සොබාදහම නම් වූ අපූරු නවාතැන තුළ ජීවත්වන මිනිස් වර්ගයා අතර හරි ලස්සන හදවත්වලට උරුමකම් කියන මිනිසුන් අප අතර සිටින බව නොරහසකි. නමුත් ඒ අතළොස්සකි. තව කෙනකුගේ හද ගැහෙන රිද්මය හඳුනන, ජීවිතයක වටිනාකම දන්න, මනුස්ස ජීවිතයකට වගේම පුංචි කුහුඹුවකුට පවා ජීවත් වීමට ඇති අයිතියේ වටිනාකම අවබෝධ කරගත් අරුත්බර මිනිසුන් එක් අතකින් මේ සොබාදහමට ආශීර්වාදයක් බව කිව යුතුය. මේ කියන්නට යන්නේ ද කලාතුරකින් අපට හමුවන එවන් හදවතක ආදරණීය අත්දැකීම් සමුදායක් ගැනය. විෂ සතුන්, සර්පයින්, මිනිස් හිරිහැරවලින් මුදවාගෙන, ඉතා ආරක්ෂාකාරී ලෙස පරිසරයට මුදාහරින ඇය කාවින්දි ජයරත්නයි.
සාමාන්‍යයෙන් කාන්තාවන් අනතුරුදායක අංශවල කටයුතු කරනවා දකින්න ලැබෙන්නේ කලාතුරකිනි. නැතුවම නොවේ. ඒත් සතුන් සම්බන්ධ කටයුතුවලදී අපට දක්නට ලැබෙන්නේ අඩු වශයෙනි. නමුත් කාවින්දි නම් සර්පයින්, විවිධ සතුන් සමග කටයුතු කරන්න පටන් අරන් තිබුණේ ඇයගේ ළමා කාලයේ සිටමය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළිබිච්චිය නම් වූ ගම්මානයේ ජීවත්වන ඇය වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක සේවයේ නියැළෙන සමීක්ෂණ නිලධාරිනියකි.
බොහෝ වෙලාවට ගෙවල්වල සර්පයෙක්, විෂ සතෙක් දකින්න ලැබුණොත් වැඩි දෙනෙක් කරන්නේ ඔවුන්ව මරා දැමීම ය. ඇය මේ ගැන හිතන්න පටන් ගන්නේ ඇයගේ ළමා වියේ දීය. පසුව මේ සතුන් බේරාගැනීමට කුඩා කාලයේදී ම ඇය අදිටන් කර ගත්තාය. එහි ප්‍රතිඵලයක් ලෙස මේවන විට ඉකුත් වසර 15 මුළුල්ලේ ඇය විසින් දිවි බේරා ගෙන මුදාහළ සතුන් ගණන අති විශාලය.
“මම පුංචි කාලෙ දී කවදාවත් සර්පයෙක් දෂ්ට කරපු කෙනෙක් දැකලා හිටියේ නැහැ. ඒ නිසා මට හිතුණා ඇත්තමට ඒ අය මරන්න ඕනි නැහැ කියලා. කොහොමත් සත්තු මරණ එක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා පුංචි කාලෙ ඉඳලම සර්පයෝ මරණ එකට මම තදින්ම විරුද්ධ වුණා. ටිකක් ලොකු වෙද්දි සර්පයින්ගේ හැසිරීම් ගැන හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ එක දවසක් ගෙදරට ආව පොඩි සර්පයෙක්ව කවුරුහරි දැකලා මරන්න කලින් බෝතලයකට අල්ලලා එහා පැත්තේ වත්තට ගිහින් දැම්මා. ඉතින් එදා තේරුණා මම ඒ සත්තු ගැන හිතපු විදිය හරි කියලා. එයාලත් අහිංසක සත්තු. ඒ අත්දැකීම් එක්ක මම හිතුවා මේ අය ගැන කතා කරන්න ඕනේ කියලා. බල්ලන්ට පූසන්ට ඕනතරම් අය ආදරය අනුකම්පාව දක්වනවා. හැබැයි මේ බඩගාගෙන යන සර්පයින්ට මිනිස්සු එහෙම ආදරය අනුකම්පාව දක්වන්නේ නැති තරම්. ඒ නිසාම සර්පයෙක් දැක්ක ගමන් පොල්ලක් අතට ගන්න හිතෙන ආකල්පය වෙනස් කරලා ඔවුන්ව බේරාගන්න එදා හිතුණ හැඟීම ඇතුළේ ඒ අහිංසක ජීවිත බේරාගන්න මම අදත් කැපවෙනවා.”
