​කේට් කුමාරියටත් ගොසිප් හැදිලා


අද කාලයේ අන්තර්ජාලයේ වැඩිපුරම ජනප්‍රියව ඇත්තේ ගොසිප්ය. අනුන්ගේ කුණුකන්දල් හාරා අවුස්සා බැලීමේ නොතිත් ආශාවකින් අපේ රටේ උදවියද පසුවීම ඊට හේතුවය.


ඒ නිසාම රටේ නමක් තියෙන කොයි කවුරුන් හෝ ඉලක්ක කරගෙන ගොසිප් නිර්මාණය කිරීම වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් ඇරඹෙන වෙබ් අඩවිවල සම්ප්‍රද‌ායයි. අනුන්ට මඩගහන තරමට තමන්ගේ වෙබ්අඩවිය ජනප්‍රිය වන බව වෙබ්අඩවි පවත්වාගෙන යන්නෝ විශ්වාසය කරති.

මේ හේතුව නිසාම අනර්තර්ජාලය තුළ ගොසිප් වෙබ් අඩවි බොහෝ ගණනක් නිර්මාණය වී තිබේ. ඉස්සර ‘නිව්ස්’ බලන්නට ආශා කළ උදවිය අද හොයන්නේ ගොසිප්ය.


‘අපේ රටේ, අපේ රටේ’ කියමින් ලිපිය පටන් ගත්තාට පිටරටවලත් වඩාත් ජනප්‍රිය ‘නිව්ස්’ නොවේ. ‘ගොසිප්ය’
ගොසිප් වැඩිපුරම නිර්මාණය වන්නේ නමක් තියෙන අයට බව මුලින්ම කීවෙමි. එසේ නම් ලෝකයේ වැඩිපුරම ගොසිප් හැදෙන්නේ කාටද?


ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප්ට ද? එහෙම නැත්නම් එංගලන්තයේ රජ පවුලටද?


ඇත්ත වශයෙන්ම ට්‍රම්ප්ට වඩා ජනප්‍රිය එංගලන්තයේ රජ පවුලය. ඉස්සර සුරූපී ඩයනා කුමරිය ගැන තොරතුරු හෙවූ තරමට අද තොරතුරු පෙනීයන්නේ කේට් කුමරිය ගැනයි.


ඇහැටකණට පේන රූමතියක් වීමත් රජ පවුලේ අනාගත කිරුළ හිමි කුමරකුගේ බිරිඳ වීමත් ඒ ‘ගොසිප්’ බිහිවීමටත් ‘ගොසිප්’ ජනප්‍රිය වීමටත් හේතුවයි.


මේ නිසාම දවස දවස ගා​ෙණම කේට් ඉලක්ක කරගෙන ගොසිප් නිර්මාණය වෙයි. ඇය අලුත් විලාසිතාවක් කළත් ගොසිප්ය. පිරිමියකු සමඟ කතා කළත් ගොසිප්ය. ජල ක්‍රීඩා කරන්නට බිකිනියක් ඇන්දත් ගොසිප්ය. කලකිරුනත් ගොසිප්ය. ඇය පිළිබඳ පළවෙන ගොසිප් බලන්නට පාඨකයන් දක්වන ඇල්ම නිසා ඇය පිළිබඳ ගොසිප් හොයන්නට කැමරා කරේ එල්ලාගත් පැපරාසියන් මේ මොහොතේත් ඇය ලුහුබඳින වාට සැක නැත.


ඇය පිළිබඳ රහස්‍ය ඡායාරූපයක් වෙතොත් එය පවුම් සියගණනකට වුව මිලදී ගත්තාට පාඩුවක් නැත. ඒ නිසා තරගකාරී වෙඩ් අඩවිවලට කේට්ලාගේ රහස්‍ය පිංතූර රත්තරංවලටත් වඩා වටනේය.


ඒ කෙසේ වෙතත් කේට් ගැනත් පළවන හැම ගොසිප් එකක්ම සත්‍ය නොවේ. බොහෝ ඒවා අතේ රෝල්ය. එද‌ා ඩයනා කුමරියට ගොසිප් නිර්මාණ්‍ය කළා සේම අද කේට් කුමරියට බොරු ගොසිප් නිර්මාණය වෙයි.


එබඳු ගොසිප්වලින් දෙක තුනක් කියවන්නට ඔබද කැමති වෙතැයි සිතමු.


