කොඩිගේ කවි "අවි" වලට වඩා තියුණුය. හදවතටත් බුද්ධියටත් එක සේම ආමන්ත්‍රණය කරන්නකි. රසිකයා ගේ පරිකල්පනය උද්දීපනය කරන්නකි. කවි කෙතේ තමන් නමින් බීජයක් රෝපණය කර ගැනීමට කොඩී හෙවත් ප්‍රියන්ත කොඩිප්පිලි සමත් වන්නේ එහෙයිනි. ඔබට කවි දැනෙන කෙනෙක් නම්, ඔබ කවියට ළබැඳි කෙනෙක් නම්, කොඩී ඔබට බොහොම සමීප නමකි. මේ ඒ කොඩී ගැන අලුතෙන් ලියවෙන පරිච්ඡේදයක තවත් නැවුම් ප්‍රවේශයකි. “සින්දු ඇහෙන කවි පොත” එයට කදිම නිදසුනකි.
සින්දු ඇහෙන කවි පොතක් ? අමුතු විදිහේ රහක් , වින්දනයක් වගේම - මෙය කොඩිගෙ වහරින්ම කියන්නේ නම් “පුංචි ආතල්” එකකි. සින්දු යනු ජාතියක් නොතිබුණා නම් අපේ ඉරණම මොන වගේ වෙයි ද? මේ කුඩා කල සිට සින්දු රහට ඉව අැල්ලූ කොඩිගේ පළමු රිදිල්ලය .
ඒ රිදිල්ල සමනය කරන්න එන කොඩිගේ සින්දු ඇහෙන කවි පොත ගැන නූතන පරපුරේ පෙරළිකාර නිර්මාණකරුවකු මෙන්ම සමාජ ක්‍රියාධාරියකු ද වන - කොඩී මෙන්ම හිතුවක්කාරයකු ද වන “කැටිපේ” හෙවත් විමල් කැටිපේආරච්චි කියන කතාව මෙසේය.
කොඩී ගේ වෙඩි වගේ කවි
කොඩිගේ කවි කියන්නේ මෑත කාලීනයේ අපි දැක්ක ජනාකර්ෂණීයම කවියා කිව්වොත් නිවැරදියි. ඔහුගේ කවි තුළ එළිවැට, එළිසමය රකින එක තිතට ම තිබුණා වගේම, ඒවා එක්තරා ආකාරයකින් පොදුජන ජන විඥානයේ නාඩියක් අල්ලලා තිබුණා. මොකද ලංකාවෙ ජනකාන්ත කලාකරුවන් සම්බන්ධව මිනිසුන් ගේ අධ්‍යාත්මයේ තියෙන ඇත්ත ආදරය කොඩී කවිවලට හරි අපූරුවට ගෙනාවා. ඒ ගෙනාපු විදියත් හරිම අපූරුයි. ඊට කලින් කවුරුත් නොගෙනාපු ආකාරයේ වෙනස් විදියකට තමයි ඔහු මේ කවි අරගෙන ආවේ. ඒ වගේම සමහර වෙලාවට කලාකරුවන් ගේ ජීවිත ඇතුළෙ තියෙන චූල වංශයේ කතාව කොඩී ඉතා සියුම් ලෙස අහිංසක විදියට කවියට ගෙනාවා. ඇතැම් ප්‍රේමයන්, ඇතැම් මනුෂ්‍ය සම්බන්ධතාවයන් පවා කොඩි කවියට ගෙනාපු අවස්ථා තියෙනවා. ඒවායේ යම් යම් සීමාවන් එහා මෙහා වූණ අවස්ථාවන් නැතුවාම නොවේ. නමුත් මූලික වශයෙන් ඒක ඉතා ලස්සනට නිර්මාණය කළා. මම කොඩීගෙ කැමතිම කවිය තමයි
"නෙගටිව් පටිවලත් ඇත
පොසිටිව් ප්‍රේමේ " කියන කවිය .
ධර්මසිරි බණ්ඩාරනායක හා ස්වර්ණා මල්ලවාරච්චි සම්බන්ධයෙන් ලියපු කවියක්. ඒවා තියුණු ප්‍රකාශන කියලා මම විශ්වාස කරනවා.
