පරපුරක උරුමය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දියණියක වන
කිසාගෝතමී සරච්චන්ද්‍ර සමග කළ කතා බහක්
ඇගේ නම කිසාගෝතමී සරච්චන්ද්‍ර. මෙකල පුවත්පත් පාඨකයන්ට ඒ නම හුරුපුරුදු නැතත් අසූව දශකය වැනි වකවානුවක ඇය නිතර පුවත්පත් පිටු අතර හමුවුණා.
ඒ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ “සිංහ සීවලී” ලෙස
දේශීය සාහිත්‍ය හා කලාව පෝෂණයෙහි ලා පුරෝගාමී මෙන්ම උත්කෘෂ්ඨ මෙහෙවරක යෙදුණු මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දියණියක වන කිසාගෝතමී රැඟුමට මෙන්ම ගැයුමට නැටුමට ද උපන් හපන්කම් පෑ වේදිකා ශිල්පිනියක්,
වර්තමානයේ ඇය ඇමෙරිකාවේ පදිංචිව සිටියද සරච්චන්ද්‍ර පොතපත නාට්‍ය කෘති පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙනවා. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටියදී පසුගියදා පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ සරච්චන්ද්‍ර අසපුවේ දී අප ඇය හමුවුණා.
“තාත්තා ගැන කියන්න කොහෙන් පටන් ගන්නද හිතා ගන්න හරි අමාරුයි. මේ ගෙදර මේ ඇහැට පෙනෙන සියල්ල තුළ ඉන්නේ තාත්තා. කවදා වුණත් මට මේ ගෙදරට ඇතුළු වුණාම තාත්තා ඉන්නව වගේ දැනෙනවා. අර මැද මිදුලට එහා පැත්තේ තමා තාත්තාගෙ ඔෆිස් රූම් එක පුස්තකාලය එහෙම තියෙන්නෙ. තාත්තා වැඩිපුරම ඉන්නේ ඒ අහල පහල. එක්කො මේසෙට නැවීගෙන ලියනවා. නැත්නම් හාන්සි පුටුවේ දිගාවෙලා කියවනවා. ඒක හරි ලස්සන දර්ශනයක්. ඉතින් මම කොයි වෙලාවේ ඒ පැත්ත හැරිල බැලුවත් මට තාත්තා පෙනෙනවා. මෙහෙම ඉඳහිට ආවහමත් දන්නෙම නැතුව දවසට කී පාරක් හරි ඒ පැත්තට යැවෙනවා.
තාත්තා ඉන්න කාලෙ මේ ගෙදර සංගීතයෙන් නැටුමෙන් පිරිලා. නළු නිළියො, නාට්‍ය දෙබස්, බෙර, වෙන වෙන සංගීත භාණ්ඩ, පොත් පත් නාට්‍ය, ඇඳුම් පැළඳුම් බැලූ බැලූ තැන. අපි හිටියේ එ්වා අස්සෙ. පුංචි කාලෙ ඒ ජීවිතේ හරිම රහයි.
තාත්තා නැති වුණාට පස්ෙස තමා මට තාත්තා ගැන වැඩියෙන් දැනෙන්න පටන් ගත්තේ ඇත්තටම මට තාත්තා කියන්නෙ චරිත කිහිපයක්. මගේ තත්තා විදිහට වගේම සරච්චන්ද්‍ර කියන මහා කලාකාරයා විදිහට විවිධ විචිත්‍ර වගේම සංකීර්ණතාත් තිබෙනවා. ඒවා හරියටම හොයා ගන්න තවමත් අමාරුයි.
කැපවීම, ඕනෑකම, දක්ෂකම, දැනුම ඥානය ඒ වගේ විවිධ දේ එකට ගොනු වූ දැවැන්ත පෞරුෂයක් ඒ. ඒවා එකිනෙක වෙන්කර ගත්තොත් සරච්චන්ද්‍ර කෙනෙක් නෑ.”
කිසාගෝතමී සිතුවිලි රැහැනක පැටලිලා ඇයට ඒ මතක දිගහැර ගන්නට මදක් ඉඩ දෙමු.
නවකතා, කෙටිකතා, නාට්‍ය, විචාර, පරිවර්තන, ශාස්ත්‍රීය ආදී වශයෙන් සරච්චන්ද්‍ර ග්‍රන්ථ පෙළ එකින් එක ගෙනහැර දක්වන්නේ නම් එය දීර්ඝ නාමාවලියක්.
මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, වල්මත් වී හසරක් නුදුටිමි, හෙට එච්චර කළුවර නෑ, විලාසිනියකගේ ප්‍රේමය වැනි නවකතා මෙන්ම මනමේ, සිංහබාහු, පෙමතෝ ජායති සොකෝ, වෙස්සන්තර, භව කඩතුරාව ඇතුළු සරච්චන්ද්‍ර නාට්‍ය කෘති පෙළ ද ඉතා දිගුයි. වෙසෙසින් දේශීය නාට්‍ය කලාවක් සොයා සරච්චන්ද්‍රයන් කළ ගවේෂණ, පර්යේෂණ, අත්හදා බැලීම්, බටහිර අනුකාරකත්වයෙන් බැහැර දේශීය නාට්‍ය සම්ප්‍රදායකට අත්තිවාරම වූ බවයි පිළිගැනෙන්නේ. ඉතා සුව පහසුව නොව දැඩි දුෂ්කරතා මැද වසර විස්සක් පමණ කළ අපමණ කැපකිරීම්වල ප්‍රතිඵල ලෙසයි මනමේ, සිංහබාහු වැනි නොමියෙන කලා කෘති මේ රටට උරුම වන්නේ.
“තාත්තා ඉන්න කාලෙ මං තාත්තාගෙ පොත් ටිකක් කියවලා තිබුණා. තාත්තා නැති වුණාට පස්සෙ තමා හුඟක් පොත් කියෙව්වෙ. එතකොට මම හරියට පසුතැවුණා ඉන්න කාලෙ එ්ව කියවන්න බැරි වුණ එක ගැන. මොකද ඒ පොත්වල මට තාත්තගෙන් අහගන්න ඕන තැන්, සාකච්ජා කරන්න ඕන දේවල් ගොඩක් හමුවුණා. අපරාදෙ තාත්තා ඉන්න කාලෙ මේවා ගැන මට කතා කරන්න බැරි වුණානෙ කියන දුක අදටත් මට තියෙනවා.
මම හුඟාක් ආසයි තාත්තගෙ භාෂාවට. ඒක පාඨකයා එක්ක කරන ලෙන්ගතු ගනුදෙනුවක් වගේ. එක එක පොත්වල තේමාවට අනුව භාෂාවත් විවිධ හැඩයන් ගන්නවා. තාත්තාගෙ පොත් ටික ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕන කියන අදහස අපට කලක සිටම තිබෙනවා. එ්ක එසේ මෙසේ වැඩක් නොවන නිසාම කල් යනවා. ඒ සඳහා ප්‍රාමාණික දැනුමක් සහ අවංකව කාලය ශ්‍රමය කැප කළ හැකි කෙනෙක් සොයා ගන්න ඕන.
නාට්‍ය කෘතිවලින් සිංහබාහු ඉංග්‍රීසියට පරිවර්තනය වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු ඉංග්‍රීසි මහාචාර්ය ලක්ෂ්මි ද සිල්වා අතින්. එය ප්‍රකාශයට පත් වූ පසුව අැයම මනමේ නාට්‍යයත් ඉංග්‍රීසියට පරිවර්තනය කළා. තාත්තා ඊට කැමැත්තත් දීලා තිබුණා. එත් එය මුද්‍රණය කිරීම මොනව හරි හේතු නිසා මග හැරිලා. එය නැවත කියවා බලා ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් ඉතින් අපි, නංගි, මල්ලි, මම අපි කවුරුත් ලංකාවේ නැති නිසා ඒ ඔක්කෝම හොයල බලන්න වෙලා තියෙන්නෙ අම්මට. අම්මා පුදුම වුවමනාවකින්, කැපවීමකින් තාත්තගෙ නාට්‍ය ටික කරගෙන යනවා. නව නිෂ්පාදන කරනවා. පොත් නැවත මුද්‍රණය කරනවා. විශේෂයෙන් විෂය නිර්දේශයට අදාළ පොත් එහෙම.