කේට් කුමරිය ගැන ගොසිප් නිර්මාණය වෙන්නට පටන් ගන්නේ ඇය රාජකීය පවුලේ ඉලන්ද‌ාරියාට ප්‍රේම කරන්නට පටන් ගත්ද‌ා පටන්ය.


 

රාජ උෂ්ණයේ ප්‍රශ්නය


ඇය ඔහු සමඟ විවාහ වී රජ මාලිගයට ගියාම පසුව රාජකීය ජීවිතයට හැඩගැහෙන්නෙට බැරි වීම නිසා මානසික ආතතියට පත්වූ බවත් ගොසිප් කොප් වෙබ්අඩවිය සඳහන් කළේය.


එංගලන්ත රජ මැදුරේ ආහාර රටාවට හුරුවීමට කේට් මිඩ්ල්ටන් කුමරියට අපහසු වීම නිසා අැය පසුවන්නේ කනස්සල්ලෙන් බවත්, රජ මැදුරේ ආහාර වර්ග හා ආහාර රටාව ඇයට ‘ඇලජික්’ බවත් පළවූ වාර්තාවයි.


මේ රාජකීය ප්‍රශ්නය ඩයනාටත් තිබුණා. ඇයත් රජ පවුලේ ආහාර රටාවට හුරු වෙන්න බැරිවයි හිටියේ මේ නිසා කේට් කුමරිය මේ දවස්වල ඉන්නේ මානසික පීඩාවකින්.


ගොසිප්කාරයෝ රස කරමින් කීය.

 

රජ පවුලේ යුද්ධයක්.


කේට් කුමරිය සහ රාජකීය පවුල අතර සටනක් දියත් වී ඇති බව ගොසිප්කාරයෝ ප්‍රකාශ කළේ කේට්, විලියම් සරණ බැඳි ටික කාලයකට පසුවය. මේ යුද්ධය වෙන කෙංගෙඩියක් නොව රාජකීය උත්සවලදී ඊට ගැලපෙන ලෙස අැඳීමට සහ හැසිරීමට කේට් නොදැන සිටීමය. මේ පිළිබඳව විලියම් කුමරු සේම ඇන්ඩෘ කුමරුත් ඔවුන්ගේ පියා වූ චාල්ස් කුමරුත් කේට්ට තදින් අවවාද කර තිබූ බවද ඒ ඕපාදූපය ඇතුළත් කතාවය.


 

කේට්ට නිඹුල්ලු, ගබ්සාවක්


කේට් විලියම් සරණබැඳ මාස දෙකක් ගතවන්නටත් කලින් නිර්මාණය වූ ඕපාදූපය වූයේ කේට්ගේ නිවුන් දරු කළල ගම්සා වූ පුවතයි.


ඒ නිඹුල් දරුවන් ගැහැනු දරුවන් බවත්, ඔවුන් හදිසියේ ගබ්සා වූ බවත් සඳහන් ඕපා දූපයට අත්තටු ලැබී ලොව පුරාම ප්‍රචලිත විය. ඒ සමඟ රජ පවුලට උමතුවෙන් මෙන් ප්‍රේම කරන්නෝ දුකටත් කම්පාවටත් පත්වූහ. සමහරු ශෝකය සටහන් කර ලියුම් රජ මැදුරට යොමු කළහ.


ඒත් කේට්වත් විලියම්වත් එබඳු සිදුවීමක් ගැන මෙලෝ දෙයක් දැන සිටියේ නැත.


මම තාම ගැබ් ගෙන නැහැ. කවුද ඔය බොරුව කිව්වේ.’


කේට්ගෙන් ගබ්සාව ගැන ඇසූ බොහෝ උදවියගෙන් ඇය අසුවාය.


 

කේට් ගේ ඊර්ෂ්‍යාව


විලියම් හා විවාහවීම හේතුවෙන් කේට්ට හිමිවුණු නැන්දම්මා කැමිලා පාකර්ය. එහෙත් මේ කැමිලා එංගලන්තයේ ජනප්‍රිය ගායිකාවක වන ලේඩි ගාගාගේ මිතුරියකි. මේ මිත්‍රත්තවයන් හා හමුවීම් ගැන කේට් කුමරිය සිටින්නේ ඊර්ෂ්‍යාවෙන් බව ගොසිප් වෙබ්අඩවි සඳහන් කර තිබුණි. මෙමඟින් කේට් සහ කැමිලා අතර ගැටුමක් තිබෙන බව ලෝකය හමුවේ ප්‍රකාශ විය.