කියවන්නෝ ඒ “කොඩීකවි” අල්ලාගත් හැටි
කොඩී කවි වලින් කියවන්නන් අල්ලා ගත් හැටි නෙවෙයි කියවන්නන් වශීකෘත වූ හැටි කියලා හැඳින්වූවොත් නිවැරදියි. මොකද හරි ඉක්මනට කොඩීගේ කවි ඇතුළට පොදු ජන රසිකත්වයට ඇතුළු වුණා. මොකද ඒවා හරි සරලයි. ඒව ජනතාව ගේ අධ්‍යාත්මය නියෝජනය කරනවා. සරලකම ඇතුළෙන් ගැඹුර හොයන කෙනෙකුටත් ඒ කවි ඇතුළේ මායිමක් තිබුණා . ඒ නිසාම නූතන ජන කවියත් එක්ක කොඩීගෙ කවි රහට රසිකයන් අපේ භාෂාවෙන් කියනව නම් සෙට් වුණා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලවල කොඩීගෙ කවි ඉතා වේගයෙන් සංසරණය වුණා. කොඩීගෙ කවි අතිශය ජනප්‍රිය වුණේම සමාජ මාධ්‍ය තුළින්. ඉන් අනතුරුව සමාජ මාධ්‍යයෙන් එපිට ඉන්න රසිකයන් වෙත දැන් තුන්වෙනි පොත හරහා කොඩී ගේ කවි ජනතාවට ළං වෙමින් තියෙනවා.ඒ නිසා කොඩී ගෙ කවි තව තවත් ජනතාවට ලං වෙන දවස අද නොවෙයි හෙට තව තවත් වැඩි වෙයි කියලයි මගේ අදහස.
“කොඩීකවි” වලට හදවත්වලින් බැඳුණ ප්‍රේක්ෂාගාරය
කොඩීගේ ප්‍රේක්ෂාගාරය ගත්තාම විවිධාකාරයි. ඒ කියන්නේ එතන ඉන්නවා අති සරල රසිකයා ගේ සිට අධි විදග්ධ රසිකයා දක්වාම. මම මේ සරල විදග්ධ කියල භේද බින්න කරනවා නෙවෙයි. යම් ආකාරයක ඇකඩමික් පසුබිමක් තියෙන බර සාර දේවල් කතා කරන රසිකයනුත් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ මන් වගේ රසිකයොත් ඉන්නවා. ඒ නිසා මම හිතනවා කොඩීගෙ ප්‍රේක්ෂකාගාරය කියන්නේ අති පුළුල් ප්‍රේක්ෂකාගාරයක් කියලා. ඒ වගේමයි පී.බී. අල්විස් පෙරේරා ගේ රසිකාගාරයෙන් කොටසකුත්, තොටගමුවේ රාහුල හාමුදුරුවන් ගේ රසිකාගාරයෙන් කොටසකුත්, ඒ වගේම මොනිකා රුවන්පතිරණ මහත්මිය ගෙ රසිකාගාරයෙන් කොටසකුත් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ කොඩීගේ ප්‍රේක්ෂකාගාරය කියලා කියන්නේ ලංකාවේ කවියෙකුට ලැබෙන දුර්ලභ පුළුල් ප්‍රේක්ෂාගාරයක් කියලයි.