නාට්‍යවලට අලුතෙන් නළුවෙක් නිළියක් ගත්තත් අම්මා අපට කතා කරලා කියනවා. හැම දේම අහලා සාකච්ඡා කරලා තමා කරන්නේ. අපි මෙහෙ ආව වෙලාවටත් දැනට කරගෙන යන නාට්‍යවල පුහුණුවීම් කරලා පෙන්නනවා. මේ අද හවසත් සිංහබාහු කට්ටියට මෙහෙ එන්න කියලා තියෙනවා.
තාත්තා ඉන්න කාලෙත් අම්මා, ලලිතා සරච්චන්ද්‍ර තමා මේ නාට්‍යවල ඇඳුම්, ආභරණ සැලසුම් කළේ. නාට්‍ය සංවිධාන කටයුතුත් අම්මා කළා. අම්මාත් නිළියක් නිසා නාට්‍යවල හැම අංගයක් ගැනම අම්මට පුදුම තරම් දැනුමක් අවබෝධයක් තියෙනවා. අම්මාත් ඒ දැනුම ලබන්න ඇත්තේ තාත්තගෙන්. දැන් ඉතින් කීප දෙනෙක් අතින් ඉටුවිය යුතු වැඩ ඔක්කොම අම්මා තනියම කරගෙන යනවා. එ්ක තමා දැන් අපට තියෙන ශක්තිය, ආඩම්බරය.”
කිසාගෝතමී කතා කරන්නෙත් නාට්‍යානුසාර රිද්මයකින්. එ්ක ජන්ම පුරුද්දක් වෙන්නැති. ඇය පාසලේ ඉහළ පන්තිවල ඉගෙනනුම ලබන කාලයේම සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී චරිතය රඟපෑවා. ලෝමහංස නාට්‍යයටත් අැය රංගනයෙන් දායක වුණා. සරච්චන්ද්‍රයන්ගේ මනමේ ඇතුළු අනෙක් සියලුම නාට්‍යවල ඇය ගායනා වෘන්දයේ නිත්‍ය ගායිකාවක් එදා.
“ඒ කාලේ නාට්‍ය පුහුණුවීම් දවස්වලට අපි හරි ආසයි. මුලින්ම තියෙන්නෙ හවස්වරු පුහුණුවීම්. ගෙදරම හරි, වෙන එළිමහනක හරි එකතු වෙලා ඉඟුරු විස්කෝතු කකා තේ බීබී බෙර ගහමින්, කෑ ගහමින් එ් පුහුණුවීම් අපට හරි විනෝදයක් වුණා. ඊටත් වඩා අාසයි මුළු දවසෙම පුහුණුවීම් තියෙන දවස්වලට කට්ටිය බත්මුල් බැඳගෙන අැවිත් හැමෝම එකට කාලා, නටලා, විහිළු තහළු කරලා වැඩිහිටි නළු නිළියෝ එක්ක පුංචි වුණාට අපිත් හරි හරියට විනෝද වුණා.
ඉතින් ඒ පුහුණුවීම් ඉවරවෙලා ගෙදර අාවම අම්මයි තාත්තයි සාකච්ඡා කරනවා නළු නිළියන්ගෙ දක්ෂකම්, අඩුපාඩු එහෙම. තාත්තානම් නළු නිළියන්ට චරිත ගැන ගොඩක් විස්තර කළේවත් බලපෑම් කළේවත් නෑ. නිදහසේ චරිතයට පිවිසෙන්න ඉඩදුන්නා. “හා බෙරේ ගහනකොට නටාගෙන එන්න” කියලා කියනවා මට මතකයි. එතනින් තේරුම් ගන්නවා නළුවගේ නිළියගේ හැකියාව. ඊට පස්සෙ අඩුපාඩු හදනවා. මම රඟපානවට වඩා තාත්තා නාට්‍ය පුහුණු කරන හැටි බලා ඉන්න ආසයි ඒ කාලේ.
තවත් කාලයක් තිබුණා තාත්තට හරියට අාරාධනා ලැබෙනවා අලුත් නාට්‍යවල මංගල දර්ශනයට එහෙම. ඉතින් මගෙන් අහනවා ‘කිසා අද නාට්‍යයක් තියෙනවා එනවද යන්න’ කියලා. ඒ කාලේ හුඟක් පරිවර්තන හෝ අනුවර්තන නට්‍යය තිබුණේ.
ඒ වගේ නාට්‍යයක් බලන්න හවස යනවා නම් ඊට අදාළ මුල් කෘතිය පුස්තකාලයෙන් හොයාගෙන උදේ ඉඳලා කියවනවා.
