​බෞද්ධයන්ට රසමසවුලක් වූ සුද්දාගේ කාලේ පංච මහා වාද


 

ලංකාවේ ඉංග්‍රීසි යටත් විජිතයක් සමග බෞද්ධාගමට කෙනෙහිලිකම් රාශියකට මුහුණ දෙන්නට සිදුවිය. ඉංග්‍රීසින් සහ සිංහල ජාතියත් සමග ඇති වී තිබූ ආගමික විරසකය සුලුපටු එකක් නොවුණ නිසා බෞද්ධ ආගමිකයන්ට සිදු වූ අසාධාරණ එමටය. එකල ආගමික විරසකය විසඳන්නට බොහෝ කාලයක් ගතවිය. මෙය ඉතා ඉක්මනින්ම නොවිසඳෙන්නට හේතු වූයේ දහනව වන සියවස අගභාගය වනවිට ක්‍රිස්තියනි ආගමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම හේතුවෙනි. එම වකවානුව තුළදී කිතු දහමේ ප්‍රධාන පූජක පක්ෂයට වැටුප් ගෙවන ලද්දේ ද ඉංග්‍රීසි රජය මගිනි. එම නිසා ක්‍රිස්තියානි ආගම සහ බෞද්ධාගම අතර යම් සමතුලිත භාවයක් ඇතිකිරීමට හෝ එම අසමතුලිත භාවයෙන් අත්මිදෙන්නට කටයුතු කිරීමට සිංහල නායකකාරකාදීහු ඉදිරිපත් නොවූහ.  


මෙවැනි ආගමික මත භේදයන් නිසා ආගම් දෙකෙහි වාද විවාද පසුබිමක් ඇතිවීමෙන් බෞද්ධ ජනයා සැබෑම බෞද්ධයකු ලෙස පෙනී සිටීමට පසුබට වූහ. එම කරුණු හේතු කොට ගෙන ලැබෙන රාජ්‍ය වරප්‍රසාද ගැන පමණක් සිතා බෞද්ධයින් විශාල ප්‍රමාණයක් ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම හේතු පාදක විය.  
මෙවන් අවධියක මහා සඟරුවන ඉංග්‍රීසින්ගෙන් බෞද්ධ ආගමට සිදුවන මදි පුංචිකම් නිසා ආගම් දෙක අලලා වාදයක් පැවැත්වීමට ඉංග්‍රීසි රජයෙන් ඉල්ලීමක් කිරීම සුවිශේෂ වූ කාරණයකි.  


මෙම මහා වාදය වූ කලී ක්‍රිස්තුවරුන් අතර සහ බෞද්ධ ආගමික යන දෙපක්ෂය අලලා පැවැත්වූ වාදයකි. කිස්තු ධර්මයේ අගමුල සහ බුද්ධ ධර්මයේ තොරතුරු අතර සත්‍ය ආගම කුමක් ද යන්න සෙවීම එහි අරමුණ විය.  


මෙම දෙපක්ෂය අතර පැවැත්වූ වාද පහක් වේ. එම ආගමික වාද පහ පංච මහා වාද යනුවෙන් හැඳින්වේ.  
ආගමික පක්ෂ දෙක අතර එක් එක් වාදයන්හි පිළිපැදිය යුතු නීතිරීති සම්මුතීන් ආදියත් ඇති කරගෙන ඉතා සාමකාමීව මෙම වාදයන් පැවැත්වීය. ප්‍රධාන වශයෙන් මුහුණට මුහුණලා වාදයන් පැවැත්වීම සුවිශේෂ වූ කාරණයකි. වාචිකව ඉදිරිපත් කල නොහැකි කරුණු ලිඛිත වශයෙන් ඉදිරිපත් කිරීමට අවසර ලබා දී තිබිණි.  
මෙම ආගමික වාදයන් කඩිනම් වීමට හේතු භූත වූ සහ ඉතිහාස ගත නොවූවත් එක් සුවිශේෂී කාරණයක් ඉවහල් වීම විශේෂත්වයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉපැරණි දඹදෙණි රාජධානිය අයත් වෑත්තෑව ලොකු හාමුදුරුවන්ට ඉංග්‍රීසින්ගෙන් එල්ල වූ ආගමික හිරිහැරය බලපෑ බව සඳහන්ය.  


