ඇය රිදී තිරයේ දුහුළු මලකි. එදා සිට අද දක්වා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගැනීමට ඇය සමත් වූවාය. ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම ආදරය හා ප්‍රශංසාව ඇය ලබාගත්තේ නිරහංකාර බව නිසාවෙනි. ඇය හැමෝම සමඟ විවෘතව තම අදහස් ප්‍රකාශ කරන්නීය.
අද දවසේදී නිතරම සිනහමුසු මුහුණින් සිටින ඇය, විවාහයට පෙර නම් හරිම කේන්ති යන චරිතයක් බවට පත්වී සිටියාය. රිදී තිරයේ දක්ෂ රංගන ශීල්පිණියක වන ඇය, පසුව චිත්‍රපට නිෂ්පාදනයට ද අත ගැසුවාය. අද දවසේදී අැය වේදිකාවට ද එක්ව තිබෙන්නීය. ඒ මනුජ් අනවරත්නගේ “සඳ එළියට වෙඩි තියන්න” නාට්‍යයෙනි.
ඇය නමින් නීටා ප්‍රනාන්දුය. අදටත් රංගන ක්ෂේත්‍රයේ නිරත වී සිටින ඇය ආදරය, ප්‍රේමය සහ විවාහය ගැන කතාකිරීමට කැමැති වූයේ මා කෙරෙහි විශ්වාසය ඇති නිසාවෙනි. එ් විශ්වාසය එලෙසින්ම තබාගනිමින් නීටා සමඟ අපේ කතාබහ ආරම්භ කළෙමු. ඇය එහිදී සමහර කරුණු ප්‍රථමවතාවට හෙළිකළේ අපගේ ඒ විශ්වාසය නිසාවෙනි. ඉඳින් දැන් මම නීටා සමඟ ආදරය, ප්‍රේමය සහ විවාහය පරිච්ඡේදය මෙසේ සටහන් කරන්නෙමි.
මුලින්ම නීටා ඔයා මේ දවස්වල මොනවද කරන්නේ කියා අපි දැන ගන්න කැමැතියි ආදරය, ප්‍රේමය ගැන විමසන්න පෙර. මුලින් ඒ ගැනත් කියමුකෝ.
හොඳයි පසුගිය කාලයේ විසාකේය චන්ද්‍රසේකරම්ගේ අලුත් චිත්‍රපටයක රඟපෑවා. අලුතින් කළේ මනුජ් අනවරත්නගේ අලුත් වේදිකා නාට්‍යයේ රඟපෑමයි. මම අවුරුදු 8කට පස්සේ තමයි වේදිකාවට අඩිය තිබ්බේ. සඳ එළියට වෙඩි තියන්න තමයි ඒ නාට්‍යයේ නම. කලින් මම කළ චිත්‍රපට 2ක් තිබෙනවා. තේජා සහ ස්වර කියා. තේජා චිත්‍රපටය තිරගත කරන්න කතාකරමින් ඉන්නවා. ඊට වඩා විශේෂ දෙයක් නෑ.
හරි දැන් අපි මාතෘකට බසිමු. ඔයාට මුලින්ම ප්‍රේම සිතිවිල්ලක් ඇති වුණේ කොයි කාලයේද?
මගේ මුල්ම ආදර සිතිවිල්ල ඇති වුණේ පාසල් කාලයේදී. උසස් පෙළ හදාරන්න ගිය ගමන් වගේ තමයි ඒ ආදරය පටන් ගත්තේ. මට හිටියා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයා අපේ අම්මලා හම්බවෙන්න ඇවිත් පර්මිෂන් ගත්තා එන්න යන්න. ඒ එක්කම මට චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබුණා. මම එයාට කියන්නේ නැතිව චිත්‍රපටවල රඟපාන්න ගියා. ආදරය කොච්චර ද කියලා තේරෙනවා නේද?