තවත් වරෙක ප්‍රකාශ වූයේ කේට් කුමරිය, මේගන් මාර්කල්ට ඊර්ෂ්‍යා කරන බවත් මේගන් වූ කලී එංගලන්ත සමාජයේ ආශක්තම කාන්තාවකි. පිරිමින් ආකර්ශනය කළ හැකි ශෘංගාර මායම් නම් මේ ගැහැනියට සමාජයෙන් ලැබී තිබෙන තැන ගැන කේට් ඊර්ෂ්‍යා කරන බව ප්‍රකාශ කළ වෙබ් අඩවි, වැඩිදුරටත් සඳහන් කළේ හැරී කුමරු, මේගන් විවාහ කර ගැනීමට සැරසෙන බවයි. එසේ වුවහොත් කේට් ඉක්මවා මේගන් ජනප්‍රිය වන බවත් කේට්ගේ ඊර්ෂ්‍යාවට හේතුව එම කාරණය බවත් පැවසිණි.

කාඩේසියන් ගැන සැකයක්


කිම් කාඩේසියන් වූ කලී ලෝකයේ ආකර්ශනීයම නිතඹ හිමි කාන්තාව බව පැවසෙයි. යුවතියකගේ ලස්සන මනින මිමි අතරට කිම් කාඩේසියන්ගේ වගේ නිතඹක් හිමිවිය යුතු බව බොහෝ පොතපතේ සඳහන් වේ.


මේ කියන කාඩේසියන් සහ විලියම් කුමරා අතර ඇති හාදකම සීමාව ඉක්මවා ගොස් ඇති බව කේට් කුමරියට දැනී ඇති බවත් එනිසාම ඇය විලියම් සහ කිම් ගැන සැකයක් ඇතිකරගෙන ඇති බවත් වෙබ්අඩවි සඳහන් කළේ කේට් විලියම් විවාහය සිදුවී අවුරුද්දකට පමණ පසුවය.


මේ ගොසිප් පුවත සමඟ විලියම් සහ කාඩේසියන්ගේ සමීප ඡායාරූපයක්ද පලවීම එය හුදෙක් ඕපාදූපයක්ම නොව සත්‍යක්ද සැඟවුණු ප්‍රවෘත්තියක් බව ලෝකයාට ඇඟවීමට සමත් විය.


විලියම් වැනි කඩවසම් කොල්ලෙක් අරවගේ නිතඹක් හිමි කෙල්ලකට පෙම් නොකරන්නට හේතුවක් නැති බව ලෝකයේම විශ්වාසය විය.

 


රාජකීය කසාදයේ කචල්


මේ පුවතේ උණුසම මැකී යන්නටත් පළමුව ගොසිප් වෙබ්අඩවි ප්‍රකාශ කළේ විලියම් කුමරුගේ විවාහයේ අර්බුද පටන් අරගෙන ඇති බවකි. ඔහුගේ පියා වූ චාල්ස් කුමාරුගේ සහ ඩයනා කුමරියගේ විවාහයය දෙදරා ගියේ චාල්ස් ඔහුගේ පරණ පෙම්වතිය වූ කැමිලා සමඟ යළි පෙම් කරන්නට පටන් ගැනීමත් සමඟය. එලෙසින්ම විලිම් ද කාඩේසියන්ගේ පිරුණු නිතඹට වහ වැඩී සිටින බැවින් ඔහුගේත් කේට්ගේත් රාජකීය කසාදය දෙදරා යෑම අරුමයක් නොවනු ඇත. මේ සිදුවීම් දෙස බලා ඉන්න මහ රැජින මේ නිසා අවුල්වී සිටින බව මේ පුවතේ ඊළඟ කොටස විය. තම පුතාට සිදුවුණු දෙයම මුණුබුරාටත් සිදුවීම මහලු රැජිනගේ කනස්සල්ලට හේතුවකි.

 


වැඩි මනාපය හැරීට


මේ ගොසිප්වල උණුසුම පහවී යන විටම තවත් අලුත් ඕපදූපයක් නිර්මාණය කර පාඨකයාගේ හිත්වල කුණු රසය ඇවිස්සීමට ගොසිප් වෙබ්අඩවි සමත් විය.


ඒ වතාවේ ඔවුන් පළ කළේ කේට් කුමරිය විලියම් සහ හැරී කුමරුන් සමඟ ප්‍රීතියෙන් වෙලී සිටින ඡායාරූපයක්. ඊට යටින් පළවූයේ කුමරිය, තම සැමියාට වඩා ඔහුගේ සොහොයුරාට වඩාත් ඇලුම්කරන බවය.