එහි සැකවින් මෙසේ සඳහන් වී ඇතිබව කියැවේ. ක්‍රිස්ත්‍රියානි ධර්මයට විරුද්ධව කටයුතු කළ නිසා උන්වහන්සේව එවකට රට භාරව කටයුතු කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් කොළඹට කැඳවන ලදි. උන්වහන්සේ එම විහාරස්ථානයේ ඇබිත්තයා සමඟ කොළඹට වැඩමකොට ප්‍රධාන ආණ්ඩුකාර කාර්යාල භූමියට ඇතුළු වෙත්ම ප්‍රධාන ශාලාවට පිවිසෙන දොරටුවට ඉහළින් ක්‍රිස්තියානි රූපයක් හිස් අවකාශයේ වැඩ සිටිනු දැකගත හැකිවිය. උන්වහන්සේ මදක් කල්පනා කිරීමෙන් ලබා ගත් ඥාන ශක්තිය මත ක්‍රිස්තියානි රූපය හරහා එල්ල වී ඇති නොපෙනෙන විදුලි ධාරාව හරහා වටා පත හරස් කරන ලදි. හිස් අවකාශයේ නොපෙනෙන ලෙස එල්ල කර තිබූ විදුලි සම්බන්ධතාව බිඳවැටුණි. එය බිඳ වැටීමත් සමගම ක්‍රිස්තියනි පිළිමයට හිස් අවකාශයේ රැඳී සිටීමට නොහැකිවීම හේතුවෙන් බිම ඇද වැටිණි. මෙම සිද්ධිය බලා සිටි ඉංග්‍රීසි ප්‍රධානීන්ට කේන්තිය ඉවසා ගත නොහැකිව උන්වහන්සේ සිර අඩස්සියේ තැබීමට නියෝග කළේය. සිරගත කිරීමට පෙර එසේ කළේ ඇයි දැයි නිදහසට කරුණු විමසා සිටියහ. තමා කළේ වරදක් නොවන බවත්, පරීක්ෂණයක් පමණක් සිදු කළ බවත් පැවසීය.  


බුදු දහ​මේ දේශනයට අනුව බුදු රජුන් විදුලි දහරා මගින් ප්‍රාතිහාර්ය නො​පාන බවත්, සැබෑ බෞද්ධයන් උපක්‍රමශීලී ක්‍රියා ආගම දහම වෙනුවෙන් අනුගමනය නොකරන බවත් පැවසීය. ඔබලාගේ ක්‍රිස්තු ධර්මය ඔතරම් සැබෑ නම් බෞද්ධ සහ ක්‍රිස්ත්‍රියානි ආගම් දෙක අලලා වාදයකට පැමිණෙන ලෙසත් ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් ඉංග්‍රීසි රජයේ ප්‍රධානියා අාගම් දෙක පිළිබඳ වාදයකට අවශ්‍ය කටයුතු සියල්ලම එදින සූදානම් කළේය.  


බෞද්ධ ආගම කේන්ද්‍ර කොටගෙන වැඩ සිටියේ වෑත්තෑවේ ලොකු හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ඇබිත්තයා පමණි.  


ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් ප්‍රසිද්ධ ආගමික පූජකවරු කීප පොළක්ම වාදයට සහභාගි වූහ. ඔවුන් ක්‍රිස්තු ධර්මය පිළිබඳ හසල දැනුමක් ඇති අය වීම විශේෂත්වයකි.  


