සිනමා රසිකයන් මෝහනයට පත් කළ කරදරකාරයා ආනන්ද ජයරත්න


 

 

විජය පුවත්පත්වල ආරම්භක ප්‍රධාන කාර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතා අපූරු රසවතෙකි. ඔහුගේ ඇතැම් උපහාස වදන් එය හාස්‍යයක් යැයි සිතන්නට බොහෝ වේලා කල්පනා කරන්නට සිදු වෙයි. ඒවා එතරම්ම සියුම්ය. ප්‍රබලය.   


සුබසිංහ මහතා හදිසියේ සිහිපත් වූයේ සිංහල සිනමාවේ ආකර්ෂණීය නළුවකු ලෙස කිරුළ පළන් ආනන්ද ජයරත්න ගැන ලියන්නට යෑමේදීය.   


ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ ආනන්ද කාලයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් වාර්තාකරුවකු ලෙස ද සේවය කර ඇති බව පැවසෙයි. සුබසිංහ මහතාගේ මේ සුවිශේෂී දැන හැඳුනුම්කමට එය ද හේතු වන්නට ඇතැයි සිතමි. සුබසිංහ මහතා ලේක්හවුසියේ සේවය කරන කාලයේ ඇතැම් කතා ද අපූරුය. ඔවුන් තවත් මාධ්‍යවේදී මිතුරු කැලක් සමග ඉන්දියාවට ගොස් චිත්‍රපට බලා එන හැටි අපූරු කතාය.   


තලෙයිමන්නාරම කරා දුම්රියෙන් යන ඔවුහු එතැනින් නැවෙන් ඉන්දියාව බලා යති. දිනමිණ, සිළුමිණ, ජනතා මෙන්ම විජය පුවත්පත් ආයතනයේ ඉරිදා ලංකාදීපයේ ආරම්භක කතුවරයා ලෙස සේවය කළ ඔහු සිනමාවට මෙන්ම ගීතයට විශේෂයෙන් ලැදියාවක් දැක්වීය.   


එකල ඔහුගේ කැමරා ශිල්පියා වූයේ නිමල් පෙරේරා ය. මිය යන තුරුම අවිවාහකයකු වූ නිමල් පෙරේරා ගැන කියන්නට තිබෙන හොඳම ඡායාරූප කට්ටලය මාර්ටින් වික්‍රමසිංහයන් වෙරළේ ඇවිදින ඡායාරූපය සහ සුදුවන් හිසකෙස් විසිරී යන ආකාරයෙන් කණ්ණාඩියක් අතැතිව නිදහසේ සිටින ඡායාරූපයයි. ඒ හැර විජිත මල්ලිකා ඔරුවක් අසල සිට දැලක් අදින ඉරියව්ව දැක්වෙන ඡායාරූපයත්, ජීවරාණි කුරුකුලසූරිය ජපන් කුඩයක් ඉහළගෙන සිටින ඡායාරූපයත් පැරණි රසිකයෝ හඳුනති. (මුල් කාලයේ නිමල් පෙරේරා මහතා විජය ආයතනයේ ඡායාරූප සංස්කාරකවරයකු ලෙස දායක විය.) ඒ කාලයේද චිත්‍රපට රූගත කිරීම් කෙරෙන දර්ශන තලවලට ගොස් ඡායාරූප රැගෙන ලියන විශේෂාංග ජනප්‍රියය. 

 
තරුණ සුබසිංහ මහතා එකල සන්දේශය චිත්‍රපටයේ රූගත කිරීම් කෙරෙන බෙලිහුල්ඔය ප්‍රදේශයට විශේෂාංගයක් ලිවීමට ගියේ නිමල් පෙරේරා සමගය.   


