විස්මිත පත්තර විස්තර ලොකුම බොරුව පත්තරයක පළ වී වසර 190යි මුල්ම ටැබ්ලොයිඩය ඇවිත් 192යි!


අද කාලයේ මහා පත්තර සමග විසිතුරු හුරුබුහුටි පත්තර-අතිරේකයක් හෙවත් කවුරුත් දන්නා පරිදි “ටැබ්ලොයිඩ්” පුවත් පතක් දෙකක් ද බෙදාහැරීම මෝස්තරයකි. නමුත් මීට අවුරුදු 192කට පෙර එය මුලින්ම කල-එළි බැස්සේ පත්තර අලෙවිය නංවන සූත්තරයක් හැටියටය. පත්තර කෙරුවාවෙන් නට්ටංව ගොස් එළියට විසිවන්නට ඔන්න මෙන්න කියා සිටි පත්තර කාරයෙකුගේ නිර්මාණාත්මක අදහසක් හැටියටය. එදා පත්තර කලාවට නවාංග රැසක් හඳුන්වාදෙමින් කල-එළි බැස්ස මේ  අපූරු සංකල්පය අදටත් නැතිවම බැරි පාඨක ආකර්ෂණයක් ලෙස සිය අභිමානය රැක ගෙන සිටියි. ඒ අපූරු නිර්මාණය දොරට වැඩි අයුරු මෙසේය. 

මේ සිද්ධියට මුල්වන කාලයේ, එනම් 1833දී  අමෙරිකාව මෙන්ම මුළු ලෝකයම  ආර්ථිකයේ වළපල්ලට වැටී තිබුණි. මේ නිසාම “පාන්” කියාගන්න බැරිව උන්න මිනිස්සුන්ට පැන්ස 6ක් දී පත්තරයක් ගැනීම අද මෙන්ම මහමෙරක බරක් විය. 

කාලයේ තාලයට හැඩ ගැසෙන්න ඕනෑ කියා අලු‍ත් විදියට සිතූ පත්තර මුදලාලි කෙනෙක් නිසා එතෙක් දකින්නට තිබූ පත්තරවල මුහුණුවර මුළුමනින්ම වෙනස් විය.

ඔහු, බෙන්ජමින් හෙන්රි ඩේය. මහප්‍රාණ පත්තර කෙරුවාවෙන් නට්ටං ව අලු‍ත් “බිස්නස් අයිඩියා එකක්” ගැන සිතට එනතුරු තොරොම්බල් කඩ පිරුණු ජනාකීර්ණ වීදි දිගේ ඉබාගාතේ යද්දී, ඒ වන විට 23 හැවිරිදිව හිටි බෙන්ජමින් දුටුවේ කඩසාප්පු ඇතුළේ බඩුවල මිල මෙන් හය හත් ගුණයක් අඩුවට පදික වේදිකාවේ බඩු විකුණන අන්දමය.  ඒ මදිවාට මිනිස්සු ඒවා පොර කකා. මිලදී ගත්හ. එකම වෙනස නිකම් පෙනුමට තියන ලොකු ඇසුරුම් පෙට්ටි, වෙළෙඳ නාම සහිත ලේබල් වැනි පුරාජේරු නැති වීම පමණය. 

තමන්ට කියා මුද්‍රණාලයකුත් තිබුණ නිසා මේ වැඩේ දුටු බෙන්ජමින් කල්පනා කෆළ්‍ මිනිස්සුන්ගේ අතේ මිටේ ඇති ගාණට වැඩි විච්චූරණ නැති ලාබ පත්තරයක් දෙන එක  ගැනය.

එමෙන්ම මිනිස්සු පේමන්ට් වෙළෙන්දන් හොයාගෙන යන්නේ එතැන හිතේ හැටියට කදේ වැටී රට තොට වගතුග එහෙමත් දැනගන්න පුළුවන් නිසා බව බෙන්ජමින්ට වැටහිණ. ගොසිප් හෙවත් ඕපාදූප රහට මිනිස්සු වහ වැටෙන බව ඔහු තේරුම් ගත්තේය.

