පූර්ණ යුද්ධයක්ද සැත්කම් මහරක්ද


මාතෘකාව - ඉන්දියාව හා පාකිස්ථානය, පොදු වචන කාශ්මීරය හා යුද්ධය. මේ දකුණු ආසියාවේ නවතම යුද බිය හා බැදුණු වාතාවරණයයි. මේ ලිපිය ලියන මොහොත වෙනවිට කිසිදු යුදමය ක්‍රියාවක් දෙරට අතර සිදුව නැතත්, යුද්ධයක භීතිකාව ඉතා තදින් දැනෙමින් පවතී. එබැවින් ලිපිය පළවෙන විට යම්කිසිවක් සිදුව තිබීමේ සම්භාවිතාව බැහැර කළ නොහැක්කකි. ඉන්දියාව වසර 6 කින් පසු ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව තිබේ. ඉන්දීය ජාතිකයන් 26 ‍දෙනෙකු හා එක් නේපාල ජාතිකයෙකු ඝාතනයට ලක්ව තිබේ. ප්‍රහාරය ඉතා සැලසුම් සගහත බව පැහැදිළිය. ත්‍රස්තවාදීන් තෝරාබේරා ඝාතනය කර ඇත්තේ හින්දු භක්තික ඉන්දියානුවන් පිරිසකි. 

කාශ්මීරයේ සංචාරයක යෙදුණු මේ සාමාන්‍ය වැසියන් ඔවුන්ගේ බිරින්දැන් දරු මුණුබුරන් හා ඥාතින් ඉදිරිපිටදී, නම් අසා, හින්දු ආගමිකත්වය තහවුරු කරගෙන, අනතුරුව හිස කුඩුවෙන පරිදි සමීප දුරක සිට වෙඩි තැබීමෙන් මේ අමානුෂික ක්‍රියාව එනම් සමූහ මිනිස් ඝාතනය සිදුකර තිබේ. ඉන්දියාව කියන පරිදි, මෙය අසල්වැසි පාකිස්ථානයේ අනුග්‍රහයෙන් සිදුවූවකි. එය පිළිනොගන්නා පාකිස්ථානය, ඉන්දියාවෙන් සාක්ෂි හා අන්තර්ජාතික පරික්ෂණයක් ඉල්ලයි. ඉන්දියාව පවසන්නේ 2019 පුල්වාමා ප්‍රහාරය අවස්ථාවේ මෙන් කල් මරණ පරික්ෂණ උගුලට තමන් හසු නොවන බවයි.  