නෑ. එහෙම නොවෙයි. එයා හරි හොඳ කෙනෙක්. නමුත් මම චිත්‍රපටවලට ඊට වඩා ආදරය කරන්න ගත්තා. එයා මට ලියුම් එව්වා. යන්න එපා. ඔයා සිතුව විදිහටම ඉගෙනගෙන ගුරුවරියක් වෙන්න. නැටුම් ගුරුවරියක් වෙන්න කියලයි කිව්වේ. යන්න එපා කියලා විරෝධතාවක් එයාගෙන් ආවා. මම ඒකට අපෝ මුදේ ඉන්න එක මාළුවාද? කියලා උත්තරයක් ලියා යැව්වා. ඒකෙන් ඒ ආදරය ඉවර වුණා. අදත් එයා මට හොඳ යාළුවෙක්.
ඒ කාලයේදී දෙන්නා තෑගිබෝග එහෙම බෙදාහදා ගත්තාද?
අනේ නෑ. එච්චර දුරට අපේ සම්බන්ධය ගියේ නෑ. පාසලේදී තමයි ප්‍රථම ප්‍රේමය ඇති වුණේ. නමුත් චිත්‍රපටවලට ගිය නිසා, ඒ ආදරය එතනින්ම බිඳිලා ගියා. මොකද මගේ ලොකුම ආදරය තිබුණේ සිනමාව එක්ක හින්දා.
රඟපාන්න ආවාට පස්සේ ආදර සබඳතා ඇති වුණාද?
ඒ කාලේදී තමයි මගේ හස්බන්ඩ් මට හම්බ වුණේ. ඒකත් සිදුවුණේ අහම්බෙන් වගේ. කොලොන්නාවේ තමයි අපි ඒ කාලේ හිටියේ. රඟපාන්න පැමිණි කාලයේ එහෙම නළුවන්ගේ විවාහ යෝජනා ආදර සබඳතා ආවේ නෑ. මොකද ඒ කාලේ ඉක්මණින්ම වාගේ හස්බන්ඩ් මට හමුවුණු හින්ද. සමහරු තුළ හිතේ යම්යම් දේ තිබෙන්න ඇති. නමුත් ඉතිං ඔහු හමුවුණු හින්දා ඒවා කියාගන්න ඔවුන්ට බැරි වුණා.
එතකොට ඔයාගේ හස්බන්ඩ් ඒ කියන්නේ ඒලියන් කොහොමද ඔයාට හමුවුණේ.
මල්ලිලා දෙන්නා කොළඹ ඉස්කෝලවලට දාන්නයි මගේ චිත්‍රපට වැඩ හින්දයි අම්මා ගමේ ගේ වහලා දාලා කොළඹට ආවා. කොලොන්නාවේ අපි පදිංචි වුණේ. හලාවත අපි දන්න කට්ටියක් එක්ක තමයි ඔහු හිටියේ. එතනදී තමයි හඳුනාගත්තේ. එතකොට එයා මම නිළියක් කියලා දන්ෙන් නෑ. මම ඒ දවස්වල එතරම් ප්‍රසිද්ධත් නෑ. 1969-70 විතර චිත්‍රපටවලට මම පැමිණියා විතරයි. චිත්‍රපට 2ක් විතර තිරගත වුණා විතරයි. ඔහු ඒවා දැකලා තිබුණේ නෑ. නමුත් අපේ යාළුවා කියලා තිබුණා මම ෆිල්ම්වල රඟපානවා කියලා ඔහුට. එහෙම කිව්වාට එයා එච්චර උනන්දුවක් දැක්වුයේ නෑ.
දැනගත්තාට පස්සේ ඔහු මොනවද කළේ?