මේ අලු‍ත්ම අදහස අනුව මුලින් 1833 අවුරුද්දෙ සැප්තැම්බර් 3,  බෙන්ජමින් අලු‍ත්ම මාදිලියක පත්තරයක් එළියට දැම්මේය. ඒ තමා නිව්‌යෝක්හි පළ කළ “ද සන්” හෙවත් “හිරු” නමැති යුගයේ පෙරළිකාර පත්තරය! 

එකල හැටියට පෙනී 01කට හෙවත් සතයකට මිල කළ මෙය පිටු හතරේ දිනපතා  පත්තරයක් ලෙස  එළියට ආවේය. එකල අනෙක් පත්තරවල මිල සත හයකි. හුරුබුහුටි බව නිසා එය රැගෙන යාමට පහසු වූ අතර විශාල රූසටහන්, චිත්‍ර නිදර්ශන සහිතව අපරාධ ලු‍ණු ඇඹුල් ඇතිව වාර්තා කළ නිසාම කම්කරු පන්තික පාඨකයන් අතර ඉතා ඉක්මනින්ම ජනප්‍රිය විය.  කෙතරම් ජනප්‍රිය වුණාද කිවහොත් මේ අලු‍ත් පත්තරය පෙනි 01ක  මිල  අනුව  “පෙනී ප්‍රෙස්” නැතිනම් “පෙනී පේපර්ස්”ලෙස ලෝක පත්තර ඉතිහාසයේ හඳුන්වා දෙන අමුතු පත්තර රැල්ලක්ම  ඇරුඹිණ. 

අලු‍ත් පත්තරයත් සමග නව අලෙවිකරණ උපක්‍රමයක්ද කල-එළි බැස්සේය. ඒ පාඨකයන් ලු‍හුබැඳ ගොස් පත්තර ඇඟේ ගසා විකුණන පත්තර කොල්ලන් හඳුන්වාදීමය. 

මේ පෙරළියත් සමගම උණු කැවුම් මෙන් අලෙවි වෙන, මිනිස්සු ඉල්ලන දේ ලබාදෙන, අදත් අපි ලොකුවට කතා කරන අතේ රෝල් කලාවද බිහි විය. අමෙරිකාවට සංක්‍රමණය වුණ අයට මෙන්ම පහළ මධ්‍යම පන්තියට අයිති ලොකු උගත්කමක් නැති පිරිසටද, ඒ වෙනවිට වෙළෙඳ​ෙපාළේ    තිබුණ  සම්භාව්‍ය බරසාර ලිපිවලට මුල් තැන දුන් මහප්‍රාණ පත්තර කියවා හෙම්බත්ව සිටි උදවියටද තමන් අතේ ඉතිරි වෙන සතය දී රටේ තොටේ ඕපාදූප එසැණින් දැනගැනීමට උදව්වෙන පත්තර කලාවක් බිහි විය. 

ඉතාමත් සරල භාෂාවක් යොදාගෙන මිනිස්සුන්ගේ කුතුහලය උපරිමයට අවුස්සන අන්දමේ වාර්තා රසකර ඉදිරිපත් කරන මේ පත්තර පුදුම අලෙවියක් පෙන්නුම් කළා පමණක් නොව අබිං කෑවා මෙන් මිනිස්සුන්ට නැතිවම බැරි එදිනෙදා මිලදී ගැනීමක් බවටත් පත් විය. 

ටිකෙන් ටික පත්තර අලෙවිය ඉහළ දමා ගන්නා මනඃකල්පිත ෆැන්ටසිමය වාර්තා එක්කරන්නටද බෙන්ජමින් ඩේ, කටයුතු කළේය. 

ඒ අන්දමට එතෙක් මෙතෙක් ලෝකයේ පත්තරයක ලොකුම ගජබින්නය පළවූයේ මේ පත්තරයේය. ඒ  1835  අගෝස්තු මාසයේ  25 වැනිදාකය. “මහා චන්ද්‍ර ප්‍රෝඩාව” හැටියට අදටත් ප්‍රසිද්ධව ඇති ඒ හා සමාන කෙප්පයක් පළ කරන්නට තවමත් හැකි වී නැත.

