සබ්මැරීන් හදලා මුහුද යටින් ආයුධ ගෙනාවා


රට හෙල්ලූ සිදුවීමක අඩි සලකුණු දිගේ...

 

මුහුදු කොටි දෙවැනියා හෙළිකරන රහස්  02


ප්‍රභාකරන් අපිත් එක්ක නිතරම කිව්ව දෙයක් තමා කවදා හෝ ඊළාම් රාජ්‍යයක් පිහිටුවනවා කියන එක. ඊළාම් රාජ්‍යයේ අග නගරය කරන්නේ කිලිනොච්චිය කියාත් ඔහු නිතරම කිව්වා මට අද වාගේ මතකයි. ඒ නිසා හමුදාව අතට පත් නොවී කිලිනොච්චිය බේරාගන්න ප්‍රභාකරන් නොගත් උත්සාහයක් නැහැ. ඒත් වැඩක් වුණේ නැහැ. අපි පරාජය වුණා. ඊළාම් රාජ්‍යයේ අගනගරය කරන්න හිටිය කිලිනොච්චියත් අපට අහිමි වුණා. ඊට පස්සේ අපි ධර්මපුරම්වලට පැන ගියා. ධර්මපුරම්වලදී ප්‍රභාකරන් සාකච්ඡාවක් පැවැත්තුවා. මමත් එක්ක කොටි නායක නායිකාවෝ හත්දෙනෙක් ඒ සාකච්ඡාවට ප්‍රභාකරන් එක්ක සහභාගි වුණා. 
  
ඒ රැස්වීමේදී ප්‍රභාකරන් කිව්ව කතාවක් මගේ මතකයේ තවමත් තිබෙනවා. දැන් ඉතිං අපිට කිසිම දෙයක් කරන්න ඉතිරි වෙලා නැහැ. කරන්න ඉතිරි වෙලා තියෙන්නේ එකම එක දෙයයි කියා. මම ඇහැව්වා මොකක්ද කරන්න තියෙන්නේ කියා. එතකොට ප්‍රභාකරන් කිව්වා අපි සේරටම දැන් තියෙන්නේ මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගන්න තමා කියා. ඉන්දියන් හමුදාව මේ පැත්තට ආපු කාලයේ වගේ අපිට කැලෑවේ හැංගිලා ඉන්න වෙයි කියාත් ප්‍රභාකරන් කිව්වා. කවුරුත් ප්‍රභාකරන්ගේ ඒ කතාව අහගෙන හිටියා මිසක් කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. කරබාගෙන හිටියා.  


වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවෝ කොටින්ගේ මහ බළකොටු වශයෙන් පැවති ප්‍රදේශ එකිනෙක අල්ලාගෙන අභීතව ඉදිරියට ආවේ කොටින්ගේ ප්‍රහාරවලට සාර්ථකව මුහුණදෙමිනි.  


අවසානයේ ඒ වෙනකොට ඉතිරිව සිටි එල්.ටී.ටී.ඊ නායක නායිකාවෝ හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ සාමාන්‍ය ජනතාවත් සමග සිරවී සිට ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වර්ගකිලෝමීටර් 2 1/2 තරමේ කුඩා බිම් කඩකය.  


ඒ හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් සීලන් කිවුවේ මෙවැනි කතාවකි.  

 

 

වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් දවස් කිහිපය වෙනකොට අපට ඉන්න ඉතිරිවෙලා තිබුණේ වර්ග කිලෝමීටර් 1 1/2 ක් විතර කොටසක් විතරයි. සාමාන්‍ය ජනතාව අතරේ ප්‍රභාකරන් එයාගේ පුතා චාල්ස් ඇන්තනි, සුසෙයි, පොට්ටු අම්මාන්, ජෙයම්, රත්නම්, මාස්ටර් හා භානු කියන කොටි නායකයෝ හා මමත් හිටියා. බංකර් එකක් ඇතුළේ තමා අපි කට්ටිය වැඩි හරියක් හැංගිලා හිටියේ. මේ වෙනකොටත් දෙපාර්ශ්වය අතර දරුණු සටන් ඇවිලෙමින් තිබුණා.  