දැනගත්තාට පස්සේ ඔහු විවාහ යෝජනාව දැම්මා. මම මුලින් කැමති වුණේ නෑ. විවාහවෙන්න අම්මාටත් මාව වදයක් වුණා. මොකද හැමතිස්සෙම මගේ පස්සෙන් අම්මාටත් යන්න සිදුවුණු නිසා, අම්මා කිව්වා. හැමදාම මෙහෙම ඉඳලා බැහැනේ ඔයා දැන් විවාහ වෙන්න ඕනෑ ඒ හින්දා මේකට කැමතිද නැද්ද කියලා කියන්න කිව්වා.
මම බෑ කියලා හිටියා. පස්සේ මෙයා සුමාන දෙකකට පස්සේ අෙප් අම්මා හමුවෙලා කතා කරලා කිව්වා සුමාන 2 ක් දෙන්නම්. මට කැමති නම් Call එක්ක දෙන්න කිව්වා මම නැවත එන්නේ නෑ කිව්වා.
පස්සේ ඉතිං මම කල්පනා කරලා තීරණයක් ගත්තා. හැමදාමත් මෙහෙම ඉන්න බැහැනේ. පස්සේ මම ඔහුට Call එකක් දුන්නා. අම්මා එන්න කිව්වා කියලා. ඉතිං ඔහු ආවා. එතනින් පටන් ගත්ත ආදරය තමයි දිගමට තිබුණේ.
විවාහ වුණාට පස්සේ ඔහු ඔයාට රඟපාන්න යන්න අවසර දුන්නාද?
බඳින්න ඉස්සෙල්ලා මම රඟපානවා කියලා ඔහු දන්නවා. ඒත් එදා සිට පවුරු වළලු චිත්‍රපටය සම්මානයට පාත්‍රවෙන තුරු ඔහු හොඳින් මාව අධ්‍යයනය කරමින් හිටියේ. ඔහු කිව්වේ කරන දේ හරියට කරන්න කියලායි. ඔහු මා රඟපාන තැන්වලට ආවේ නෑ. කොයි වෙලාවෙද මම එන්නේ කියලා ඇහුවේ නෑ. නමුත් මම ගෙදර එන බව එයා දන්නවා. මම ඇවිත් හැමදෙයක්ම ඔහුට කියනවා. කරන දේ හරියට කරන්න කියලා කිව්වා මිසක්, තහංචි දැම්මේ නෑ.
ඔයාට හරියට තරහා යනවා කියලා ආරංචියි. ඒ තරහා ඔහු ඉවසගත්තේ කොහොමද?
මගේ දුර්වලතාවක් තමයි ඒ. කියන දේ අහන්නේ නෑ. අම්මලා කියන දේ අහන්නේත් නැති කෙනෙක් මම. ඒවා ඔහුට තේරුණා. ඔහු හෙමින් හෙමින් මාව එක තැනකට ගෙනාවා. චිත්‍රපට හොඳයි. ඔය සොලෝලයිඩ් ජීවිතය හොඳයි. ඒත් ඊට වඩා ජීවිතේ ගැන තව අත්දැකීම් ඉගෙන ගන්න තිබෙනවා. පොඩ්ඩක් ඉංග්‍රීසි කතාකරන්න ඉගෙන ගන්න. එතකොට සමාජයේ යම්යම් තැන්වලට යන්න පුළුවන් කියලා ඔහු මාව දිරිමත් කළා.
මම “සෝෂල් ඩාන්ස්වලට” ගිහින් තිබුණේ නෑ. ඔහු මාව ඒවාට එක්කරගෙන ගියා. ඉංග්‍රීසි කතා කරන්න ප්‍රැක්ටිස් කළේ ඔහුයි. කොන්වන්ට් එකේ ඉංග්‍රීසි ඉගෙන ගත්තාට අපි කතාකරන්නේ නැහැනේ. ගෙවල්වල කතාකරන්නෙත් නැහැනේ. ලැජ්ජයිනේ. ඒ වගේ හුඟාක් මට අවශ්‍ය දේවල් ඔහු ඉගැන්වුවා. මාව වෙනම තලයකට ඔහු ගෙන ගියා. එයා හරි ආසයි මට හොඳට අඳිනවාට. හොඳට ඉන්නවාට.