කණ්ඩායමේ බොහෝ පිරිස් නැවතී සිටියේ බෙලිහුල්ඔය තානායමේය. සුබසිංහ හා නිමල් මහතුන් බොහෝ දුර ගෙවා කොළඹ සිට බෙලිහුල්ඔය බලා ගිය ද ඒ ගිය දිනයේ රූගත කිරීම් අවලංගු කර තිබිණ.   
දැන් සියලු‍ බලාපොරොත්තු බිඳී ගොස්ය. සියල්ලෝම නිහඬව තානායමේ රැඳී සිටිති. ආනන්ද ජයරත්න කොට කලිසමකින් සැරසී තානායම ඉදිරිපස සැප පහසු පුටුවක ඉංග්‍රීසි පත්තරයක් කියවමින් සිටී.   
ලෙස්ටර් හමු වූ සුබසිංහ මහතා අද රූගත කිරීම් නොකෙරෙන්නේ මන්දැයි අසා ඇත.   
‘අද ආනන්දට මුඩ් එක නෑ කියනවා. ඒක නිසා ෂූටින් කැන්සල්.’ ආනන්ද ජයරත්න ගැන හඳුන්වා දීමට මේ සිදුවීමම ඇතැයි සිතේ. ඔහු ආඩම්බරකාරයෙකි. ඒ ආඩම්බරය වරෙක කරදරයක් විය හැකිය. ඇතැම් විට මූඩ් එක නැත්නම් රඟපෑම හරි හැටි කළ නොහැකි යැයි ඔහු සිතුවා ​ෙවන්නට ද හැකිය. 

 
සුබසිංහ මහතා ආනන්ද ළඟට ගොස් අසා ඇත්තේ ‘ආනන්ද ඔය මූඩ් එක ගන්නම බැරි එකක් ද?’ යන්නය. එහිද අපූරු උපහාසයක් ගැබ්ව තිබේ. ‘අපි මේ කොළඹ ඉඳලා ඇවිත් ඉන්නෙ.’ සුබසිංහ මහතා ආනන්දට කියූ පසු ආනන්ද එදින රඟපාන්නට එකඟ වී ඇත. එදින රූගත කිරීම් ඇරඹුණේ එසේය.   
ඇත්තෙන්ම ආනන්දට තිබුණේ හොලිවුඩ් නළුවකුගේ පෙනුමය. ඔහු බෙහෙවින් ප්‍රිය කළේ ග්‍රෙගරි පෙක්, මාලන් බ්‍රැන්ඩෝ, ඇන්තනි ක්වීන්, බර්ට් ලැන්කැන්ස්ටර් වැනි බටහිර නළුවන්ය.   
ආනන්ද ජයරත්නත්, එච්.ආර්. ජෝතිපාලත්, එල්.එම්. පෙරේරාත් සිනමාවට එක්වෙන්නේ සුරතලී චිත්‍රපටයෙනි. ඒ සිරිල් පී. අබේරත්න නම් අධ්‍යක්ෂවරයා නිසාය.   
සිරිල් පී. අබේරත්න ලියූ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පටන් ගන්නේ “ස” යන්නෙනි. සුරතලී, සැලී, සංගීතා, සුජාගේ රහස ආදී එවැනි චිත්‍රපට නම් වැලකි.   


සිරිල් පී. අබේරත්නයන් ඉතා කුඩා සිරුරකින් හෙබි එහෙත් ආත්මාභිමානයෙන් පිරුණු සිනමාකරුවෙකි. ඔහු කතාබහ කළේ තරමක් ආඩම්බරයෙනි.   
බස් රථවල ගමන් කළ ද ඔහු හැමවිටම කමිසය අත් දිගට දමා හොඳින් පැලඳ සිටියේය. අඳුරු පාට සිහින් ටයි පටියක් පලඳින්නට ඔහු කිසි විටෙකත් අමතක නොකළේය. එමෙන්ම විශාල ෆයිල් තොගයක් ඔහු අත විය. එක්වරම දුටුවකුට ඔහු ගැන සිතෙන්නේ ඔහු සිනමාකරුවකු නොව නීතිඥයකු යැයි කියාය.   
ඔහුගේ පාදයේ කිසියම් ආබාධයක් නිසා ඇවිදීමේදී අපහසු ගතියක් පෙන්නුම් කළේය. ඔහු ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට නිර්මාණ කළ ද ප්‍රියතම අධ්‍යක්ෂවරයා වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.   