විලියම් කුමරු ඒ වන විට තට්ටයකු වී සිටියත් හැරී කුමරුන්ට ආකර්ශනීය කොණ්ඩයක් හිමිවී තිබිණි. ඔක්කෝටමත් වඩා අර කී ඡායාරූපයේ කේට් කුමරිය බලාගෙන සිටියේ හැරී කුමරුන් දෙසය. දුම නගින්නට හේතුවූ ගින්න තිබුණේ එතැනය.

 


යට ඇඳුම් සොරකම


යට ඇඳුම් සොරකම, අපේ රටේද එක්තරා කාලයක ලොකු ආන්දෝලනයක් කළ සිද්ධියක් විය. එබඳුම සිදුවීමක් එංගලන්තයේ රජ පවුලේ කේට් කුමරිය සම්බන්ධයෙන්ද ලොකු ආන්දෝලනයක් කළේය.


ගොසිප් වෙබ්අඩවිවලට අනුව මේ යට ඇඳුම් සොරකම සිදුවූයේ කේට් කුමරිය අතින් නොවේ. ඇගේ පරණ ප්‍රේමවන්තයකු වෙතිනි.


සිදුව තිබුණේ කේට් සහ විලියම් වාසය කළ කන්සින්ටන් මාලිගයේ තිබූ කේට් කුමරිය සතු වටිනා යට අඳුම් වගයක් යම් කිසිවකු සොරා ගැනීමය. මේ සොරකම කර ඇත්තේ කේට්ට පෙම් කළ පරණ සල්ලාල පෙම්බරයකු බව රාජකීය ඔත්තු සේවා අනාවරණය කරගෙන අැති බව ගොසිප් වෙබ් අඩවි රහ කර කර තලු මැරූ ඕපාදූපයයි.

 


රැජින ‘ෂොක්’ කළ කේට්ගේ ගවුම


ඕපාදූපකාරයෝ මොකක් හෝ පුංචි දෙයක් අල්ලාගෙන බොරු ප්‍රචාරය කිරීමට සමත්තුය. පුවත් නැතිනම් අලුතින් පුවත් නිර්මාණය කර හෝ තම වෙබ්අඩවිවල පාඨකයන් තෘප්තිමත් කිරීම ඔවුන්ගේ වගකීමය. මේ නිසාම රජපවුල ගැන කුණු කන්දල් නැතිවිට කේට් කුමරිය හුදෙකලාව සිටින පින්තූරයක් හෝ පළ කර ඇය කනස්සල්ලෙන් සිටින බවත් හේතුව කසාදයේ බවත් සඳහන් කිරීම සුලභ සිද්ධියකි.


එහෙත් වරෙක පළවූයේ කේට්ගේ ඇඳුම් විලාසිතාවක් ගැන රැජින කනස්සල්ලෙන් සිටින වගය.


රජකම පවරයි.


එළිසබෙත් මහරැජින තමන් සතු රජ කිරුළ සිය මුණුබුරු විලියම් කුමරු වෙත පැවරූ බවත් එබැවින් මේ මොහොතේ පටන් කේට් කුමරිය රැජින බවට පත්වන බවත් ලෝකයම හෙල්ලූ ඕපාදූපයක් විය.


මන්දයත් මහ රැජින වූ කල ලෙහෙසියෙන් රජ කිරුල අත්නොහරින යකඩ ගැහනියක බව ලෝකය විශ්වාස කළ බැවිනි.


එහෙත් පුවතේ පළවූයේ රැජින මානසිකව ද කායිකව ද වෙහෙසට පත්ව සිටින බැවින් මේ තීරණය ගත් බවය.
මේ පුවතත් සමඟ බොහෝ රටවැසියෝ විලියම් කුමරුටත් කේට් කුමරියටත් සුබ පතා පණිවිඩ පිට පණිවිඩ යොමු කළහ. විලියම් කුමරු සේම කේට් කුමරියද පුදුමයෙනුත් පුදුමයට පත්කරන්නට මේ සුබ පැතුම් සමත් විය. එහෙත් රැජින එ් වන විටත් තම කිරුළ බරක් සේ සැලකූයේ නැත.


