හඬකැවීම් ශිල්පීන්ට නිසි වටිනාකමක් නැහැ හිලේරියන් පෙරේරා


ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු මෙන්ම ප්‍රවීණ හඬ කැවීම් ශිල්පියෙකු ලෙස වසර ගණනාවක් පුරා කලාව සමග බද්ධ වූ දිවියක් ගෙවන ඔහු හිලේරියන් පෙරේරායි.

දීර්ඝ කාලයක සිට කට හඬින් දස්කම් දැක් වූ ඔහු - කුඩා කල අපේ ළමා ලොව ලස්සන කළ චරිත රැසකට පණ පොවපු දක්ෂ කලාකරුවෙක්. සූර පප්පා, දඟයා, යකාරි, ටිං ටිං, හිත හොඳ බණ්ඩා වගේ තවමත් පරම්පරා ගණනාවක ආදරේ ලබන නිර්මාණ ඔහුගේ හඬින් බිහි වී අවසන්. 

වසර 73 ක් පුරාවට කලාවත් සමග හුස්ම ගන්න ඔහු පුංචි කාලේ කලා ලොවට පියවර තැබූ ආකාරය ගැන මතකය අවදි කළේ මෙලෙසින්.  “මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ අය නෙවෙයි. ඒත් මට කලාවට උනන්දුවක් ඇති වුණේ පුංචි කාලෙදිමයි.  පොඩි උත්පත්ති හැකියාවක් තියෙන්න ඇති. කොහොම හරි මගේ උනන්දුවත් එක්ක මගේ  පවුලෙ අයටත් තේරුණා මම දක්ෂ කලාවට කියලා. ඒ සමග ඔවුන් මාව මොරටුවේ වික්‍රම ශිලා කලා ආයතනයට යොමු කළා. ඉන්පසු මම සංගීතය හැදෑරුවා. නමුත් ඒ වෙන කොටත් බොහෝ දෙනා මගෙන් බලාපොරොත්තු වුණේ, ඉල්ලන්න ගත්තෙ මගේ රංගන හැකියාව. ඒ අනුව මම පාසල් යන කාලෙම තමයි පානදුරේ ප්‍රාදේශීය නාට්‍ය කණ්ඩායමක් එක්ක එකතුවෙලා නාට්‍ය කළේ. මම සම්බන්ධ වුණ පළවෙනි නාට්‍යය වුණේ "හරි වැඩක් වුණේ" කියන නාට්‍යය. ඊට පස්සෙ “බව දුක” කියලා නාට්‍යක්.  ඔහොම ඉද්දි මම නාට්‍ය පාඨමාලාවක් හැදෑරුවා ගාමිණී හත්තොටුවේගම සහ හේමසිරි ලියනගේ කියන මහත්වරුන් එක්ක. නමුත් ඒ පුහුණුව ලැබුණේ වේදිකා නාට්‍ය පැත්තෙන්. ඊට පස්සෙ එතනින් මාව යොමු කරනවා පරාක්‍රම නිරිඇල්ලගේ “සෙක්කුව” නාට්‍ය පුරුදු වෙන්න. ගාමිණී මහතා තමයි මට ලියුමක් දීලා කිව්වෙ තර්ස්ටන් විද්‍යාලයේ පුහුණුවීම් කරනවා යන්න කියලා. එතනින් තමයි පානදුරේ ඉඳපු මම කොළඹට එන්නේ. ප්‍රාදේශීය නාට්‍යවලින් ජාතික නාට්‍ය ක්ෂේත්‍රයට එන්නේ”

“අපි මේ ක්ෂේත්‍රයට ආදරේ කළත් අපේ රටේ තවමත් හඬ කැවීම් ශිල්පයට නිසි අගය කිරීමක් නැහැ. අපි හඬ කැවීම් කරනවනේ, නොයෙකුත් විද්‍යුත් නාලිකා වල. ඒ අය තුළ අපි ගැන වටිනාකමක් නැහැ. ඒ නිසාම අපිට කරන්න තියෙන ගෙවීම් පවා කරන්නේ පරක්කු වෙලා.

ක්ෂේත්‍රයේ ලැබුණු සම්බන්ධතා මත සුහදතා සමග තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් ගත් ඔහු ඉන්පසුව නාට්‍ය ගණනාවක ට සම්බන්ධ වෙනවා. ඒ අතර  සරන  සියොත්සේ පුතුනි හඹායන, හුණුවටයේ කතාව,අන්ගාරා ගඟ ගලා බසී, ආදී තවත් නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායක වෙනවා. ඉන්පසු රම්‍යා  වනිගසේකර ගේ සබඳතා නිසා ආර්.ආර්. සමරකෝන් හා සම්බන්ධ වෙන ඔහු කැලණි පාලම නාට්‍යයට සහ අහසින් වැටෙන මිනිස්සු යන නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා.  එදා සිට අදවන තුරුත්  දිගටම  කැලණි පාලම නාට්‍යයේ රඟපාන ඔහු විටෙක නාට්‍යයෙන් ඔබ්බට ගොස් නීල් රූපසිංහ ගේ යකඩයා චිත්‍රපටය තුළ සහ මදර් තෙරේසා යන චිත්‍රපටවලටත් දායක වෙන්න සමත් වෙනවා.

රංගන කටයුතු වල නිරතව සිටි හිලේරියන් හඬකැවීම් ශිල්පියෙකු වූ ආකාරය පිළිබඳවද මතකය අවදි කළා.  