ඉන්දු ස්විට්සර්ලන්තයේ ලේ වැගිරීම

කාශ්මීරය ඉන්දියාවේ වඩාත් බිහිසුණු තත්ත්වයක් පවතින ප්‍රාන්තය වුවද, එහි ස්වභාව සෞන්දර්යය උතුරු යුරෝපිය රටක සුන්දරත්වය සිහි ගන්වයි. 1950 - 80 කාල සීමාවේ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරුණු චිත්‍රපට රැසක දර්ශණ තලය වූයේ කාශ්මීරයයි. එහි සුන්දරත්වය කාශ්මීර සාරි වලටත් වඩා ප්‍රසිද්ධියක් උසුලයි. 1989 සිට ඇරඹි බෙදුම්වාදී යුද්ධය නොවන්නේ නම්, අද කාශ්මීරය යනු ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ආකර්ෂණය වෙනු ඇත. ධාල් විලේ බෝට්ටු සවාරිය, ගුල්මාග් ප්‍රදේශයේ හිම ක්‍රීඩා,  පෙහෙල්ගම් හි සුන්දර පරිසරය ආදී අංග සංචාරකයන්ගේ සිත් කාශ්මීර නිම්නය වෙත ඇද බැඳ තබාගැනීමට සමත් වෙයි. එහෙත් කාශ්මීරයේ සුන්දරත්වයට යටින් අපට දක්නට ලැබෙන්නේ බිහිසුණු ත්‍රස්තවාදී තර්ජනයයි.  කාශ්මීරය ඉන්දියාවටද පකිස්ථානයටද යන ප්‍රශ්නය 1947 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබු දා සිටම මේ රටවල් දෙක දවාලයි. දෙරට අතර යුද්ධ 4න් 3ක්ම කාශ්මීරය මුල්කරගනිමිනි. 1989 සිට ආරම්භ වූ බෙදුම්වාදී යුද්ධය, කාශ්මීරය ලේ වැගිරීම් කලාපයක් බවට පරිවර්තනය කළේ 70000-80000 අතර ජිවිත සංඛ්‍යාවක් විනාශ කරමිනි. පෙහෙල්ගම් ඝාතනය එම රැල්ලේ අලු‍ත්ම පරිච්ඡේදයයි. කෙසේ වෙතත්, කාශ්මීරයේ වත්මන් ප්‍රචණ්ඩකාරීත්වයට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇත්තේ දැනට  ක්‍රියාත්මක ත්‍රස්තවාදි කල්ලි 6 අතරින් ‘‘ලෂ්කාර් ඊ තයිබා’’ නම් සන්නද්ධ කල්ලියටයි. 2008 වසරේ ඉන්දියාවේ වෙළෙඳ කේන්ද්‍රය වෙන මුම්බායි නගරයට පහර දී සාමාන්‍ය වැසියන් හා ඉන්දීය පොලිස් භටයන් 164ක් ඝාතනය කොට 300කට අධික පිරිසකට තුවාල සිදුකොට තාජ් හෝටලය ඇතුළු නගරයේ වැදගත් ස්ථාන වලට දැඩි හානි කොට ඉන්දියාව බරපතල ආරක්ෂක තර්ජනයකට ගොදුරු කළේ, මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ  ලෂ්කාර් ඊ තයිබා කල්ලියේ තුවක්කුකරුවන් 10 දෙනෙකි. 

ඉන්දියාවේ ආර්ථිකය හා ජන සමාජය ඉලක්ක කරගැනීම ලෂ්කාර් කල්ලියේ උපායකි. ඉකුත් අප්‍රේල් 22 දා සිදුවු පෙහෙල්ගම් ප්‍රහාරය ලෂ්කාර් කල්ලියේ ක්‍රියාවක ලක්ෂණ දරන බව ඉන්දියාවේ මතයයි. 2008 මුම්බායි ප්‍රහාරයෙන් මූලික වශයෙන් ඉලක්ක කරගැණුනේ ඉන්දියාවේ සංචාරක කර්මාන්තයයි. 2019 පාස්කු ප්‍රහාරයේදි මෙන්, මුම්බායි ප්‍රහාරයේදීද විදෙස් සංචාරකයන් ඝාතනයට ත්‍රස්තවාදින්ගේ මූලික අවධානයක් යොමුව තිබිණ. ඉකුත්දා සිදුවූ පෙහෙල්ගම් ප්‍රහාරයද ඍජු ආර්ථික ප්‍රහාරයකි. ඝාතනයට ලක්වූ සියළු දෙනා කාශ්මිරයට පැමිණි ඉන්දීය දේශීය සංචාරකයෝ වූහ. ඉතා සූක්ෂම ලෙස සැලසුම් කෙරුණු, මනා ලෙස මිනිස් ඝාතන පුහුණුව ලැබූ, විශේෂ බළකා ස්වරූපයේ යුද උපකරණ, ආහාර හා ජලය ඇතුළු සැපයුම් හා අනෙකුත් පහසුකම්වලින් සන්නද්ධ වූ පස් දෙනෙක් පෙහෙල්ගම් ප්‍රහාරයට එක්වූහ. ඉන් දෙදෙනෙකු එනම් හෂේමි මුසා හා අලි භායි නැමැත්තන්  පකිස්තාන ජාතිකයන් බව ඉන්දිය රජය පවසයි. හඳුනාගනු ලැබු ඉතිරි පුද්ගලයා කාශ්මීර වැසියෙකු වන 27 හැවිරිදි ෂාහිද් අහමද් කුතායි බව සඳහන් වෙයි. 