ඇය කරන සද් ක්‍රියාව ගැන මේ වන විට සමාජයෙන් ද යහපත් ප්‍රතිචාර ලැබෙන බව අපට දැනගන්න ලැබුණා. නමුත් ඇතැම් අවස්ථාවල කාන්තාවන් මෙවැනි කටයුතු හා සම්බන්ධ වීම සමාජය විවිධ ඇසින් දකින අවස්ථා අපට හමුවනවා. ඒ නිසාම ඒ ගැන අපි ඇය ගෙන් විමසන්න අමතක කළේ නැත.
මොකද අපි මොන තරම් යහපත් දේ කළත් සමාජයෙන් එල්ල වෙන අදහස් විවිධාකරය. එහිදී ඇය අප හා කියා සිටියේ ඇතැම් අය මේ ගැන විවේචන කරන්නේ දැනුවත් භාවය නොමැතිකම නිසා යනුවෙනි. නමුත් ඒ විවේචන ගැන පසුතැවීම් නොවන බවත්, ඊට වඩා වැඩියෙන් ඇය අගයන පිරිසක් සිටින නිසා මේ කටයුත්ත සාර්ථකව සිදුකර ගෙන යන බව අපට කියා සිටියාය. මේ ගැන ඇතැම් මිනිසුන් තුළ ඇති විවිධ මත, මිත්‍යා විශ්වාස, වැරදි අදහස්, අනිසි බිය ඉවත් කිරීම ඇයගේ තවත් බලාපොරොත්තුවක් බව ද කියා සිටියාය. බොහෝ අවස්ථාවල මිනිසුන් සර්පයින්ව මරා දමන්නේ මේ අනිසි බිය සහ මිත්‍යා විශ්වාස නිසයි. ඒ අදහස් අලුත් පරම්පරාව අතර ව්‍යාප්ත වීම වළක්වමින් සමාජය දැනුවත් කිරීම ඇගේ තවත් අරමුණකි.
සමහර අවස්ථාවල සර්පයින්ට තිබෙන අනිසි බිය නිසාම මිනිසුන් ඔවුන්ව මරා දැමීම, හිරිහැර කිරීම සහ භූමිතෙල්, පෙට්‍රල් ආදිය දැමීම සිදුකරනවා. ඇය අපට පැවසූයේ භූමිතෙල් පෙට්‍රල් වැනි කිසිම පෙට්‍රෝලියම් ද්‍රාවණයක් සර්පයින්ට කිට්ටු කිරීම කිසිසේත් සිදුනොකළ යුතු ක්‍රියාවක් බවයි.
“ඇතැම් අය සර්පයින් එන නිසා භූමිතෙල් වගේ දේවල් ගේ වටේට ඉසිනවා. නමුත් ඒක ප්‍රතිඵල දායක නැහැ. මෙයාලගේ ඇඟේ ඒවා ගෑ වුණාම ඒක ඒ අයට ලොකු වේදනාවක්. හරියට අපට ඇසිඩ් ගැහුවා වගේ. තුවාල වෙලා, සම ගැලවිලා ඒවට පණුවෝ ඇවිත් ගොඩක් වේදනා විඳලා තමා එයාලා මිය යන්නේ. ඒ නිසා ඒ වගේ ද්‍රාවණයක් කවදාවත් සතුන්ට කිට්ටු කරන්න එපා කියන ඉල්ලීම කරනවා. මේ සතුන්ට තුවාලයක් ලෙව කන්නවත්, වේදනාවට කෑ ගහන්නවත් හැකියාවක් නැහැ. එයාලට අපේ උදවු නැති වුණොත් අනිවාර්යෙන් මියයන අවස්ථාව වැඩියි. මිනිසුන් තුවාල කරපු, භූමිතෙල් වැදුණු සර්පයින්ව තුවාල සුවකර සුදුසු පරිසර කරා නිදහස් කිරීමත් මම කරනවා. මේ වනවිට මේ ක්‍රියාව සඳහාම නිර්මාණය කරගත් මගේ සහායක කණ්ඩායමක් සිටිනවා”
ඒ වගේම කාන්තාවක් විදියට ගැරහුම් පැසසුම් ලබමින් පරිසරය ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කිරීමට ඇයගේ සැමියා ගෙන් ද ඇයට ලැබෙන්නේ අපිරිමිත සහයෝගයක් බව ඇය කියා සිටියාය. මේ ක්ෂේත්රය සම්බන්ධයෙන් හොඳ දැනුමක් අවබෝධයක් ඇති ඇයගේ සැමියා අමිල උදාන ගෙන් ඇයට ලැබෙන්නේ අමිල මෙහෙයකි. සමාජය මොන කතා කිව්වත් ඇයගේ හයිය, දරාගැනීම උත්සහය රැඳී තිබුණේ මේ අවබෝධය නිසා බවද ඇය අපට පැවසූයේ නිහතමානී ආඩම්බරයකිනි.