 

එය අඟහරුවාදා දවසකි. කඩිගුලක් ඇවිස්සුණාක් බඳුව පොරකකා දහඅතේ දුවනා නිව්‌යෝක් නුවර ටොප් හැට් ටයි කෝට් හැඳ පැලඳි නැඩ අමෙරිකානුවන් අතරේ තෙරපි තෙරපී ළඟකදී කලඑළි බැස්ස පුංචි පත්තර කොල්ලෝ පුවත්පතක් ලෙළවමින් කෑ මොර ගෑසූහ . “මෙන්න ලෝකේ ලොකුම විද්‍යාඥයාගේ අලු‍ත්ම හොයාගැනීම බලන්න! ලොකුම දුරදක්නයෙන් දැක්ක අමුතුම දේ බලන්න!! පිස්සු හැදෙන සඳ; විස්මිත කතාව බලන්න!!! ගන්න අලු‍ත්ම “සන්”පත්තරේ! කියවන්න උණු උණු විස්තරේ !!!.” ඔළුව හැරුණු අතේ දුවමින් උන්න බරසාර උදවියත් මේ අඬහැරේ කණ වැටුණාම ඇබින්දක් නැවතී පත්තරයකුත් මිලට ගෙන කිහිල්ලෙ ගන්නාගෙන දුවන්නට පටන් ගත්හ. එදා පත්තරේ කියවපු උදවිය හැමෝම ඊළඟ දවසේ උදෙන්ම බලා උන්නේ පත්තර කොල්ලෝ කලඑළි බහිනකම්ය.

මුල්ම දවසේ අනුන්ගෙ පත්තර කියවා කුලප්පු වුණු උදවියත් දෙවෙනි දවසේ තමන්ටම කියා පත්තරයක් ගැනීමට පොරකෑහ. මේ නිසා පත්තර යන්ත්‍රයට දවස පුරාම නිවාඩුවක් නොලැබිණ. එදා 1835 අවුරුද්දේ අගෝස්තු 25 අඟහරුවාදා උදෙන්ම සන් පත්තරය අත ඇරිය ගජබින්නය; අන්තිමේදී දවස් හයක් පුරා එක දිගට දිග හැරුණු මහා ගජබින්නාලංකාරයක් වී නතර විය.  ඒ පත්තර හයෙන් බෙජමින් ඩේ සිතූ විදියටම අලෙවියේ මහා පෙරළියක් සිදු විය.

අතේ රෝල් කලාව හැටියට අද පත්තර භාෂාවෙන් හැඳින්වෙන අපභ්‍රංස කලාවට මුල් අඩිතාලම දැම්මේ එදා බෙන්ජමින් ඩේ,  ලියූ මේ  ආන්දෝලනාත්මක අමුතු කතාවය.

එම ලොකුම පත්තර බොරුව පළකරන කාලයේ, එනම් 1835 අගෝස්තු වනවිට පත්තරේ අලෙවිය තිබුණේ ඉහළ මට්ටමකය. ඒ වෙනවිට පත්තරයට වෙළෙඳ දැන්වීම්වලින්ද අඩුවක් නොවීය. බෙන්ජමින් ඒ වෙනවිට වැඩි පිටපත් ගාණක් ඉක්මනින් ගහන්න පුළුවන් අලු‍ත් පරම්පරාවට අයත් වාෂ්පයෙන් දුවන යන්ත්‍රයක අයිතිකාරයෙකු වී සිටියේය. එමෙන්ම පත්තරය අත ළඟටම ගෙනැල්ලා දෙන පත්තර  කොලු‍ගැටව් නමෝ විත්තියෙන්ම වැඩට බස්සලා තිබුණෙත් ඔහු විසින්මය. එයද බෙජමින්ගේ අලු‍ත් වැඩකි. ඔහුට ඕනෑවී තිබුණේ ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වන පත්තරය ගහන්නටය. 

එවැනි පසුබිමක උදාවූ අගෝස්තු 21වැනිදා  සිකුරාදා  ඔහුගේ පත්තරයේ  මුල්පිටුවේ තනි තීරුවෙහි දැන්වීමක් පළවිය.

