000 දක්වා ප්‍රමාණයක වී අස්වැන්න අහිමි වීමට ඉඩ ඇති බව ද මහාචාර්යවරයා පුරෝකථනය කළේ ය. හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් හතර හමාරක අස්වැන්නක් ලැබෙතැයි යන උපකල්පනයේ සිට ගණන් හැදීමෙන් එම අගය ලැබුණු බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැහැදිලි කළේ ය.
මහ කන්නය මෙරට ප්‍රධාන කෘෂි කන්නය බව සිහිපත් කළ ඔහු කුමන හෝ හේතුවක් මත යල කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් එසේ අඩු වෙන ප්‍රමාණය මහ කන්නයෙන් ආවරණය කර ගත හැකි වුව ද මහ කන්නයේ සිදුවන අස්වනු අඩුවීමක දී යල කන්නයෙන් ආවරණය කර ගැනීමේ හැකියාවක් නැතැයි කීය.
මේ නිසා නිවැරදි තක්සේරුවක් සහිතව පාරිභෝගිකයාත් ගොවියාත් වී මෝල් හිමියනුත් බලපෑමට ලක් නොවන පරිදි ආනයනය කරන සහල් වෙළෙඳපොළට නිකුත් කළ යුතු බව මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කළේ ය.