සොත්ති උපාලි රඟමඬලෙන් ඉවත් කරන්න කඩුවෙලින් මතුවූ අලුත් චරිතය


දේශපාලන පාතාලයේ අග-මුල සොයා යන ගමන

 

පාතාලයේ ආරම්භක සාමාජිකත්වයේ මුල්පෙළේ නම් දරාපු සාදාකාලිකව කිසිවෙකුට අමතක නොවන ඝාතන මතකයන් ඉතිරි කළ සොත්ති උපාලිගේ ඝාතනයද පාතාල ලෝකයට එක් කළ නොමැකෙන සටහනකි.   


සොත්ති උපාලි නිහාල් අමරසිංහ ලවා චින්තක අමරසිංහගේ මාමා කෙනෙක් වූ නොයෙල් අමරසිංහව ඝාතනය කරවීමේ වගේම චින්තකගේ තාත්තා සහා නැන්දා ඝාතනය කිරීමේ ප්‍රතිඵලය වූයේ චින්තක අමරසිංහ සහ ඔහුගේ සහෝදරයා වූ ධම්මික අමරසිංහ පාතාලයට අත්පොත් තැබීමට ස්ථිර අදිටනකට එළැඹීමය.   


චින්තකගේ මේ අදිටන යථාර්ථයක් කරන්නට ඔහුට අහම්බෙන් හමුවූ මිතුරෙක්ද ඉවහල් විය. ඔහු හමුදාවෙන් පළා ආ සෙබළෙකි. හමුදාවෙන් පැන එද්දී ඔහු සිය ගිනි අවියද රැගෙන විත් තිබූ අතර එය උපයෝගී කරගනිමින් චින්තකට ගිනි අවිභාවිතය සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබාදුන්නේය. පොඩි එකා කාලයේ සිටම පිස්තෝල සමග සෙල්ලම් කළ, පළාතම හොල්ලාගෙන සිටි ඊවා නැන්දාගේ ගිනි අවි දැක අත පත ගා තිබූ ඒවායෙන් වැඩ පෙන්වනවා දැක තිබූ චින්තකට ආයුධ හැසිරවීම අමුතු විජ්ජාවක් වුයේ නැත. එහෙත් හමුදා සෙබළෙකුගේ ඊට වඩා ශිල්පීය ක්‍රම ඉගෙන ගන්න ඔහුට ලැබුණ අවස්ථාව වැදගත් විය.   


චින්තක හා ධම්මික දෙදෙනා කෝට්ටේ ප්‍රදේශයේ උසස් විද්‍යාලයක අධ්‍යාපනය ලබා උසස් පෙළද සමත් වූ තරුණයන් දෙදෙනෙක් බවද ඔහුගේ පවුලේ ඥාතීහු පවසති. ඔවුන් පවසන පරිදි චින්තක එම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර ඇත. එවන් වූ චින්තකව පාතාලයට ඇද දැමුවේ තවත් පාතාලයෙකු වූ සොත්ති උපාලි හා කොටියාගොඩ නිහාල්ලා විසිනි. චින්තක පාතාලයට පා තැබුවේ තම පියා ඝාතනයට ඔත්තුව ලබාදුන්නේ යැයි සැකකරන ලද දා හත් හැවිරිදි තරුණයෙක් ඝාතනය කරමිනි.   
චින්තකටත් ධම්මිකටත් උපාලි සමග හැප්පෙන එක ලේසි වැඩක් වුණේ නැහැ. මොකද උපාලි හිටියේ දේශපාලන බලයක් සහිතව දේශපාලන රැකවරණ සහිතවය. එසේම දේශපාලනයේදී කෙරුමන් ඇසුරු කිරීමෙන් ලැබුණ අතුරු ප්‍රතිඵළයක් වූ පොලිසියේ ලොක්කන් හඳුනාගැනීමට ලැබීම හා ඔවුන් ඇසුරු කරන්නට ලැබීමද සොත්ති උපාලිට තම චන්ඩිකම්, ජඩකම් අඩුවක් නැතිව කරගෙන යාමට ලැබුණ ශක්තියක් බඳුවිය. මේ සියල්ල චින්තක හා ධම්මික දැන සිටියහ. ඔවුන් ඊට ගැලපෙන ලෙස ශක්තිමත් වීමට උත්සාහ කළහ.   
චින්තක ධම්මික දෙසොහොයුරන් තමන්ගේ හරහට එන බව උපාලි දැනගත්තේය. නියපොත්තෙන් කඩන්නට තියෙන දේ පොරොවෙන් කපන්නට ඉඩ තැබිය යුතු නැත. ඔවුන් ගේමෙන් ඉවත් කරන්න තම දේශපාලන බලයත්, එයින් ලද වෙනත් හැඳුනුම්කම් සියල්ලත් භාවිතා කරන්නට මුල් පැයේදීම උපාලි කටයුතු කළේ ඒ නිසාවෙනි. ඔහුගේ ඒ සැලැස්ම ක්‍රියාවට නැගුවේ කොම්පඤ්ඤ වීදියේ එකල සිටි ස්ථානාධිපතිවරයාගේ උදව්වෙනි.   


කුඩු නඩුවක් පටලවා චින්තකව අත්අඩංගුවට ගනු ලබන්නේ ඒ අනුවය. චින්තක අත්අඩංගුවට ගෙන පොලිස් කුඩුවේ සිටියදී එහි ගිය උපාලි චින්තක දෙස බලා ඔලොක්කුවට හිනාවුණේය.   


අනේ බං පගරනැට්ටෝ තෝ හිතුවද මාව බාවන්න. එවාට තාම උඹ පුංචි වැඩියි යකෝ. දැන් ඉතිං බලහංකෝ උඹට මොකද වෙන්නේ කියලා.   


මෙහෙම කියපු උපාලි පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහයෙන් පොලිස් සිර මැදිරිය විවෘත කරවාගෙන එතුළට ගොස් චින්තකට පහර පිට පහර දුන්නේය. ඒ ප්‍රහාරය නැවතුනේ චින්තකගේ කකුළක් කඩා ඔහු නැගිට ගන්නට බැරි තත්වයට ඇද වැටුණ පසුවය. 

 

 


මූට බෝම්බයක් දාලා ටික කාලෙකට ඇතුළට දාන්න යැයි උපාලි පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දී පිටව ගියේ පොලිසිය ඔහුගේ අණසකට යටත්ව තිබෙන ආයතනයක් සේ හඟවමිනි. සත්තකින්ම ඒ කාලය එවැනි කාලයකි. ඒ ඔහු එකල දේශපාලනයේ ප්‍රබලම නායකයින් ඇසුරේ හැදුන වැඩුණ නිසාවෙනි.   
එතෙකින් නොනැවතුණ උපාලි නාවල නිහාල් හා කඩුවෙල උපාලිලා එකතුව චින්තක අවසන් ගමන් යැවීමට සැලසුම් සකස් කෙරිණ. අවස්ථා කීපයකදී චින්තක අධිකරණයට පෙනී සිටීමට පැමිණි අවස්ථාවල වෙඩිතබා ඝාතනය කිරීමටද සැලසුම් කරනු ලැබීය. එහෙත් එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය. ඒ සඳහා අවශ්‍ය මාවත විවරවූයේ චින්තක සිය ළඟම හිතවතා මෙන්ම තම කල්ලියේ සිටි දක්ෂතම වෙඩික්කරුවා වූ කලුඅජිත්ගේ හිතවතෙක් වූ ජයසිරි නමැත්තෙකු ඝාතනය කිරීමෙනි. එම ඝාතනයට විශේෂ හේතුවක්ද නොවීය. මෙයින් චින්තක සමග හිත අමනාපයෙන් පසුවුණ කලුඅජිත් නාවල නිහාල් විසින් ටිකෙන් ටික බිලිබාගනු ලැබුවේය. චින්තකලා අවසන් කළා නම් ඒ තැන ගන්නට කලුඅජිත්ට හැකි වග පෙන්වා දෙමින් ඔහුව උනන්දු කරවූයේය.   
ඒ උනන්දු කරවීම පිටුපස තිබූ නාවල නිහාල් ඇතුලු පිරිසගේ අවශ්‍යතාවය හඳුනා නොගත් කලුඅජිත් ඒ උගුලේ හසුවිය. ඔහු චින්තක ඒ වන විට උපාලිලාගෙන් ආරක්ෂා වීමට සැඟවී සිටි කැළණියේ මිතුරාගේ නිවසටම ගොස් සුහදව කතාකරමින් සිටින අතරතුර වෙඩි තබා චින්තකව ඝාතනය කළේය.   
එම ඝාතනයෙන් පසු නාවල නිහාල්ගේ ළඟම හිතවතෙක් නොව ඔහුගේ ගෝලයෙක් බඳුව හැදී වැඩුණ කලුඅජිත් තම බලය යොදා ගනිමින් කටයුතු කරන ආකාරය නිහාල්ගේ හිතට ඇල්ලුවේ නැත. අජිත් පිළිබඳ පැමිණිලි නිහාල් වෙත ගලා එන්නට විය. ඔහු ගණිකානිවාස වලට පැන එහි සිටින ලස්සනම කාන්තාවන් අරගෙන යනවා යන්න තිබූ ප්‍රධාන චෝදනාවක් විය. මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී කලුඅජිත්ට අවවාද කෙරුණද ඒවා කෙටි කලකින් ඔහු අමතක කර දැමීම නිසා කලුඅජිත් තමන් පසුකර යන්නට උත්සාහ කරන්නේය යන හැඟීමක්ද නිහාල්ට ඇතිවිය. මේ විරසකය කෙළවර වූයේද නිහාල් අතින්ම කලුඅජිත් ඝාතනයට ලක්වීමෙනි.   


