සෙනසුරු මාරුව නව වසරට කොහොමද ?


පසුගිය ඔක්තෝබර් 26 වැනිද‌ා සෙනසුරු ග්‍රහයා ධනු රාශිගතවීමෙන් පසු බොහෝදෙනා තම කේන්ද්‍රය පරීක්ෂා කරගැනීමට උත්සාහගෙන තිබුණි. බොහෝදෙනා තම කේන්ද්‍ර පරීක්ෂා කර ගැනීමෙන් පසු අපල උපද්‍රව සඳහා නානාප්‍රකාර යන්ත්‍ර බැඳ ගැනීම අපට දැකගත හැකිවිය.   


එහෙත් මෙම කේන්ද්‍ර අප විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පෙනී යන්නේ එම නිර්දේශිත යන්ත්‍ර කිසිවක් ඔවුන්ගේ කේන්ද්‍රවල පිහිටීම්වලට අනුව කෙසේවත් නොගැළපෙන බවයි. එබැවින් මේ සම්බන්ධව ජනතාව තරමක් දුරට හෝ දැනුවත් කිරීම උචිත යැයි හැඟුණ බැවින් මෙම ලිපිය ප්‍රසිද්ධ කිරීමට මම අදහස් කළෙමි.   

මෙහි අඩංගු කරුණු මැනවින් අවබෝධ කරගැනීම තුළින් තමාගේ කේන්ද්‍රයට අනුව සෙනසුරු මාරුවෙන් කුමන ශුභ හෝ අශුභ ඵල ලැබේද යන්න විමසා බලාගැනීමට අවස්ථාව ලැබෙන අතර එමගින් ගුප්ත විද්‍යාව නිවැරදිව සිදුකරනු ලබන පුද්ගලයකු වෙත ගොස් නියමිත අපල උපද්‍රව ඇතොත් ඉන් මිදීමට කුමන දේ සිදුකර ගත යුතුද යන්න වටහා ගත හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.   


සෙනසුරු යන නම ඇසූ පමණින්ම බියක් තැති ගැන්මක් ඇති වන ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතරින් පාප වියළි දුකට අධිපති ග්‍රහයා වන මොහු කළ යුතු දෙය හොඳින් දැනෙන ලෙසටම හොඳ හෝ නරක කළ යුතු අවස්ථාවට නොපැකිළිවම කරනු ලබන ග්‍රහයා වෙයි. බ්‍රහ්ම දේවතාවුන් අධිපතීත්වය දරන අනුර, උත්‍රපුටුප, පුෂ යන නැකැත්වලට හිමිකම් දරන බටහිර දිසාවට බලවත් වන සෙනසුරු කළු වර්ණයෙන් යුක්තවන අතර කපුටා වාහනය කරගෙන ඇති බව සංකේතවත් කෙරේ. එසේම ග්‍රහ මඩුල්ලේ මහල්ලා නැතහොත් හිඟන්නා ලෙසටද සෙනසුරු ග්‍රහයා හඳුන්වනු ලබයි.   
අන් සෑම ග්‍රහයකුටම වඩා ශුභ හෝ අශුභ ඵල ප්‍රද‌ානයේදී මුල් තැන ගනු ලබන සෙනසුරු මකර හා කුම්භ යන රාශි දෙකට හිමිකම් දරයි. රාශි චක්‍රයේදී එක් රාශියක් පසුකිරීමට වැඩිම කාලයක් ගත කරනු ලබන්නේ සෙනසුරුයි. එම කාලය වසර 2 1/2 පමණ වන අතර සෑම වසරකටම වතාවක් සිටි තැන සිට ආපස්සට අංශක 7ක් හෝ 8ක් වක්‍ර ගමනින් ගමන් කරන කොටසේ අංශක මත තෙවරක් ඉදිරියට හා පසුපසට යෑමට සෙනසුරුට සිදුවේ.   


