’’කපුටු කොහො’’ කෙවිලිය හමුවෙමු!


අමන්ද්‍යා උත්පලී

විටෙක වැඩිහිටියන් ඔස්සේ ළමා මනසට කතා කරන, තවත් විටෙක ළමයින් ඔස්සේ වැඩිහිටි මනසට සහ සමාජයට ආමන්ත්‍රණය කරන අපූරු නිර්මාණ මෙරට සිනමා කලාවට බිහිකළ පුරෝගාමියා ඔහුම වන්නේය. ඒ, ආචාර්ය සෝමරත්න දිසානායකයන්ය. ඔහුගේ ශූර නිර්මාණ දැක්මෙන් නිර්මාණය වූ, රේණුකා බාලසූරිය සොඳුරු හිතැත්තිය නිෂ්පාදනය කළ එවැනි ගණයේ තවත් වෙනස් සිනමා නිර්මාණයක් මේ දිනවල ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සැළසී ඇත. ‘‘කපුටු කොහෝ’’ එකී සිනමා නිර්මාණයයි. මේ කතාබහ ආචාර්ය සෝමරත්නයන් හෝ රේණුකා සමග නොවේ. මෙම නිර්මාණයේ ‘‘කෙවිළිය’’ ලෙස චරිත රංගනයක යෙදෙන අමන්ද්‍යා උත්පලී සමගය.

අඹ දඹ පලු මොර මා දං සුමිහිරි
වන පෙත සොයනෙමි නොලසව ගෙන දිරි
අප දරු පැටවුන් හට මිණි මුතු සරි
පල වැල ගෙන එමු රස ගුණ දෙක පිරි

 ප්‍ර  අමන්ද්‍යා, එලෙසින් ගී ගයමින් ඔබ කපුටු කොහෝ රඟපාන්නෙ කෙවිලියගේ චරිතයයි. ඒ ගැන කතා කිරීමට පෙර මේ දවස්වල විස්තර මුලින්ම අපට කිව්වොත්?

මේ දිනවල ඉතාම කාර්ය බහුලයි. අවුරුදු සමයට කොහොමටත් හරිම කාර්ය බහුල වෙනවා. සංගීත සංදර්ශන, විවිධ ආයතනවල පැවැත්වෙන ප්‍රසංග, ටී.වී. වැඩසටහන්, පිටරට සංචාර වගේ දේ නිසා කලා කටයුතුවල තමයි දවසම.

ගෙදර රැඳෙන්න වෙලාවක් තියෙනවද?

මේ දවස්වල නම් උදේට එළියට බැස්සාම, ආයේ රෑට තමයි ගෙදර යන්න ලැබෙන්නෙ.

 ප්‍ර  මේ විදිහට කාර්ය බහුලවීම ගැන සතුටුද?

අනිවාර්යයෙන්ම ඔව්, අපි කලාකරුවන් විදිහට, කලාවේ වැඩ කටයුතුවල නිරතවෙලා ඉන්න තරමට සතුටුයි. අවුරුදු සමයේ ඒ කාර්ය බහුලත්වය නිසාම මානසිකව සහ ශාරීරිකව යම්කිසි අපහසු බවක් දැනෙන බව ඇත්ත. ඒ වුණාට අපි කරන ඒ වැඩ අපි කරන්නෙ හරිම සතුටින්. දිනපතා අලුත් මිනිස්සු හමුවෙනවා. ඉතින් ඒ වගේ දේ නිසා කෙතරම් කාර්ය බහුල වුණත්, සතුටින් තමයි නින්දට යන්නෙ.

 ප්‍ර  කපුටු කොහෝ ඔබ රඟපාන කී වෙනි ෆිල්ම් එකද?

තුන්වැනි එක. කතුරු මිතුරු එකේ රඟපෑවේ ඉතාම සුළු චරිතයක්. ප්‍රධාන චරිතයක් රඟපාන දෙවැනි ෆිල්ම් එක කපුටු කොහෝ. ඊට පෙර ප්‍රධාන චරිතයක් රඟපෑවෙ ‘‘කාසි-වාසි’’ ෆිල්ම් එකේ. 

 ප්‍ර  ‘‘කපුටු කොහෝ’’ ඔබගෙ චරිතයට එමු?