ඔහු නිතරම කිව්වේ හොඳට ඉන්න, හැමතිස්සෙම මට කියන්න, කිසිම දෙයක් හංගන්න එපා වැරැදි හෝ කියන්න එතකොට අපට කතාවෙන් ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලයි. මට තරහා යන හින්දා ඔහු කියන්නේ තරහා ගිහිල්ලා වැඩක් නෑ, කතාවෙන් ඒවා විසඳ ගමු කියලයි. ඇත්තටම අම්මා මගේ පිටුපස්සෙන් ආවාට වැඩිය, එයත් එක්ක හිඳීමෙන් ගොඩාක් දේ ඉගෙන ගත්තා. එයත් එක්ක ටිකටික ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අම්මා තාත්තා අයියා මල්ලිගේ තැන එයාට තමයි අයිති වුණේ. මම එයාට ආදරය කළා. ඔහු කරුණාව නිතරම දක්වන නිසා, ඒ කරුණාවට මම හුඟාක් ආදරය වුණා. එහෙම තමයි ඔහු මාව ආදරයෙන් ජීවිතයේම තියාගත්තේ.
ඔයා පිළිබඳව යම් කටකතා පැතිරුණ විට ඔහු ඒවාට දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරද?
කටකතා පැතිරෙන්න තරම් දේවල් මගෙන් සිදුවුණේ නැ. මට ගොඩාක් කටකතා හැදුණේ නෑ. මගේ පළමු පෙම්වතා ගැනත් ඔහු දන්නවා. බලන කොට ඒ දෙන්නා එකට හමුවෙලා තිබෙනවා. මට දවසක් කිව්වා ඔයාගේ යාළුවා මම දන්නවා කියලා මම ඇත්තද කිව්වා. ඒ ඇරෙන්න ඔහු කිසිදෙයක් ගැන සොයා බැලුවේ නෑ.
ඔහු නිතරම කිව්වේ සැලෝලයිඩ් ජීවිතේ හරිම විෂමාකාරයි ඒ හින්දා නිතරම මගෙත් එක්ක ඩිස්කස් කරන්න කියලයි. මොනවා හරි දෙයක් සිදුවෙනවා නම් මට කියන්න එතකොට අපිට හරියට ඒ දේවල් හදාගන්න පුළුවන් කියලයි ඔහු කිව්වේ. හැමතිස්සෙම වැරැදි පැත්තට යන දේවල්වලින් මාව හරියට ආරක්ෂා කළා.
පස්සේ ඔය දෙන්නා ලංකාව අතහැර යන්න හේතුව වුණේ කුමක්ද?
මට ඒ කාලේ චිත්‍රපට එක දිගට ලැබෙන්න ගත්තා. මේ හින්දා විවේකය නැතිතරම්. මම ගෙදර එනවිට එයා නෑ. එයා ගෙදර ඉන්න කොට මම නෑ. දකින්නේ නෑ. සුමාන ගණන් අපි හරියට දකින්නේ නෑ. මේ ජීවිතේ හැමදාම ගෙනියන්න බැහැ. කාලයක් යනවිට මේ තත්ත්වය වෙනස් වෙලා ජීවිතේ එපා වෙන්න පුළුවන්. එයා ලෝයර් කෙනෙක්. ඒ හින්දා එයා කැනඩාවට යන්න ඇප්ලයි කළා. ඒක හරි ගියා. ඒ වෙලාවේ ඔහු ඇහුවේ මම රටින් පිට වුණොත් ඔයා එනවද කියලයි. මම ඔව් කිව්වා ඔව් කිව්වාට මම සිතුවේ නෑ. ඔහු යයි කියලා. එයාට කැනඩාවේ විශ්වවිද්‍යාලයක තනතුරක් ලැබුණා. ඒ හින්දා යන්න වුණා. මටත් ඉතිං යන්න සිද්ධ වුණා. එයා මට ගොඩාක් සෆෝට් කළා. එතකොට ටෝනිලා ගාමිණීලා ඔහුට ආදරෙයි එයාලව හමුවෙනවා.
