සැමියා බිරිඳගේ දෙවියාද ?


සැමියා බිරිඳගේ දෙවියා වූයේ මීට බොහෝ කලකට පෙර විවාහ වූ අඹු සැමියන් අතරය. සැමියාට බිරිඳ දෙවඟනක් විය. එසේම ස්වාමි පුරුෂයාට ද බිරිඳ ගෞරව කළ අතර දෙවියකුට මෙන් සැලකුවාය. එකල සැමියා ගමනක් හෝ රැකියාවට හෝ පිටත් වී ආපසු එන තුරු තම ආදරණීය බිරිඳ ආහාර නොගෙන කුසගින්නේ මඟ බලා සිටීම අනිවාර්ය සිරිතක් විය.   


තම ස්වාමි පුරුෂයාට දිනපතාම නින්දට පෙර දණගසා වැන්ද අතර ස්වාමියාද තම ආදරණීය බිරිඳ දෙවඟනක් මෙන් පිළිගත්තේය. රටට දැයට යහපත් දරු පරපුරක් ද බිහි කළෝය. අද සමාජයේ සැමියා බිරිඳට දෙවියෙක් ද? නැතිනම් සතුරෙක්ද? එසේ වීමට හේතුව කුමක්ද? ජ්‍යොතිෂ්‍ය ඇසින් මේ පිළිබඳ සොයා බලන්නට, ඔබ දැනුම්වත් කරන්නට මේ ලිපිනයෙන් බලාපොරොත්තු වෙමි.   


පැරණි සමාජයේ ආවාහ විවාහ සිදු වූයේ නිසි ගැළපීමක් ඇතිවයි. අද වගේ බස්රියේ, දුම්රියේ, මඟ තොටේ හෝ සමාජ ජාලා වෙබ් අඩවි හරහා නොවේ. මෙසේ ප්‍රේම සබඳතා ඇති කර ගෙන විවාහ වන අය නොගැලපෙන නිසා ටික දිනකින් විවාහයට සමු දීමට සිදු වේ. තවද මේ හදිසිකාරයින්ට ප්‍රේම කිරීමට හොඳම ස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේ රේල් පාරය. එසේ ප්‍රේම කිරීමට ගොස් කීදෙනෙකු මරු වසඟයට ගියාද? මෑත කාලයේ එවැනි සිදුවීම් කිහිපයක්ම සිදු විය.  

 
ඒ කාලයේ පෙම්වත්තු විවාහවීමට මාපියන්ගේ කැමැත්ත නැති නම් නොගැළපේ නම් එය සම්බන්ධය අත්හැර දැමූහ. දරුවෝ දෙමාපියන්ට කීකරුව ඔවුන්ගේ කැමැත්තට ඉඩ දුන්හ. අපේ පැරණි දෛවඥ මහතුන් ඇඟිලි ගණන් කර බලා දිවැසින් මෙන් නක්ෂත්‍ර කටයුතු කළ අතර පොරොන්දම් බැලීමත් අකුරටම කර දුන්හ.   


මේ කතා කරන්නේ පුස්කොළ කේන්ද්‍ර භාවිත කළ කාලයයි. දැන් කාලයේ පරිගණකයෙන් ක්ෂණිකව ගැළපීම් බලා සියයට මෙතෙකැයි කියා ලබා අනුමත කර දෙන කේන්දරවලට වෙන්නෙත් ඉහත සඳහන් පරිදි විවාහය සති දෙක තුනකට සීමා වීමයි. විවාහ ගැළපීම් කළ යුත්තේ අත්දැකීම් මතයි. පරිගණකයෙන් ගණනය කිරීමේ වරදක් නැත. සියයට ගණන් සෑදීමට යන්න එපා.   


”සැමියා බිරිඳගේ දෙවියාය” නමින් චිත‍්‍රපටයක් තිබූ බවට මාගේ මතකයේ ඇත. දරුවන්ට එම චිත‍්‍රපටය පෙන්වීමට හැකි නම් එය හොඳයයි මා සිතමි. හොඳ ගැළපීමක් තිබේ නම් සැමියා බිරිඳට දෙවියකු වේ.   


අද කාලයේ විවාහ සඳහා සමහරු කපු මහතකුගේ සහය බලාපොරොත්තු වේ. කපටි කපු මහතා ද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට කවරකුගෙන් හෝ පොරොන්දම් ගළපා ගෙන දෙපාර්ශ්වයම රවටයි. කපු  මහතාට දෙපැත්තෙන්ම ගතමනාව ලැබේ. ටික කලකින් විවාහය කැඩුණු පසු කපු මහතා පණ බේරාගෙන ගම අතහැර දුවයි.   


කලාතුරකින් හෝ විවාහ වී සතුටින් ජීවත් වන අය අප අතර නැතුවාම නොවේ. විවාහ වී දිගු ගමනක් යා යුතු නිසා  තම මතය අනුව පමණක් කටයුතු නොකර මාපියන්ට කීකරුව ඉවසීමෙන් කටයුතු කරන්න. ආදරණීය දුවේ, පුතේ, දෙමව්පියන්ට කීකරු වී දෙපැත්තේම කටයුතු සොයා බලා හොඳ ගැළපීමක් ඇතිව විවාහවන්න. එවිට ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබෙනු ඇත.   


විශේෂයෙන්ම ග‍්‍රහ පොරොන්දම්වලට මුල් තැන දිය යුතුයි. එක් අයකුගේ කුජ දෝෂය ඇතිව අනෙක් කෙනාගේ කුජ දෝෂය නැති නම් එය භංග නොවේ. එක් අයකුගේ කුජ දෝෂය තිබී විවාහ වුවහොත් පවුලේ අයට ලෙඩ දුක් කරදර, ආර්ථික අපහසුතා ඇති වේ. ඉන්පසු විවාහ වූ මෝඩකම කියා සිතේ. එක් කේන්ද්‍රයක කුජ ලග්නගතව සිටී යැයි සිතමු. අනෙක් කෙනාගේ ද එසේ තිබිය යුතු නොවේ.   


කුජ දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න, දොළොස්වැන්න ස්ථානයන් හී සිටීමෙන් දෝෂය භංග වේ. විෂ කන්‍යා යෝග්‍ය ඇති කාන්තාවන් විවාහ නොවී සිටීම ඇඟට ගුණදායකය. මෙම යෝගය ඇති කාන්තාව විවාහ වුවහොත් ස්වාමියා, දරුවන් නිකරුණේ මියයෑමට ඉඩ තිබේ. විවාහයක් ඉක්මන් කිරීමට කුජ, සිකුරුගේ බලපෑමක් ඇති කරයි.   


යම් කේන්ද්‍රයක චන්ද්‍රයා නීචව අඟහරු දැකීමෙන් ස්ත‍්‍රී හෝ පුරුෂයා අතර ගුටි බැට හුවමාරු ඇති වේ. එයට විසඳුමක් සොයන්නේ නැතිව ගුටි කෑම මගේ කරුමය යයි සිතා ඉන්නා අයත් අප අතර සිටිති. නමුත් විවාහ ජීවිතයේ සැපයක් නම් නැත.   


මේ නිසා සමහර අය මෙම ප‍්‍රශ්න කියා ගැනීමට කෙනකු නැතිව දේවාලවල කපු මහතුන්ගේ පිහිට බලාපොරොත්තු වෙති. නොගැළපෙන දෙදෙනකු විවාහ වුවහොත් ගුරුකම් මාර්ගයෙන් සමඟි කළ නොහැක. ඒවාට හසුවන්න එපා. ඔබේ මුදල් පසුම්බියට මෙමගින් තට්ටු වේ. විවාහ ස්ථානය වූ හත්වැන්නේ අධිපතියා 22 වන දෙර්කානාධිපති වී හත්වැන්නේ සිටීම සැමියා බිරිඳට හෝ බිරිඳ සැමියාට දුෂ්ටකම් කරයි.   


හත්වැන්නේ රාහු සිටින අයට හවුලේ වැඩ කිරීමට බැරි වුවත් ආදරයට ආදරේ කරන අහිංසක චරිතයකි. පිටතින් නපුරු බව තිබුණත් අැතුළතින් මෘදු මොළොක් අයයි. ශනි හත්වැන්නේ සිටින අයත් හමුවුවහොත් විවාහය සාර්ථක වේ. සෙනසුරු 7 වැන්නේ සිටින ස්ත‍්‍රීය කොපමණ දුක් කරදර පැමිණියත් සැමියා හා දරුවන් අත්හැර නොයයි. මේ අය දුක් විඳින්නට උපන් අයයි.   


සිකුරු පාප කර්තරි සිටින කේන්දර හිමියෙකුට සාර්ථක ජීවිතයක් ගත කිරීමට අපහසුය. සිකුරු ග‍්‍රහයාට දෙපැත්තේ කුජ හෝ රාහු පිහිටීම උදාහරණයක් ලෙස දැක්වීය හැක. සැමියා අකාලයේ මියයෑමට හේතුවකි. පාපයට මැදි වූ සිකුරු හතර වැන්නේ හෝ 8 වැන්නේ සිටී නම් බිරිඳ ගෙල වැලලා මියයන්නීය.   


8 වැන්නේ කුජ සිටින කාන්තාව පතිවත නොරකියි. ඇය විශ්වාස කළ නොහැකිය. විවාහය රෝස මල් යහනාවක් නොවේ. කටුක අත්දැකීම් පිරුණු තැනකි. ඉතින් ඔබත් විවාහ වන්නේ නම් කලබලයෙන් විවාහ නොවී හොඳ ගැළපීමක් ඇතිව විවාහ වන්න.  

 

 
ඔබට ජයක්ම වේවා! තෙරුවන් සරණයි!

 

 

 

 

ෙජ්‍යතිෂවේදිනී
ආශා රත්නායක, මහරගම.