හඳහනෙන් කියැවෙන දරුවාගේ අධ්‍යාපනය


 

වර්තමාන සමාජය දෙස බලන විට දූ දරුවෝ අධ්‍යාපන අරගලයක යෙදී සිටිත්. දැනට පවත්නාවූ ඉතා සංකීර්ණ වූ අධ්‍යාපන රටාව තුළ තම දරුවා දොස්තර කෙනකු, ඉංජිනේරුවරයෙකු, ගණකාධිකාරීවරයකු ආදී උසස් තත්ත්වයකට පත් කිරීම සෑම මාපියෙකුගේම සිහිනය වී ඇත.   


ඒ වෙනුවෙන් දරුවන් දුක්විඳින ආකාරය අපට පෙනෙන්නට තිබේ. දරුවන්ට අයත් ළමා විය අයිතිවාසිකම් සියලු දේ කැපකර ඔවුහු මෙම අධ්‍යාපන සටන් බිමේ තරග වදිති. සති අන්තයේ ප්‍රධාන නගරවල පැවැත්වෙන උපකාරක පන්තිවලට සහභාගි වන සිසු සංඛ්‍යාව දෙස බලන විට අධ්‍යාපනය සඳහා සියලු දෙනා කරන සටන සුළුපටු නොවන බව පෙනේ.   


අධ්‍යාපන කාර්යසාධනයේදී මාපිය අපේක්ෂාවන්, ශිෂ්‍ය හැකියාවන් හා ළැදියාවන්, සමාජීය අවශ්‍යතා යන අංශ අතර එකිනෙකට ගැළපෙන සම්බන්ධතාවන් තිබිය යුතුය. කෙසේ වෙතත් පවත්නා අධ්‍යාපනික රාමුව තුළ මෙම ළමුන්ගේ කුසලතා, දෙමාපිය අපේක්ෂාවන් සහ රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ අතර අ​ෙන්‍යාන්‍ය වශයෙන් එකිනෙකට නොගැළපෙන අවස්ථාද දක්නට ලැබේ.   


අධ්‍යාපනය සඳහා මාපියන් තම දරුවන්ට වැය කරන මුදල් සම්භාරය අපමණය. එමෙන්ම රජයද අධ්‍යාපනය වෙනුවෙන් ජාතික අාදායමෙන් කොටසක් වාර්ෂිකව වෙන් කරයි. පහසුකම් සියල්ලක්ම තිබූ පමණින් දරුවකුට අධ්‍යාපනය සාර්ථක කරගත හැකිද? ඉර හඳ තාරකා අනුව දරුවකුට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණය අනුව නම් මෙයට පිළිතුර වන්නේ බැරිය යන්නය.   


මේ නිසා තම දරුවා අධ්‍යාපන ක්‍රියාවලියට යොමු කිරීමේදී දරුවාට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණයක් ඔහුගේ ආභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය, චිත්ත වේගික ස්වභාවය සහ බුද්ධිමය ශක්තීන් යම්තාක් දුරට හෝ හඳුනාගත යුතුය. මෙසේ දරුවා යායුතු නිවැරදි මග අප හරිහැටි අවබෝධ කරගනිමින් දරුවා එම ක්ෂේත්‍රයට නැඹුරු කිරීමට උත්සාහගත යුතුය. දරුවන්ට ඒ සඳහා යා යුතු මග පෙන්වා දිය යුතුය. ඒ සඳහා ජ්‍යොතිෂය නම් වූ මාහැඟි ශාස්ත්‍රය ඉතා අගනේය.   