ඔයා ජනප්‍රියත්වයේ සිටින කාලයේ තමයි රට හැරයන්නේ ඉතිං දුකක් හිතුණේ නැද්ද?
චිත්‍රපට 13ක් විතර මම අත්සන් කරන්න බැහැ කිව්වා. අත්සන් කළා නම් ඒවා ඉවර වෙන්න තව අවුරුදු 2ක් විතර යනවා. ඉතිං මම ගියා. හරිම දුකයි. මොකද ජනප්‍රියත්වයේ ඉහළම සිටිද්දී තමයි යන්න සිදුවුණේ. ඒත් මම එ්ලියන්ට හරිම ආදරෙයි. වචනයක් දුන්නා නම්, එය කඩකරන්න හොඳ නැහැනේ. මාව හොඳ තැනකට ගෙනාව කෙනෙක් ඔහු. එයාගේ උනන්දුව ආදරය හින්දා තමයි චිත්‍රපටවලින් මම තැනකට ආවේ. එයාගේ ආදරය තමයි මාව ජීවත් කළේ. ඉතිං ඒ හින්දා ඔහුත් එක්ක කැනඩාවට ගියා.
විවාහ ජීවිතය පිළිබඳව ඔබට මොකද සිතුණේ?
විවාහය ගැන මට හිතෙන්නේ ඉතාම සාර්ථක එකක් කියලයි. මගේ තිබෙන තරහ යන ඒවා කොන්ට්‍රෝල් කරගෙන සිටියේ ඔහු තමයි. එයා තමයි විවාහය ලස්සනට ගෙන ගියේ. මාව තේරුම් අරගෙන හිටියේ. ඔහු මාව ලංකාවෙන් අරගෙන යනකොට කිව්වා මාව ග්‍රහලෝකයකට ගෙනි යනවා වගේ වැඩක් කියලා. නමුත් මේ ලෝකේ සෙලෝලයිඩ් ලෝකෙන් බැහැරව ඇත්ත ලෝකේ දැකලා හුඟාක් දේවල් බලලා, ඉගෙන ගෙන නැවත මම ඔයාව ඒ හිටපු තත්ත්වයටම ගේනවා කියලා ගෞරවාන්විතව මාව යළි චිත්‍රපට ක්ෂේත්‍රයට ගේන බවත් ඔහු කිව්වා. ඒ අනුව තමයි පවුරු වළලු චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඊට පස්සේ එයා මම සම්මාන ගන්නවා දැක්කා. ඊට පස්සේ තමයි ඔහු හදිසියේම නැති වුණේ.
ඔහුගේ මරණයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ ගෙනගියේ කොහොමද?
නැති වුණාට පස්සේ අවුරුදු 5ක් යනතුරු මට එතරම් කල්පනාවක් තිබුණේ නෑ. මම මොනවද කරන්නේ කියා සිතුවා. චිත්‍රපට අංශය ගැන උනන්දුවක් තිබුණේම නෑ. නමුත් එදිනෙදා ජීවිතය මට ගෙනියන්න ඔහු ලබා දුන් ගුරුහරුකම් මට වැදගත් වුණා. ඔහු සියලු දේ ලබාදීලයි සමුඅරන් ගියේ. මම හෙමින් හෙමින් ඔහුගේ ඒ ගමන් මගේ කටයුතු කරමින් යළිත් කලා කේෂ්ත්‍රයට ආවා. කාලයක් මට අඳින්න හිතෙන්නෙත් නෑ. කා එක්කවත් කතා කරන්නවත් හිතෙන්නේවත් නෑ. පොඩ්ඩක් නොවෙයි හොඳටම තනිකම දැනුණා. පස්සේ ටිකෙන් ටික ඒවා නැති වෙලා ගියා. එයා මට හෙළිපෙහෙළි කළ මාර්ගයේ තවම මම යනවා.