මේ තහනම වසරක් පුරා පැවතුනහොත් ඉන්දිය ගුවන්සේවා වලට සිදුවෙන අලාභය ඩොලර් මිලියන 600ක් බවට ගණන් බලා ඇත. 

මේ වනවිට ඉන්දීය හමුදාව, ඊශ්‍රායල් හමුදාව පලස්තීන සටන්කාමින් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අනුව යමින්, කුතායිගේ නිවස කඩාබිද දමා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මේ ගැන කුතායිගේ පියා ඉන්දීය බලධාරින්ට පවසා ඇත්තේ, තමාගේ මුළු පවුලටම දඩුවම් නොකර ත්‍රස්තවාදීන්ට එක්වූ තම පුතා සොයා ඔහුට දඩුවම් ලබාදෙන ලෙසටයි. කෙසේ වෙතත්, සන්නද්ධ කල්ලි සාමාජිකයන්ගේ නිවාස කඩාබිඳ දැමීමේ ක්‍රියා ඉදිරියේදි සිදු නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය තුළින් සන්නද්ධ කල්ලි පාර්ශ්වය අපේක්ෂා කළේ මෙවැනි අවුල් සහගත බවකි. 2019න් පසු කාශ්මීරයේ මහා පරිමාණ ත්‍රස්තවාදී ක්‍රියා වාර්තා නොවිය. එහෙත් 2025 මුල් කාර්තුව තුළ හින්දු පුජකවරුන් ඇතුළු පුද්ගලයන් ඉලක්ක කරගත් ප්‍රහාර ඉහළ ගොස් තිබිණ. එය සංඛ්‍යාත්මකව ඝාතන 65ක් බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ පුද්ගල ඝාතන කාශ්මීරයේ ස්ථාවරභාවයට බාධාවක් එල්ල කළේ නැත. 2019 පුල්වාමා ප්‍රහාරයෙන් පසු ගතවු වසර 6 තුළ කාශ්මීර නිම්නය බොහෝ දුරට මහා පරිමාණ ප්‍රචණ්ඩකාරිත්වයෙන් මිදුණ අතර සමාජය ක්‍රමයෙන් ස්ථාවර වෙන ලකුණු දක්නට ලැබිණ. එහි ප්‍රතිපලයක් වූයේ කාශ්මීර නිම්නයේ සංචාරක කර්මාන්තය වර්ධනය වීමයි. ඉකුත් වසරේ පමණක් කාශ්මීරය පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 3500000 ඉක්මවීය. සමස්ත ප්‍රාන්තයේ ආදායමෙන් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන පංගුව 7% දක්වා ඉහළ ගියේය. සංචාරක කර්මාන්තය හරහා රැකියා අවස්ථා ඉහළ යද්දී කාශ්මීර වැසියන් ඒ වෙත යොමුවීම හා ඔවුන් ලබන ආදායම වැඩිවීම තුළ බෙදුම්වාදී ක්‍රියා සඳහා කාශ්මීර ජන සමාජය තුළ පැවති ඉඩකඩ ක්‍රමයෙන් බැහැර වෙන බවක් පෙන්නුම් කළේය. 

