හෝරාවෙන් ඵල ලබන්න


සුබ කටයුත්තක් ආරම්භ කිරීම සඳහා මුහුර්තයක් තෝරා ගැනීම අතිශය බැරෑරුම් කාර්යයකි. ජ්‍යොතිෂවේදියකු සුබ නැකැතක් සෑදීමේදී සලකා බලන කරුණු රාශියක් ඇත. හෝරාවද ඒ අතර එකකි. ‘අර්කඃ ශුක්‍රෝ බුධඃ චන්ද්‍රෝ - ශනිර් මන්ත්‍රී මහි සුතං’ යනුවෙන් හෝරා හතක් දැක්වේ. රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි යනුවෙනි. හෝරාවක් යනු ඉංග්‍රීසි ක්‍රමය අනුව පැයක කාලයකි. මෙම පැය ඉර උදාවේ සිට ආරම්භ වේ. හෝරාව යළි පංචම හෝරාව වශයෙන් කොටස් පහකටද පංචම හෝරා කොටසක් සූක්ෂම හෝරාව වශයෙන් නැවත කොටස් තුනකට ද බෙදේ. නැකැතක් සාදන විට හෝරාවක් තුළ ඇති විෂ පංචම කොටස ඉවත් කරනු ලබයි. සාමාන්‍යයෙන් චන්ද්‍ර බුධ ගුරු ශුක්‍ර හෝරා සුබ වැඩට යොදා ගන්නා අතර රවි, කුජ, ශනි හෝරා සුබ වැඩට යොදා නොගනී. සංස්කෘත ඇදුරන් විසින් ඒ ඒ හෝරාවන් හිදී කිරීමට සුබ කටයුතු මෙසේ දක්වා ඇත.  
 
ගුරුර් විවාහේ ගමනේච ශුක්‍රෙ  
ඥාණෙන බුධ දක්ෂිණ තේව ගෞරී   
යුද්ධෙව භෞවේ නපප දර්ශනාර්තඃ   
සර්වේසු කාර්යයේසු බලී ශශංකඃ   


එ් අනුව විවාහයට ගුරු හෝරාව ද ගමන් යාමට සිකුරු හෝරාවද, ඉගෙනීමට බුධ හෝරාවද පැවිදි වීමට ශනි හෝරාවද යුද්ධ කිරීමට කුජ හෝරාවද රජුන් නායකයන් හමු වීමට රවි හෝරාවද සියලු සුබ කටයුතු සඳහා සඳු හෝරාවද සියලු සුබ කටයුතු සඳහා සඳු හෝරාවද සුබ බව කියැවේ.   


සාමාන්‍යයෙන් ඔබ විසින් සිදු කරනු ලබන එදිනෙදා කටයුතුවලදී එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හෝරාව භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව පහදා දීම මෙම ලිපියේ අරමුණයි.   

 

රවි හෝරාව   


● රජවරුන් මැති ඇමැතිවරුන් උසස් රජයේ නිලධාරීන් හමු වීමට   
● දේශපාලන කටයුතු ඇරඹීමට   
● ගිවිසුම් අත්සන් කිරීමට   
● බෙහෙත් ගැනීමට, ශල්‍යකර්ම කිරීමට   
● තනතුරු බාර ගැනීමට   
● සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමට   
● බදු දීමට   
● පොලිසියට පැමිණිලි කිරීමට   
● රන් ආභරණ සෑදීමට   
● මන්ත්‍ර ජප කිරීමට   
● පියා හමු වී උපකාර ගැනීමට  

 

සඳු හෝරාව 

 
● විදේශ ගමන් ඇරඹීමට   
● මඩ සහිත ඉඩම් මිලදී ගැනීමට   
● ළිං කැපීමට   
● වී වැපිරවීමට   
● කවි ගීත ප්‍රබන්ධයට   
● වෙළෙඳාම් ඇරඹීමට   
● අනුකම්පාව ලබාගැනීමට   
● තනතුරු බාර ගැනීමට  

 

කුජ හෝරාව 

 
● නඩු පැවරීමට   
● ඉඩම් මිලදී ගැනීමට   
● ඉංජිනේරුමය වැඩ ඇරඹීමට   
● ​ෙගාඩනැගිලි ඉදිකිරීමට   
● මුද්‍රණ ශිල්පයට   
● වාහන මිලදී ගැනීමට   
●යුද සේවයට පොලිසියට බැඳීමට   
● ස්වර්ණාභරණ වෙළෙඳසැල් ඇරඹීමට   
● කර්මාන්තශාලා විවෘත කිරීමට  

 

බුධ හෝරාව 

 
● අකුරු කියවීමට   
● ​ෙපාත් ලිවීම ඇරඹීමට   
● දරුවන් පාසලට ඇතුළත් කිරීමට   
● දේශන ඇරඹීමට   
● ගුරුවරයකු වශයෙන් වැඩ භාර ගැනීමට   
● ලොතරැයි සුරැකුම් පත් බැඳුම්කර මිලදී ගැනීමට   
● සමාගම් ඇරඹීමට   
● කට පාඩම් කිරීමට   
● සන්නිවේදන ප්‍රචාරක කටයුතුවලට  

 

ගුරු හෝරාව

   
● ප්‍රධානීන් හමුවීමට   
● බැංකු ණය ඉල්ලීමට   
● බැංකු ගිණුම් ඇරඹීමට   
● රජයේ ගොඩනැගිලි ඇරඹීම සඳහා අත්තිවාරම් දැමීමට   
● දරු සම්පත් ලැබීම සඳහා රාත්‍රී කාලයේ දී ස්ත්‍රී පුරුෂයන් එක්වීමට   
● පොත් පත් ලිවීමට   
● ජ්‍යොතිෂ කටයුතු ආරම්භයට   
● ඖෂධ පාවිච්චියට  

 

සිකුරු හෝරාව 

 
● විවාහයට   
● ශුභ ගමන් විනෝද ගමන් යාමට   
● ස්වර්ණාභරණ වැනි අලංකාරයට හේතු වන කරුණුවලට   
● ප්‍රිතී උත්සවවලට   
● කවි ගීත රචනයට   
● වාහනයක් මිලදී ගැනීමට   
● පෙම්පත් ලිවීමට   
● කිරි පට්ටි ආරම්භයට   
● සංගීත ආයතන, ඡායාරූප ශාලා, සිනමා හල්, බාලිකා පාසල් ආදිය ආරම්භ කිරීමට   
● වගා කටයුතුවලට  

 

ශනි හෝරාව 

 
● පැවිදිවීමට   
● සම්බන්ධතා අත්හැරීමට   
● අල වර්ග සිටුවීමට   
● භාවනා කිරීමට   
● දරුණු පුද්ගලයන් මෙල්ල කිරීමට  

 

 

 

 

 

 

 

 

 

 

 

ජ්‍යොතිෂවේදී  
දැරණියගල, මාලි​බොඩ
කපිල ඉන්ද්‍රික ගුණදාස