එ් කතාවත් හරියට පවුරු වළලු චිත්‍රපටයේ කතාව වගෙයි. ඔය දෙන්නාගේ කතාවද මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කළේ?
ඔව් ඇත්තටම ඒ වගේ තමයි එයා මැරෙන්න ඉස්සෙල්ලා කීප දවසක්ම කිව්වා. මම ඒ වගේම හිනා වෙනවා. මැරෙන්නේ කවද්ද කියලා අහනවා. ඒ වගේම පිස්සු කතා කිව්වා. මම තුට්ටු දෙකට ගණන් ගන්නේවත් නෑ. එයා මැරෙනවා කියලා හිතුවෙවත්නෑ. අන්තිමට චිත්‍රපටය වෙග්ම එයා නැති වෙලා ගියා. අපි ලස්සන ජීවිතයක් ගත කළා. මම අවුරුදු 18ක් ඒ රටේ රෝහලක පිළිගැනීෙම් නිලධාරිනියක ලෙස සේවය කළා. ඒක හොඳ අත්දැකීමක්. මම ගොඩාක් දේ එයින් ඉගෙන ගත්තා. මොකද රෝගීන් එක්කයි කටයුතු කළේ. ලංකාවේ වගේම රෝහලක අත්දැකීම් ඒ රටේදීත් මා ලැබුවා. ඒ සියල්ල මට ඒලියන් ලබා දුන්න දේවල්.
ඔය චිත්‍රපටය හින්දද දන්නේ නෑ ටෝනි රණසිංහ එක්ක ඔයගේ යම් සබඳතාවක් තිබූ බවට කටකතාවක් පැතිර ගියා නේද?
එහෙම එකක් මට දන්නේවත් නෑ.
චිත්‍රපටය හින්දා වෙන්නැති එහෙම දෙයක් පැතිරෙන්න ඇත්තේ. පවුරු වළලු කළෙත් ඒලියන්. අනෙක් එක ඒලියන් මැරුණාට පස්සේ ටෝනි තමයි චිත්‍රපයේ මුළු බරම දරාගෙන මා එක්ක තනියට ඉඳගෙන කටයුතු කළේ. ටෝනියි ඒලියනුයි හරි හොඳ යාළුවෝ. ටෝනි මැරෙනතුරු මගේ සහෝදරයෙක් වගේ හිටියේ. ටෝනි කතාකරන්න පටන් ගත්තාම නතර කරන්නෙත් නෑ. මට වැඩිය ඒලියන් තමයි ටෝනි එක්ක කතාකරන්නේ. ටෝනි තමයි පවුරු වළලු කරන්න ප්‍රසන්න විතානගේ හඳුන්වා දුන්නේ. අනේ එහෙම දෙයක් මාත් ටෝනිත් අතර තිබුණේ නෑ. අපි හොඳ යාළුවෝ සහෝදරයෝ විතරයි.
ඊට පස්සේ ඔයාට විවාහ යෝජනා ආවේ නැද්ද? නැවතත් විවාහයක් කරගන්න?
අපෝ හරියට ප්‍රොපොසල් අාවා.
අවංකව හුඟාක් දෙනෙක් මගෙන් ඇහුවා. නැවත විවාහයක් කරගන්න. මම කිව්වා නෑ කියලා. මම තවත් කෙනෙක් එක්ක ජීවත් වෙන්න කැමති නෑ කිව්වා. ඒලියන් එක්ක අවුරුදු ගණනක් ජීවත් වූ මට තවත් කෙනෙක් සමඟ ජීවිතයක් ගෙනි යන්න අමාරුයි. මම එතනදීත් ඒලියන්ව සොයන්න ගනීයි. එතකොට මම බොරුවක් නේද ඒ මනුස්සයාට කරන්නේ. ඔහුට ආදරේ වෙන එකක් නැහැනේ. ඉතිං ඒ හින්දා මම ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා.