ඊට පසසේ මටත් කියනවා. ‘කිසාටත් ඕනද මේක කියවගන්න’ කියලා. ඒ පොත කියවන්න මාවත් පොළඹවනවා. නාට්‍ය බලලා එන ගමනුත් කාර් එකේදී තාත්තා ඒ ගැන මට කියලා දෙනවා. අදහස් අහනවා තේරුණාද අහනවා. ඒ විදිහට මට නොදැනෙන්න රස වින්දනය හුරු කළා.’’ කිසා ඒ මතක සමුදාය ඔස්සේ අදත් හැඟීම්බර වෙනවා.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පොත පත නාට්‍ය පිළිබඳව ගැඹුරු විධිමත් හැදෑරීමක් විමසීමක් මෙරට විශ්වවිද්‍යාල තුළ පවා සිදුවී නැතැයි කලකට ඉහත මහාචාර්ය තිස්ස කාරියවසම් පවසා තිබුණා. සරච්චන්ද්‍ර කෘති ලෝකය වෙත ගෙන යා යුත්තේ ඒ තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගැබ්ව පවතින නිසා බවද, දේශීය නාට්‍ය කලාව පමණක් නොව සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය ඉතා පුළුල් වපසරියකට රැගෙන ගිය ලේඛකයා ඔහු බව ද මහාචාර්ය කාරියවසම් කියනවා.
‘‘1960 ගණන්වල තාත්තා ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ඩෙනිසන් විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයෙක් හැටියට පත්වීමක් ලැබුවාලු. මම ඉපදිලා තියෙන්නෙත් එහෙ ඉන්න කාලෙ. දැන් මගේ දුව ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. මේ මෑතක දුවට හමුවෙලා තිබුණා එහේ පුස්තකාලයේ තිබී තාත්තාගේ පොත් කිහිපයක්. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොතක් තාත්තා ඉංග්‍රීසියට පරිවර්තනය කළානෙ. එ්කත් එහි තියෙනවලු. මගේ දුව ඒ ගැන හරියට සතුටු වුණා.
තාත්තා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක වරින්වර උගන්නලා තියෙනවා. අපි හොයලා බැලුවාම ඒ විශ්වවිද්‍යාලවලත් පුස්තකාලවල තාත්තාගෙ පොත් එකක් දෙකක්වත් තිබෙන බව දැන ගත්තා. ඔස්ට්‍රියාවෙ සල්ස්බර්ග් කියන විශ්වවිද්‍යාලයේ විෂය නිර්දේශයකටත් කලකට පෙර පේමති ජායති සෝකෝ නාට්‍ය ඇතුළත්වී තිබුණාලු. දැන් ඒවා ගැන අපේ දුව උනන්දුවෙන් හොයනවා. සීයගෙ තොරතුරු එක්රැස් කරලා ලිපි හොය හොයා වෙබ් අඩවියකුත් හැදුවා හුඟක් මහන්සිවෙලා. නව තාක්ෂණය ඔස්ෙස් තාත්තගෙ පොත්පත් ලෝකයට හඳුන්වා දෙන්න පුළුවන් සහ එසේ කළ යුතුයි කියන අදහස එයාට තියෙනවා. ඒ ගැන මං සතුටු වෙනවා.
නංගි යශෝධරා ඕස්ට්‍රේලියාවෙ ඉන්නෙ. එයාගෙ දරුවන්ටත් කිව්වා එහෙ විශ්වවිද්‍යාලවල තාත්තගෙ පොත්පත් තියෙනවද බලන්න කියලා. මොන විදිහෙ පොත් ද දැනට ලෝකයේ පරිහරණය වෙන්නෙ කියලා අපට මූලික අදහසක් ගන්න පුළුවන් එතකොට.’’
අපේ ඇස් මානයේ තිබුණු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ජායාරූපය කිසාගෝතමීගේ කටහඬට සවන් දෙනවා වගේ. හරියට තාත්තාට ඇහෙන්න වගේ ඇය තවත් විස්තර කියන්න පටන් ගත්තා.