“එඩින්බර්ග් නගරයේ සුප්‍රකට ප්‍රකාශනයක් වෙතින් අපට මේ දැන් දැනගන්නට ලැබුණ අයුරු මේ වෙනවිට සුබපැතුම් තුඩුවේ සිටින සර් ජෝන් හර්ෂෙල් මුළුමනින්ම තමන්ගේ වූ නව මූලධර්මයක් අනුව තැනූ යෝධ දුරදක්නයක් මගින් අතිශය විස්මයජනක විස්තර ඇතුළත් තාරකා විද්‍යාත්මක සොයාගැනීමක් සිදුකර තිබේ. වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න!” 

ඔන්න ඔය ආකාරයට කුතුහලය අවුස්සා කුලප්පු කරන ලද පාඨක පිරිස වෙත ඊළඟ සතියේ අඟහරුවාදා ඉදිරිපත් කරන්නේ අර කිව්ව ප්‍රකාශනයෙන් උපුටාගත් සජිවී රටාවකින් ඉදිරිපත් කළ කතාවකි. මහා විද්‍යාඥ හර්ෂෙල්ගේ සහායකයෙකු ලෙස හඳුන්වාගත් ආචාර්ය ඇන්ඩෲ ග්‍රාන්ට් නමැත්තා ඉදිරිපත් කළ ලියැවිල්ලක් හැටියට මේ කතාපෙළ ඉදිරිපත් කෙරිණ.

ඔහු එඩින්බර්ග් සයන්ස් ජර්නල් ප්‍රකාශනයට ඉදිරිපත් කළ සවිස්තරාත්මක ලිපියක උපුටන හැටියට මේ කතාව දින 6ක් තිස්සේ පළකෙරුණේ පත්තරයේ මුල්පිටුවේ ඉහළින්මය. මේ සම්බන්ධ අපූරු අරුම පුදුම චිත්‍ර සටහන් ඇතුළු පිටුවක දකින්නට හැකි විය.

මුල් දින පත්තරයේ ලිපිය ඇරඹෙන්නේ හර්ෂෙල් ගැන පම්පෝරියකිනි. හර්ෂෙල් කළ විවිධ සොයාගැනීම් ගැන කියා ඇරඹෙන ලිපියෙන් කියන්නේ ඔහු ළඟදීම සිදුකළ ඇඟකිලිපොළා යන සොයාගැනීම තමන් උණු උණුවේම “සන්” පාඨකයන්ට ඉදිරිපත් කරන බවය. මහා තාරකා විද්‍යාඥයා ඒ වනවිට සැබෑවටම සිටියේ අප්‍රිකාවේ සුබපැතුම් තුඩුව බලා ගොස් ඒ ප්‍රදේශයේ අහස් සිතියමක් හදමිනි. 

මේ ලිපියෙන් හර්ෂෙල් සුබපැතුම් තුඩුව ආශ්‍රිතව තමන්ගේම ක්‍රමයකට අනුව අතිප්‍රබල අඩි 24ක විෂ්කම්භයක් ඇති කාචයක් සහිත දුරේක්ෂයක් රහසේම තනා ඇති බවත් මෙයින් හඳ දෙස බැලූවිට සඳ මිදුලටම ආ තරම් පැහැදිලිව දකින්නට සමත් වූ බවත් ඇදහිය නොහැකි තරම් විස්මිත දේ එයින් වාර්තා වුණ බවත් කියයි.

මේ කාචයට අමතරව සඳ මත සියලු‍ දේ හොඳින්ම ආලෝකවත් කර ළඟටම ගොස් බලන තරම් පැහැදිලි ස්වාභාවික දර්ශන ලෙස කැන්වස් තිරයක් මතට ගෙනැත් පෙන්වන අලු‍ත්ම කාචයක් ගැනත් ලියුම්කරු කියයි. ඊළඟට මහපොළොවේ පාෂාණවලට සමාන බේසෝල්ට් පාෂාණ දුටු හැටිත් විස්තර කරයි. 