“1969 ගුවන් විදුලි නාට්‍ය ශිල්පීන් සහ කථන ශිල්පීන් බාහිර ශිල්පීන් ලෙස බඳවා ගන්නවා කියලා හඬ පරීක්ෂණයකට ගුවන් විදුලියෙන්ම පූර්ව නිවේදනයක් කළා. මමත් ඒකට අයදුම් කළා. අපේ පරම්පරාවේ වෙන කාටවත් එහෙම අත්දැකීමක් නැහැ. ඒකෙ තිබ්බ වට තුනෙන්ම සමත් වෙලා අනුමත හඬ ශිල්පියෙක් ලෙස මට කටයුතු කරන්න ලැබෙනවා. එතන ඉඳන්   ගුවන් විදුලි  නාට්‍ය  සහ කථන ශිල්පියෙක් ලෙස මේ දක්වාම මම කටයුතු කරගෙන යනවා. මගේ පළවෙනි හඬ කැවීම කළේ සිරස නාළිකාවේ. දොස්තර කෙනෙක් ගෙ චරිතයක්. කාටූන් පටන් ගත්තට පස්සෙ ඒකෙ ඉඳලම දඟයා, ටිං ටිං, සූර පප්පා,යකාරි වගේ කාටූන් ගණනාවක හඬ කැව්වා.  සමහර ඒවා නම් මටත් අමතකයි. ඒවගේම හිරු නාළිකාවෙත්  හිත හොඳ බණ්ඩා නිර්මාණයේ ඒ චරිතෙටත් හඬ කැව්වා.” 

මේ වන විට වසර 55 ක් ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස අත්දැකීම් වලින් පිරිපුන් ඔහු සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. ඒ අතර 2021 බත්තරමුල්ලෙ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය ශිල්පියාට හිමි සම්මානය, 2023 විශිෂ්ටතම හඬ කැවීම් ශිල්පියා ලෙස විශ්වාභිමානී සම්මානයෙන් ද ඔහු පිදුම් ලබනවා.

ඒ ලද ඇඟයීම්වලින් නිහතමානී ස්වයං අභිමානයක් ලැබුව ද, හඬ කැවීම් ශිල්පියෙකු ලෙස ඔහු පසු කරන අභියෝග ද රැසකි.

 

“අපි මේ ක්ෂේත්‍රයට ආදරේ කළත් අපේ රටේ තවමත් හඬ කැවීම් ශිල්පයට නිසි අගය කිරීමක් නැහැ. අපි හඬ කැවීම් කරනවනේ, නොයෙකුත් විද්‍යුත් නාළිකා වල. ඒ අය තුළ අපි ගැන වටිනාකමක් නැහැ. ඒ නිසාම අපිට කරන්න තියෙන ගෙවීම් පවා කරන්නේ පරක්කු වෙලා. එක පාරක් මම මගේ වැටුපක් ගත්තා අවුරුදු එකහමාරකට පස්සේ. සමහර වෙලාවට 2020 කරපු කාටූන් එකක වැටුප ලැබෙන්නේ 2024 දි. ඉතින් 2020 කරන්න පුළුවන් වුණ වැඩවලින් කොටසක් වත් 2024 දි ඒ මුදලෙන් කරන්න බැහැ. ඒ වගේ ඛේදනිය තත්ත්වයක් සහ සැලකිල්ලක් තමයි හඬ කැවීම් ශිල්පියෙකුට අද  ලැබෙන්නේ. මේ පිළිබඳව මම නිරන්තරයෙන් කතා කරන නිසාත් මාව ක්ෂේත්‍රය තුළ වැඩිපුර රස්තියාදු කරනවා. මට වැඩ නොදී ඉන්නවා. ඒ නිසා මටත් හඬ කවන්න තියෙන ආශාව ගිලිහිලා, මේ වෙනකොට මම හඬකැවීමෙන් ඈත් වෙලා ඉන්නවා. හැම නාළිකාවක්ම ඉහළ මුදලක් කාටූන් තුළින් උපයනවා. ඒ වුණත්  ශිල්පියාට අගයක් නොදීම අවාසනාවක්. 2022 දී මම පේව්මන්ට් එකේ ඇඳුම් විකුණනවා. එහෙම තත්ත්වයකට කලාකරුවෙක් විදිහට අපි වැටිලා තියෙන්නේ. මගේ පවුලේ බිරිඳයි පුතාලා දෙන්නයි ඉන්නවා. බිරිඳත් රංගන කටයුතුවල නිරත වෙලා තියෙනවා. මම අවුරුදු 16 දි කලා කටයුතු වලට යොමු වුණේ. එදා ඉඳන් අද වෙනකල් වේදිකාව, ගුවන්විදුලිය, චිත්‍රපට, ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හඬ කැවීම් කරලා තියෙනවා. ඒ වුණත් කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ අපේ මහන්සියට නිසි වටිනාකමක් අපිට ලැබෙන්නෙ නැහැ. තවමත් ගුවන් විදුලි පැය භාගේ නාට්‍යයකට රුපියල් 500 යි ගෙවන්නේ. ඒකයි තත්ත්වය”

ළමා ලෝකය ලස්සන කළ හඬකට එවන් සෝචනීය ඉරණමක් ලැබීම අවාසනාවකි. මන්ද කලාව පවතින තුරාවට ඔවුන්ගේ දස්කම් ද ප්‍රේක්ෂක රසික හිත්වලින් නොමැකෙන නිසාවෙනි. 

කෞශල්‍යා ලක්ෂානි