ගොඩක් වෙලාවට ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්න නේද සමහරු උත්සහ කළේ?
ඒ වගේ හුඟාක් අය ආවා. මම කොයි තත්ත්වයේ ද ඉන්නේ? මගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකක්ද? කියලා දැනගෙන ආව අයත් හිටියා. ඒවා මට හොඳට වැටහුණා. ඒලියන් ආපහු මට විවාහයක් වෙන්න කියලා විතරයි කිව්වේ නැත්තේ. ඔහු කිව්වේ මම ඔයා ගෙනිච්චා. ආපහු කිව්ව විදිහටම ලංකාවට ගෙනාවා. ඔයා බලාපොරොත්තු වූ සිනමාවටත් ගෙනාවා. සම්මානත් ලැබුණා. මට සන්තෝෂයි කියලා. ඒ එක්ක තමයි එයා නැති වුණේ. ඒ නිසා මට අව්‍ශ්‍ය නෑ කාගෙන්වත් උදව්වක් ආදරයක්. පැමිණි යෝජනා හොඳින් කතාකරලා ඉවත දැම්මා. ඒ විදහට තමයි ජීවිතය ගෙනගියේ.
ඔයා තවම ලස්සන හින්දා කලා ක්ෂේත්‍රයේ අයගෙන් පවා යෝජනා එන්න ඇති නේද?
මෙහෙමයි. කලා ක්ෂේත්‍රයේ අයගෙන් නම් ඒ වගේ යෝජනා ආවේ නෑ. එහෙම ඔවුන් තුළ අදහස් තිබුණත්, ඒවාට එන්න මම ඉඩ තියන්නේ නෑ. ඒ මගේ හැසිරීම් රටාව අනුවයි. කියන්න තරම් ලොකු අරගලයක් ෆීල්ඩ් එක තුළ සිදුවුණේ නෑ. ෆිල්ම් එකෙන් පිට අය තමයි යෝජනා ගෙනාවේ. වෛදවරු නීතිඥවරු වගේ ක්ෂේත්‍රවල ඉන්න අයගෙන් පවා යෝජනා ආවා. ඒ අතරේ මගෙන් ප්‍රයෝජන ගන්න බලාපොරොත්තුවෙන් සිටි අයත් හිටියා. සිනමාවේ මගේ සහෝදරයන්ගෙන් නම් එවැනි යෝජනා ආවේ නෑ. බොරු කියන්නේ මොකටද ?
ඔයා දිගටම මේ විදිහට ඉන්න හිතාගෙනද ඉන්නේ?
ඔව්. මම කොයි තරම් වැඩ කරනවාද? සමහර වෙලාවට මම කරන කටයුතුවලට කාලයත් මදි වගේ. මම කාලයක් කටුනේරියේ ඉන්න මගේඅම්මාව බලාගන්න කාලය කැප කළා. අම්මාව බලන්න සුමානයකට දෙසැරයක් විතර ඇවිත් දවස් 2-3ක් ඉන්නවා. මට අවංකව සේවය කරපු කාන්තාවන් දෙන්නෙක් හිටියා. අම්මාව බලාගන්න අම්මා නැති වුණත් අදටත් ඒ දෙන්නා මා ළඟ ඉන්නවා. ඔවුන් මට හරිම ආදරයෙන් සලකනවා. අම්මා හිටියා වගේම ගේ හොඳට බලාගෙන ඉන්නවා. මගේ නංගිලාව ගිහින් බලනවා. මහගෙදර ඉන්නවා. කොළඹ ගෙදර ඉන්නවා. ඔය විදියට යනකොට කාලය නිකම්ම ගෙවිලා යනවා.
