සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (20දා) ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය. ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පෙරේදා පැමිණ ඇත.
පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය. ඒ අනුව, එම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ සභානායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබූ නිසා බව සභා නායක කාර්යාලයේ ප්‍රධානීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාරදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීහු සභා නායක කාර්යාලයේ ප්‍රධානීන්ට පසුගියදා නියෝග කළහ. මේ අනුව එම වාර්තාව මෙසේ භාරදී තිබිණ.
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ආණ්ඩු පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් නම් කරමින් ඒවා තිබූ ලිපියේ හර්ෂණ නානායක්කාර මන්ත්‍රීවරයාගේ නම ඉදිරියෙන් ආචාර්ය යන යෙදුම සටහන් කර තිබූ හෙයින් ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ නම ඉදිරියෙන් එසේ සඳහන් කෙරුණු බව සභා නායක කාර්යාලයේ ප්‍රධානීන් බාරදී ඇති ලිපියේ සඳහන් වේ. මේ සිද්ධියෙන් නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදු වූ අපහසුතාව පිළිබඳව බලවත් ලෙස කනගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කාරුණිකව සමාව අයැද සිටින බවත් එහි සඳහන්වේ.
එම සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට, නියෝජ්‍ය මහලේකම්වරයාට සහ සහකාර මහලේකම්වරයාට ඇති වූ අපහසුතාව පිළිබඳව බලවත් ලෙස කනගාටු වන බවත් ප්‍රමාදදෝෂය ගැන සමාව අයැද සිටින බවත් එහි වැඩිදුරටත් දැක්වෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.