සුද්දන්ගේ කාලේ ඇමැති පට්ටම්


මුලින්ම ඡන්දයක් කල් දැම්මේ සුදු පාලකයන් 

 

ඓතිහාසික කරුණු පදනම් කර ගනිමින් ලියවී ඇති ලංකාවේ සුප්‍රකට මූලාශ්‍ර ග්‍රන්ථය වන මහාවංශයට අනුව ඇමැතිවරුන් පිළිබඳ පැරණිම තොරතුරු හෙළිදරව් වන්නේ විජය රජුගේ පාලන සමයෙනි.   


ඒ අනුව විජය රජුගේ ඇමැති මඬුල්ල තුළ ඇමැතිවරුන් පස්දෙනකු සිටි අතර උපතිස්ස, අනුරාධ, උරුවෙල, විජිත හා උදේනි යනු ඔවුන්ගේ පුද්ගල නාමයන්ය. දේවානම්පියතිස්ස රජුගේ පාලන සමය තුළින්ද අරිට්ඨ නම් ඇමැතිවරයකු පිළිබඳ තොරතුරු හෙළිදරව් වන අතර පසු කලකදී ඔහු බුදු සසුනේ පැවිදි වූ බව ද මහාවංශයේ සඳහන්ය.   
විජය රජුගේ පාලන සමයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමය දක්වා දිග හැරුණු ඓතිහාසික කාල පරිච්ඡේදයේ සටහන් තුළින් හමුවන ඇමැතිවරුන් සංඛ්‍යාව ද ඉතා විශාලය. එහෙත් ඒ කිසිවෙක් මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් හැටියට තේරී පත්වීමෙන් පසු ඇමැති පදවි ලැබූ අය නොවේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් බවට පත්වී පසුව ඇමැති පදවි ලැබූ පළමු ලාංකිකයින් පිරිස පිළිබඳ තොරතුරු හෙළි වන්නේ ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළිනි. වෙනත් අයුරකින් කිවහොත් වත්මන් ආණ්ඩුක්‍රමය සඳහා ලංකාව මුල් පියවර තැබූ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගය තුළිනි.   


ලංකා රාජාවලියේ ආරම්භකයා වන විජය රජුගේ පාලන සමයේ සිට වගකීම් සහිත තනතුරක් වශයෙන් පැවති ඇමැති ධුරය නමැති නිලය ක්‍රිස්තු වර්ෂ 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමත් සමග ලක්බිමෙන් අතුරුදන් විය. එතැන් සිට රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ආරම්භය සනිටුහන් වූ ක්‍රිස්තු වර්ෂ 1931 දක්වාම ලක්බිම තුළ ඇමැතිවරුන් සිටියේ නැත. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1815 සිට 1931 දක්වා ගෙවී ගිය වසර 116 ක පමණ කාල පරිච්ඡේදය ඇමැතිවරුන්ගෙන් තොර යුගයක් ලෙස ලංකා ඉතිහාසයේ සටහන්ව ඇත.   
රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය එතෙක් වෙන් වෙන් වශයෙන් පැවති විධායකය හා ව්‍යවස්ථාදායකය අතර කිසියම් ආකාරයක ඒකාබද්ධතාවයක් ඇති කළ ආණ්ඩුක්‍රමයක් වූ අතර එය විධායක කාරක සභා ආණ්ඩුක්‍රමය යනුවෙන්ද හඳුන්වයි.   


මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් පනස් දෙනකු, සුළු ජාතීන් නියෝජනය කිරීම පිණිස ආණ්ඩුකාරයා විසින් පත් කරන ලද මන්ත්‍රීවරුන් අටදෙනකු හා නිල බලයෙන් පත්වූ මහලේකම්, මුදල් ලේකම් හා නීති ලේකම් යන බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය නිලධාරීන් තිදෙනාගෙන් සැදුම්ලත් රාජ්‍ය මන්ත්‍රණ සභාව ව්‍යවස්ථාදායක මෙන්ම විධායක කටයුතු ද ඉටු කරන මණ්ඩලයක් විය. අගමැතිවරයකු හෝ විපක්ෂ නායකවරයකු නොසිටි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුලසුන එහි බහුතර ඡන්දයෙන් තේරී පත්වූ කතානායකවරයාට හිමි වූ අතර ඔහුට අමතරව එහි සභානායක වරයකු ද සිටියේය. නියෝජ්‍ය කතානායකවරයකු හා කාරක සභා උපසභාපතිවරයකු ද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි අතර කතානායකවරයා සභාවේ නොසිටි අවස්ථාවලදී මුලසුන ගෙන සභාව මෙහෙයවීම ඔවුන්ගේ කාර්ය භාරය විය.   