එහෙත් මේ පුංචි මිනිසා ජෝති, ආනන්ද, එල්.එම්. සිනමාවට හඳුන්වා දීමම ඔහුගේ ගෞරවයට ප්‍රමාණවත්ය.   
පාපන්දු ක්‍රීඩකයකු ලෙස ද කැපී පෙනෙන දස්කම් දැක්වූ ආනන්ද ජයරත්න 1930 මාතර නූපේ උපත ලැබූවෙකි. ඔහු බණ්ඩාරවෙල සීවලී විදුහලෙන් හා බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇත.   
සිරිල් පී.ට කොළඹ ට්‍රොලි බසයක් තුළ දී ආනන්ද හමුව ඇත්තේ ඔහු පාපන්දු තරගයක් සඳහා අගනුවරට පැමිණි අවස්ථාවේදීය. මේ කඩවසම් තරුණයාට සිරිල් පී. සිය ලිපිනය දී මරද‌ානේ ඔලිම්පියා සිනමා ශාලාවේ පිහිටි සිලෝන් එන්ටර්ටේන්මන්ට් කාර්යාලයට එන ලෙස කියා ඇත. ඔහු සිනමාවට ආවේ ඒ අයුරිනි. ඒ සුරතලී චිත්‍රපටයටය. සුරතලී චිත්‍රපටයේ ආනන්ද රඟපෑවේ සෙල්ලක්කාර තරුණයකුගේ චරිතයකි. එතැන් පටන් මේ කඩවසම් නළුවාට චිත්‍රපට ගලා එන්නට විය. ඇත්තෙන්ම ඔහුගේ රංග ශෛලියේ තිබුණේ හොලිවුඩ් නළුවකුගේ ඉරියව්ය. ඒ නිසා බොහෝ විටෙක ඔහුගේ රංගනය එකල සිටි බොහෝ නළුවන්ට වඩා වෙනස් වූයේය. දෙබස් උච්චාරණයේ පවා තිබුණේ බටහිර ඌරුවකි.   


සොහොයුරෝ, යටගිය දවස, සුන්දර බිරිඳ, පාටාචාරා, සුජාගේ රහස, හතර මහා නිධානය, දෙහදක දුක, දැන් මතකද ආදී චිත්‍රපට ගණනාවකින් ඔහු ප්‍රේක්ෂකයා අතරට ආවේය.   
එමෙන්ම ත්‍රී යෙලෝ කැට්ස් (කහ බලල්ලු තිදෙනා) නම් ජර්මන්, ශ්‍රී ලංකා චිත්‍රපටයකද ඔහු රඟපෑවේය.   
එහෙත් හැත්තෑව දශකය ​ෙවනවිට ඔහුට චිත්‍රපට ලැබීම අඩු​ෙවන්නට විය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූවේ නෙළුම් සහ සමන්මලී චිත්‍රපටයය.   


අසූව දශකයේ මුල්ම කාලයේ දිනෙක මම ආනන්ද හමුවීමට බොරලැස්ගමුවේ ඔහුගේ නිවසට ගියෙමි. නිවෙස පිහිටා තිබුණේ පාර කිට්ටුවමය. දිනය හරි හැටි මතක නැත. වේලාව උදෑසන නවයට පමණ ඇතැයි සිතමි. එකල දුරකථන භාවිතය එතරම් ප්‍රචලිතව නොතිබීම නිසා අප බොහෝ විට කළේ නිවෙස්වලට ගොස් වේලාවක් ලබා ගැනීමය. බොහෝ නළු නිළියෝ ද ඊට අනුගතව සිටියහ.   
එකල අල්ලා ගන්නට අපහසු රංගවේදියා වූයේ ගාමිණී ෆොන්සේකාය.   
මා ආනන්දගේ නිවසට ගොඩ වී සීනුව ඔබා බලා සිටියෙමි. මොහොතකින් ආනන්ද මා ඉදිරියේ පෙනී සිටියේය.   