අනූව දශකය ආරම්භ වන්නේ එජාපයේ දෙකඩ වීමකට මංපෙත් විවර කරමිනි. එක්දාස් නවසිය අනූඑකේදී එජාපයේ ප්‍රබලයන් පිරිසක් පක්ෂ නායකත්වයත් සමග ගැටෙන්නට පටන් ගත්තේය. නායකයාගේ ස්වරූපය අනුව ඔහුද ඒ කිසිවෙකුට දෙවැනි වූයේ නැත. එනිසා ඔවුන් කියන දේවල්වලට ඇහුම්කන්දීමේ උවමනාවක් නායකත්වයට නොවීය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ලලිල් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක මහත්වරුන් අතුලු ප්‍රබලයින් පිරිසක් 1991 සැප්තැම්බර්වලදී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමය. මෙම දෝෂාභියෝගයෙන් පසු එයට සම්බන්ධ වූ පිරිස එජාපයෙන් ඉවත්විය.   


ඔවුන් ගොඩනැගූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පළාත් සභා මැතිවරණයට මුහුණ දී රට පුරා නියෝජිතයන් පනස් හතර දෙනෙකු දිනාගැනීමට සමත් විය. ඊලඟට ඔවුන්ට තිබුණේ 1994දී එළැඹීමට නියමිත මහමැතිවරණය හා ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කිරීමය. ඒ ඉලක්ක වෙනුවෙන් 1993 අප්‍රේල් 23 වැනිදා කිරුළපන මහජන ක්‍රීඩාංගනයේදී ජන රැළියක් පැවැත්වූයේය. එම රැළියේ ප්‍රධාන කථිකයා වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සිය කතාව ආරම්බ කර ගත වූයේ සුලු මොහොතකි. නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි වරුසාවකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.   


මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු එල්ටීටීඊයට සම්බන්ධ බාලක්‍රිෂ්ණන් නමැත්තෙක් බව එකල මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්විය. ඔහුද එදිනම අතුරුමාර්ගයකදී ඝාතනයට ලක්ව සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. එහෙත් මෙම ඝාතනයේ සැකකරු ලෙස සොත්ති උපාලිගේ නමද පසුව එක්විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට 1994දී බලයට පත්වූ චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය පත්කළ ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් ඒ බව සනාථ කෙරෙන සාක්ෂි ලැබිණ. එහි අවසන් වාර්තාව ලැබෙන්නට ආසන්නව තිබියදී සොත්ති උපාලිද ඝාතනයට ලක් විය.   


සොත්ති උපාලි ඝාතනයට ලක්වූයේ 1998 වසරේ දෙසැම්බරයේදීය. ඒ උපාලි නඩුවකට පෙනී සිටීම සඳහා අලුත්කඩේ අධිකරණය වෙත යමින් සිටියදීය. බලය ඇති කල නානාවිධ සැප වාහනවල ගමන් කළ උපාලි ඒ වන විට සිටියේ ඉතාමත් අසීරු අඩියකය. ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද ඔහු දුර්වලව සිටියේය. ඒ නිසා ඔහුට ඒ වන විට ආරක්ෂකයින් සිටියේ නැත. යන්න එන්න රථවාහන පෙළපාලි නැත. රැළෙන් තනිවුණ බල්ලෙක් මෙන් ඔහු ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ අධිකරණය කරා ගමන් කළේය. එසේ ගොස් නඩුවට පෙනී සිට ආපසු එමින් සිටියදී පසුපසින් හඹා ආ ඝාතකයෝ බෝකුන්දර ප්‍රදේශයේදී ඔහුව සිය අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහුට අමානුෂික ලෙස පහර දී වෙඩි තබා ඝාතනය කර වෙනත් ස්ථානයකට ගෙනගොස් දමා තිබියදී පොලිසිය සොයාගනු ලැබීය. පාතාලයේ මුල්පෙළේ සිටි, එජාපයේ ප්‍රබලයන් ඇසුරු කළ සොත්ති උපාලි ඝාතනය කිරීම පිළිබඳ පුවත එකල සමාජය හෙල්ලුම් කෑ සිදුවීමක් බඳුවිය. සොත්ති උපාලි ඝාතනය කරන්නට සැලසුම් කරමින් සිටියේ පාතාලයේ එක්කෙනෙක් දෙන්නෙක් නොවේ. බොහෝ දෙනෙකුට ඔහුගෙන් පළිගැනීමේ උවමනාවක් විය. ධම්මික අමරසිංහද එවැන්නෙකි. එසේම කඩුවෙල වසන්තද තවත් එවැනිම උවමනාවක පසුවූයෙකි. එහෙත් උපාලි අවසන් ගමන් ගියේ කඩුවෙල වසන්ත අතිනි. 

 

 

මුදිතා දයානන්ද