මෙය ත්‍රස්තවාදය හා අන්තවාදයට ඉතා අහිතකර තත්ත්වයකි. අප කවුරුත් දන්නා පරිදි, ත්‍රස්තවාදියාට හෝ අන්තවාදියාට පැවැත්ම සඳහා යුද්ධය හා ප්‍රචණ්ඩත්වය අවශ්‍යය. ඉන්දියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හඳුන්වන පෙහෙල්ගම් ප්‍රදේශයට දැන් යළි ප්‍රචණ්ඩත්වය ළඟාවී තිබේ. ඉන්දීය හමුදාව ප්‍රති ආරක්ෂක ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම තුළ පීඩනයට ලක්වෙන්නේ කාශ්මීර වැසියන්ය. එක් පැත්තකින් ඔවුන් සංචාරක කර්මාන්තයෙන් ඉපැයු ආදායමට කණ කොකා හඬා තිබේ. එමෙන්ම ජීවිත වලින් බැහැර වෙමින් තිබු ප්‍රචණ්ඩත්වය නැවතත් ඔවුන්ගේ ජීවිත වෙත අවතීර්ණ වීමේ අවදානම දැන් පහළ වී ඇත. එය එක් අතෙකින් ත්‍රස්තවාදින්ගේ අරමුණ ඉටුවීමකි. අනෙක් අතට, ඉන්දියාව කාශ්මීරය තුළ වර්ධනය කරගනිමින් පැවති ප්‍රතිරූපය අභියෝගයට ලක්වීමකි. කාශ්මීරයේ විශේෂ සීමිත ස්වයංපාලන තත්ත්වය 2019 වසරේ ඉන්දීය රජය මගින් ඉවත් කරනු ලැබ එය මධ්‍යම රජය යටතේ පාලනය වෙන බළ ප්‍රදේශයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව විරෝධයක් නිර්මාණය වුවත් එය පුළුල් ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය නොවීය. 

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම

පෙහෙල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේදී ඉන්දීය රජය මෙවර අනුගමනය කළේ බහුවිධ පිළිවෙතකි. පළමුව රාජ්‍ය තාන්ත්‍රික විරෝධය දැක්වීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම හා ශක්තිමත් කිරීම දක්නට ලැබිණ. ඉන්දියාවේ පිහිටි පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ආරක්ෂක නියෝජිතයන් වහා පිටමං කිරීමට තීන්දු කෙරින. පකිස්ථානයද එකට එක කරමින්, ඉස්ලාමාබාද්හි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කළ ආරක්ෂක නියෝජිතයන් පිටමං කළේය. අනතුරුව ඉන්දියාව එරට සිටි සියළු පකිස්තාන ජාතිකයන් පිටුවහල් කිරීමට තීන්දු කළේය. ඔවුන් සතුව තිබු වලංගු වීසා වහා අවලංගු කෙරිණ. පකිස්තාන ජාතිකයන්ට වීසා ලබාදීම අත්හිටුවනු ලැබීය. ඉන්දියාවේ සිටි පකිස්ථාන ජාතිකයන්ට රටින් පිටමං වීම සදහා දී තිබු අවසන් කාලසීමාව ඉකුත් බ්‍රහස්පතින්දායින් අවසන් විය. එහෙත් දේශසීමා හා ගුවන්තීර වසා දැමීම නිසා පකිස්තාන ජාතිකයන් පිරිසක් තවමත් ඉන්දියාවේ කොටුවී සිටින බව වාර්තා වෙයි. ඉන්දිය ගුවන්යානා සඟහා පකිස්තාන ගුවන් තීරයත් පකිස්තාන ගුවන්යානා සඳහා ඉන්දීය ගුවන් තීරයත් වසා දමා ඇත. මේ නිසා ඉන්දියාව බටහිර දෙසට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේදී  දුෂ්කරතා වලට මුහුණ පාන අතර පකිස්තානය නැගෙනහිර දෙසට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිමේදී දුෂ්කරතාවලට මුහුණ පායි. මේ තහනම වසරක් පුරා පැවතුනහොත් ඉන්දිය ගුවන්සේවා වලට සිදුවෙන අලාභය ඩොලර් මිලියන 600ක් බවට ගණන් බලා ඇත. මේ අතර වෙළෙඳ කටයුතු පවා සීමා කිරිමට පියවර ගෙන තිබේ. ඒ යුදමය ක්‍රියාමාර්ගයකින් මෙපිට ගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග රැසකි.  එහෙත් වඩාත්ම මතබේදාත්මක පියවර 1960 ඉන්දු- පකිස්තාන ජලය බෙදාගැනිමේ ගිවිසුම ඉන්දියාව විසින් තාවකාලිකව අත්හිටුවීමයි. මෙය පකිස්ථානය දකින්නේ තම රටට එරෙහිව ඉන්දියාව යුද ප්‍රකාශ කිරිමක් ලෙසයි.

