ලිහිණි ලියනගේ
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බව පොල් සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. එම්. පුෂ්කුමාර සඳහන් කරයි. කර්මාන්ත සඳහා දැනට පවතින පොල් ඵලදාව භාවිත නොවීමෙන් ඉදිරියේදී පොල් මිල පහළ බසිනු ඇති බවද ඔහු සඳහන් කළේය.
පවතින පොල් හිඟයට පිළියමක් ලෙස ඉන්දුනීසියාවෙන් පොල් මද හා වියළන ලද පොල් කැබලි ආනයනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට ලබන අඟහරුවාදා වන විට අනුමැතිය ලැබීමට නියමිත බව හෙතෙම පැවසීය.
මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2020/21 වර්ෂවල කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ ප්‍රතිපත්තිය මත රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීම මෙන්ම පසුව ආනයනය කරන ලද පොහොරවල මිල අධික වීම සහ පොල් හිඟයක් පවතින අවස්ථාවක පවතින පොල් ඵලදාව පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
රුසියානු රජයේ ආධාර මත ලැබී ඇති පොහොර සහනාධාරයෙන් මෙට්‍රික් ටොන් 27,500ක් පොල් වගාව සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇති බවත්, එම පොහොර මිටියක් රුපියල් 4000ක් වැනි සහන මිලක් යටතේ ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. මීට අමතරව පොල් සංවර්ධන අධිකාරියේ අරමුදලින් රුපියල් මිලියන 500ක් පොල් වගා කිරීමේ කටයුතු සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයට ලබාදීමට යෝජනා වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.