දැන් මම කැලිෆෝනියාවේ උසස් අධ්‍යාපන ආයතනයක ප්‍රංශ භාෂාව හා සාහිත්‍ය විෂය උගන්වනවා. තාත්තාගෙ එක පොතක් හරි ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීමේ අාසාවකුත් හිතේ තියෙනවා. තාත්තා තමා මාව ප්‍රංශ භාෂාව පැත්තට යොමු කළේ.
මුලින්ම මම ඉගෙන ගත්තෙ කොළඹ කාන්තා විද්‍යාලයේ. එත් එතැන මට වැඩි කාලයක් ඉන්න ලැබුණේ නෑ. තාත්තා ප්‍රංශයේ තානාපති වෙලා යනකොට අපිත් එහෙට එක්ක ගියා. එතකොට මං දෙකේ පන්තියෙ විතර. ප්‍රංශෙ ගියාට පස්සේ තාත්තා මාව දැම්මේ සාමාන්‍ය ඉස්කෝලෙකට. ප්‍රංශ ගුරුවරු උගන්වන, ප්‍රංශ ළමයි විතරක් ඉන්න ඉස්කෝලෙකට. තාත්තා බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මට ප්‍රංශ භාෂාව උගන්වන්න වෙන්න ඇති. නැත්නම් එහෙ ඕන තරම් ජාත්‍යන්තර පාසල් තියෙනවා ඉංග්‍රීසියෙන් උගන්වන.
තාත්තාගෙ තානාපති ධුරයේ කාලය ඉවරවෙල ආයෙත් ලංකාවට ආවාම මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට බාර දුන්නා. ආයෙත් ඉගෙන ගත්තෙ සිංහලෙන්. ඒ වෙනකොට මටත් ප්‍රංශ භාෂාවට හිත ගිහින් තිබුණේ. ඒ නිසා ප්‍රංශ අතහරින්නේ නැතිව පෞද්ගලික ආයතනකට ගියා තවදුරටත් ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න. ඒත් මම පාසලේ සිංහල විෂයයට හුඟාක් දුර්වල වුණා.
ලෝකේ කොහේ ගියත් තාත්තයි අම්මයි අපි එක්ක කතා කරන්නෙ සිංහලෙන්. ඒ නිසා භාවිතයේ තිබුණා. විෂයක් වශයෙන් සිංහල මට අමාරු වුණා.
“මහ ලොකුවට තාත්තා සරච්චන්ද්‍රලු. දුවගෙ සිංහල ගන්න දෙයක් නෑ කියලා මූණටම කිව්ව ගුරුවරුත් හිටියා. කොහොම හරි ටියුෂන් ගිහින් ඔන්න සිංහල ටිකක් හදා ගත්තා. එහෙම අවුරුදු කිහිපයක් ඉන්නකොට ආයෙත් තාත්තට හවායි යන්න ලැබුණා. අපිව එක්ක එහෙ ගියා. එතකොට ඇමෙරිකාවෙදි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න වුණා.
එහෙන් ආපහු එනකොට මම අටේ පන්තියේ විතර. දේවි බාලිකාවට ගියා. එහෙම උසස් පෙළට ආවාම තාත්තා නියම කළේ නෑ මොන මොන විෂයයන්ද තෝරා ගන්න ඕන කියලා. මම භාෂා විෂයයන් තෝරා ගත්තා. ඉංග්‍රීසී, ප්‍රංශ, ජර්මන් සහ සිතාර් සංගීතය කළා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ මහා දරුණු කාලෙක 87 අවුරුද්ෙද විතර. දරාගන්න බැරි තරමට රැග් එක තිබුණා. එක පැත්තකින් සරච්චන්ද්‍රගෙ දුව වීම ඊළගට ඉංග්‍රීසි ඉගෙන ගැනීම ඔය වගේ හේතු නිසා මට නවක වදය වැඩි වුණා.
එක දවසක් ගෙදර එනකොට මගෙ දණහිස් දෙකේම ලේ ගලනවා. මොකද බොක්කුවක් ඇතුළෙ වීදුරු කටු උඩ දණහිස්වලින් ඇවිදින්න කියලා. ගෙදර ඇවිත් ඒක හංගගෙන ඉන්න බෑ ඇවිදින්න අමාරු නිසා. තාත්තාට හොඳටම දුකයි. මාව ප්‍රංශයට යවන්න ලෑස්ති කළා. මං බෑ කිව්වා. මට හරි අමාරුයි මගේ යාළුවො දාලා යන්න. එ්ත් යන්න වුණා. කොහොමත් කලබල තිබුණු කාලයක් නිසා විශ්වවිද්‍යාල වැහුවා. ඒ එක්කම අනිත් යාළුවොත් පුළුවන් අය පිටරටවල ගියා ඉගෙන ගන්න.”
