නොසැලකිල්ලෙන් 298ක් යකඩ යකාට බිලි


සුජිත් හේවාජුලිගේ
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති නිසි පරිදි ස්ථාපනය නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන් දිවයින පුරා  විවිධ දුම්රිය  අනතුරු 1501ක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම අනතුරුවලින් 298 දෙනෙකු මිය ගොස් 1054 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවේ දැක්වේ. මෙම අනතුරු සිදුවී ඇතැයි පැවසෙන්නේ 2000 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලයේදීය. මේ අතර මෙවැනි අනතුරුවලින් මිය යන පුද්ගලයන්ට වන්දි ප්‍රදානය කිරීමේ වැඩ පිළිවෙළක් මෙන්ම මිය යන පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ට ඇතිවන පීඩා සොයා බැලීමේ ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද  එම වාර්තාව සඳහන් කරයි.
එසේම එම වින්දිතයන් වෙනුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වග වී නොතිබුණු බවද වාර්තාව සඳහන් කරයි. සුළු හරස් මාර්ගවල ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආඥා පනතේ විධිවිධාන පරිදි හරස් මාර්ග ගේට්ටු ඉදිකර නොතිබුණු බවත් ඒවායේ පාලනය හා ආරක්ෂාව පිළිබඳව පනතේ විධිවිධාන පරිදි ක්‍රියාකර නොතිබුණු බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.