මෙහි මම රඟපාන්නෙ ‘‘කෙවිලියක’’ගේ චරිතයක්. කපුටු පවුල සහ කොහෝ පවුල අතර ඇතිවන සංවාදයක් කතා පුවතක් ලෙසින් ඉදිරිපත් වෙනවා. කොහෝ පවුල ඇවිත්, කපුටු කූඩුවේ බිත්තර දමනවා. ඊට පස්සෙ ඇතිවන අර්බුදයක් ගැන හරි ලස්සනට ප්‍රකාශ වෙනවා. යටි පෙළින් එක හරියට මට නම් දැනෙන්නෙ එක්තරා විදිහකට වාර්ගික අර්බුදයක් වගෙයි. ඉතාම සුන්දරව ‘‘කපුටු සහ කොහෝ’’ පවුලක් මුල් කරගෙන කතාව ගලා යනවා.

 ප්‍ර  ‘‘කෙවිලිය’’ ලෙස නිතරම ගීත ගයන්න ලැබීම ගැන හිතන්නෙ?

ඒක මට විශේෂ අවස්ථාවක්. ගීත 25ක් විතර මෙම චිත්‍රපටයේ ඇතුළත්. ඒ සියල්ලම ජන ගී ඇසුරින්, පදනම් කරගෙන නිර්මාණය වී තිබෙනවා. ආචාර්ය සමන් පනාපිටිය සර් තමයි සංගීත අධ්‍යක්ෂණය. ඒ ගී ඉතාම මිහිරිව නිර්මාණය වී තිබෙනවා. ආචාර්ය සෝමරත්න දිසානායක මාමාගේ මෙහෙයවීම යටතේ ඒ ගීත ඉතාම රසවත්ව ගයන්න ලැබුණාය කියලා මම විශ්වාස කරනවා.

 ප්‍ර  පෙනෙන්නෙ මෙය ළමයින් වෙනුවෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් වගෙයි?

ළමයින්ට විතරක්ම නෙවෙයි, මුළු පවුලටම රස විඳිය හැකි නිර්මාණයක්. ළමයින්ට, එයාලගෙ ළමා ලෝකයේ අපිට ඒ සංවාදය රස විඳින්න පුළුවනි. වැඩිහිටියන්ට එතැනින් එහාට ගිහින් එහි යටිපෙළ කියවාගෙන ජීවිතයට අරුතක් එක්කර ගන්නත් පුළුවනි.

 ප්‍ර  ‘‘කපුටු කොහෝ’’ අමන්ද්‍යාට දැනෙන විදිහ?

මුලින්ම සෝමෙ මාමා, මෙහි කතාව කියද්දි, මේ නිර්මාණය එක්තරා විදිහක අත්හදා බැලීමක් සහ පර්යේෂණාත්මක නිර්මාණයක් කියලයි මට දැණුණෙ. අදහස, දැක්ම එක්ක අපි ඊට සමගාමීව ෆිල්ම් එකේ රඟපෑමට එක්වුණා. පර්යේෂණය කරමින්, ඉගෙන ගනිමින් අපි ඊට දායක වුණා. අපි ඒ අත්හදා බැලූ බොහොමයක් දේ සාර්ථක වී ඇතිවග ෆිල්ම් එක බලද්දි තේරුණා. හැබැයි රංගනයෙන් මට මගේ චරිතයට තවත් දේ එක් කරන්න තිබුණානෙ කියන හැඟීම මට දැනුණා. වේදිකාව මත ඇති දර්ශන සිනමාවට ගෙනා පළමු ප්‍රයත්නයනෙ. ඉතින් අපි බලමු!

 ප්‍ර  අද මේ විදිහට කලාවේ කාර්ය බහුලවෙලා, මහ වැඩ කරද්දි තාත්තා ගිරිරාජ් කෞෂල්‍ය, දියණිය අමන්ද්‍යාට මොනවද කියන්නෙ?

අම්මටයි - තාත්තටයි හරි සතුටුයි. එයාලා මගේ වැඩවලට නිරන්තරයෙන් සහයෝගය දෙනවා.

 ප්‍ර  අද වන විට ‘‘අමන්ද්‍යාට’’ වැ ඩිපුර ආරාධනා ලැබෙන්නෙ ‘‘සංගීත’’ වැඩසටහන්වලටද?

පොඩි කාලයේ ඉඳලම වැඩිපුරම මම නිරතව සිටියෙ සංගීත අංශයේ. ගායනය, ජීවිතය එක්ක බැඳී ආවා. ගායන ශිල්පිණියක වීම අරමුණ වුණා. අද වන විටත් වැඩිපුර දායකත්වය දෙන්නෙ ගායනයට.

 ප්‍ර  ‘‘කපුටු කොහෝ’’ චරිතයට ප්‍රවේශ වූ හැටි යළි සිහිපත් කරමු. ඒ කියන්නෙ ඔබ මේ චරිතයට ප්‍රවේශ වූ විදිහ ගැන?