නවකවදයේ ඒ අමිහිරි අත්දැකීම් තවමත් ඇය මතක් කරන්නේ වේදනාවෙන්. එ්ත් ඒ පසුපස ආ සතුටකුත් ඇය අත්විඳිනවා ප්‍රංශ භාෂාව හා සාහිත්‍ය විෂය සමග ප්‍රංශ භාෂාව ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ප්‍රංශයේදී ලැබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අද අැය රට රටවලටත් බෙදා දෙන ගුරුවරියක් නිසා.
“ගුරුවරියක් හැටියට මට නිතරම හිතෙන දෙයක් තමා තාත්තා වගේ උගන්වන්න ඕන කියලා. තාත්තාගෙන් ඉගෙන ගත් අය මට පිටරටවලදී හමුවෙලා තියෙනවා. ඒ අය කියන දෙයක් තමා තාත්තා උගන්වනකොට විෂය ගැන කුතුහලය ඇති කරනවා කියලා. තවත් අය මට කියලා තියෙනවා පේරාදෙණියේදී තාත්තගේ සමහර ලෙක්චර්ස්වලට අදාළ අංශයේ නොවන අයත් කලින්ම ඇවිත් වාඩි වෙලා ඉන්නවලු.
කොහොම හරි මගේ ප්‍රංශ දැනුම වැඩි වෙන කොට ප්‍රංශ පොත්පත් ගැන තාත්තට ඇති වූ ගැටලු මගෙත් එක්ක සාකච්ඡා කළා. ජර්මන් ගැන වුණත් එහෙමයි. සාකච්ඡා කරන්න හරි ආසයි. තාත්තට දැනුම ලබන්න තියෙනව නම් කාගෙන්ද, කොයි වෙලාවෙද, වයසද ඒ මොකුත් ගාණක් නෑ. පස්සේ කාලෙක ගුරුවරයෙක් ගෙදරට ගෙන්නාගෙන තාත්තා සිතාර් වාදනය ඉගෙන ගත්තා. මට මතකයි අන්න අර හරියෙ තමා එ්ගොල්ලො සිතාර් වාදනය කළේ.’’ කිසාගෝතමී අත දිගු කළේ මිදුලට විවෘත වූ වැරැන්ඩාවක් දෙසට.
මහාචාර්ය සරච්චන්ද්‍රගේ ඉංග්‍රීසි නවකතා එතරම් කතා බහට ලක් නොවුණත් ඔහු “හෙට එච්චර කළුවර නෑ” නවකතාව Curfew and the full moon ලෙස ඉංග්‍රීසියෙන් ලියා තිබෙනවා. මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නවකතා දෙක එක කතාවක් ලෙස Foam up on the Stream යනුවෙන් ලියා තිබෙනවා. With The Begging Bowl සහ ඒ.පී. ගුණරත්න සමග ප්‍රංශ, රුසියන් සහ මෝපසාං කෙටිකතා සිංහලයට පරිවර්තනය කළ කෘති කිහිපයක් ද සරච්චන්ද්‍ර ග්‍රන්ථ මාලාවේ සඳහන් වෙනවා.
“ඇත්තටම තාත්තගෙ විශිෂ්ට නිර්මාණය සිංහබාහු කියලා තමා කවුරුත් පිළිගන්නේ. මමත් කවදත් කැමති සිංහබාහු නාට්‍යයට. එ්ක හරිම පරිපූර්ණ කෘතියක්. කවි, ගීත, නැටුම්, ගැයුම්, වැයුම්, ඇඳුම් පැළැදුම් ඒ ඔක්කොම උපරිමයෙන් සංකලනය වෙලා තියෙනවා. ඒ වගේම එහි හැම කෙනෙකුටම ජීවිතේට අදාළ දෙයක් තියෙනවා. ඒක මහ පුදුම සාහිත්‍ය කෘතියක් මට හිතෙන්නෙ. කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ.”