රාශි දොළහ තුළ දරුවාගේ ජීවන ගමනේ අනාගතය ඔහුගේ හෝ අැයගේ උපන් මොහොතේ වූ ග්‍රහයන්ගේ හැසිරීම් රටාවන් දැක්වෙන ජන්ම පත්‍රය මගින් නිවැරදිව හඳුනා ගත හැකිය. යම් ජන්මියෙකුගේ අධ්‍යාපනය ගැන සලකා බැලෙන්නේ කේන්ද්‍රයේ 3 වැනි 5 වැනි සහ 9 වැනි භාව වලිනි. 3 වැනි භාවයෙන් බාල කාලයේ අධ්‍යාපනයද 5 වැනි භාවයෙන් ප්‍රමාණාත්මක අධ්‍යාපනයද 9 වැනි භාවයෙන් උසස් අධ්‍යාපනයද නිවේදනය කරයි.   
මේ අනුව අධ්‍යාපනය පිළිබඳ කරුණු දැන ගැනීම සඳහා ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී මූලිකව වැදගත් වන්නේ ජන්මියාට කුමන මට්ටමක අධ්‍යාපනයක් ජන්ම පත්‍රය තුළින් පෙන්නුම් කරයිද යන්න හඳුනා ගැනීමයි. මෙහිදී ඥාන කාරක බුධ ග්‍රහයාගේ පිහිටීම මූලික සාධකයක් වේ. එහෙත් බුධ ග්‍රහයාට පමණක් එය කළ නොහැකිය. තවත් ග්‍රහයන්ද ඊට සම්බන්ධ කරගත යුතුය. එයින් සඳු හා ගුරු මුල් තැනක් ගනී.   


4 වැන්න කෙනෙකුගේ බුද්ධි මට්ටම පෙන්නුම් කරයි. 4 වැනි භාවය එහි අධිපති සහ අධ්‍යාපනයට කාරක වූ ගුරු ග්‍රහයාට අදාළව පවතින ශුභ අශුභ තත්ත්වයන් සලකා බැලිය යුතුය. යහපත් අධ්‍යාපනයක් ලැබීම සඳහා 4 අධිපති සහ ගුරු ග්‍රහයා 3, 6, 11 යන ස්ථාන අධිපතීන්ගේ බලපෑම් වලින් මිදුණු තත්ත්වයක් ජන්ම පත්‍රයේ ඇති විය යුතුය. බුධ හා ගුරු සංයෝගය ලග්නය 5, 9 යන ස්ථාන තුනෙන් එකක සිටීමට අධික ලෙස පොත්පත් කියවීමෙන් ඥානය, හා බුද්ධිය දියුණු කර ගනී.   


බුධ ග්‍රහයා කේන්ද්‍ර ස්ථාන වල 1, 4, 7, 10 වැනි ස්ථාවල සහ ත්‍රිකෝණ ස්ථාන වූ 5, 9 පිහිටීම මගින් බලවත් වේ. එමෙන්ම බුධ වර්ගෝත්තම වීම මගින්ද ජන්මියා ඉතා බුද්ධිමත් අයෙකු බවට පත් කරවයි. මෙවැනි පිහිටීම් ඇති දරුවන්ට ඉතා උසස් මතක ශක්තියක් විෂයයන් පිළිබඳ පර්​ෙ‌ය්ෂණාත්මකව අවබෝධ කර ගැනීමේ ශක්තියක් පවතී.   


බුද්ධි කාරක බුධ චිත්තකාරක සඳු සමග යහපත්ව කේන්ද්‍රයක යෙදුණ විට මොළය සහ සාමාන්‍ය දැනීම යන දෙක අතර කදිම සම්බන්ධයක් ඇතිවේ. එමෙන්ම විනිවිද දකින නුවණක් ඇති වේ. මනසේ හටගන්නා සිතිවිලි යහපත් ගුණයෙන් යුක්ත වේ.   


සඳු බලවත්ව 2, 4 හෝ 11 යන රාශියක තැන්පත්ව සිටීම නිසා තර්කානුකූලව සිතීමේ ශක්තිය දේ. මිථුන රාශියේ සිටින සඳුට ගුරුගේ දෘෂ්ටිය ලැබීම නිසා දුලබ ගණයේ බුද්ධිමත් හා තීක්ෂණ නුවණද දේ, පැහැදිලි චින්තන ශක්තිය ඇතිවේ. බුධට අමතරව සිකුරු ග්‍රහයා කලා විෂයයන් නිවේදනය කරන අතර බුධ සිකුරු සංයෝගය කලා ක්ෂේත්‍රයේ බුද්ධිමතෙකු කරයි.   


9 වැන්නෙන් උසස් අධ්‍යාපනය ගැන කියවේ. විශේෂයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට නම් 9 වැන්න බලවත් විය යුතුය. උසස් අධ්‍යාපනය පමණක් නොව මුළු අධ්‍යාපනයටම බලපායි. ඕනෑම දෙයක් සාර්ථකව කර ගැනීමට වාසනා ගුණයද අවශ්‍ය වේ. නමයෙන් කියැවෙන්නේ ඒ ගැනය. ඉහතින් කී ඥාන යෝග සහ ග්‍රහයන් බලවත් ආකාරයෙන් පිහිටියත් ඉගෙනීම අතරමග කඩාකප්පල් වූ අවස්ථාද නැතිවා නොවේ.   


එසේ වන්නේ අධ්‍යාපනය ලබන අවධියේ අයහපත් මහ දශාවන් ගෙවීමට සිදුවීමයි. උදාහරණ ලෙස රාහු, ශනි, නීච සිකුරු 22 වෙනි දෙර්කාණාධිපතිගේ දශා කාල මීට අමතරව සෙනසුරුගේ ඒරාෂ්ඨක අපල කාලයක් ලැබීම වැනි මෙවැනි කාල මනාව හඳුනාගෙන එම ග්‍රහ අපලවලට කළ යුතු වත්පිළිවෙත් කරමින් දරුවාට නිවැරදි මගකට යොමු කරමින් අධ්‍යාපනය ලබන කාලය තුළ බාධක කම්කටොලු මැඩගෙන ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය දිය යුතුය.   


කෙසේ වෙතත් තම දරුවා යායුතු නිවැරදි මග හඳුනාගෙන ඒ සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිව කලාවට දක්ෂ දරුවා ඉංජිනේරුවරයෙකු, වෛද්‍යවරයෙකු කිරීමට ගන්නා උත්සාහය නිෂ්ඵලය. දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සතුටට කරුණක් වුවද දරුවාගේ නිවැරදි දක්ෂතාව හඳුනාගෙන එය අදාළ මාවතට යොමු කිරීමට හැකි නම් ඉතා අගනේය.   


මේ සඳහා දරුවාගේ දක්ෂතා මත ඔහු හෝ ඇය කුමන අධ්‍යාපන ක්ෂේත්‍රයක් වෙත යොමු කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතු වේ. මෙවන් අවස්ථාවකදී නිර්මාණශීලී හැකියාව ගැඹුරු මානසික හා බුද්ධිමය කුසලතාවන් ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරන ජන්ම පත්‍රය ගැඹුරු ලෙස අධ්‍යනය කිරීම තුළින් එම දරුවාගේ විශේෂ දක්ෂතා හැකියාවන් සහ ළැදියාවන් නිවැරදිව හඳුනා ගත හැකි වන්නේය.   


මේ අනුව තරග විභාගයකට දරුවා සූදානම් කිරීම හෝ එම දරුවාගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඔහුට හෝ ඇයට උසස් ප්‍රතිඵල ලැබිය හැකිද? නොහැකිද? බාධා මතුවේද අපල මගහරවා ගත හැකිද? යන්න කල් තියා දැනගැනීම තුළින් දරුවාව නිසි අධ්‍යාපන තත්ත්වයක් කරා යොමු කළ හැකි වන්නේය.   

 


ජ්‍යොතීර්වේදී   
තුෂාරා වික්‍රමසිංහ   
317, දාගොන්න (වැව පාර) මීගමුව.