ප්‍රභාකරන් ඔහු අඳින කොටි ඇඳුම ඇඳගෙනයි හිටියේ. ඔහුගේ පුතා චාල්ස් ඇන්තනි නිල් පාටට හුරු කමිසයක් ඇඳගෙන දිග කලිසමක් ඇඳගෙන හිටියා. ප්‍රභාකරන්ගේ බිරිඳ හා අනෙක් දරුවෝ නම් පේන්න හිටියේ නැහැ. ඒ ගොල්ලෝ කොහේ හිටියාද කියන්න මම දන්නේ නැහැ. ඒ වෙනකොට ප්‍රභාකරන් පරාජය බාර අරගෙන ඉවරයි. ඔහු ඒ වෙන​කොට කල්පනා කර කර හිටියේ ජීවිතය බේරාගෙන පලා යන්නේ කොහොමද කියා කල්පනා කර කරයි. කා එක්කවත් වැඩිය කතාබහ කරන්න ගියේ නැහැ. සති කිහිපයක ඉඳලාම ඔහු දවසකට වචනයකට දෙකකට වඩා කතා කළේ නැහැ. කල්පනා කර කර හිටියා. හැබැයි කිසිම කලබල ගතියක් පෙන්නුවෙත් නැහැ. වෙල්ලමුල්ලි වෛයිකාල්වලින් පැන ගන්න ප්ලෑන් කරන්න අපි සාකච්ඡාවක් කළා. භානු මේ සාකච්ඡාවට සහභාගි වුණත් වචනයක්වත් කතා කළේ නැහැ. ​ගොළුවෙක් වාගේ ඔහේ බලාගත්ත අතේ බලාගෙන උන්නා මට අද වගේ මතකයි. භානු වචනයක්වත් කතා නොකර හිටියේ මොකද කියන්න මම දන්නේ නැහැ. ඒ ගැන එදා ඔහුගෙන් කවුරුත් අහන්න ගියේත් නැහැ.  


යුද්ධයේ අවසන් කාලයේ සාම කාලයක් අපි බලාපොරොත්තු වුණා. ශ්‍රී ලංකාවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහත්තයා ආණ්ඩුවෙන් සාම කාලයක් ඉල්ලුවා එල්ටීටීඊයේ අයට බාරවෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකට කැමති වුණේ නැහැ. රුද්‍ර කුමාර් නැවතත් චොපර් එකක් එවනවා. ඒ චොපර් එක තියන නැවට බෝට්ටුවකින් ගිහින් චොපර් එකේ නැගලා ප්‍රභාකරන්ට පැනගන්න උත්සාහයක් ගත්තත් ඒ වැඩේ හරි ගියේ නැහැ. චොපර් එකක් එව්වේ නැහැ. ඊට පස්සේ ප්‍රභාකරන් අම්පාර, කංචිකුඩිචිආරු කැලෑවට පැනගන්න ප්ලෑන් කළා. ප්‍රභාකරන්ව කංචිකුඩිචිආරු කැලෑවට රහසිගත මාර්ග ඔස්සේ එක්කගෙන යන්න රාම් අයියා කියන කොටි නායකයෙක් සූදානම් වෙලා ඉද්දි ඔහුවත් අත්අඩංගුවට පත්වෙලා තිබුණා. ඒ වෙනකොටත් මරණය නියත බව අපි හැමෝටම තේරුම් ගිහින් තිබුණේ. වෙල්ලමුල්ලි වෛයික්කාල් ඉඳලා කංචිකුඩිචිආරු කැලෑවට යන රහසිගත පාර ගැන පවා පොට්ටු අම්මාන් ඒ වෙනකොට සොයාබලා තිබුණේ.  


මේ වෙනකොට යුද මුක්ත කලාපයේ ඉඳලා සාමාන්‍ය ජනතාව රජයේ පාලන ප්‍රදේශවලට විශාල වශයෙන් පලා යමින් සිටියා. මමත් සාමාන්‍ය ජනතාව අතරේ සැඟවී පලායාමට තීරණය කළා. පලා යාමට කලින් දවසේ ඒ කියන්නේ මැයි මාසයේ 16 වැනිදා ප්‍රභාකරන් හමුවෙන්න කියා පැය 1 1/2 ක් විතර මමත් ඉතිරිවෙලා හිටිය අනිත් කොටි නායකයන්ද ප්‍රභාකරන් එක්ක කතා කර කර හිටියා. එදත් ප්‍රභාකරන් වචනයකට දෙකකට වඩා කතා කළේ නැහැ. ප්‍රභාකරන්ට සමුදීලා මම සාමාන්‍ය ජනතාව අතරේ හැංගිලා රජයේ පාලන ප්‍රදේශයට ආවේ ජීවිතය බේරගන්න ඕනෑ නිසයි මම පැනලා ආවේ. මම මුහුදු කොටි බලකායේ නායකයෙක් කියා හමුදාවේ අය ඒ වෙලාවේ හඳුනාගත්තේ නැහැ. මාවත් සාමාන්‍ය ජනතාව එක්ක සහන කඳවුරකට යැව්වා.  