“සර්පයන් මුදවා ගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවල මම කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ නැහැ. ඒ කියන්නේ අත් ආවරණ, පා ආවරණ, හෝ වෙනත් ආරක්ෂිත ඇඳුමක් ඇඳ පලැඳින්නේ නැහැ. කිසිම දවසක මේ මුදවාගැනීම්, සාත්තු කිරීම් කටයුතු වලදී සතෙකු ගෙන් අනතුරක් සිදුවෙලා නැහැ. මම මේ සතුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඒ ගැන හොඳ අවබෝධයකින්. ඊලඟ තත්ත්පරයේදී එයා මොකද කරන්නේ, එයා දෂ්ට කරන්න ලෑස්ති ද, නැත්නම් පලා යන්න හදනව ද, කලබල වෙලාද? බය වෙලා ද? වැනි කාරණා තේරුම් ගන්න අවබෝධ කර ගන්න මට පුළුවන්නම්. සතෙකු ගෙන් අනතුරක් නොවී මුදවා ගන්න අමාරු නැහැ.”
කාන්තාවක් ලෙස ඇය සොබා දහම වෙනුවෙන් ඉටු කරමින් සිටිනුයේ අපූරු යුතුකමකි. ඒ කාර්ය භාරය තුළ ඈ සතු මිහිරි මතකයන් ද බොහෝමයකි. කලකට ඉහත දී නාරම්මල, බෙම්මුල්ලගෙදර මිනිසුන් එකතුවී මරන්නට සූදානම් වූ වැවක සිටි කිඹුලෙකු ගේ ජීවිතය බේරාගැනීමට පවා ඇයට හැකි වී තිබුණි.
“ගිය මාසේ දවසක, ගෙදරක මිදුලෙ තියෙන පාවිච්චිය අත් හළ ළිඳක වැටුණු වල් ඌරු පැටව් හත් දෙනයි අම්මයි තාත්තයි ඒ කියන්නෙ ඔක්කොම සත්තු නව දෙනෙක්ව මම සහ මගේ කණ්ඩායම එකතු වෙලා ළිඳෙන් ගොඩට අරන් බේරලා යැව්වා. එතනට ඇවිත් හිටපු මිනිස්සු කීප දෙනෙක් මේ සතුන්ව මස් කරන හැටි, උයල කන හැටි, ගැන ගොඩාක් කතා කිව්වා. ඔයාලට බැරි නම් ඔය වැඩේ දාලා යන්න, අපි දන්නවා මේ සත්තු ගොඩ අරන් කරන්න ඕන දේ. වගේ දේවල් තමයි එයාලා කතා වුණේ. ඉතින් ඒ මිනිස්සුත් එක්ක මට රණ්ඩු කරන්නත් වුණා. කොහොම හරි ඒ අහිංසක ජීවිත නවයටම අපි නිදහස දුන්නා. හැමදාමත් අපි කරේ මිනිස්සු එකතු වෙලා මරන්න බලන් හිටපු ජීවිත බේරගත්තු එක.”
මීට අමතරව මිනිසුන් ගෙන් වනසතුන්ට සිදුවන හිරිහැර සහ වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට විවිධ කණ්ඩායම් තෝර ගෙන (පාසල් මට්ටමින්, රජයේ ආයතන මට්ටමින්, පෞද්ගලික ආයතනවල, සමිති සමාගම්වල, ළමා සමාජ, ගොවි සමිති, ආගමික ස්ථාන, විශ්ව විද්‍යාල වැනි කණ්ඩායම්) දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඇය විසින් සිදු කරනු ලබයි.
“සතෙක් ජීවත් වෙන්නේ ඒ සතාට සුදුසුම පරිසරය තුළයි. මිනිසුන්ට හිරිහැරයක් වෙයි කියලා සහ මිනිසුන් ගෙන් සතාට හිරිහැරයක් වෙයි කියලා අපි ඒ සත්තුන්ව වෙනත් පරිසර කරා මුදා හැරියාට සිදු විය යුත්තේ ඔවුන් උපන් පරිසරයේම සංරක්ෂණය කිරීමයි. ඒ සඳහා මිනිසුන් දැනුවත් කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ. දැනට අපි ඒක දීපව්‍යාප්ත සිදු කරමින් පවතිනවා.”
ඒ ඇගේ අරමුණයි.
සොබාදහම නම් වූ අපූරු සිතුවම වර්ණ ගැන්වීමේ ලොකුම වගකීම හිමි කලාකරුවා මිනිසා මය. ඇය ඒ යුතුකම ජීවිතයේ වගකීමක් කර ගෙන ඇත. ඒ වෙනුවෙන් අපද අපට කළ හැකි යුතුකම ඉටු කිරීමට උත්සාහ කරනවා නම් සැබවින්ම අපි සොබාදහමේ මිතුරන්ය.
නයනා උදයංගනී