වාදය ඇරඹිණි. ප්‍රශ්න සිට ප්‍රශ්න මතු විය. හාමුදුරුවන් සහ ඇබිත්තයා ද ඉතාම සාර්ථක විය. හාමුදුරුවන් සහ ඇබිත්තයාද ඉතාම නිර්භයව වාදයට මුහුණ දුන්හ. අන්ති​මේදී බෞද්ධාගම පරාජයට පත්වීමේ ලකුණු පහල විය. තවත් ඔබ වහන්සේට ප්‍රකාශ කිරීමට යමක් ඇත්දැයි කිතු නායක කාරකාදීහු විමසා සිටියහ. වෑත්තෑවේ ලොකු හාමුදුරුවන් පරාජය භාර ගැනීමට මැලිවූ හෙයින් ඇබිත්තයාට කථාකොට අන්තිම ප්‍රශ්නය මතු කරන ලෙස දැනුම් දුන්නේය. ඔහු සෑහෙන වේලාවක් කල්පනා කර අවසාන ප්‍රශනය උගත් ඉංග්‍රීසි පූජකරුන් හමුවේ තැබීය.  


පූජකතුමනි, මෙම ලෝකය තුළ විශාල කොට දෙකක් තිබෙනවා. එම කොට දෙක කුමක් දැයි විමසීය. පූජකතුමන්ලා අන්දමන්ද වූහ.  


මෙම පෘථිවියේ තිබෙන සියලුම කොටගැන උත්තර වශයෙන් කියා සිටියහ. එහිදී විශේෂිත කාරණය නම් ගස්වලින් කපා බිම හෙලන ලද බුරුත කොට, කොස්කොට, දෙල් කොට ආදී දේවල් පවසමින් තම තමන්ගේ දැනුමේ අසරණ තත්ත්වය වසා ගැනීමට තැත් කළත් ඒ සියල්ලම අසාර්ථක විය.  
ලොකු හාමුදුරුවන්ගේ ගෝලයා බුදු දහමින් පෝෂණය වූ දැනුමින් පරිපූර්ණ අයෙකි. තැනේ හැටියට ඇණේ ගසන නිසා ලොකු හාමුදුරුවන්ට බියක් දැනුනේ නැත. මම ඉදිරිපත් කල ප්‍රශ්නයට ඔබලාගේ උත්තර නොගැලපේ. ක්‍රිස්තියානි පූජකවරුන් ද පරාජය බාරගැනීමට මැලි වූහ. අවසානයේදී ඇබිත්තයා විසින්ම උත්තරය ද සපයන ලදී.  


මෙම පොලෝ තලය බුදු දහමින් පෝෂණය වී ඇත. මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ පෙර පින්කළ උත්තමයෙක් පමණි. එසේ නම් පළමු කොටය නම් මෙම ලෝකයේ උපදින කොටයි. සරළව කීවොත් උපදින අවස්ථාවයි. එම ඉපදීමට ‘පළමු කොටය’ ලෙස නම් කරමි.  


අප මෙම ලෝකයේ සදාකල් ජීවත් වන්නේ නැත. පෘථිවිය තාවකාලික නවාතැන් පලක් නිසා මරණය නියතය. මරණයෙන් පසුව නැවත ආත්මයක උප්පත්තිය ලැබීම, මෙම පොළෝතලයෙන් නික්ම පරලොව යෑම දෙවැනි කොටයි. එසේ නම් මෙම ලෝකයට එනකොට සහ ලෝකයෙන් නික්මයාම යනකොට යැයි ඇබිත්තියා ඉතා අනර්ඝ ලෙස විග්‍රහ කළේය. එය හැඳින්වෙන්නේ ඉපදීම සහ මරණය ලෙසයි.  
ඉංග්‍රීසි ජාතිකයෝ පුදුම වූහ. ඔවුන් බෞද්ධාගම ඉදිරියේ හෑල්ලුවට පත්විය. බෞද්ධාගමට ජය අත්විය. නමුත් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කීවා සේ වාදය ඉදිරියේ හාමුදුරුවන් සහ ඇබිත්තයා ජය ලබා ගත්තත් ක්‍රිස්තියානි ආගමට නිග්‍රහ කිරීම හේතු කොට ගෙන ස්වාමීන් වහන්සේ සහ ඇබිත්තයා මිය යන තුරු සීත සිර කුටියේ වසා තැබීමට නියම විය.  