කාශ්මීරයේ “මාවිල් ආරුව“?

කාශ්මීරය, ඉන්දියාවට පකිස්තානයට හා චීනයට වැදගත් ජල පෝෂක ​ ප්‍රදේශයකි. පකිස්ථානය හරහා ගලායන ඉන්දුස්, ජේලු‍ම් හා චෙනාබ් ගංගා වල ජල මුලාශ්‍ර සහ ඉහළ ගංගාධාරය පිහිටා ඇත්තේ ඉන්දු කාශ්මීරයේය. එම ගංගා තුන අතරින් ප්‍රධාන ගංගාව ඉන්දුස් ගංගාවේ ජලය බෙදා ගැනීම සඳහා ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් 1960 වසරේදී ‘‘ඉන්දුස් ජල ගිවිසුම’’ නමින් ගිවිසුමක් අත්සත් තැබුවේ මතබේදයට තුඩුදී ඇති ජලය බෙදා ගැනීමටයි. පෙහෙල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව කළේ ඉන්දුස් ගංගාවේ ජලය රටවල් දෙක අතර සාධාරණව බෙදාගැනීම අත්හිටුවීමයි. ගිවිසුම අත්හිටුවිමත් සමග ඉන්දියාව  ඉහළ ගංගාධාරයේ වේලිවල වාන් දොරටු වසා දැමීමෙන් ජලය සීමා කීරිමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් ඉන්දියාවට නවතා ලිය හැක්කේ සීමිත ජල ප්‍රමාණයක් බව කාශ්මිරයේ දත්ත අනුව පෙනී යයි. ඉන්දියා ටුඩේ පුවත් වල දැක්වෙන්නේ, චෙනාබ් හෝ ඉන්දුස් ගංගා වල ජලය  අඩුවී නැති බවයි. එහෙත් ඉන්දියාව ගංගා ඉහළධාරයේ ජල පරිමා ආශ්‍රිත තොරතුරු පකිස්ථානය සමග බෙදා හදා ගැනීම අත්හිටුවිමෙන් පසු පකිස්තානයට ජල පාලන ක්‍රියාවලිය එක්තරා ආකාරයක අභියෝගයක් වී ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. එහෙත් ඉන්දියාව මේ ජල සීමාව දිගටම පවත්වාගෙන යන්නේ නම් ග්‍රීෂ්ම ඍතුවේදි පකිස්තාන ගොවීන්ට ජල සැපයුම අඩුවිමකට ඉඩ ඇතැයි වාර්තා වේ.  පකිස්තානය සඳහන් කරන්නේ මෙය ඉන්දියාව විසින් යුද ප්‍රකාශ කිරිමකට සමකළ හැකි බවයි. ඉන්දියාවේ ස්ථාවරය වෙන්නේ සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක්වීම තුළින් තම ජන සමාජයට ඇති වූ කම්පනය පකිස්තානයට දැනීමට ඉඩ සළස්වන බවයි. විශ්ලේෂණාත්මව බැලීමේදී, යුදමය නොවන ක්‍රියාකාරකම් අතරින් පකිස්තානයට වඩාත්ම දැනෙන ප්‍රතික්‍රියාව ඉන්දීය ජල පාලනයයි. එය පකිස්තානයට දැනෙන සංකේතවත් විරෝධයකි. එහෙත් ඉන්දිය රජයේ ප්‍රකාශ අනුව පෙනී යන්නේ දිගු කාලිනව ජලය වසා දමා තැබීමකට තමන් සුදානම් නැති බවයි. මෙය ඉන්දියාවේ විරෝධය පළ කිරීමක් ලෙස පකිස්ථානයට ඒත්තු ගැන්වීමක් මිස දිගුකාළීන පියවරක් නොවන බව ඉන්දිය රජයේ ප්‍රකාශයයි. නොබෝදා කළ විමසුම්වලදී ඉන්දියාව පැහැදිළිව පවසා ඇත්තේ මෙය තාවකාලික අත්හිටුවීමක් බවයි.