රාජ්‍ය නිලධාරීන් තිදෙනා හා කතානායකවරයා හැර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගත් සෙසු මන්ත්‍රීවරුන් 57 දෙනා විධායක කාරක සභා 7කට බෙදී සිටි අතර එක් එක් විධායක කාරක සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් ඒ ඒ විධායක කාරක සභාව සඳහා සභාපතිවරුන් 7 දෙනකු පත්කරගෙන තිබිණි.   


1931 දී පැවැත්වුණු පළමු මැතිවරණයෙන් පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කර ගත් විධායක කාරක සභා සභාපතිවරුන් හා ඔවුන්ගේ කාරක සභාවලට පැවරුණු විෂයයන් මෙසේය.   


ඩී.බී. ජයතිලක - ස්වදේශ කටයුතු   
ඩී.එස්. සේනානායක - ඉඩම් හා කෘෂිකර්ම   
සී. බටුවන්තුඩාවේ - පළාත් පාලන   
ටී.බී. පානබොක්කේ - සෞඛ්‍ය සේවා   
පෙරී සුන්දරම් - කම්කරු, කර්මාන්ත හා වෙළඳ කටයුතු   
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර - අධ්‍යාපන   
එච්.එම්. මාකන් මාකර් - ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ   


ආණ්ඩුවේ ඇමැතිවරුන් හැටියටද සැලකෙන විධායක කාරක සභාවන්හි සභාපතිවරුන් කුමන ජන වර්ගයකට අයත් කුමන ආගමක් අදහන්නන් වුවද සිය ඇමැති ධුරයේ රාජකාරි කටයුතු භාර ගැනීමට පෙර පහත දැක්වෙන ප්‍රකාශය කරමින් බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරයා ඉදිරියේ දිවුරුම් දිය යුතු විය.   


“.......... වන මා පස්වන ජෝර්ජ් මහා රජෝත්තමයාණන් වහන්සේට යටහත් සහ සත්‍යවාදී ලෙස .......... අමාත්‍ය ධුරයේ සේවය කරන බවට දිවුරුම් දෙමි. දෙවියන් වහන්සේ මට සරණ වෙත්වා!   


විධායක කාරක සභාවන් අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම පිණිස විධායක කාරක සභාවන්හි සභාපතිවරුන්ගෙන් හා රාජ්‍ය නිලධාරීන් තිදෙනාගෙන් සැදුම්ලත් ඇමැති මණ්ඩලයක් ද පැවති අතර එහි සභාපති ධුරය බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය නිලධාරියෙක් වූ මහලේකම්වරයාට හිමි විය. උප සභාපති තනතුර හිමි වූයේ විධායක කාරක සභාවක සභාපතිවරයකුටය.   


රාජ්‍ය මන්ත්‍රණ සභා කටයුතුවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම් නොමැති එමෙන්ම මහජන ඡන්දයෙන් පත් නොවූ බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය නිලධාරීන් තිදෙනා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනෙකුත් ඇමැතිවරුන් සතු සියලු වරප්‍රසාද හා අයිතිවාසිකම්වල හිමිකරුවන් වූ අතර ඇමැතිවරුන් හැටියට හඳුන්වනු නොලැබූ ඔවුන්ට මහජන ඡන්දයෙන් තේරී පත්වූ ඇමැතිවරුන්ට නොපැවරුණු රාජ්‍ය පාලනයට සම්බන්ධ වැඩි වගකීම් සහිත විෂයයන් පැවරී තිබීම විශේෂත්වයක් විය.   
ඒ අනුව ඇමැති මණ්ඩලයේ සභාපති තනතුරට අමතරව රාජ්‍ය සේවය හා බාහිර කටයුතු මහා ලේකම්වරයාටත්, මුදල්, සැපයුම්, ගබඩා කිරීම් හා රජයේ මුද්‍රණ කටයුතු මුදල් ලේකම්වරයාටත්, යුක්තිය පසිඳලීම, නීති කෙටුම්පත් කිරීම, ආණ්ඩුවට නීති උපදෙස් දීම ආණ්ඩුව වෙනුවෙන් සිවිල් හා අපරාධ නඩු මෙහෙයවීම, මහා භාරකරුගේ කාර්යයන් හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මැතිවරණ කටයුතු නීති ලේකම්වරයාටත් පැවරී තිබූ අතර ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමේ බලයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නොතිබිණි.   