‘මිස්ට ආනන්ද ජයරත්න, මම පුවත්පත් වාර්තාකරුවෙක්’ යයි කියා සිටියෙමි.   
‘උඹ ජර්නලිස්ට් කෙනෙක් ද? පලයන් පලයන්. පත්තරකාරයෝ මගේ ගෙදරට වද්ද ගන්නේ නෑ.’ ඔහු කී විට මම උඩ ගොස් බිම වැටුණෙමි. ඔහු එය කීවේ විහිළුවට දැයි සැබෑවට දැයි සිතාගත නොහැකි විය. එසේ කිසිවකු කිසි දිනෙක මට කතා කර නැත. මම නිහඬව බලා සිටියෙමි.   
‘ඉතින් පලයන්. උඹ මාව හොයාගෙන ආවා කියන්නේ බොරුවට නේද? උඹ ආවේ අර අහවල් නළුවා (ඒ අසල එකල පදිංචිව සිටි ජනප්‍රිය නළුවකුගේ නමක් සඳහන් කළේය) හම්බ වෙන්න නේද? උඹල නේද මම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා දැම්මේ.’  
 ඔහු දිගටම දොස් පැවරීය.   
එහෙත් එක්වරම ‘පොඩ්ඩක් හිටපන්.’ කී ඔහු මඳකට නිවස තුළට ගියේය.   
ඊළඟට ආවේ කිතුල් හකුරු කැටයක් සමග විශාල කොළ කැඳ කෝප්පයක් රැගෙනය.   
‘මේක බීපන් මේවා ගුණයි.’ මා එළවා ගන්නට හැදූ ආනන්ද මට ඊළඟ මොහොතේ කැඳ කෝප්පයක් පිරි නැමීම මා තව තවත් වික්ෂිප්ත කරවන්නක් විය.  
 ‘එපා. මම දැන් උදේට කෑව විතරයි.’  
‘අර ජාති වගේ නෙමෙයි මේවා ගුණයි බීපන්. ඔතැනින් වාඩි වෙයන්.’ ඔහු මට අසුනක් පෙන්වීය.   
ඔහු ද මා අසල පුටුවකට බර විය. ‘උඹට මොනවද මගෙන් දැන ගන්න ඕනෑ.’ දැන්නම් ආනන්ද ට්‍රැක් එකට වැටිලාය.   


ආනන්ද 1966 බිහි වූ හෙළ සිනමා නළු නිළි හවුලේ සමලේකම් නිසා ඇසිය යුතු ප්‍රශ්නද බොහෝ විය. එහෙත් ඔහු සිනමාව පිළිබඳව පැහැදීමකින් කතා කළේ නැත.   
‘ඔබ රඟපෑමේදී අනුකරණය කරන්නේ ග්‍රෙගරි පෙක් ද?’ යි මා ඇසූ විට ඔහු මගේ මුහුණ දෙස බලා සිටියේ ‘ඇයි උඹට එහෙම පේනවාද? කියාය.   
‘නෑ. මම කවුරුවත් ඉමිටේට් කරන්නේ නෑ. ලංකාවට ග්‍රෙගරි පෙක් ආ වෙලාවේ එයා නිදාගත්ත රෙස්ට් හවුස් එකේ කාමර බුක් කර ගන්න නම් ලංකාවෙ ගෑනු පොරකෑව කියලා ආරංචියි’ ඔහු කීවේය.   
ඔහු ලංකාවෙ නළු නිළියන්ගේ රඟපෑම් ගැන ද ප්‍රශංසාවකින් කතා කළේ නැත. ඔහුගෙන් මා ප්‍රශ්නයක් ඇසූ පසු ඔහු ද මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. කෙසේ හෝ ඔහු මට ඊළඟට කරදර කළේ දවල්ට කෑම කා යන ලෙසය.   


‘හැබැයි සම්බෝලයි බතුයි.’ ඔහු කීවේය.   
ඒ කාලය වනවිට ආනන්ද කිසියම් කලකිරීමකින් සිටියේද? ඒ වනවිට ද ඔහුගේ රූපශ්‍රීය අඩු වී නොතිබිණ. ඔහු තරුණ විය ඉක්මවා සිටියද කඩවසම් පෙනුම ඉතිරිව තිබිණ. ඇත්තෙන්ම ආනන්ද එසේ හැසිරුණේ හිතවත්කමටද? ඒ ඔහුගේ ස්වභාවයද? මට අදට ද තේරුම් ගත නොහැකිය.   
සන්දේශය රූගත කරන කාලයේ ආනන්ද ප්‍රධාන චරිතය රඟපෑ අතර ගාමිණී එහි රඟපෑවේ උප ප්‍රධාන චරිතයයි. එමෙන්ම ගාමිණී සන්දේශය නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ද කටයුතු කළේය. රූගත කිරීම් සඳහා නළු නිළියන් උදෙන්ම අවදි කරන්නට යෑමේදී ගාමිණී බොහෝ විට අපහසුතාවලට පත් විය. එහෙත් ගාමිණී පරදින්නකු නොවේ.   
සන්දේශය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ ආනන්ද අබිබවා ගාමිණී මතු වී ආවේය. ගාමිණී ටික කලකින්ම තිරයේ සුපිරි වීරයා බවට පත් විය. ආනන්ද ප්‍රථම වරට අධ්‍යක්ෂණය කළ ආදරයයි කරුණාවයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණී ​ෆොන්සේකාය.   
ඇතැම් තොරතුරු අනුව ලෙස්ටර්ට මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවක් චිත්‍රපටයට නගන්නට ආනන්ද උනන්දු කර ඇත. වික්‍රමසිංහයන්ගේ කැමැත්ත තිබී ඇත්තේ රෝහිණී චිත්‍රපටයකට නගන්නටය. ඒ ලෙස්ටර්ගේ සන්දේශය වාණිජ වශයෙන් සාර්ථක වීම නිසාය. එහෙත් ලෙස්ටර් තෝරා ගත්තේ ගම්පෙරළියයි. ඇතැම් කලාකරුවන් කියන පරිදි ආනන්ද, ගම්පෙරළියේ චරිතයක් බලාපොරොත්තුව සිටියත් ඔහුට එය ලැබුණේ නැත.   


ආනන්ද කරදරකාරී නළුවෙකැයි එකල රාවයක් පැතිර ගොස් තිබූ බව කියැවේ. කඩවසම් බවත්, ජනප්‍රියත්වයත් නිසා ඔහු එවන් තත්ත්වයකට පත් වුවාද? මේ නිසාම පසු කල ඔහුට චිත්‍රපට අහිමි වී ගියාද?   
1984 වසරේ දිනෙක අප ලද ආරංචිය වූයේ ආනන්ද ගිනි ගැනීමකින් ජීවිතක්ෂයට පත් වූ බවය. ඒ පුවතින් සුබසිංහ මහතා බොහෝ සේ කම්පනයට පත් විය.   


ඔහු පර්සි ජයමාන්න මහතාත් මාත් කැටුව ආනන්දගේ දේහය දැක ගන්නට බොරලැස්ගමුවේ ඔහුගේ නිවසට ගියේය. ගින්නට අසුවූ ආනන්දගේ කඩවසම් රූපය කළු පැහැ ගැන්වී තිබිණ. 

 
‘හැම ලස්සන දේකම අවසානය ඔය වගෙයි. බලන්න රුක්මණී දේවි.’ සුබසිංහ මහතාගේ අදහස ඇත්තක් දැයි තවමත් මම සිතමි. ඇත්තෙන්ම ආනන්ද කෙතරම් කඩවසම් නළුවකු වීද?


වරක් ඉන්දියාවේ රූගත කිරීමකට ගොස් සිටියදී ආනන්ද කකුලක් පිට කකුලක් දමාගෙන වාඩිවී පුවත් පතක් කියවමින් සිටියේය. එවෙලේ චිත්‍රාගාරයට ආවේ ශිවාජි ගනේෂන්ය. කිසිවෙක් පැමිණ කකුල පහළට දාන්න යයි කී විට ආනන්ද ඔහුට බැණවැදී එහෙමම ඔහු සිටියේය.  


ආනන්ද කරදරකාරයකැයි ආඩම්බරකාරයකැයි කීවද ඔහු කාලයක් සිනමා රසිකයන් මෝහනය කළ රංගන ශිල්පියෙකි. ඒ නිසාම ඔහු චිත්‍රපට රසිකයන්ගේ ද සිත් තුළ තවමත් ජීවත් වෙයි. එහෙත් ඔහුගේ රංගන ජීවිතයේදී කිසිදා කිසිදු සම්මානයක් ලබා නැත. එහෙත් ඔහු අසාර්ථක නළුවකැයි අපට කිව නොහැකිය. 

 

 

රොඩ්නි විද‌ානපතිරණ