දෙවෙනි දවසේ කතාව තවත් ආලවට්ටම් රැසක් සහිතය. සඳ පාෂාණ අතර අඳුරු රතු පැහැයෙන් යුතු මල්ගොමු දක්නට හර්ෂෙල් ඇතුළු තම පිරිසට හැකි වූ බව විස්තර කරන ග්‍රාන්ට් එදාම සඳ මත අමුතු ජීවින් දුටු අපූරුව කියයි. බයිසන් ගවයන්ට සමාන දුඹුරු පැහැ සතුන් රංචු අතර නිල් රතු පැහැ සිරුරැති එළු පට්ටිද බොරලු පොළොවේ දැඩි වේගයෙන් ඇදී ගිය ගෝලාකාර උභය ජීවියෙකු ගැනද කියයි. 

තුන්වැනිදා කතාවෙහි තවත් සිද්ධි බහුලය. එහිදී ආචාර්ය ග්‍රාන්ට් ගස්වැල් විශේෂ 38ක ලැයිස්තුවක් ඉදිරිපත්කරයි. ඒඅතර හදිසියේ දුටු අරුමයක් හැටියට තමන්ගේ ළමා ළපටි කර ගසාගෙන දෙපයින් ඇවිද යන බීවර් සතුන්  පිරිසක් ගැන කියයි. මේ අය අපේ ගෝත්‍රිකයන්ට වඩා පෙනුමක් තියන නිවාස තනා ඇති බවත් සමහර නිවාසවලින් දුම් පිටවෙන අයුරු දුටු හැටිත් විස්තර කරන්නේ සඳ මත උසස් ජීවි ප්‍රජාවක් ඇති බව සනාථ කරන්නටය. 

මේ අමුතු ලියවිලි පෙළේ හතරවැන්න ඉහළම ජන කැලඹීම ඇති කළ ලිපියයි. කතාවේ උත්කර්ෂවත්ම අවස්ථාවයි. දුරදක්නයට අලු‍ත් විශාලන කාචයක් මේ දවසේ හර්ෂෙල් යොදාගත් බව එයින් කියයි. ඒ අනුව රතු පැහැති කඳු වළල්ලක් පර්‌යේෂකයන්ට හමුවෙයි. හර්ෂෙල් මෙතැන නම් කර ඇත්තේ “රූබි කොලොසියම” හැටියටය. මෙය රතු කඳු නිම්නයෙහි මිනිස් රූපාකාර පිරිසකගේ ජනපදයකි. ඔවුන්ට ඇත්තේ තඹ පැහැති දිලිසෙන කෙටි කොණ්ඩයකි. මුළු සිරුරම එබඳු ලෝමවලින් වැසී ගොසිනි. වඩාත්ම අපූරුව ඔවුන් පිටමතින් විනිවිද පෙනෙන වවුල් පියාපත් යුවලක් දැරීමය. කහ පැහැති ඔවුන්ගේ මුහුණු වඩාත් සමාන වූයේ ඔරං ඔටැං වඳුරන්ටය. මේ අය පියාඹමින් දියනාමින් ඇවිද යමින් කල්ලි ගැසී කතාබහේ යෙදෙමින් සිටියෝය. නමුත් ඔවුහු සතුන් මෙන් ප්‍රසිද්ධියේම රැලේ ද වැටුණෝය. මහා විද්‍යාඥ හර්ෂෙල් ඔවුන්ට විද්‍යාත්මක නමක්ද දී තිබුණි. ඒ, වෙස්පර්ටිලියෝ - හෝමෝ (වවුල් ආකාර මිනිසා) හැටියටය.

පස්වැනි දිගහැරුම තවත් අපූරු සොයාගැනීමක් ගැනය. නිල් මැණික්වලින් තැනූ දෙවොලක් හමුවූ අයුරුය. එහි වහලය තඹ නිමාවකි. ගිනිදැල් ජාලාවක් හැඩැති නිර්මාණයක් මුදුනෙන් විහිදී අඳුරු තඹ පැහැති ගෝලයක් ගිලගන්නා අයුරින් සකසා තිබේ.

හයවෙනි දින තවත් මහා එළිදරව්වකි. එදා වෙස්පර්ටිලියෝ සඳ මිනිසුන්ගේ වඩාත් දියුණු පිරිසක් වෙත දුරදක්නය ඉලක්ක ගතවෙයි. ඔවුහු වඩාත් උසමහතින් යුතු පැහැපත් සිරුරක් දරන්නෝය. නිල් මැණික් දේව මන්දිරය ආසන්නයේ වාසය කරන්නෝය. ආගමික පොත්වල ඉන්නා දේව දූතයන්ට සමානය. ඊළඟට එන්නේ ශෝකාන්තයකි. සඳ ජනාවාසය නරඹා විවේකයක් ගන්නට සිතනා හර්ෂෙල් ඇතුළු පිරිස දුරදක්නය එසේම තිබියදී ටික දිනකට ඉවත්ව යති. නැවත එද්දී එතැන ගින්නට හසුවෙලාය. දුරදක්නයේ කාච සීරුමාරු වීමෙන් හිරු ආලෝකය ලී රාමු මතට නාභි ගතවී ගින්න හටගෙන තිබේ. ඉතින් මේ සඳ කතාවේ ඉතිරි විස්තර දැනගන්නට කැමති අයට ශ්‍රීමත් හර්ෂෙල් තමන්ගේ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන තුරු බලා සිටින්නට සිදුවෙයි!

ඉතා සීරුවට පෙළ ගස්වා ඉදිරිපත් කළ මේ හඳ ජනාවාස බින්නය නොසිතූ විරූ ආන්දෝලනයක් ඇති කළේය. පුවත්පත හතරවෙනි ලිපියත් සමඟ පළකළේ සිය අලෙවිය 8000 සිට එක රැයින් 19,360ක් දක්වා තුන් ගුණයකින් ඉහළ ගිය බවයි. එය නොකඩවාම ඉහළ නැංගේය. ඊළඟ පත්‍රය එනතුරු සමහරු මුද්‍රණාලය අසල පෝලිම්වල සිටියහ. ලොකු වැදගත් විද්‍යාඥයෝ පවා පත්තර කන්තෝරුවට ආවේ කතාවේ තව නව විස්තර ගන්නටය. තවත් අය සුබපැතුම් තුඩුව කරා නැව් නැංගේ හර්ෂෙල් හමුවී ඇත්ත නැත්ත දැනගන්නටය.

ශ්‍රීමත්  හර්ෂෙල් මේ කතාව මහා ගජබින්නයක් බව ප්‍රසිද්ධියේම කීවේය. වෙනෙකක් තබා ආචාර්ය ග්‍රාන්ට් කෙනෙක් ජීවිතයටම මුණගැසී නැති බව කීවේය. මේ ප්‍රකාශ මෙසේ පළවෙද්දීම පවා අනෙක් පත්තර සඟරාද අමුතු සඳ කතාව පළකරන්නට විය. ඒ අතර මෙයට විරෝධය පෑ පිරිස “මහා සඳ ප්‍රෝඩාව” හැටියට මෙය හඳුන්වා දෙමින් පත්‍රයේ පතුරු අරින්නට ගත්හ. ඊළඟට එංගලන්තයෙන් වාර්තා වූයේ මේ කතාව උපුටාගත් බව කී එඩින්බර්ග් සයන්ස් ජර්නලය මුද්‍රණය නවතා මාස ගණනක් ගතව ඇති බවය. 

මේ සියල්ල මැද පුදුමයක් ලෙස පුවත්පතේ අලෙවියට හානියක් වූයේ නැත. අන්තිමේ බෙන්ජමින් ඩේ මේ කතාව පොත් පිංචක ගසා  සිලිමකට අලෙවි කරන්නට ද දැම්මේය. මාසයක් තුළ පිටපත් 60000ක් එයද අලෙවි විය. දැන් මේ පොත් පිංචවල් ඇත්තේ පෞරාණික ද්‍රව්‍ය එකතු කරන්නන් අතය. තවම ඉතිරිව ඇත්තේ පිටපත් 16කි. එයින් එකක මිල ඩොලර් 2000කි. පුවත්පත මේ කතාව අතේ රෝලක් බව පිළිගත්තේ බොහෝ කලකට පසුවය. ආචාර්ය ග්‍රාන්ට් නමැත්තෙකු නොසිටියේ නම් මේ කතාව පුවත් පතට ලිව්වේ කවුද? ඒ තවත් විස්මිත අතුරු කතාවකි. ඒ ගැන පසුව කියවමු!

 

සුගත් පී. කුලතුංග ආරච්චි