කවි සින්දු වීම
කවි, සින්දු වීම කියන සංකල්පය ගත්තහම ලංකාවේ ගොඩක් කාව්‍යාකෘති ගීතාකෘති බවට පරිවර්තනය වෙලා තියෙනවා. රසිකයෙක් හැටියට මගේ නිරීක්ෂණ කිහිපයක් තියෙනවා, හතරපද කවි ආදියේ ගුණය රැකගෙන ම ගීතයක් වුණ අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට -
"මගේ දරුපැටව් අහසට දෑත දිගු කරන්,
අම්මා එයි කියා ගමට ම හඬ තළයි වැරෙන්”
ආදි වශයෙන් පද හතර ගළපනවා. තවත් උදාහරණයක් හැටියට -
"වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබා ගෙන
උන් අපි එදා සත්කුළු පව් විලාසෙන
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන "
වගේ හතරපද කවි ආකෘති තියෙනවනෙ ගීත වල. එවැනි ගීතවල ඒ හතරපදය ම ඉස්මතු වෙලා එනවා. ඒක වෙන ම රහක්. තවත් ගීතවල මේ හතරපද ආකෘතිය කඩලා ගීතමය ආකෘතියකට අරගෙන තියෙනවා. උදාහරණයක් විදියට -
"සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ
නෙත් දෙකෙන් අරන් එනු මැන සඳපානේ'
වගේ කවි පද වික්ටර් රත්නායක මහත්තයා කඩනවා .' සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සි-හි-නේ-' කියලා. කවියෙන් ගීතයට ඉතා ම හොඳින් බිඳිලා ආපු ආකෘතිත් තියෙනවා. දෙක ම රහයි, රසවල් දෙකක්. කෙසේ වෙතත් මෙහෙම කවි, සින්දු වුණ ඉතිහාසයක් තියෙනවා. ගජමන් නෝනා ගේ කවිවල ආභාෂය ආපු සින්දු තියෙනවා, එතකොට හැවිලි කවිවල, ශාප කරන, දෙවියන්ට යාඥා කරන කවිවල, ජන කවිවල ආකෘති ඇවිත් තියෙනවා.
සින්දු කවි වීම
කොඩී කියන්නේ තමන් ගේ රසයන් ප්‍රේක්ෂකාගාරයට වෙනස් විදිහට දෙන්න නිතරම උත්සාහ කරන කෙනෙක් වගේම ඔහු සිනමාවට වගේම සින්දු වලට අතිශය දරුණු ඇල්මක් තියෙන කෙනෙක් විදිහට මම ඔහුව හඳුනා ගෙන තිබෙනවා. කවි සින්දු වෙච්ච ඉතිහාසය එහෙමම තියෙද්දි සින්දු කවි වෙන වර්තමානයක් ගැන අපි කතා කරනවා. මෙන්ම මේ වර්තමානයත් එක්ක කොඩිගේ මේ අලුත් පොත සම්බන්ධ වෙනවා.
සින්දු ඇහෙන කවි පොතක් .ඇත්තටම මේකෙ ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා බලා ගන්නනම් පොත නිකුත් වනදාට අපට එන්නම වෙනවා. එදාට තමයි බලන්න වෙන්නේ මේ කවි පොතෙන් මොකක්ද සිදුවන්නේ කියලා.
කවි සින්දු වන ඉතිහාසය එහෙමම තියෙද්දි සින්දු කවි වෙන අලුත් ඉතිහාසයක් ප්‍රියන්ත කොඩිප්පිලි කියන කවියා නිර්මාණය කරන්නයි මේ ලෑස්ති වෙන්න. ලංකාවේ ඉතා ජනප්‍රිය ගීත, ඒ වගේම ජනප්‍රිය නොවූ බරසාර ගීත වගේ විවිධ විවිධ ගීතයන් ඔහු අමුද්‍රව්‍ය වශයෙන් උපයෝගී කරගෙන තියෙනවා. ඉතින් අපි ඉවසිල්ලක් නැතුව බලා ඉන්නවා ප්‍රේක්ෂකාගාරය හැටියට සින්දු කවි වෙන්නේ කොහොමද සහ මේ අපූරු කවියා සින්දු කවි කරන්නේ කොහොම ද කියලා.
මේක එක පැත්තකින් පික්චර් පිස්සුවක්. අනෙක් පැත්තෙන් සින්දු පිස්සුවක් තියෙන රසවතකුගේ අපූරු වැඩක්. ඔන්න නොකීවයි කියන්න එපා - එහෙනම් කවි පොතකින් සින්දු අහන්න සැප්තැම්බර් 02 වැනිදා සවස 4 ට නොවරදවාම BMICH මිහිලක මැඳුර පරිශ්‍රයට එන්න.
නදීශා අතුකෝරල