ආරක්ෂක හා විදේශ කටයුතු ඇතුළු රාජ්‍ය පාලනයට සම්බන්ධ සුවිශේෂී බලතල බොහොමයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හෝ ඇමැති මණ්ඩලයේ සාමාජිකයකු නොවූ ආණ්ඩුකාරයා සතුව පැවතීම රාජ්‍ය මන්ත්‍රණ සභා ආණ්ඩුක්‍රමය තුළින් ලක්වැසියන්ට හඳුන්වා දුන් ස්වර්ජන ඡන්ද බලයට එල්ල කළ සරදමක් බඳු විය. ආණ්ඩුකාරයා සතු වූ එම බලතල මෙසේය.   


1. කිසියම් පනතකට අනුමැතිය දීම හෝ නොදීමේ බලය බ්‍රිතාන්‍යයේ මහ රජු හෝ මහරැජින වෙත යොමු කිරීම පිණිස එම පනත රඳවා ගැනීමේ බලය   
2. කිසියම් පනතක් ක්‍රියාත්මක වීම කල් දැමීමේ බලය   
3. කිසියම් පනතකට සංශෝධන ඉදිරිපත් කිරීමේ බලය   
4. මතභේදයට තුඩු දුන් පනතක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු යැයි නියෝග කිරීමේ බලය   
ඒ අතර ඇතැම් කරුණුවලට අදාළ පනත් නිශේධ බලය යොදා අහෝසි කර දැමීමේ බලය ද ආණ්ඩුකාරයා සතු විය. එම කරුණු මෙසේය.   
1. රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවලට පහර වදින පනත්   
2. රටේ මූල්‍ය ස්ථාවරත්වයට හානිදායක වේ යැයි ආණ්ඩුකාරයා සිතන පනත්   
3. ආරක්ෂක හමුදා කටයුතුවලට බලපාන පනත්   
4. විදේශ වෙළඳාම පිළිබඳ පනත් (වරාය හා නාවික කටයුතු පිළිබඳ පනත්)   
5. එක් ජන කොටසකට වඩා වෙනත් ජන කොටසකට වරප්‍රසාද ලබාදෙන පනත්   
6. තමන්ට අසාධාරණයක් සිදුවේය යන සැකය මත කිසියම් ආගමික හෝ සුළු ජන කොටසක විරෝධතාවයට ලක්වේ යැයි ආණ්ඩුකාරයා සිතන පනත්   
7. රටේ අධිකරණ කටයුතුවලට බලපාන පනත්   


එපමණක් නොව අවශ්‍ය වූ විටක රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇමතීමේ අයිතිය මෙන්ම ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් ඕනෑම අවස්ථාවකදී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමේ බලයද ඔහු සතු විය.   


ඇමැතිවරුන් වශයෙන් හැඳින්වුවද වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ ආණ්ඩුක්‍රමයක් තුළ ඇමැතිවරයකු භුක්ති විඳින බලතල හෝ තත්ත්වය විධායක කාරක සභාවන්හි සභාපතිවරුන්ට හිමි නොවූ අතර ඇමැති මණ්ඩල රැස්වීම්වලදී ඔවුන් විසින් කළ යුතු වූයේ සිය විධායක කාරක සභාව නියෝජනය කිරීම පමණකි. තම විධායක කාරක සභාවට අදාළ විෂයයන් වෙනුවෙන් තීරණ ගැනීමේ බලය ඔවුන් සතු නොවිය යුතු බව රාජ්‍ය මන්ත්‍රණ සභාව ලංකාවට හඳුන්වා දීමට මුල්වූ ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබිණි.   


රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු නිල කාලය අවසන් වීමෙන් පසු දෙවන වරට මන්ත්‍රීවරුන් තෝරාගැනීම පිණිස 1936 දී පැවති මැතිවරණයෙන් අනතුරුව විධායක කාරක සභාවල සභාපතිවරුන් (ඇමැතිවරුන්) හැටියට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙසේය.   


ඩී.බී. ජයතිලක - ස්වදේශ කටයුතු   
ඩී.එස්. සේනානායක - ඉඩම් හා කෘෂිකර්ම   
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක - පළාත් පාලන   
ඩබ්ලිව්. ආතර් ද සිල්වා - සෞඛ්‍ය සේවා   
ජී.සී.එස්. කොරයා - කම්කරු, කර්මාන්ත හා වෙළඳ කටයුතු   
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර - අධ්‍යාපන   
ජේ.එල්. කොතලාවල - ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ   


මෙම ඇමැති මණ්ඩලය තුළ පසු කාලයකදී ලංකාවේ අගමැති පදවි දැරූ ඇමැතිවරුන් තිදෙනකුම සිටීම විශේෂත්වයක් විය. ඩී.එස්. සේනානායක, ජේ.එල්. කොතලාවල හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එම ඇමැතිවරුන් තිදෙනාය.   


රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි නිල කාලය 1941 දී අවසන් වීමට නියමිතව පැවති බැවින් එම වසරේ දී නැවත මැතිවරණයක් පැවැත්විය යුතු විය. අර්ධ වගකීම් සහිත රාජ්‍ය මන්ත්‍රණ සභා ආණ්ඩුක්‍රමය පිළිබඳව ඒ වනවිට කලකිරීමෙන් පසු වූ ලාංකික ඇමෑතිවරු එම මැතිවරණය නව ආණ්ඩුක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බවට බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීම් කර තිබූ අතර ඒ වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරද දියත් කර තිබිණි.   


එහෙත් එකල ලොව පුරා පැතිර යමින් පැවති දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පවත්වන බව සඳහන් කරමින් 1941 දී නිවේදනයක් නිකුත් කළ බ්‍රිතාන්‍ය පාලකයින් ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය දීර්ඝ කරමින් මැතිවරණ කල් දැමීම පිළිබඳ මුල් පාඩමද ලංකාවට කියා දුන්නේය.   


ඒ අතර නව ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් රට තුළ සංවාදයක් ඇති කළ යටත් විජිත පාලකයින් යුද්ධය අවසන් වීමෙන් පසු සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් 1947 වර්ෂය දක්වාම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය දීර්ඝ කරමින් මැතිවරණය පැවැත්වීම කල් දැමීය. 

 
ඒ අනුව 1936 මැතිවරණයේදී ලැබූ මහජන වරම තුළින් ඇමැති පදවි හිමිකර ගත් මන්ත්‍රීවරුන්ගේ නිල කාලය 1941 දී අවසන් වීමට නියමිතව තිබුණද යළි මහජන වරමක් නොලබාම 1947 දක්වා සිය පදවිවල කටයුතු කිරීමේ අවස්ථාව එම ඇමැතිවරුන්ට හිමිවීම සුවිශේෂී සිදුවීමකි.   


කල් දමනු ලැබූ මැතිවරණය යළි කිසිදු දිනයක නොපැවැත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රිස්තු වර්ෂ 1947 ජූලි 01 දා ගාලු මුවදොර පිහිටි එම සභා ශාලාවේදී සිය අවසන් රැස්වීම පවත්වමින් ඉතිහාසයේ මතක සටහන් අතරට එක් වූයේ මහජන ඡන්දයෙන් තේරී පත්වී ඇමැති පදවි හිමිකර ගත් පළමු ලාංකිකයින් පිරිස පිළිබඳ ඓතිහාසික දත්තයන් සමුදායද එම සටහන් තුළටම ගොනු කර ගනිමිනි. 

 

 

කාශ්‍යප වීරවර්ධන