බොහෝ පෙර පුහුණුවීම්වල යෙදුණා. සම්ප්‍රදායික නර්තන කලාව ඇසුරින් මෙහි අංගචලන, නර්තනාංග නිර්මාණය වී තිබෙනවා. ඒ කටයුත්ත කළේ චන්දන වික්‍රමසිංහ සර්. චන්දන සර් යටතේ අපි සියලු දෙනාටම දින කීපයක් නර්තන අංග පුහුණුවීමට තිබුණා. මොකද ප්‍රධාන චරිත රඟපාන අපි හතර දෙනාම සාම්ප්‍රදායික නර්තනය හදාරා තිබූ අය නෙවෙයි. ඉතින් ඒ සියල්ල එක්ක අංගචලන සියල්ල නර්තනාංග එක්ක හැසිරවිය යුතු අයුරු චන්දන සර් කියා දුන්නා.

 ප්‍ර  රූගත කිරීම් වෙනුවෙන් කොපමණ කාලයක් වැය කළාද?

මාසයක් විතර.

 ප්‍ර  කොහේද රූගත කිරීම් කළේ?

මේ කතාව අනුව වේදිකාවක් මත සිදුවන දර්ශන පෙළක්. හරියට වේදිකාමය නාට්‍යයක් වගෙයි. ඉතින් එ්ක කොළඹ දෙහිවල දර්ශන තලයක තමයි රූගත කිරීම් සියල්ල කළේ. මට වේදිකාව වෙනස් තැනක් නෙවෙයි. වේදිකාවේ රඟපාද්දි එය කැමරා කාචයට හසුකර ගනිද්දි, කොහොම වේවිද කියන කුතුහලය මට තිබුණා.

 ප්‍ර  කපුටු කොහෝ රඟපාලා අමන්ද්‍යාට ජීවිතයට ලැබුණු හොඳම දේ?

සෝමෙ මාමා එක්ක වැඩ කරන්න සහ එයාගේ නිර්මාණයක වැඩ කිරීමේ ආසාව පොඩි කාලයේ ඉඳලම මට තිබූ දෙයක්. 

ඒක ඇත්තටම ජීවිතේ මට තිබුණු හීනයක්. ඒ හීනය ඉටුවීම මම ලැබූ ලොකු අත්දැකීමක්. අලුත් පිරිසක් එක්ක සහ චන්දන සර් වගේ ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න ලැබීම සහ මගේ ජීවිතයට තවත් අලුත් පිරිසක් එකතු වුණා. අලුත් - අලුත් අත්දැකීම් ජීවිතයට එක්වීම නිසා හරිම සතුටක් දැනෙන්නෙ. 

 ප්‍ර  ඔබ කිව්වනෙ, විදෙස් සංචාරවලට නිරන්තරයෙන් දායක වෙනවාය කියලා. එවැනි අවස්ථාවලදි ප්‍රේක්ෂකයින් වැඩිපුරම ඉල්ලන්නෙ රැජිණට ඇන්දාද?

‘රැජිණට ඇන්දා’ එකම තැනට දෙතුන් පාරක් ගියත්, ඒ ගීතය ගයන්න කියලා ආරාධනා කරනවා. ‘රූප සුන්දරී’ ගීතය ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට අමතරව ‘කාසි-වාසි’ චිත්‍රපටයේ සජිත ඇන්තනි අයියා එක්ක ගැයූ, ගීතයටත් ලොකු ඉල්ලුමක් තියෙන්නෙ.

 ප්‍ර  ‘‘අමන්ද්‍යා’’ මේ සියලු වැඩ කටයුතු එක්ක, ගෘහණියක – බිරිඳක ලෙස ගෙවන ගෙදර ජීවිතය කොහොමද කියලා විමසුවොත්?

ගෘහණියක – බිරිඳක ලෙස මම සාමාන්‍ය චරිතයක්. 

 ප්‍ර  අපි මේ පිළිසඳර, කපුටු කොහෝ කෙවිලිය ගයන මුලින් සඳහන් කළ ගීතයේ කොටසකින්ම අවසන් කරමු නේද?

කපුටන් කොවුලන් පෙනුමෙන් එක හැඩ
ගැයුමෙන කොවුලන් මිහිරිය කට හඬ
අපි නම් නොදනිමු නිමැවුම් වඩු වැඩ
බිජුලන්නෙමු කපුටගෙ කූඩුව උඩ

සඳුන් ගමගේ