අනෙක මම ස්වේච්ඡාවෙන් කරන සමාජ සත්කාර වැඩසටහන් තිබෙනවා. ප්‍රසිද්ධ කරන්නේ නැති වුණාට එයින් ගොඩාක් දේවල්වලට මා සම්බන්ධ වෙලා ඉන්නවා. මගෙනුත් සමාජයට යම් මෙහෙවරක් ඉටුවිය යුතුයි නේද? ඒවා මම කරනවා. එකක් ඒඩ්ස් රෝගීන් වෙනුවෙන්. අවුරුද්දකට සැරයක් ලොකු සේවයක් මගෙන් ඔවුන්ට සිද්ධවෙනවා. මගේ ස්වර චිත්‍රපයෙන් කළෙත් එවැනි සමාජ සත්කාරයක්. මනෝහාන් නානායක්කාර, මම, යෝලන්ඩා වීරසිංහ H.I.V. රෝගීන් වෙනුවෙන් ගොඩාක් උදව් කරනවා. යෝලන්ඩායි එයාගේ මහත්තයායි දරුවෝයි මාත් එක්ක පවුලක් ලෙස හිටියා. අදත් ඉන්නවා මාත් එකක්.
ආදරය ප්‍රේමය ඔයා හඳුනාගෙන තිබෙන්නේ කොයි විදිහටද?
ආදරය කියන එක අපි ඉපදුණදා සිටම තිබෙන දෙයක්. අම්මාගේ තාත්තාගේ සහෝදර සහෝදරියන්ගේ අාදරය තමයි මුලින්ම අපි ලබන්නේ. ප්‍රේමය කියන්නේ වෙනම දෙයක් කියලයි මට හිතෙන්නේ. අපේ සහකරුවා සමඟ තිබෙන හැඟීම් බෙදාගැනීම එකට පවුලක් ලෙස ගතකිරීම ප්‍රේමය කියලයි මට හිතෙන්නේ. ප්‍රේමය කියන්නේ සුන්දරම මල් යහනාවක් නම් නොවෙයි. අපි දෙන්නාගේ ජීවිතය ගැන කතාකළොත් මට හුඟාක් තරහා යන කෙනෙක්. ඉක්මණ් තීරණගන්න කෙනෙක්. හිතුවක්කාරී චරිතයක්. මේ සියල්ල මැඩ පවත්වා ගන්න තිබුණු එකම ආයුධය තමයි එ්ලියන්ගේ තිබූ ආදරය. ඒකට තමයි ප්‍රේමය කියන්ෙන්. මා හිතන්ෙන් තේරුම් ගැනීම හා එකිනෙකා සමඟ කතා බස්කිරීම තමයි ප්‍රේමය. ආදරයක් නම් Sorry කියන්න අවශ්‍ය නෑ කියලයි ඒලියන් නිතරම කිව්වේ. මගේ හිතුවක්කාරකම් සියල්ල ප්‍රේමයෙන් ඔහු නැති කර දැම්මා. හැබැයි ඉතිං ඔහුට තරහා ගියාම මම හරියට බය වුණා.
නීටා තම සැමියා පිළිබඳව නිතරම ආඩම්බරයෙන් ගෞරවයෙන් කතාබහ කරන්නට පටන් ගත්තාය. ඒ ඇය අද දවසේ එඩිතර කාන්තාවක් බවට පත්කිරීමේ ගෞරවය ඒලියන්ට තිබූ නිසාවෙනි.
කලා ක්ෂේත්‍රයේ කා අතරත් සුහදව සිටින මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණියගේ කතාව අද දවසේදී විවාහ වී දවස් දෙකෙන් තුනෙන් දික්කසාද වෙන නළු නිළියන්ට හොඳ ආදර්ශයක් නොවන්නේදැයි සිතමින් මේ පරිච්ඡේදයට තිතතබන්න මා තීරණය කළෙමි.
කතාබහ කළේ සමන්ත යහම්පත්