මෙසේ යෙදෙන වක්‍ර ගමන සෙනසුරු රාශිය තුළට ඇතුළු වී මුල් අංශක 8 පසුවීමත් සමගම සිදුවී නම් එම රාශිය තුළ එම අංශක 8 මත තෙවරක් ගමන් කරනු ලබන සෙනසුරු ඊළඟ වස​ෙර්දීද එසේ වක්‍රවීම නිසා අග අංශක තුළත් තෙවරක් ඉදිරියට හා ආපස්සට ගමන් කිරීමට සිදුවෙයි. මෙසේ වක්‍රව එක රාශිය තුළ දෙවරක් ගමන් කිරීමේදී සෙනසුරුට එම රාශිය පසුකිරීම සඳහා ගත වන කාලය (මුළු) වසර 2 1/2 ට වඩා අඩු විය හැකිය. එවිට සීග්‍ර ගමනින් වසර 2 මාස 2 කින් ගමන නිම කරයි.   


ගෝචර ගමන් - ශනිගේ ගෝචර ගමනේ ඵල විපාක වැඩි වශයෙන් දෙනු ලබන්නේ රාශියේ අග කොටසේ ගමන් කරන කාලයේදීයි. යම් රාශියක අග කොටසේදී වක්‍ර වීමක් නිසා වැඩි කාලයක් එම කොටස තුළ එහා මෙහා ගමන් කරනු ලැබුවහොත් එම රාශි භාවයට නියමිත වූ ඵල විපාක තද ලෙසට ලබාදෙනු ලබයි.   


එසේම එකම රාශිය තුළම වක්‍ර නිවෘත දෙකම සිදුවෙමිනි. සීග්‍ර ගමනක් සිදුවේ නම් එම කාලයද ඉතාමත්ම තදබල ලෙස ඵල විපාක දෙනු ලබන කාලයක් වෙයි. එසේ එක රාශියක් තුළම එවැනි සීග්‍ර ගමන් සිදුවන්නේ ඉතාම සුළු වශයෙනි. මෙම ගමන් කිරීම යුද්ධයක පෙර නිමිත්තකි.   


සෙනසුරු ඒරාෂ්ටකය   


සෙනසුරුගේ එකම ඒරාෂ්ටකය කෙනකුට මුළු ජීවිත කාලය තුළදීම වරක් දෙවරක් තුන් වරක් ලබන්නට පුළුවන. නමුත් තුන්වරක් ලැබුනේ නම් ඔහු ඉතාම දීර්ඝායු ලබන්නකු වෙයි. යම්කිසි ජන්මියකු ලග්නයෙන් 12-1-2 යන ස්ථාන 3නේ ගෝචර වශයෙන් සෙනසුරු හැසිරෙන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලැබූ කාලයයි. මෙම කාලය වසර 7 1/2 කි. එසේම චන්ද්‍රයා සිටි රාශියෙන් 12-12 යන ස්ථාන තුනේ ශනි ගමන් කරන කාලයද ජන්ම ඒරාෂ්ඨක කාලය යැයි කියනු ලබයි. මෙහිදී ඉන්දීය දෛවඥ මහතුන්ගේ මතය නම් සෙනසුරු 12-1 යන බාව දෙකේ ගමන් කරන වසර 5 ක පමණ කාලය ඒරාෂ්ටක කාලය වන බවයි.   


එසේම චන්ද්‍රයා සිටි රාෂිය හා එයින් 12 වැන්නද එයින් 8 වැන්නද ප්‍රබලම ඒරාෂ්ඨක කාලයකි. මෙම කාලය තුළදී ඒරාෂ්ඨක ලැබුවේ රජකුට වුවත් ඔහුගේ රාජ්‍ය විනාශ වී යන බවත් දිළිඳුවීම දුක් විපත් ඇතිවීම ධන හානිය ඇති වීමට නියම බව පවසා ඇත. මෙසේ චන්ද්‍රයාගෙන් හෝ ලග්නයෙන් හෝ 8 වැන්න 12 වැන්න හා එම ලග්න ස්ථානවලට සෙනසුරු පැමිණියේ සක්‍ර දේවේන්ද්‍රයා බලසම්පන්න කෙනකුගේ වුවත් ඔහුටද අශුභ ඵල අැති කරවන බව ප්‍රකාශ වී ඇත. යම් විටක ශනි, කුජ, රවි යන ග්‍රහයින් තුන් දෙනාම මෙම ස්ථානයකට එකවර පැමිණියේ නම් ඔහුට ඒකාන්තයෙන්ම මාරක විපත් දන්වන බව අත්දැක තිබේ.   


මෙසේ සෙනසුරු 12-1-2 යන බාවවල ගමන් කරන කාලයේදී සමස්ත වශයෙන් ධනය විනාශවීමට රෝදුක් ඇතිවීමද හිතවතුන් මිතුරන් විනාශ වී යාමද සතුරන්ගෙන් බය ඇතිවීමට වද බන්ධනවලට අසුවීමද රාජ දඬුවම් ලැබීමද තම කටයුතු අවුල් වීමද කීර්ති ප්‍රශංසා හීන වීමද නියමිතයි. මෙහිදී 12 වැන්නේ ගමන් කරන කාලයේදී මෙම කරුණු ප්‍රබල සේම සිදුවනු ඇත. එසේම සෙනසුරු ඒරාෂ්ඨකය ලග්නයෙන් වෙන්ව චන්ද්‍රයාගෙන්ද 12-1-2 සහ මාරක ස්ථානය වන 8 වැන්නේදී ද සිදුවන බැවින් මෙම ස්ථානයක් ලග්නයෙන් වෙන්ම චන්ද්‍රයාගෙන්ද අශුභ ස්ථානයක් වී නම් එවිට ඔහුට මෙම අපලය ඉතාමත්ම තද ලෙස ගෙන දෙන්නේ එම භාවයේදී හෝ භාව දෙකේදී පමණක් බව අත්දැකීමකි.   


උද‌ාහරණ ලෙස යම් අයකුගේ චන්ද්‍රයා 11 වැන්නේ වී යැයි සිතමු. එවිට ශනි 10-11-12-1-2 යන ස්ථාන 5 ඒරාෂ්ඨක කාලය වුවත් තද ලෙස මෙම අපල ගෙන දෙන්නේ ශනි 12 වැන්නේ සහ 2 වැන්නේ ගමන් කරන වර්ෂ 5 පමණි. නමුත් යමකුගේ චන්ද්‍රයා 12 වැන්නේ සිටියේ නම් ඔහුට තද ලෙසට ඒරාෂ්ඨක අපල ගෙන දෙන්නේ 12-1-7 ස්ථාන පමණි. මෙහිදී ලග්නයෙන් දෙවැන්න චන්ද්‍රයාගෙන් තුන්වැන්න නිසාත් චන්ද්‍රයාගෙන් 12 වැන්න ලග්නයෙන් 11 වැන්න නිසාත් ඒරාෂ්ඨක අපල ඇති නොකරයි. නමුත් 7 වැන්න චන්ද්‍රයාගෙන් 8 වැන්න බැවින් තද ලෙස අපල ගෙනදීම සිදුවන්නේ 8 වැන්නේ නොව 7 වැන්නේදී වීම අත්දැක ඇත.   


විශේෂයි - මෙම දක්වන කරුණු තම තමන්ගේ කේන්ද්‍රවල චන්ද්‍රයා සිටින ආකාරය අනුව සසඳ‌ා බලමින් ධනු ලග්නයට සෙනසුරු මාරුවීම තමන්ට කෙසේ බලපායිද යන්න තේරුම් ගැනීමට උත්සුක විය යුතුයි. එසේම මෙහිදී දක්වනු ලබන්නේ ඉතාමත්ම සුළු විස්තරයක් බැවින් තේරුම් ගැනීමට අපහසු තැන් පරීක්ෂා කරගත යුතුය. අන් සෑම ග්‍රහයකුම අභිබවමින් සෙනසුරුගෙන් අපට යෙදෙන අපල උපද්‍රවයන් කෙරේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වෙයි. එසේම විශ්ණු දෙවිඳුනට පවා බට කොළ කැවූ බව ජනප්‍රවාදයේ එන සෙනසුරුගේ අපල උපද්‍රා ලැබුවේ නම් හෝ ඒරාෂ්ඨක අපල ලැබුවේ නම් ඉන් බේරීම සඳහා කළ යුතු වූ නියමිත වත්පිළිවෙත් සියල්ල අකුරට ඉටු කිරීම තුළින් මෙය සමත කරගත හැකියි. රජකුට වුවත් ඒරාෂ්ඨකයකදී අපල උපද්‍රා ඇති කරන බවට උසස් යවනාචාර්යවරයාගේ ද මතයයි.   


චන්ද්‍ර රාශියෙන් හෝ 12 හෝ 8 වැන්නෙහිද සෙනසුරු ගමන් කරන කාලයේ රජකුගේ වුවත් රාජ්‍ය විනාශවී යයි. දිළිඳු වෙයි. දුක් විපත් පැමිණේ. ධන හානිය ඇති කරත්. මේ උපදෙස් යවනාචාර්ය මතයයි.   


එසේම යම් ග්‍රහයින්ගේ බලපෑම් සහ කිරණ ද‌ාරා ශක්තිය විහිදවීම ප්‍රමාණයක් සහ අප පෘථිවිතලයට ඒ ඒ ග්‍රහයින්ගේ කිරණ ද‌ාරා පරාවර්ථනය වීමද දැන් පෙරට වඩා වැඩි වශයෙන් සිදු වෙමින් පවතී. මෙම හේතුව නිසාද ඒ ඒ ග්‍රහයින්ගේ අශුභ දසා කාලවලදී ඇතිවන අශුභ පලයන්ද ඉතාමත්ම දරුණු ලෙස දැන් සිදුවෙයි.   


ශනි මාරුවෙන් චන්ද්‍රයාගේ පිහිටීම අනුව ශුභ ඵල ලබන අය   


චන්ද්‍රයා ලග්නයේ සිටියේ නම් මෙම ග්‍රහ මාරුව තුලා, කටක, කුම්භ යන ලග්න හිමි අයට ඉතාම උසස් ප්‍රතිඵල ගෙන දේ. ශනි මහදසාවක් හෝ විදසාවෙක් වුවොත් ඔබ බලාපොරොත්තු නොවූ තැනකට ඔබ පත්වෙයි.   


චන්ද්‍රයා 2 වැන්නේ සිටියේ නම්ද කටක, කුම්භ, හිමියන්ට ශුභ ඵල නියම වෙයි.   

චන්ද්‍රයා 3 වැන්නේ සිටිනේ නම් සිංහ, කුම්භ, ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 4 වැන්නේ සිටියේ නම් කටක, මේෂ ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 5 වැන්නේ සිටියේ නම් මිථුන, මීන, තුලා ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 6 වැන්නේ සිටියේ නම් කුම්භ, තුලා, කන්‍යා ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 7 වැන්නේ සිටියේ නම් කුම්භ, මේෂ, සිංහ ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 8 වැන්නේ සිටියේ නම් මීන, කුම්භ, කටක ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 9 වැන්නේ සිටියේ නම් කුම්භ, මිථුන, ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 10 වැන්නේ සිටියේ නම් තුලා, කටක, ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 11 වැන්නේ සිටියේ නම් තුලා, මේෂ ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

චන්ද්‍රයා 12 වැන්නේ සිටියේ නම් තුලා, සිංහ, කුම්භ ලග්න හිමියන්ට ශුභ ඵල ලැබේ.   

 

මේ අනුව බලනවිට ඔබට දැන් ඔබේම හඳහනේ චන්ද්‍රයා සිටින ආකාරය අනුව මෙහි ශනි ග්‍රහයාගේ මාරුව ශුභද, අශුභද යන්න තීරණය කර ගැනීමට අවස්ථාව ලැබේ. එහෙත් මෙහිදී අමතක නොකළ යුතු කරුණක් වෙයි. එනම් උත්පත්තියේදී ශනි සිටි බල දුබලතාව මැන බැලීමයි. එම බල දුබලතාවද අනුව සලකා චන්ද්‍රයා සිටි ස්ථානයක් මුලින් සඳහන් කළ කරුණක් අනුව සෙනසුරු මාරුව තේරුම් කරගත යුතුයි.   


යම්කිසි ජන්මියකුට මුළු ජීවිත කාලය තුළ ඒරාෂ්ඨක එකක් හෝ දෙකක් හෝ තුනක් ගත කිරීමට සිදුවෙයි. මෙයින් පළමු ඒරාෂ්ඨකය වසර 30 පෙරත් දෙවැන්න වසර 30-60 ත් අතර කාලයේදීත් තෙවැන්න 60-90 අතරත් සිදුවෙයි. මෙහිදී පළමු ඒරාෂ්ඨකයේදී තදබල අපල උපද්‍රවවලට මුහුණ දුන්නේ නම් දෙවන ඒරාෂ්ඨකය එතරම් ප්‍රබල නොවන බව සඳහන්ව ඇත.   


හැම කේන්ද්‍රස්ථානයකටම ලග්නාධිපති 5 - 9 අධිපති සියලු ග්‍රහයෝද 4 - 7 - 10 අධිපති කෲරයෝද ශුභ වෙයි 5 ට වඩා 8 වැන්නද 4 වැන්නට වඩා 7 වැන්න ද 7 වැන්නට වඩා 10 ද ක්‍රමයෙන් ශුභද‌ායක බව අධික වේ. එසේම 3 - 6 - 11 අධිපතියෝද 4, 10 අධිපති ශ්‍යෙම්‍යයෝද අශුභ වේ. 3 - 6 - 11 ක්‍රමයෙන් අශුභ බව අධික වේ. කටකයට චන්ද්‍රයාද 2 - 8 - 12 අධිපති වූ විට රවි හා සඳු ද මධ්‍යස්ථ​ වෙයි. එය උගත් ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයා කාරණා අවබෝධයෙන් වටහා ගත යුතුයි. එසේම ඒ ඒ අවස්ථානුකූලව ද බල දුබලතාව මතද තැන්පත් වී ඇති ආකාරය අනුවද ග්‍රහයින්ගේ ශුභ අශුභ සලකා බලා තීරණ ගතයුතු වෙයි. ශනි මාරුව පමණක්ම සලකා කිව හැකිවන්නේ මා පෙර සඳහන් කළ කරුණු ඒ හැටියට වෙත්නම් ඒ අනුව ග්‍රහ පිහිටීම්ද වෙත්නම් එයින් වන ප්‍රබල හානිය සහ විනාශකාරී බව පමණක් බව අවබෝධ කොට ගත යුතුවෙයි.   


ශනි ග්‍රහ ගමන නිසා වන අපලයට යන්ත්‍ර   


දුකට අධිපතිත්වය දරන සෙනසුරු ග්‍රහයා අපල උපද්‍රාදීම ඇරඹුවේ නම් ඉන් මිදීම උගහටය. කුමන අයුරකින් හෝ තමා විසින් ඉටු කළ යුතු කටයුත්ත කුමන තරාතිරමක පුද්ගලයකුට වුවත් නොපැකිළිව ලබා දෙවන එකම ග්‍රහයා ශනි ග්‍රහයා කීවොත් එය වරදක් නොවේ. ශනි ග්‍රහයා දැන් ධනු රාශිගතවීම කුමන අවස්ථාවක වුවත් කළ යුතු දෙය ස්ථිර ලෙසම කරන සෙනසුරු දැන් සිටින තත්ත්වය අනුව ඔහුගෙන් යෙදෙන අපලය කුමන ආකාරයද එම අපලය ඒ අයුරුම ඔහු ලබාදෙයි. ශුභ ඵල දීමද ඒ ආකාරයටම බව සිතන්න. මෙම අපලයේ අශුභ ඵල හෝ වේවා අපල උපද්‍රා වෙතොත් ඒවායින් බේරීම සඳහාත් සුබ ඵල වෙතොත් ඒවා වර්ධනය කර ගැනීම පිණිසත් ත්‍රිකාලය දත් සෘෂිවරයින් විසින් ලෝක සත්වයාගේ හිත සුව සලකා නානාවිධ ක්‍රම ලොවට බිහිකර ඇත. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මෙන්ම හෝම ක්‍රම, ඖෂධ වර්ග සකසා ගන්නා ආකාරයද මේ අනුව ඔවුන් ලොවට පෙන්වා දී ඇත. මින් ප්‍රබලම ස්ථානයක් ගනු ලබන්නේ යන්ත්‍ර ක්‍රමයයි. යන්ත්‍ර ක්‍රමයට ප්‍රධාන තැනක් ලැබුණත් එය සාර්ථකව ඉටු කිරීමට අපොහොසත් බොරුවෙන් වංචාවෙන් සූරාකන්නන් ළඟට ගොස් යන්ත්‍ර බැඳීමෙන් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබී යනවා පමණක් නොව නැති කරදර ඇඟට කඩා වැටීමටද ඉඩ තිබේ. එසේම යන්ත්‍රයක් බැඳීම කළ යුතු වන්නේද එය කළ යුතුම අවස්ථාවේමය. ගසකට පොහොර දැමිය යුතු අවස්ථාවේ පොහොර නොදමා ගස දුර්වල වූ පසුව පොහොර දමා ගස ගොඩ ගැනීමට අපහසු බව ඔබ දන්නවා ඇත. වැව් බැම්මක් පුපුරායාමට ආසන්න විට එයට වහා ප්‍රතිකර්ම නොකර බැම්ම පුපුරා ජලාශය සිඳී ගිය පසු බැම්ම බැඳ දැමුවත් ජලාශය පිරවීමට අපහසුමෙන් අපල උපද්‍රා සඳහා යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කටයුතු කළ යුතු අවස්ථාවේ නොකර තමාගේ සියලු සේසත සිඳී ගිය පසු මාන්ත්‍රිකයා කරා ගොස් යන්ත්‍ර බැඳ ගැනීම සිඳී ගිය ජලාශය පිරවීම මෙන් අපහසු කාර්යයක් වෙයි. එහිදී මාන්ත්‍රිකයාට දොස් නොකියා දොස් කියා ගත යුත්තේද තමාටමය.   


යන්ත්‍ර සැකසීම   


යන්ත්‍රයක් සකසන විට යන්ත්‍රයක මුල හෙවත් මෙම යන්ත්‍රය පලඳවන අයගේ ග්‍රහ ශක්තිය කෙසේද යන්න හරියාකාර විමසා බලා එයට ගැලපෙන අයුරු යන්ත්‍රය සකස් කිරීම අනිවාර්ය කරුණකි. කුමන යන්ත්‍රයක් හෝ වේවා ඕනෑ ඕනෑ ආකාරයට කළ නොහැකි වෙයි. සියලුම කරුණු කෙරේ යොමුවීම සහ සැකසීම යන කරුණු දෙකම කළ යුත්තේ තමා ජන්ම ලාභය ලබන විට තමාට ග්‍රහ කිරණ එල්ල වූ ආකාරය ගැන මනා පරික්ෂාවකින් පසුව වෙයි. එනම් කේන්ද්‍ර පරික්ෂා කිරීමකින් තොරව යන්ත්‍රයක් පැලඳවීම නොකළ යුතු වෙයි. එසේම මෙම කේන්ද්‍ර පරික්ෂාව සහ අවශ්‍යතාව අනුව යන්ත්‍ර නියම කිරීමද උගත් නැණවත් දෛවඥයකුගේ උපදෙස් මතම කළ යුතු වෙයි. මෙය විශේෂඥ වෛද්‍යවරයකු වෙතින් බෙහෙත් ලබාගන්නා වැනි කරුණකි. වංචාකාරයකුට ඔබ අසුවී තිබුණහොත් බෙහෙත් වැරදි ඔබ අසාධ්‍ය වන්නා මෙන් යන්ත්‍රයක් වැරදීම නිසා ඔබ කබලෙන් ලිපට වැටීමටද බැරි නැත.  


නූතන සමාජයේ එක් වරදක් මම මෙතනදී පෙන්නා දෙමි. එනම් ඔබට රෝගයක් වැළඳී ඔබ බෙහෙත් ගත්තා යයි සිතන්න. ඔබ අසුවී සිටියේ වංචාකාරයකුට නම් ඔබගේ රෝගය උත්සන්න වෙයි. එවිට ඔබ එම වෛද්‍යවරයා හැර වෙනත් වෛද්‍යවරයකු කරා යනවා විනා වෛද්‍ය සංහතියකටම බනිමින් බෙහෙත් නොගෙන සිටිනවාද? එසේ සිටියහොත් ඔබ මියයනු නියතයි. ගුප්ත විද්‍යාවත් එසේමයි. එක වංචාකාරයකුට ඔබ අසුවූ පළියට ඔබ සෑම දෙනටම බනින්න එපා. ඔබ ශාස්ත්‍රය හරියාකාරව කරන ඇදුරකු වෙතට ගොස් උපදෙස් ගන්න. එවිට ඔබගේ ග්‍රහ ශක්තිය මනා පරික්ෂාවකින් පසුව දෙනු ලබන උපදෙස් මත යන්ත්‍රයක් බැඳීම හෝ වේවා වෙනත් ශාන්තිකර්මයක් හෝ වේවා කරගත හැකියි.  