පකිස්තාන හමුදා භූමිකාව

පෙහෙල්ගම් ප්‍රහාරය පිටුපස පකිස්ථානය සිටින බවට ඉන්දියාව කරන චෝදනාව පකිස්ථානය විසින් ඍජුව ප්‍රතික්ෂේප කළත් පකිස්ථාන හමුදාවේ භුමිකාව ගැන ඉන්දිය මාධ්‍ය ඉතා බහුළ වශයෙන් ප්‍රශ්න කරයි. පෙහෙල්ගම් ප්‍රහාරයේ වගකීම ටී ආර් එෆ් නමැති අප්‍රසිද්ධ කල්ලියක් විසින් භාරගනු ලැබූ අතර එය ප්‍රධාන ඉන්දීය විරෝධී ලෂ්කාර් කල්ලියේ බළල් අතක් බව ඉන්දියාව පවසයි. ත්‍රස්තවාදින් පණිවුඩ හුවමාරු කරගත් දුරකථන යෙදවුමක් එනම් ඇප් එකක් සොයා ගත් බවත්, ඉන් ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිවු බවත් ඉන්දියාව පවසයි. ඉන්දීය රහස් පරික්ෂකයන් පවසන්නේ, සන්නද්ධ කල්ලිය හා පකිස්තාන ඔත්තුසේවය වන අයි එස් අයි සංවිධානය අතර සමිපතාවක් පවතින බවයි. පකිස්ථානය එය තරයේ ප්‍රතික්ෂේප කරයි. පකිස්තාන හමුදාපති  ජෙනරාල් අසිෆ් මුනීර්, පෙහෙල්ගම් ප්‍රහාරයට පෙරාතුව අප්‍රේල් 16 වෙනිදා කාශ්මීරයේ අයිතිය ගැන අවධාරණය කරමින් සිදු කළ දේශපාලනික ප්‍රකාශය ඉන්දියාව දකින්නේ ප්‍රහාරයේ පෙර නිමිත්තක් ලෙසයි.  මේ නිසා ඉන්දීය පාර්ශ්වය පකිස්තාන හමුදාව දෙසට ඇඟිල්ල දිගු කිරීමක් දක්නට ලැබේ. පකිස්තාන හමුදාව හා එරට දේශපාලනය අතර ඉතා සමීප සබැඳියාවක් පවතින බව අන්තර්ජාතික සබඳතා ක්ෂේත්‍රෙය් පිළිගත් කරුණකි. කෙසේ වෙතත් පකිස්ථානය මෙම සැකයද ප්‍රතික්ෂේප කරයි.

කාශ්මීරය අත්හැරිමට ඉන්දියාව හෝ පකිස්තානය සුදානම් නැත. මේ අවුල දිගහැරෙන්නේ කාශ්මිරය තමන් සතු යැයි දෙරට තුළම පවතින ඉතා දැඩි ආකල්පය නිසාය.

යුද්ධයද සාමයද?