 

කේට් ‘ටොප්ලස්’


දකුණු පංශයේ නිවාඩු නිවස්නයක කේට් කුමරිය නිරුවත් උඩුකයෙන් අව්ව තපින පිංතූරයක් ප්‍රංශ ගොසිප් පත්තරයක් සාඩම්බරයෙන් පළ කළේය. මේ සමගම කේට් කුමරිය ගැන තවත් ඕපාදූපද පළ කෙරුණේ ඇගේ චරිතය මත මඩ තට්ටු පිටින් අතුල්ලමිනි.

 


තුන්වෙනි දරුවා


ගොසිප් හිඟවූ බොහෝ අවස්ථාවල කේට් කුමරිය තුන්වැනි වතාවටත් ගැබ්ගත් බව සඳහන් කෙරිණි. රජ පවුලට තවත් කෙනෙක් එකතුවීම එංගලන්ත රට වැසියන්ට තලු මැරිය හැකි ප්‍රවෘත්තියකි.


එනිසාම ගොසිප් හිඟවෙන හැම වරෙකම කේට්ට බබෙක් කියමින් පළ කරන ගොසිප් පාඨක ආකර්ශනය දිනාගන්නේය.


හැබැයි කේට් තුන්වැනි දරු උපතකට සූදානම් බව රජ මාලිගය නිවේදනය ක​ෙළ් ඊට කලකට පසුවය.

 


උදේ ලෙඩ්ට කේට්ට සුප්


කාන්තාවක් ගැබ් ගත් විට, උදේ පාන්දරට හැදෙන අසනීප තත්ත්වය තරමක් අමාරුය. උදේට වමනය වීම නිසා සිරුරට දැනෙන්නේ මළානික බවකි. මේ හේතුව නිසා කේට් කුමරියට තම දෛනික රාජකීය රාජකාරිය අතපහසු වන්නේය.


මෙය අපූරු ගොසිප් එකකි.


මේ ගොසිප් එක දවස් දෙක තුනක් තලු මැරූ පසුව පාඨකයන් වෙත ළං කළේ කේට්ට සුප් පිළියෙළ කර දෙන පුවතය.
කේට්ට හිමිදිරියෙන්ම ලබාදනෙ සුප් කෝප්පය පිළියෙල කළේ හැරී කුමරුගේ ආදරය දිනූ මෙගන් මැර්කල් බව සඳහන් කෙරිණි.

 


අසම්මත ආදරය


අසම්මත පෙම්කතා පාඨකයන් තලු මර මරා රසවිඳින ගොසිප්ය මේ හොර පෙම් කතා ඩයනාටත් තිබිණි. එහෙමනම් කේට්ට නොතිබෙන්නට පුළුවන්ද?


වතාවක් ලෝකයම හෙල්ලුම් කෑ ඡායාරූපයක් ගොසිප් වෙබ් අඩවියක පළ කෙරුණේය. එහි වූයේ කේට් කුමරිය, තවත් ඉලන්දාරියකු සමඟ ඇවිද යන පින්තූරයකි.


පැපරාසියකුගේ කැමරාවක සටහන් වූ බව ද පැවැසුණු මේ පින්තූරයේ, කේට් සමඟ සිටින්නේ ඇගේ පරණ පෙම්වතෙකැයි ද සඳහන් කර තිබිණි.


මේ විදිහට ගොසිප් මවන එක ගොසිප් වෙබ්අඩවිවල පුරුද්දයි. මෙවැනි ගොසිප් නැතුව තමන්ගේ වෙබ්අඩවි පවත්වාගෙන යන්නට වෙබ් අඩවි නිර්මාතෘවරුන්ට පුළුවන් කමක් නැත.


එහෙත් ප්‍රශ්න ඇතිවන්නේ මේ කුණු ගොසිප්වලට මුහුණ දෙන්නට සිදුවන උදවියටය. කොටින්ම කුණු ගොසිප් නිසා කේට් කුමරිය පමණක් නොව මුළු රජ පවුලම පත්වූයේ අමාරු අඩියකටය. එනිසාම බොහෝ ගොසිප් බොරු බව පවසා ප්‍රතික්ෂේප කරන්නට රජ මැදුර ක්‍රියා කළේය.


එහෙත් කේට්, විලියම්, හැරී, චාල්ස් ඇතුළු රජ පවුලේ උදවියට හෙටත් ගොසිප් මැවෙනු ඇත්තේය. කේට්ගේ පොඩිඑවුන් තව චුට්ටක් ලොකු වෙනකොට ඔවුන්ටත් ගොසිප් හැදෙනු ඇත්තේය.

 

 

 

 

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන