හේපිස්ටියොන් සහ ඇලෙක්සැන්ඩර්


ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දියානු ආක‍්‍රමණය 7  

 

 

සුසාවට පැමිණි ඇලෙක්සැන්ඩර් කෙටි කලක් එහි ගත කළේය. සුසාව පුරාණ ශිෂ්ටාචාරයේ දොරටුව බඳු රාජ්‍යයක් විය. අතීතයේ මෙසපොතේනියාව ලෙසින් හැඳින්වුණ මෙම කලාපය (වර්තමාන ඉරාකය, ගිනිකොනදිග තුර්කිය, නිරිතදිග ඉරානය, ඊසානදිග සිරියාව සහ කුවේටය වැනි රටවල් මෙයට ඇතුළත්ය.) ටයිග්‍රීස් නදිය සහ සග්‍රොස් කඳුකරයට මැදිව පිහිටා තිබිණි. සුසාව වත්මනෙහි හැඳින්වෙන්නේ ඉරානයේ සුෂ් නගරය ලෙසිනි.  
 
ක්‍රි.පූ. 324 දී ඇලෙක්සැන්ඩර් විශේෂ නියෝග දෙකක් පැනවීය. තම යුද ප‍්‍රතිපත්තිය හේතුවෙන් බොහෝ කලක් තම මාතෘ භූමියෙන් ඈත් ව සිටි ග්‍රීක කුලී හේවායන් පිරිසක් නිසා කිසියම් සාමාජීය ප‍්‍රශ්නයක් නිර්මාණය වී තිබිණි. ඇලෙක්සැන්ඩර් එම ග්‍රීක කුලී හේවායන් යළි ඔවුන්ගේ උපන් ගම්බිම්වලට යැවීමට හැකි වන අයුරින් තම ප‍්‍රතිපත්තිය සංශෝධනය කළේය. ඔහුගේ දෙවැනි නියෝගය වූයේ තමා දෙවියකු ලෙස පිළිගත යුතුය යන්නය. තමන් ලද යුද ජයග‍්‍රහණ සාමාන්‍ය මිනිසකුට අත්පත් කරගත නොහැකි බැවින් තමන් අනිවාර්යයෙන්ම දෙවියකු යැයි ඔහු සිතීය. තරුණ වියේදීම එවැනි ජයග‍්‍රහණ හිමි කර ගැනීමට හැකි වූයේත් විශේෂයෙන්ම ආසියානු සහ ඊජිප්තු ජයග‍්‍රහණ ලබාගත හැකි වූයෙත් තමන් මනුෂ්‍ය වර්ගයාට වඩා උසස් බැවිනැයි ඔහුගේ විශ්වාසය විය.   


ඇලෙක්සැන්ඩර් තුන් වැනි ඩේරියස් රජුගේ දියණියක වූ ස්ටැටේරියා සමඟ විවාහ වූයේ ද සුසාවේදීය. පර්සියානු හා මෙසිඩෝනියානු සංස්කෘතිය අනුව බහු විවාහ තහනමක් නොවූ හෙයින් රොක්සානා සමඟ විවාහ වී සිටි ඇලෙක්සැන්ඩර්ට ස්ටැටේරියාද, අර්තක්සෙස්ගේ දියණියක වූ පාරිසටීස්ද විවාහ කර ගැනීමට බාධාවක් නොවීය. ඩේරියස්ගේ හා අර්තක්සෙස්ගේ දියණියන් විවාහ කර ගැනීම මත පර්සියාවේ සිටි බලවත්ම රජුන් දෙදෙනකුගේ පුත‍්‍රයකු බවට ඇලෙක්සැන්ඩර් පත් විය. ‘සුසාවේ මහා විවාහ මංගල්‍යය’ ලෙසින් හැඳින්වූ පර්සියානු ප‍්‍රභූ යුවතියන් 80 දෙනකු ඇලෙක්සැඩර්ගේ සෙන්පතියන්ට විවාහ කර දීමේ විවාහ මංගල උත්සවය පැවැත්වූයේද සුසාවේදීය.  


විවාහ මංගල්‍යය පැවැතියේ පර්සියානු චාරිත‍්‍රානුකූලවය. ශාලාවේ අසුන් ගෙන සිටි මනාලයන් වෙත පැමිණි මනාලියෝ ඔවුන්ගේ අත්ගෙන සිප වැළඳ ගැනීමෙන් විවාහ සිදු විය. පළමුවෙන්ම ඇලෙක්සැන්ඩර්ගේ විවාහය සිදු කෙරුණු අතර ඉන් පසු සෙන්පතියන්ගේ විවාහය සිදු කෙරිණි. විවාහ වූ සියල්ලන් සඳහා දායාදය ලබා දෙන ලද්දේ ඇලෙක්සැන්ඩර් විසිනි. ඉන් පෙර පර්සියානු කාන්තාවන් හා විවාහ වී සිටි මෙසිඩෝනියානුවන්ගේ ලැයිස්තුවක් සකස් කරන ලෙසද නියෝග කළ ඔහු ඔවුන් සියලු දෙනා කැඳවා ත්‍යාග පිරිනැමීය. එම පිරිස 10,000ක් පමණ වී යැයි පැවසේ.   


මෙම විවාහයන්හි සැබෑ අරුත හුදෙක් ඇලෙක්සැන්ඩර් සතුටු කිරීම උදෙසා පමණක්යැයි පසක් වූයේ ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු සියලු දෙනා තම මනාලියන් දික්කසාද කිරීමට පියවර ගැනීම නිසාය. තම බිරියන් දික්කසාද කිරීමෙන් වැළකී සිටියේ දෙදෙනකු පමණි. ඒ ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම මිතුරා වූ හේපිස්ටියොන් සහ සෙන්පති සෙලුකුස්ය. හේපිස්ටියොන් ඇලෙක්සැන්ඩර්ට පෙර මිය ගිය හෙයින් ඔහුට තම බිරිය දික්කසාද කිරීමට අවස්ථාවක් නොවීය.   


ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම මිතුරා වූයේ හේපිස්ටියොන්ය. ළමා වියේ සිට හේපිස්ටියොන් හා ඇලෙක්සැන්ඩර්, ඇරිස්ටෝටල් යටතේ අධ්‍යාපනය ලැබූහ. ඇලෙක්සැන්ඩර් හට බොහෝ මිතුරන් සිටියද ඔහුගේ සමීපතම මිතුරා වූයේ හේපිස්ටියොන්ය. ඇරිස්ටෝටල් පඬිවරයා ඔවුන් දෙදෙනා හැඳින්වූයේ “සිරුරු දෙකක් තුළ සිර වූ එක් ආත්මයක්” ලෙසිනි. ඇලෙක්සැන්ඩර් හා රොක්සානා අතර විවාහයේදී ඔහුගේ දෙවැනි මනාලයා වූයේ ද හේපිස්ටියොන්ය.   


හේපිස්ටියොන්ගේ හදිසි මරණය ඇලෙක්සැන්ඩර්ගේ දැඩි ශෝකයට හේතු විය. ඔහු ඇලෙක්සැන්ඩර්ගේ අංගාරක්ෂකයා වූ අතර දෙවැනි පිලිප් රජුගේ පාලන සමයේ සිට ඉතා කීර්තිමත් භට පිරිසක් ලෙසින් සැලකුණු අශ්වාරෝහක හමුදාවට ඇලෙක්සැන්ඩර් පාලන සමයේ අණ දෙන ලද්දේ ඔහුය. සටන් බිමේදී අශ්වාරෝහක භට කණ්ඩායම මෙහෙයවමින්ද, ඇලෙක්සැන්ඩර්ගේ තානාපතියකු ලෙසින් දූත මෙහෙවරේ යෙදෙමින්ද, හමුදාවට එතෙර වීම සඳහා ගංගා ඔස්සේ විශාල පාලම් තැනීමේ නිරත වෙමින්ද, නව ජනපද පිහිටුවමින්ද, යුද කටයුතු සඳහා ඇරිස්ටෝටල් හා සෙනොක්‍රිට්ස් වැනි පඬිවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින්ද හේපිස්ටියොන් ඇලෙක්සැන්ඩර් උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටු කළේය. ග්‍රීකයන් සහ පර්සියානුවන් අතර සමගිය ඇති කිරීම සඳහාද ඔහු මහඟු දායකත්වයක් සැපයීය. ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යයේ දෙවැනි අණ දෙන නිලධාරියා වූයේ ඔහුය. ඇලෙක්සැන්ඩර් තම මිතුරා රාජකීයත්වයට පත් කරන ලද්දේ තුන්වැනි ඩේරියස් රජුගේ දියණියක හා තම බිරියක වූ ස්ටාටෙයිරාගේ සොහොයුරිය වූ ඩ‍්‍රයිප්ටිස් ඔහුට විවාහ කර දීමෙනි.   


විවාහයෙන් පසු ක්‍රි.පූ. 324 වසන්ත සමයේ හේපිස්ටියොන් සූසාවෙන් පිටත්ව එක්බතානා බලා ගියේ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව සමඟ එක්වීම සඳහාය. එහිදී ඔහු උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඔහු දින සතක් රෝගීව සිටියේ යැයි ඉතිහාසඥ ඇරියන් සඳහන් කර තිබේ. ඔහුගේ වෛද්‍යවරයා වූ ග්ලවුසියාස්ගේ ප‍්‍රතිකාර හා උපදෙස් පිළිනොගත් හේපිස්ටියොන් වෛද්‍යවරයාට රහසින් බදින ලද කුකුළකු අනුභවකොට වයින් බඳුනක් පානය කළේය. ඉන් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වූ අතර හඳුනා නොගත් රෝගයකින් 32 හැවිරිදි හේපිස්ටියොන් මිය ගියේය. තම මිතුරා සුවපත් නොකිරීම පිළිබඳව උරණ වූ ඇලෙක්සැන්ඩර් ඔහුගේ වෛද්‍යවරයා කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළේය. හේපිස්ටියොන්ගේ සිරුර ආදාහනයකොට අළු බැබිලෝනියාවට ගෙන යන ලද අතර ඔහු දෙවියකු ලෙස ප‍්‍රකාශයට පත් කොට ස්මාරක රැසක් තනන්නට ඇලෙක්සැන්ඩර් ක්‍රියා කළේය.   
හේපිස්ටියොන්ගේ මරණයෙන් පසු කෙටි ශෝක කාලයක පසු වූ ඇලෙක්සැන්ඩර් තවත් යුද මෙහෙයුමක් සඳහා සූදානම් විය. මෙවර ඔහුගේ ප‍්‍රතිවාදීන් වූයේ, කොසේයි ගෝත්‍රිකයන්ය. පර්සියාවේ කොසේයා නමැති කඳුකර දිස්ත්‍රික්කයේ පාලනය නතු කරගෙන සිටියේ ඔවුහුය. දකුණින් සුසාවටත්, උතුරින් මෙඩියා මැග්නාවටත් මායිම් වී ඔවුන්ගේ බල ප‍්‍රදේශය පිහිටා තිබිණි. එම ප‍්‍රදේශය නිසරු කලාපයක් වූ බැවින් කෘෂිකර්මාන්තයෙන් යැපිය නොහැකි විය. දුනු හී දැරූ මෙම සටන්කාමී ගෝත්‍රිකයෝ නිරතුරුව වෙනත් ප‍්‍රාන්ත සමඟ අරගල කරගත් අතර ඔවුන්ගේ ජීවනෝපාය වූයේ සොරකමයි. බැබිලෝනියාවට හෝ සූසාවට හෝ යන්නන් ඔවුන්ගේ පාලන ප‍්‍රදේශ ඔස්සේ යා යුතු වූ අතර එම පුද්ගලයන්ගෙන් කඩවත් බද්දක් අය කිරීමට ඔවුහු පියවර ගත්හ. එතෙක් සිටි පර්සියානු පාලකයෝ කොසේයි ගෝත්‍රිකයන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොතිබි අතර බදු ගෙවීමටද අකමැති නොවූහ. ඇලෙක්සැන්ඩර්ට අවශ්‍ය වූයේ මොවුන් පරාජය කොට බදු ගෙවීම නවතා දැමීමටය.   

 

 

මෙම කඳුකර ගෝත්‍රිකයනට ප‍්‍රහාරයක් එල්ල කළ යුතු වූයේ සීත සෘතුවේය. වෙනත් සෘතුවක පහර දුනහොත් ඔවුනට කන්දෙන් කන්දට පැන යමින් තම හමුදාවට පහර එල්ල කළ හැකියැ යි ඇලෙක්සැන්ඩර් සිතීය. ඇලෙක්සැන්ඩර් සීත සෘතුව තෙක් කල් මරන්නට විය. කඳුකරයේ විවිධ ස්ථානවල සැඟව සිටියද ඔවුන්ගේ ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය දෑ ගබඩා කර තිබුණේද ගව සම්පත රඳවා සිටියේද එක් ගම්මානයකය. සීත සෘතුවේ ඇලෙක්සැන්ඩර් මෙම ගම්මානයට පහර දීමට තීරණය කළේය. එක් හමුදාවක් ඇලෙක්සැන්ඩර්ගේ නායකත්වයෙන්ද, තවත් හමුදාවක් ලාගුස් නම් සෙනෙවියාගේ පුත‍්‍රයා වූ ටොලමි යටතේද වූහ. අනපේක්ෂිත ප‍්‍රහාරයෙන් කොසේයි ගෝත්‍රිකයෝ පරාජය වූහ.   


කොසේයි ගෝත්‍රිකයන් යටත්වීමෙන් පසු ඇලෙක්සැන්ඩර් ඔවුන්ගේ පාලන ප‍්‍රදේශයේ නව නගර සහ බළකොටු ඉදි කළේය. එම නගර පසුකර යන්නන්ගෙන් බදු අය කිරීම නතර විය.   


ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාව දෙසට ගමන් ඇරඹීය. අතරමගදී ඔහුගේ ආසියානු ජයග‍්‍රහණයට සුබපැතුම් රැගෙන විවිධ රාජ්‍යයන්හි සිට පැමිණි තානාපතිවරුන් රැසක් මුණ ගැසිණි. බොහෝ පාලකයෝ නව අධිරාජයා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා මිත‍්‍රත්වය තහවුරු කර ගැනීමේ අරමුණින් තම තානාපතිවරුන් එවා තිබිණි. ඇලෙක්සැන්ඩර්ගේ කීර්තිය බටහිර රාජ්‍ය පුරා පැතිර ගියේය. ඉතාලියේ සහ සිසිලියේ සිටි ග්‍රීක කපිතාන්වරු හා ජෙනරාල්වරු තමන්ට වරින්වර ප‍්‍රහාර එල්ල කළ ම්ලේච්ඡයන්ගෙන් පළිගන්නට වූහ.   


බැබිලෝනියාවට යන ගමනේ දී ඇලෙක්සැන්ඩර් ටයිග‍්‍රීස් නගරයට ළඟා විය. ඔහු නගරයට පිවිසෙන බවට වන ආරංචිය ලද චාල්දියන් පූජකයන් පිරිසක් පෙරමඟට ගොස් ඇලෙක්සැන්ඩර් හමුවූහ. තමන්ගේ බෙලූස් නම් දෙවියා රජුට එම නගරයට පිවිසීම නුසුදුසු යැයි දැන්වූ බවට ප‍්‍රකාශ කර සිටියහ. මෙම ප‍්‍රවෘත්තිය ඇසූ ඇලෙක්සැන්ඩර් නගරයට ඇතුළුවීමෙන් වැළකී සිටියේය. ඔහුගේ අරමුණ වූයේ තම රාජධානියේ අගනගරය ලෙස ටයිග‍්‍රීස් නගරය නම් කිරීමටය. නගරය පිළිබඳව ග්‍රීක කවියකු වූ යුරිපිඩිස් රචනා කළ පද පේළි ඇලෙක්සැන්ඩර් තම මිතුරන් සමඟ වරින්වර මතකයට නැංවීය. එකී පුනරුච්චාරණය තුළ බෙලූස් දෙවියාගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු තුළ සැකයක් වූ බැව් පෙනී ගියේය.   


චාල්දියන් පූජකයෝ බෙලූස් දෙවියා උදෙසා දෙවොලක් තනමින් සිටියහ. බොහෝ කාලයක් ගත වුවද එය නිමකර ගැනීමට ඔවුනට නොහැකි විය. එතෙක් එය ඉදිකිරීමට නොහැකි වූයේ ඇසිරියන් රජවරුන් විසින් දෙවොල තැනීම සඳහා වෙන්කර තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් ඇලෙක්සැන්ඩර් විසින් අත්පත් කරගෙන සිටි හෙයිනි.   


පූජකයන් හමු වූ ඇලෙක්සැන්ඩර් තම හමුදාව යොදවා එම දෙවොල ඉදිකිරීමට සූදානම් යැයි පවසා දෙවොල ඉදි කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන්නේය. ඇලෙක්සැන්ඩර්ට නගරයට ඇතුළු නොවන ලෙසට පූජකයන් කළ ප‍්‍රකාශය දෙවියන්ගෙන් ලද පණිවිඩයක් නොව පූජකයන්ගේ ක්‍රියාවක් බැව් පැහැදිලි විය. බැබිලෝනියාව තුළ බෙලූස් දෙවියාගේ බලය නොව ඇලෙක්සැන්ඩර්ගේ බලය ප‍්‍රබලය යන්න අවසානයේ ඔවුන්ට ප‍්‍රත්‍යක්ෂ විය.   

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා