සුද්දාගේ කැලෑ නීතියෙන් මරා දැමූ හෙන්රි පේද්‍රිස් වීරයා


 

1915 ජූලි 7 දින ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින්ම ශෝචනීය දිනයකි. මෙදින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා කැලෑ යුද්ධාධිකරණයක් විසින් පනවන ලද මරණ දණ්ඩනයක් ප්‍රකාර එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් තරුණ මහතා නීති විරෝධි ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම දිනයෙන් පසු දරුණු තත්ත්වයක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී ‘ජූලි 7 යි’ කීමට සිංහලයා පුරුදු වී සිටිති. එඩ්වඩ් හෙන්රි ප්‍රේදිස් (1887 - 1915) වනාහි කොළඹ ඉතා ධනවත් සිංහල බෞද්ධ ප්‍රභූ පවුලක එකම පිරිමි දරුවා වූ අතර අනගාරික ධර්මපාලතුමාගේ කිට්ටු ඥ‌ාතියෙකි.   


එඩ්වඩ් හෙන්රි ප්‍රේදිස් වීරයාගේ ඝාතනයට පසුබිම සැකවින් මෙසේය. 1915 මැයි මස 28 වැනිද‌ාට යෙදී තිබූ වෙසක් පොහොය දිනයේ දී භක්ති ගීත කණ්ඩායම් රැගත් ගැල් මහනුවර නගරයේ සංචාරය කිරීමට බෞද්ධයන් පියවර ගත්තේය. මෙම භක්ති ගීත කණ්ඩායම් මහනුවර කාසල් වීදියේ පිහිටි මීරා මක්කම් මුස්ලිම් පල්ලිය පසුකර යෑම සම්බන්ධව මුස්ලිම්වරුන් විරුද්ධ වූ අතර මුස්ලිම්වරුන්ගෙන් අල්ලස් ලබාගත් මහනුවර පොලිසිය මීරා මක්කම් පල්ලිය අසල දී මාර්ගය හරස් කොට භක්ති ගීත කණ්ඩායම් වෙනත් මාර්ගයක් වෙතට හැරවීය. මෙම අවස්ථාවේ දී භක්ති ගීත කණ්ඩායම සමච්චලයට ලක් කරමින් මීරා මක්කම් පල්ලියේ සිටි මුස්ලිම් තරුණයන් පිරිසක් ෂාදු ෂාදු යැයි කෑ ගැසීය. මෙහිදී උරණ වූ බෞද්ධයන් මුස්ලිම්වරුන්ට පහරදුන් අතර අද‌ාළ කලහය මහනුවර පොලිසියේ පොලිස් පරීක්ෂක කුරේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මැඩ පවත්වන ලදී. රාත්‍රී 2.00 පමණ වන විට තත්ත්වය සන්සුන් වූ අතර, සිංහල-මුස්ලිම් දෙපාර්ශවයම විසිරී ගොස් තිබුණි. තත්ත්වය මෙසේ තිබිය දී පසුදින ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රධානතම විනෝදාංශය වන කට කතා පැතිරීම ක්‍රියාත්මක වූ අතර එදින මධ්‍යහනය වන විට මහනුවර පුරා පැතිරී ගියේ මුස්ලිම්වරුන් විසින් දළද‌ා මාලිගාව කුඩුකර ඇත, යන්නයි. මෙම කට කතා නිසා ප්‍රචණ්ඩකාරී වූ බෞද්ධයන් මුස්ලිම් දේවස්ථානවලට පහර දුන් අතර සිංහල සිල්ලර කඩකාරයන් තමන්ගේ ව්‍යාපාරික තරගකාරීන් වූ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දීමට ජනයා පෙළඹ වීය. මේ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ප්‍රාදේශීක ද‌ාමරිකයන් මුස්ලිම් කඩ සහ නිවාස කොල්ලකෑමට පටන් ගත්තේය. මහනුවර ඇති වූ තත්ත්වය 1915 ජූනි මස 01 වන දින විට කොළඹ දක්වා ව්‍යාප්ත වී තිබුණි. මෙම බැරෑරුම් අවස්ථාවේ දී ලංකා පොලිසිය ඉතා කනගාටුද‌ායක ලෙස මන්දගාමී ස්ථාවරයක් අනුගමනය කළේය. කොළඹ පිටකොටුවේ මුස්ලිම් වෙළඳසැලක් කොල්ල කන ස්ථානයට පොලිසිය ළඟා වූ විට කලහකාරීන් පොලිසියට ගරුසරු බවක් දක්වා කොල්ල කෑම නවත්වා බලා සිටියේය. මෙහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු කලහාකාරීන්ට පැවසුවේ ‘යකෝ බඩු ගත්තා නම් අරන් ගෙදර පලයව්’ යන්නයි. පොලිසියේ උද‌ාසීන බවින් ප්‍රයෝජන ගත් ප්‍රාදේශීය මැරවරයන් වඩාත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණෙය. 

 
උද්ගත වූ තත්ත්වය නිසි ලෙස වටහා නොගත් ලංකා ආණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් යුද නීතිය (Martial Law) ප්‍රකාශ කර නීතිය හා සාමය ලංකාවේ භට පිරිස් ප්‍රධාන අණදෙන නිලධාරී (GOC Ceylon) බ්‍රිගේඩියර් ​ ජෙනරල් ලේ මැන්කම් වෙත භාර දුන්නේය. කේම්බ්‍රීජ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් බුද්ධාගම හා පාලි භාෂාව පිළිබඳ නිපුනයෙකු වූ අතර පර්යේෂණාත්මක ලිපි රාශියක් ද ලියා ඇත. එහෙත් ඔහු අතිශයින්ම දුර්වල පාලකයෙකි. උද්ගත වූ තත්ත්වය හුදෙක්ම පොලිසියේ නීතිය හා සාමය ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් වුවත්, ඔහු ක්ෂණිකයෙන්ම යුද නීතිය ප්‍රකාශ කර යුද හමුද‌ා අණදෙන නිලධාරිවරුන්ට බලය ලබා දුන්නේය. මෙය කිසිසේත්ම නොකළ යුතුව තිබූ අමනෝඥ ක්‍රියාවකි. නීතිය හා සාමය බිඳවැටී ඇති අවස්ථාවකදී එය හැකිතාක් දුරට පොලිස් බලය යොද‌ා සිවිල් නිලධාරීන් විසින් නැවත ස්ථාපනය කළ යුතුය. පොලිසියට තත්ත්වය පාලනය කළ නොහැකි නම් පොලිසියේ සහායට යුද හමුද‌ාව කැඳවීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය යටතේ සිවිල් නිලධාරීන් වන දිසාපති, පොලිස් අධිකාරි සහ මහේස්ත්‍රාත්වරුන්ට බලය ඇත. මෙහිදී යුද හමුද‌ාව කැඳවුව ද තවමත් බලය පවතින්නේ සිවිල් අධිකාරිය තුළය. මාර්ෂල් ලෝ හෙවත් යුද නීතිය පැනවීම (මෙලෙස යුද නීතිය පැනවිය නොහැකිය යන්න බොහෝ නීති විශාරදයන්ගේ මතය වේ.) රට තුළ තත්ත්වය දරුණු ලෙස පිරිහීමත් එනම් විදේශ ආක්‍රමණයන්, කැරලිකරුවන් විසින් ප්‍රදේශ අත්පත් කර ගැනීම් වැනි තත්ත්වල දී පමණක් සිදුකරනු ලැබේ. 1915 ජූනි මස මෙවැනි තත්ත්වයක් නොතිබූ අතර සිදු වූයේ ප්‍රාදේශීය ද‌ාමරිකයන්ගේ අසංවිධානාත්මක කලහ ව්‍යාපාරයකි. ආණ්ඩුකාරතුමාට අතිශයින්ම අවශ්‍ය වූයේ නම් සිවිල් නිලධාරීන්ගේ අණට යටත්ව යුද හමුද‌ාව කැඳවිය යුතුව තිබුණි. එහෙත් ආණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් ලංකාවේ යුද හමුද‌ා භට පිරිසේ අණ දෙන්නා වූ බ්‍රිගේඩියර් ජෙනරාල් (වර්තමානයේ බ්‍රිගේඩියර් නිලය) ලේ මැල්කම් හට බලය පවරා දුන්නේය.   
 බ්‍රිගේඩියර් ජෙනරාල් ලේ මැල්කම් වනාහි එවකට 60 විය ද ඉක්මවා සිටි පුද්ගලයෙකු වූ අතර ඔහුගේ මානසික තත්ත්වය ද සැක සහිතය. 1914 - 1918 වකවානුවේ යුරෝපයේ 1 වැනි ලෝක යුද්ධය දරුණු ලෙස පැතිරෙමින් යන අවස්ථාවක දී අධිරාජ්‍යයේ ඈත පිහිටි යටත් විජිතවල භට පිරිස් අණදීමට මැල්කම් වැනි හමුද‌ා භාෂාවෙන් කියනවා පාවිච්චියට නුසුදුසු (පා/නු) නිලධාරින් පත්කරනු ලැබීය. එවකට ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය හමුද‌ාවේ 17 වැනි පන්ජාබ් රෙජිමේන්තුව යොදවා තිබූ අතර යුද නීතිය අපහරණයට ගෙන පන්ජාබ් සෙබළුන් ඉවක් බවක් නැතිව නිරායුද සිවිල් වැසියන් ඝාතනය කර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑමේ යෙදුණේය.   


ප්‍රේදිස් මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ ඊනියා යුද්ධාධිකරණය   


1915 මැයි මස 28 වැනි දින මහනුවරදී ආරම්භ වූ සිංහල - මුස්ලිම් කෝලාහලය ජූනි 01 වැනි දින වන විට කොළඹ සහ කුරුණෑගල ආදී ප්‍රදේශවලට ව්‍යාප්ත වී තිබුණේය. මෙයට හේතු වූයේ අතිශයින්ම ප්‍රකෝපකාරී කටකතා පැතිර යාමත් පැන නැගී ඇති තත්ත්වය හමුවේ ප්‍රාදේශීය සිංහල සිල්ලර වෙළඳුන් මුස්ලිම් ව්‍යාපාර ස්ථානවලට පහර දීමට ජනයා පෙළඹ වීමත්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ප්‍රාදේශීය පාදඩයන් හා රස්තියාදුකාරයන් මුස්ලිම් ව්‍යාපාර ස්ථාන කොල්ලකෑමත් යන සිද්ධීන් හමුවේ පවතින තත්ත්වය පාලනය කිරීමට ලංකා පොලිසිය කිසිදු උත්සාහයක් නොගැනීම නිසාත් වේ.   


1915 වන විට 19 වන ශත වර්ෂයේ අවසානයේ සිදු වූ හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ ආගමනය. ආනන්ද, ධර්මරාජ, මහින්ද බෞද්ධ විදුහල පිහිටුවීම හා අනගාරික ධර්මපාල තුමන් සිංහලයන් අවදි කිරීමේ පුනරෝදය ආදී කරුණු මත සිංහල - බෞද්ධ ප්‍රජාව වෙළඳ‌ාම හා අධ්‍යාපනය අතින් උසස් මට්ටමකට පැමිණියේය. බෞද්ධ පාසල්වල ශිෂ්‍යයන් (උද‌ා- ආනන්ද විද්‍යාලයේ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ඉංජිනේරුතුමා) ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හද‌ාරමින් සමාජයේ උසස් ස්ථානවලට පැමිණෙමින් තිබුණේය.   
මෙම බෞද්ධ පුනරෝදය හිසරදයක් වූ එංගලන්ත සහ ක්‍රිස්තියානි / කතෝලික බලවේග, 1915 ජූනි මස රටේ පැවැති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සිංහල බෞද්ධ නායකයන්ට එරෙහිව අහේතුක චෝදනා නඟා බ්‍රිතාන්‍ය පාලකයන්ට ඉදිරිපත් කළහ. එවැනි අහේතුක චෝදනා යටතේ ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, ඩබ්.ඒ. ද සිල්වා, නීතිඥ ජෝන් ද සිල්වා (නාට්‍යකරු) හේවාවිතාරණ සහෝදරයන් වැනි සිංහල බෞද්ධ ප්‍රභූන් අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවන ලදී.   


 මෙම තත්ත්වය යටතේ ජනයාගෙන් ජනාකීර්ණ වූ පිටකොටුවේ කෙයිසර් වීදියේ පිහිටි ප්‍රේදිස් මහතාගේ ව්‍යාපාර ස්ථානයට පහර දීමට මුස්ලිම්වරුන් කණ්ඩායමක් පැමිණි අතර ඔවුන් පලවා හැරීමට ප්‍රේදිස් මහතා විසින් තම බලපත්‍ර සහිත රිවෝල්වරයෙන් අහකට වෙඩි දෙකක් තැබීය. ප්‍රේදිස් මහතාට එරෙහිව චෝදනා 5 ක් එල්ල වූ අතර ඉන් පළමු වැනි චෝදනාව ‘අප මහරජතුමාට එරෙහිව යුද්ධ කිරීමයි.’ මෙයට සාක්ෂි වන්නේ 1915 ජූනි 01 දින කොළඹ පිටුකොටුවේ කෙයිසර් වීදියේදී රිවෝල්වර උණ්ඩ 2 ක් අහසට පත්තු කරීමයි. මෙම චෝදනාව කෙතරම් හාස්‍යජනක ද යන්න අධි චෝදනාවෙන්ම පැහැදිලි වේ. අනිකුත් ​ චෝදනා වන්නේ නීති විරෝධි ලෙස රංචු ගැසීම. මංකොල්ලකෑම ආදිය වේ. ප්‍රේදිස් මහතාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා 5 අඩංගු අධි චෝදනා පත්‍රය මුළුමනින්ම අර්ථ ශුන්‍ය හා බල රහිත වේ. මක්නිසාද යත් ප්‍රේදිස් මහතා වරද සිදුකර ඇත්තේ 1915 ජූනි මස 01 දීය. ආණ්ඩුකාරවරයා යුද නීතිය ප්‍රකාශ කරන ලද්දේ 1915 ජූනි මස 02 දින දීය. ජාත්‍යන්තර නීතියේ සහ ඉංග්‍රීසි නීතියේ පවතින ප්‍රධාන මූල ධර්මයක් වන්නේ යම්කිසි නීතියක් හෝ පනතක් විශේෂිතවම හා ප්‍රකාශිතවම දක්වා ඇති අවස්ථාවක දී හැරුණු විට අතීතයට බලනොපාන බවය. යුද නීතිය වැනි ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන පාර්ලිමේන්තු පනත් නොවන ද්විතීයික නියෝග (රෙගුලාසි, නියෝග) කවර ආකාරයකින්වත් අතීතයට බල​ නොපාන බැව් ද මූලික නෑති මූලධර්මයකි. මෙම නීතිමය තත්ත්වය මත 1915 ජූනි මස 01 දින කරන ලද වරදකට 1915 ජූනි මස 02 දින පනවන ලද යුධ නීතිය ප්‍රකාර යුද්ධාධිකරණයකට කැඳවීම හෝ දඩුවම් පැමිණවීම කළ නොහැක. 1915 ජූනි / ජූලි වකවානුවල ලංකාද්වීපය තුළදී මහරජතුමාගේ අධිකරණ ක්‍රියාත්මක වූ අතර, එම තත්ත්වය මත ද සිවිල් වැසියන්ගේ නඩු විභාග කිරීමට යුද්ධාධිකරණ පැනවීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. මක් නිසාද යත් යුද තත්ත්වයක් තුළ දී වුවත් සිවිල් පරිපාලනය බිඳ නොවැටී ඇති බැවිනි. 1939 - 1945 අතර දෙවන ලෝක යුද්ධ කාලය තුළ දී ශ්‍රී ලංකාව​ දෙවරක්ම ජපන් ප්‍රහාරවලට ලක්වුව ද, යුදමය අතින් අතිශයින්ම වැදගත් වූ ලංකාවේ අද්මිරාල් ලුයි බවුන්ට් බැටන් සාමිවරයාගේ මූලස්ථානය පිහිටුවා තිබුණ ද 2 වන ලෝක යුද සමයේ ලංකාවේ යුද නීතිය ක්‍රියාත්මක නොවීය. 1939 - 1945 කාලය පුරාම සිවිල් අධිකරණ හා සිවිල් පරිපාලනය අඛණ්ඩව පැවැති අතර, සිවිල් වැසියන් සිවිල් අධිකරණ ඉදිරියට කැඳවිණි. මෙම සියලුම කරුණු මත ප්‍රේදිස් මහතාට එරෙහිව කැඳ වූ ඊනියා යුද්ධාධිකරණය අර්ථ ශුන්‍ය හා බල රහිත අධිකරණයක් වන අතර එවන් අධිකරණයක තීන්දුවක් මුල් අවස්ථාවේම අර්ථ ශුන්‍ය හා බල රහිත වේ.   


මතු සම්බන්ධයි....

 

 

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) 
රන්ජිත් රාජපතිරණ 
(RSP VSV USP PSC LLB (OU) LLM (KDU),   
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, හිටපු විනිසුරු අධිනීතිඥ ජෙනරාල් ශ්‍රී ලංකා යුද්ධ හමුද‌ාව