කාශ්මීරය අත්හැරිමට ඉන්දියාව හෝ පකිස්තානය සුදානම් නැත. මේ අවුල දිගහැරෙන්නේ කාශ්මිරය තමන් සතු යැයි දෙරට තුළම පවතින ඉතා දැඩි ආකල්පය නිසාය. කෙසේ වෙතත්, කාශ්මිරය ඉන්දියාවට පවරා දීමට නිදහස ලැබු 1947 යුගයේ කාශ්මිරය පාළනය කළ මහාරාජා හරි සිං ගත් තීරණය අදටත් පකිස්තානයේ දැඩි විරෝධයට පාත්‍ර වූවකි. තම ජනතාවට සිදුවු හානිය වෙනුවෙන් යමක් කළ යුතු බව ඉන්දිය රජයේ හැගිමයි. එය මෙවර නම් කලින් සඳහන් කළ පරිදි, රාජ්‍ය තාන්ත්‍රික හා හමුදාමය ක්‍රියාමාර්ග දෙක කෙරෙහිම යොමුවීම ඉන්දියාවේ ක්‍රමෝපායයයි. ඉන්දියාව පවසන පරිදි, දැන් රාජ්‍ය තාන්ත්‍රිය ක්‍රියාමාර්ගය ඉක්ම ගොස් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීමේ හෝරාව අවතීර්ණ වී ඇති බවයි. ඒ අනුව ඉන්දියාව මේ ප්‍රහාරය සිදුකළ අය සහ ඊට වගකිව යුත්තන් දඩයම් කිරීමට පසුබට නොවන බව අවධාරණය කරයි. එම ප්‍රකාශ තුළ ගැබ්වෙන්නේ යුදමය පිළිතුරකට ඉන්දියාව සුදානම් බවයි. එහෙත් මොදි රජය දිගුකාලින යුද්ධයක් සඳහා යොමු නොවන බවක්ද එම ප්‍රකාශය තුළ ගැබ්ව තිබේ. ඉන්දියාව නිතරම පවසන්නේ තමන් කිසි විටෙකත් පළමුවෙන් යුද්ධයක් අරඹා නැති බවයි. එහෙත් ප්‍රශ්නය වෙන්නේ, පකිස්ථානය කොයි ආකාරයකින් ඉන්දියාවට ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්නයි.  පකිස්ථානයද වර්තමානයේ පවතින සාධක අනුව දිගුකාලීන යුද්ධයකට සූදානම් බවක් නොපෙනේ. මූලික වශයෙන්ම පකිස්ථානයේ ආර්ථිකය එතරම් සාධනීය මට්ටමක නොපවතින අතර ඔවුන්ද ශ්‍රී ලංකාව මෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබමින් තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ වැඩපිළිවෙළක යෙදී සිටී. එවැනි වාතාවරණයක් තුළ ආර්ථිකය නිසි පරිදි පවත්වා ගැනීම හා මහා පරිමාණ යුද්ධයකට යොමු වීම එකිනෙක හා සමපාත නොවන තත්ත්වයන් දෙකකි. අනෙක් කරුණ අන්තර්ජාතික බලපෑමයි. ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූයේ ඉන්දියාවට නිසා ඉන්දියාව දෙසට යොමුවෙන අන්තර්ජාතික අනුකම්පාව හා සහයෝගය වැඩි බරක් දරයි. එහෙත් පාකිස්තානය රාජ්‍ය තාන්ත්‍රිකව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාව සමග මේ ප්‍රශ්නයේදී එක පෙළට හිටගැනීමයි. පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සිදධියේදි ඇමෙරිකාවේ පුර්ණ සහාය ඉන්දියාවට හිමිවෙන බව අැමෙරිකානු ආරක්ෂක ලේකම් පිටර් හෙග්සෙත් ඉන්දීය රජයට සහතිකයක් දී තිබේ. කලින් අරමෙරිකානු උප ජනාධිපති ජේ ඩී වෑන්ස් හා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ගේ ස්ථාවරය වූයේ ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු සෙවීමේ ක්‍රියාවලියට පකිස්තානය ඉන්දියාවට උදවු කළ යුතු බවකි. එහෙත් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය තුළින් වොෂිංටනය නවදිල්ලියට තවත් සමීප කොට තිබේ. මෙය පකිස්ථානය අපේක්ෂා කළ තත්ත්වයක් නොවිය හැක. කාලය ගෙවී යයි.....අවිනිශ්චිත බව ඉන්දිය උප මහද්විපය පුරා විහිදී ඇත..... කුමක් වේද?

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