හෝමෝ සේපියන්ට කලින් සිටි අඟුටුමිටි මිනිසුන් සොයා ගනියි


2003 වසරේ ඕස්ට්‍රේලියා සහ ඉන්දුනීසියා පුරාවිද්‍යාඥයෝ ගවේෂණයක යෙදුණහ. ඒ, නූතන මානවයා වන ‘‘හෝමෝ සේපියන්’ ගැන සැඟවුණු හෝඩුවාවක් සොයමිනි. ඒ සඳහා විද්‍යාඥයන් පෙළඹවූයේ ‘හෝමෝ සේපියන්’ මානවයා, ආසියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැතිර ගිය බවට පැවැති අදහසකි. විද්‍යාඥයෝ ඉන්දුනීසියාවේ ෆ්ලොරේස් දූපතේ ගවේෂණය කරමින් ‘හෝමෝ සේපියන්’ මානවයාගේ ශේෂ වූ සාක්ෂි සෙවීම සිදු කළහ.

 

 

එම ගවේෂණයේ යෙදෙද්දී, නව මානව විශේෂයක් හමුවේවි යැයි පුරාවිද්‍යාඥයෝ සිහිනෙකින්වත් නොසිතූහ. ඔවුන්ට නව මානව විශේෂයක අස්ථි කොටස් හමුවිය. ඒ, ෆ්ලොරෙන්ස් දූපතේ වන මැද පිහිටි ‘ලියැන් බුආ’ නමැති ලෙන තුළිනි.   

 

නව මානවයාගේ ඇටසැකිලි 7 ක් විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී. සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ නව මානවයා අවුරුදු 38,000 සිට 13,000 ක් පැරැණි බවය ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ යනුවෙන් මෙම නව මානවයා නම් කෙරුණි. මානව පරිණාම කතාවට අදාළ සෙසු මානවයන් මෙන් නොව, මෙම නව මානවයා තරමක් අසාමාන්‍යය. හිස සිරුරට වඩා විශාලවන අතර සිරුර ප්‍රමාණයෙන් කුඩාය. මානවයාගේ ප්‍රමාණය ද කුඩාය. ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ අප මනුෂ්‍යයන්ට වඩා තරමක් කුඩා වුවත් අඟුටුමිට්ටකු හෝ කුරු මිනිසකු හෝ නොවෙයි. වෙනමම මානව විශේෂයක් බව තහවුරු විය.   


2004 වසරේදී, පුරාවිද්‍යාඥයන් ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ මානවයා ගැන ලොවට හෙළි කරද්දී, නවසීලන්ත සිනමාකරු පීටර් ජැක්මන්ගේ ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපට ත්‍රිත්වය ලොව කාගේත් වසඟයට පත්වී තිබුණි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන කුඩා හොබිට්වරු ලොව කාගේත් ආදරයට ලක් වී සිටියහ. ඒ අනුව ‘හෝමෝ ෆ්ලොරෙසියෙනිස්’ මානවයා ‘හොබිට් මානවයා’ යනුවෙන් ද හැඳින්විණි.   


වසර මිලියනයක් අතීතයේ, ඉන්දුනීසියාවට අයත් ෆ්ලොරේස් දූපතේ වාසය කළ ‘හොබිට් මානවයන්’ තවමත් ලොවට අබිරහසකි. කෙසේ නමුත් විද්‍යාඥයන් ‘හොබිට් මානවයන්’ ගැන නව තොරතුරු රැසක් හෙළි කර ගනිමින් සිටින බව බ්‍රිතාන්‍යයේ මේල් ඔන්ලයින් වෙබ් අඩවිය කියයි. ඒ සඳහා නවතම තාක්ෂණය භාවිත කෙරේ.   


මෙම පුරාණ මානවයාගේ උස අඩි 3 ක් (මීටර් 0.9 ක්) පමණි. නව සොයා ගැනීම් අනුව පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් පවසන්නේ, මානවයා අප්‍රිකාවෙන් බිහිවීමෙන් පසු, ආසියාවට එසේත් නැතිනම් ඉන්දුනීසියාව දෙසට පැමිණි පළමු මානව විශේෂය ‘හොබිට් මානවයන්’ කියාය. සෙසු මානව විශේෂ ආසියානු රටවලට පැතිර ගියේ ඉන්පසුවය.   


‘හොබිට් මානවයවන්’ පරිණාමය යන්න ඇත්තේ ‘හොමෝ හැබිලිස්’ මානවයන් පරිණාමය වූ අවදියේ යැයි ද විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ. ‘හොබිට් මානවයන්’ සහ හෝමෝ හැබිලිස්’ මානවයන්ගේ සමානකම් තිබිය හැකි බව විද්‍යාඥයෝ කියති. මෙම තොරතුරු සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වූයේ හමුවුණු අස්ථි දිගින් දිගටම පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුවය.   


හෝමෝ හැබිලිස් යනු මුලින්ම පහළවුණු මානව විශේෂයකි. හෝමෝ හැබිලිස් අප්‍රිකාවේ වාසය කළේ මිලියන 2.1 ත් 1.5 ත් අතර කාලයේය.   


හොබිට් මානවයන් ගැන මෙම කරුණු ලොවට අනාවරණය කළේ මහාචාර්ය ඩෙබී ආර්ග් ය. ඇය ඕස්ට්‍රේලියා ජාතික සරසවියේ මහාචාර්යවරියක වන්නීය. ‘හොබිට් මානවයන්’ ගැන අධ්‍යයනය කටයුතු සිදුකරන්නේ ඇය සහ ඇගේ කණ්ඩායමයි.   


‘අපි හොබිට් මානවයාගේ අස්ථිල හිස් කබල, දත් ආදිය පරීක්ෂණවලට ලක් කළා පමණක් නොවෙයි, ඒවා සෙසු මානවයන්ගේ ශේෂ කොටස් සමඟ සංසන්දනය කළා. පරිගණක වැඩසටහන් යොදා ගනිමිනුයි මේ දේවල් අපි කළේ. ඒ අනුව අප කලින් සිතූ විදියට ‘හොබිට් මානවයවන්’ පරිණාමය වූයේ හෝමො හැබිලිස් හෝ හොමෝ ඉරෙක්ටස් යන මානවයන්ගෙන් නොවන බව තහවුරු වුණා’ යැයි ඩෙබී ආර්ග් කියා සිටී. එපමණක් නොව පරිගණක ආධාරයෙන් ගැහැනු හොබිට් මානවයකුගේ ත්‍රිමාණ රුවක් නිර්මාණය කරන්නට ද ඩෙබී ආර්ග් ඇතුළු කණ්ඩායම සමත් වී ඇතැයි ද මේල් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.