හැමෝගෙම සිහිනයක් වූ BYD


සුන්දර වෙරළ තීරයක සෙල්ලම් කරමින් සිටින ගැහැනු ළමුන් දෙදෙනෙක් සහ පිරිමි ළමයෙකි. නිල්වන් සාගරයේ ඈතින් නෞකාවක් පාව යන අයුරු ඹවුනට පෙනේ.  

Who Is BYD ? යනුවෙන් ඇසෙන පැනයට මේ තිදෙනා දෙන්නේ එකි නෙකට වෙනස් පිළිතුරුය.

පිරිමි ළමයා-BYD  කියන්නේ විශාල නැවක්, මම ඒ නැව මුහුදු තීරයේදී දැක්කා.

පළමු ගැහැනු ළමයා- නෑ මගේ සීයා නම් කිව්වෙ,  BYD කියන්නෙ අපරදිග මිනිසුන්ගේ මිත්‍යාවක් කියලයි.

දෙවැනි ගැහැනු ළමයා- මගේ අම්මා වැඩ කරන්නෙ  BYD  එකේ. අම්මා නම් කිව්වෙ  BYD කියන්නෙ, Build Your Dream  කියලයි.

ඒ ගැහැනු දරුවා කියූ විදිහට ඒ අදහස තමයි  BYD යන්නෙන් අරුත් ගැන්වෙන්නෙ.  වීඩියෝව දැක ගන්න පුළුවන් වෙන්නෙ  BYD  සමාගමේ වෙබ් පිටුවේය.  ඉතින් එයාලා කියන විදිහට දැන් බලද්දී මේ  BYD  ඇත්තටම හැමෝගෙම සිහින රථයක් බවට පත්වෙලා හමාරයි. මේක දැන් රථ ගාය තියෙන හැමෝගෙම ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා කිව්වොත් හරි.

මෙම මෝටර් රථ නිෂ්පාදනය කරන්නෙ මහජන චීනයේ. ඉතින් ඒ නිසාම යුරෝපීය සහ ජපන් නිෂ්පාදන වලට කාලයක් තිස්සේ හුරුවෙලා සිටි අයට මේ නාමය ගැන මුලින් තිබුණෙ ටිකක් විතර කුකුසක්. ඒත් නැත්නම් කුතුහලයක්. සමහර විට මේ මොහොතේදීත් සමහර අයට ඒ වගේ කුකුසක් තියෙන්න පුළුවන්. ඒත් දැන් වැඩි දෙනා අතර මේ රථ නාමය එක්තරා විදිහක පිස්සුවක්-උන්මාදයක් වගේ කිව්වොත් හරි. මේ වනවිට මේ සිහින රථය ඇමරිකාව වගේම විශේෂයෙන්ම දකුණු ඇමරිකානු කලාපයේ රටවල් සියල්ලෙහි වෙළෙඳපොළ ආක්‍රමණය කරලා ඉවරයි. ඉතින් ඒ විතරක්ම නෙවෙයි, යුරෝපය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු ආසියානු පැසිපික් කලාපයේ බොහෝ රථ ලෝලීන්ගේ සිහින රථය බවට පත්වෙලා ඒ රටවල අලෙවි වාර්තා තබමින් අලෙවි වෙන තත්ත්වයට පත්වෙලා හමාරයි. මැදපෙරදිග වගේම අප්‍රීකානු කලාපයේත් මේ රථ නාමයට තියෙන්නෙ ලොකු ඉල්ලුමක්. මෙම රථ නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන්නේ මෝටර් රථ විතරක්ම නෙවෙයි. සුඛෝපභෝගී බස් රථ, භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ, වෑන්, ෆෝක් ලිෆ්ට්,  සහ අධි සුඛෝපභෝගී දුම්රිය නිෂ්පාදනය කෙරෙනවා.

විද්යුත්කරණය තුළින්, තිරසාර අනාගතයකට සහායවීම, තාක්ෂණික නවෝත්පාදනයන් සමග වඩා හොඳ ජීවිතයක් නිර්මාණය කිරීමේ ආයතනික මෙහෙයුම ඉටුකිරීම සඳහා සියලුම පොසිල ඉන්ධන පරිභෝජනය, ශුන්‍ය විමෝචන බැටරි විදුලි වාහන සමග ප්‍රතිස්ථාපනය කිරීමට අපි උත්සාහ කරමු යන්න BYD සමාගමේ දැක්ම වී තිබෙනවා.

BYD  නාමය ගැන කතා කරද්දී 1994 දක්වා දිවයන නමුත්  BYD ඔටෝ නමින් මෝටර් රථ නිෂ්පාදන අංශය ලෝකයට විවර වුණේ නම්, 2003 දීයි. BYD මෝටර් රථ සමාගමේ නිර්මාතෘවරයා වන්නෙ wang chuanfu.  මෙයාලගේ මෙම සමාගම තියෙන්නෙ  xi'an shaanxi shenzhen guangdong පළාතේයි.

2024 වන විට මෙයාලගෙ ශුද්ධ ආදායම යුආන් බිලියන 617.1 ක් ලෙස සඳහන් වුණා. මේ තරමට වර්ධනය වූ මෙම සමාගම මුලින්ම නම් පටන් ගෙන තිබෙන්නෙ, බැටරි නිෂ්පාදන ආයතනයක් ලෙස 1995 දී යි. මෝටර් රථ නිෂ්පාදනය කෙරෙන ආයතනය පිහිටුවීම සිදු කර තිබෙන්නෙ, රජය සතු  සමාගමක් දුර්වලව පැවැති නිසා, එය මූල්‍ය අත්පත්කර ගැනීමකින් පසුවයි. ඒ අනුව නාමයද මෙලෙසින් වෙනස් කර තිබෙනවා. මෙම නාමය යටතේ බැටරි මෙන්ම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන පවා නිපදවීම සිදුවෙනවා.

අද මේ විදිහට විස්තර ගෙනාව මෙම  BYD  සමාගම නිෂ්පාදනය කරන මෝටර් රථ ගැන සහ එහි ඇති වෙනස්කම් ගැන සටහනක් අපි ඉදිරියේදී ගෙන ඒමට සූදානම්.  එම සටහනෙන්  BYD  හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් රථ ගැන සහ ඒවායෙහි ඇති උපාංග ගැන විස්තර දැන ගනිමු.

සඳුන් ගමගේ