යන්ත්‍රයක් සකස් කරනු ලබන මාන්ත්‍රිකයාද ජ්‍යෝතිෂය ගැන මනා අවබෝධයකින් කටයුතු කරන්නකු විය යුතුයි. මන්ත්‍ර ශාස්ත්‍රය සහ ජ්‍යෝතිෂය යන කරුණු දෙකම එකිනෙකට බැඳී පවතින කරුණු දෙකක් වෙයි. ඔරුවට කොල්ලෑව අවශ්‍යවන්නාක් මෙන් මන්ත්‍ර ශාස්ත්‍රය පණ ගැන්වීම සඳහා ජ්‍යොතිෂයේ පිහිට කරගත යුතුම වෙයි. ඔරුවට කොල්ලෑව නොමැති වුවහොත් පදවන්නා කොපමණ දක්ෂයකු වුවත් ඔරුව පෙරළේ. එසේම දක්ෂයා කොල්ලෑව නොමැතිව ඔරුව නොපදවන්නාක් මෙන්ම මාන්ත්‍රිකයා හරියාකාරව කටයුතු දැන කරන්නකු නම් මොනම කරුණක්වත් ජ්‍යොතිෂයේ පිහිට නොලබා නොකරයි. ජන්මියකු වේ නම් කුමණ කරුණක් වුවත් කළ යුත්තේ තමා ජන්ම ලාබය ලබන විට තමාට එල්ල වූ ග්‍රහ ශක්තිය පෙන්වන කැඩපත එනම් කේන්ද්‍ර පිටපත මනා ලෙස පරීක්ෂා කිරීමකින් පසුවමය. ඒ ගැන නොදනී නම් එවැනි ඇදුරන් කරා නොයෑමට වගබලා ගත යුතුයි.  


යන්ත්‍රයක් හෝ මන්ත්‍රයක් තිබූ පිළියටම ඉන් ප්‍රතිඵල ගැනීම අපහසුය. එය ප්‍රාණවත් කරන ආකාරය දැනගත යුතුය. මෙසේ නොදැන කටයුතු කරන අය නිසා අද මෙම ශාස්ත්‍රය සමාජයේ පිළිකුලට පත්වන තැනට කටයුතු යෙදී ඇත. එසේම කරුණු හරි හැටි නොදැන සමාජය සූරාකමින් කටයුතු කරන පුද්ගලයෝද සිටිති. ඔවුන් ශාස්ත්‍රය පිළිකුලට පත්කරනවා පමණක් නොව සසර කිසිදිනක ගොඩඒමට නොහැකි පරිදි ඌරන් කුකුළන් හරකුන් වී පව ගෙවා නිම කළ නොහැකි භයානක පාප කර්මයනට ගොදුරු වන අතර මෙලොව වශයෙන්ද ඉතාම නින්දිත ඇනුම් බැනුම් ආදී දෝෂ දර්ශනයට ලක්වී පීඩා විඳිනුද පෙනේ. එසේම නනාප්‍රකාර මනස්ගාත ප්‍රකාශයට පත්කරමින් කටයුතු කරන්නන්ද ඉතාම සුලබය. මේවාට නොරැවටෙන්න. කවුරුන් හෝ වේවා ශාස්ත්‍රය හරි හැටි කරන තැනකින් කටයුතු කරගත්තේ නම් ඔබ මවිත වන ආකාරයේ ප්‍රතිඵල අත්කර දීමට ගුප්ත විද්‍යාව සමත්කම් දක්වන බව නොබියවම පැවසිය හැකිය.  

 

 

 

 

 

 

 


විජේසේකර ජයලත්