කිසා එහෙම කියන කොට මතක් වෙනවා සරච්චන්ද්‍රයන් ඔහුගේ කල්පනා ලෝකය කෘතියේ පළමු පරිච්ඡෙදය පටන් ගන්න විදිහ. “ශ්‍රේෂ්ඨයයි ගැනෙන සෑම කලා නිර්මාණයක්ම ලෝකයෙහි පෙර නොවූ විරූ දෙයකි. එය අපූර්ව වස්තුවකි. එහෙයින්ය රසිකයා එය දැක කුල්මත් වන්නේ. එය නිර්මාණය කළ තැනැත්තා සමාජයෙන් ගෞරව ලබන්නේද එම හේතුව නිසාය.”
“ඉස්සර කොච්චර වැඩ තිබුණත් මව්පියන්ට ඉස්කෝලෙට එන්න කිව්ව දවසට එහෙම තාත්තා නොවරදවාම එනවා. තාත්තාගෙන් ඉගෙන ගත්ත අය ඉන්නවනෙ ඉස්කොලෙ ගුරුවරු. ඒ අය ඇවිල්ලා වඳිනවා. කතා කර කර ඉන්නවා. ළමයි වටවෙලා බලාගෙන ඉන්නවා. එතකොට තාත්තා ඉස්කෝලෙට ළමයෙකුගෙ පියෙක් නෙවෙයි. “ස්ටාර් කෙනෙක්’’ වගේ. මම ඉතින් පැත්තකට වෙලා ඉන්නවා.”
එහෙම කිව්වට කිසාගෝතමී සරච්චන්ද්‍ර පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් විවිධ කලා හා භාෂා සංගම්වල නිලතල දරමින් එකල ඇයත් පාසලට ආභරණයක් වුණා.
දැන් අපට අහන්නට ප්‍රශ්නයක් ඉතිරිවෙලා කිසාගෝතමී තුළ එදා සිටි රංගන ශිල්පිනිය ගායන ශිල්පිනිය අද කෝ?
“ඇමෙරිකාවේ පදිංචි ලාංකික පිරිස හරියට අපට හමුවෙනවා. ඒ අය එකතු කරගෙන අවුරුද්දකට සැරයක් විතර අපි වේදිකා ප්‍රසංගයක් කරනවා. ඒ හැර පොඩි පොඩි අවස්ථා වලදිත් සින්දු කියලා නාට්‍ය ගීත කියලා අපේ මතක අලුත් කර ගන්නවා. අපේ මල්ලිත් එනවා මද්දල් වාදනයට. ඒ වගේ අවස්ථාවල එහෙ ඉන්න ඇමෙරිකානුවෝ වගේම වෙනත් ජාතික අයත් ඔක්කොම එකතු වෙනවා. අත් පත්‍රිකා හදලා නාට්‍ය ගැන මූලික හැඳින්වීම ප්‍රසිද්ධ කළාම කට්ටිය එකතු වෙනවා. අපි පසුගිය මාසයේ ප්‍රසංගයක් සංවිධානය කළා. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ අයට අරමුලක් හදලා පෞද්ගලිකවම උදව් කරන්න. මගේ මහත්තයාත් හිටපු ‘මනමේ කුමාරයෙක්’ එයා ජගත් ලක්ප්‍රිය. එයා තමා හුඟක් ඒ වගේ කලා උළෙල සංවිධානය කරන්නේ. අපි එහෙදිත් කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා, වෙල්ල වැහුම් වගේ තාත්තා ගැමි කතාවලින් කළ සරල නාට්‍ය නිෂ්පාදනය කරලා පෙන්වනවා. සමහර වෙලාවට උප සිරැසි දාලත් කරනවා. ඒ නැතත් කවුරුත් ඒවා හොඳට රස විඳිනවා. සතුටු වෙනවා.
ඒ අතරෙ මම දැන් කෙටි කතා ටිකක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන යනවා. වෙකෝෆ් මෝපසාංවගේ කතුවරුන්ගේ කෙටි කතා වලට මං ආසයි. තාත්තාගෙ කෙටිකතා පරිවර්තන කියෙව්වාම තමා මටත් එහෙම අදහසක් අාවේ.
ඉතින් තාත්තා ගැන කොහොමද කියලා ඉවර කරන්නේ. ඇත්තටම තාත්තා අපට පිං ඇති සරසවියක්.
පුෂ්පා ඉලංගන්තිලක
ඡායාරූපය- චනුක කුලසේකර