ස්වාමීන් වහන්සේ සහ ඇබිත්තයා ඉතා අසරණ තත්ත්වයට පත් විය. කල හැකි කිසිවක් නොවූයෙන් ඕනෑම කරදරයකට මුහුණදීම සූදානම් වූහ. ඔවුන් දෙදෙනාම සීතල කාමරයේ හුස්ම අවසන් වනතෙක් සිර කළේය. ටික වේලාවකින් ඇබිත්තයාට සියල්ල වටහා ගැනීමට හැකිවිය. හාමුදුරුවන්ට කතාකොට ‘‘හාමුදුරුවනේ දැන් මෙහෙම නිකං බලා ඉඳලා වැඩක් නැහැ. අපට මරණය අත්වෙනවාමයි. ගුරුකම් ගෝලකම් පංසලේදී කියාගමු.’’ දැන් අපි දෙදෙනාට තිබෙන්නේ ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමවල යෙදෙන එකයි. අපි රැය පහන්වන තුරු පොර බදමු. යැයි යෝජනා කළේය. හාමුදුරුවන්ට ද මෙය හොඳින් වැටහී ගිය හෙයින් ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාමවල යෙදුනහොත් පමණක් දිවි ගලවා ගැනීමට හැකිවිය යන්න අදහස විය. සිවුරු සහ අඳනකඩය ගලවා දැමීය. ඇබිත්තයාද ඒ අයුරින්ම සූදානම් වී එදින රාත්‍රී පහන් වනතුරු පොර බැදීය ඔවුන් ඉතාම සාර්ථක විය.  


පාන්දර යාමයේ ප්‍රධාන වධකයා මිනී කරත්තය ද රැගෙනවිත් සිරකුටිය විවෘතකර මෘත ශරීර දෙක රැගෙන යාමට සූදානම්විය. පුදුමයකි, දෙදෙනාම යහතින් සිටිති. වධකයා තුෂ්නිම්භූත වී ප්‍රධාන ආණ්ඩුකාරවරයාට මෙම අත්භූත සිද්ධිය දැනුම් දුන්හ. ස්වාමීන් වහන්සේ සහ ගෝලයා ඉතාම යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බව පැවසීය. ආණ්ඩුකාරවරයාද පැමිණ පරීක්ෂා කිරීමෙන් සත්‍ය වටහාගෙන ‘‘ඔවැනි කාමරයකට දැමුවහොත් මරණය නියතය.’’ ඔබ දෙදෙනා ජීවත් වීමට හේතුව කුමක් දැයි විමසීය. බෞද්ධාගමෙහි තිබෙන අනුහස් නිසා එය සිදු වූ බව පැවසූහ. ඉන්පසු ඔවුන් දෙදෙනාම නිදහස් කර නිරුපද්‍රිතව ගම්බිම්බලා පිටත් කර හැරීය. මෙම හාස්‍යජනක සිද්දිය එංගලන්ත ආණ්ඩුවට පවා දැනුම් දුන් බව පැවසේ. මෙම කතා පුවතින් පසු ආගම් දෙක අතර වාදයක් පැවැත්වීම සුදුසු යැයි එකල වැඩ විසූ මහා පඬිරුවනක් වූ මොහොට්ටි වත්තේ ගුණානන්ද ස්වාමිපාදයාණන් වහන්සේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට දැනුම් දුන්හ. එංගලන්ත මහ රැජිනගේ ද අවසරය ඇතිව ආණ්ඩුකාරවරයා එවැනි වාදයක් සූදානම් කරන ලෙස පූජක තුමන්ලාට දැනුම් දී සිටියහ.  
මෙම ද්වීපාක්ෂික ආගමික වාදය එකකට සීමා නොවන තත්ත්වයක් උදා විය. මොහොට්ටිවත්තේ මහා පඬිරුවන එම ආගමික වාදවල මුලසුන හෙබවීම කරන කොට ගෙන පළමු වාදය බෞද්ධාගමට වාසිය ගෙනදුන් අතර කිතුදහම වාදවලින් ජය ගන්නා තෙක් පැවැත්වූ පංච මහාවාද ඉතිහාසයට එක් වී තිබේ. මොහොට්ටි වත්තේ ගුණානන්ද ලොකු හාමුදුරුවෝ වාද පහෙන් හතරකටම සහභාගි වී එයින් වාද හතරකටම ප්‍රධානත්වය ඉසිලීමට තරම් වාසනාවන්ත වූහ.  


ක්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය හැටපහේ පෙබරවාරි අටවැනි දින ගනේගම ශාලාවේදී බද්දේගම වාදය පවත්වන්නට යෙදිණි.  


උදන්විට වාදය ක්‍රිස්තුවර්ෂ එක්දහස් අටසිට හැටහ​යේ පෙබරවාරි හත්වැනි දින සතර කෝරළයේ උදන්විට විහාරස්ථානයේදී පැවැත්විණි.  
ගම්පල පාසැලේදී ගම්පල වාදය පවත්වන ලද අතර ක්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය හැත්තෑ එකේ ජූනි මස පළමු වැනි දින එය සිදු කළේය.  


පානදුරේ දුම්රිය ස්ථානයට නුදුරින් නිරිත දිගින් පිහිටි භූමියේදී පානදුරාවාදය පැවැත්වීය. එය සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය හැත්තෑ තුනේ අගෝස්තු මස විසි හය වැනි දිනය.

  
තාවකාලික මඩුවක් තුළදී එක් දහස් අටසිය අනූනවයේ සැප්තැම්බර් මස තුන්වැනි දින ඌරුගොඩ වත්තේ විවාදය පැවැත්වීය. එය දින අටක්ම පැවැත්වීම විශේෂත්වයකි.  


මේ අයුරින් ආගම් දෙක අතර වාද පහක්ම අවසන් වූ අතර ඒ කිසිම වාදයකින් කිතු දහමට සුගතියක් නම් ගෙන දුන්නේ නැත. එම වාදවලින් උපුටාගත් රසබර කතා කීපයක් එකල සිටි ඉංග්‍රීසි පඬිවරුන් එංගලන්ත භාෂාවට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන ලදි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම එය ග්‍රන්ථ ප්‍රංශ, රුසියන්, ඇමෙරිකන් ආදී උගතුන් වියතුන්, බුද්ධිමතුන් අතට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධ ධර්මය පිළිබඳ ගවේෂණයක් කිරීම සඳහා ඔවුහු ලංකා දීපයට පැමිණියහ. 

 
ඇත්ත වශයෙන්ම එම වියතුන් ලංකා භූමියට නොපැමිණියේ නම් වත්මනයේ පවතින බෞද්ධ ආගමික පුනරුදය මෙතරම් දියුණු මට්ටමකට ගෙන ඒමට ලාංකිකයන්ට කිසිසේත්ම නොහැකිවීමට ඉඩ තිබිණි.  
මෙම පංච මහා වාදයන් බෞද්ධ ආගමික මහ පෙන්වීම්වලට වාසි සහගත අයුරින් අවසන් වීමත්, කිතු දහමේ පූජකතුමන්ලාට එම දහමේ නිත්‍ය භාවය නිරවුල්ව ඉදිරිපත් කිරීමට නොහැකිවීමත් බෞද්ධාගමට අද පවතින දියුණු තත්ත්වයට පත්වීමේ ප්‍රධාන සාධකය බව කිව යුතුමය. එසේ නොමැති වූවා නම් වර්තමානයේ බෞද්ධ ආගම ශ්‍රී ලංකාවේ නොමැති තරම්ය. 

 

 

කුලියාපිටියේ  
එස්. ප්‍රබෝධ සමරක්කොඩි