මම පැනලා එන්න දවස් කිහිපයකට කලින් සුසෙයි මගෙන් ඉල්ලීමක් කළා එයාගේ බිරිඳ හා දරුවන් ඇතුළු එයාගේ පවුලේ සමීප ඥාතීන්ට වෙල්ලමුල්ලි වෛයිකාල්වලින් පැනලා යන්න උදව් ඉල්ලුවා. මම අපේ මුහුදු කොටි බළකායේ හිටිය මුහුදු මාර්ග ගැන හොඳට දන්න සාමාජිකයකුට වැඩේ බාරදුන්නා. ඉන්දියාවට පැනලා යන්නයි හිතාගෙන හිටියේ. සුසෙයිගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ සමීපතමයින් 8 දෙනෙක් බෝට්ටුවක නැගලා පැනලා යද්දි නාවික හමුදාවට කොටුවුණා. මම කිවුව මාර්ගයෙන් නෙමේ යන්න ගිහින් තියෙන්නේ. ඔවුන්ට පාර වැරදිලා. එතකොට තමා නාවික හමුදාවට කොටුවෙලා තියෙන්නේ. කොහොම වුණත් ඒ කාලය වෙන​ෙකාට නාවික හමුදාව අපේ අයට පැනගන්න බැරි විදිහට ආරක්ෂක වළල්ලක් මුහුදේ දමා තිබුණා.  


ගොඩබිම සටන් ගැන මම කිසිම දෙයක් කියන්න දන්නේ නැහැ. මුහුදු කොටි බළකායේ කෙනෙක් නිසා මම කියන්න දන්නේ මුහුදේ වෙච්ච සටන් ගැන පමණක් යැයිද සීලන් කියා සිටියේ අප ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.  


වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ අපේ අය ගොඩක් තුවාල වෙලා මරණාසන්නව සිටියා. අපේ තුවාලකරුවන් එන්න එන්නම වැඩිවුණා. අපිට ලොකු බෙහෙත් හිඟයකට මුහුණ දෙන්න සිදුවුණා. ප්‍රතිකාර නැතිව අපේ අය දවස ගානේ මියයන්න පටන් ගත්තා. සුසෙයි මට කිව්වා ඉන්දියාවේ ඉඳලා බෙහෙත් පටවා ගත්ත ලොකු යාත්‍රාවක් අපේ මුහුදු සීමාවට එනවා. ඒ යාත්‍රාවේ සහේන්ද්‍රන් කියා එල්.ටී.ටී.ඊ නායකයෙක් ඉන්නවා කියා. බෝට්ටු 04 කින් අපි ගිහින් ඒ යාත්‍රාවේ තිබුන බෙහෙත් අපේ බෝට්ටුවල පටවාගෙන ආවා යැයිද සීලන් අපිත් එක්ක කියා සිටියේ මේ ගමන අප ගියේ ආයෙත් එන්න බලා​පොරොත්තුවෙන් නොවන බවද පවසමිනි.  


යුද්ධය අවසාන කාලයේ ප්‍රධාන පෙළේ කොටි නායකයන් 17 දෙනෙක් රහසිගතව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගිය බවට කතාවක් ඒ කාලයේ තිබුණා. ඒ කතාවේ ඇත්තක් තිබෙනවාද කියා විමසා සිටියේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතාය.  
අපෝ සර් කිසිම කොටි නායකයකුට හෝ නායිකාවකට යුද්ධය අවසන් කාලයේ පැනගන්න බැරිව ගියා. ඒ බව මම හොඳාකාරවම දන්නවා. යුද්ධය පටන්ගත්ත කාලයේ සමහරුන් පැන යන්න ඇති.  


ඒ බෝවල මහතාගේ ප්‍රශ්නයට සීලන්ගෙන් ලැබුණු පිළිතුරයි.  


ප්‍රභාකරන් ළඟින්ම හිටිය නායකයෙක් හිටියා. ඔහුගේ නම ඉලංකුට්ටුවන් කියා. ඔහු හමුදා අත්අඩංගුවට පත්වෙලා පසු කාලයක නිදහස් වුණා. අන්න ඒ ඉලංකුට්ටුවන් කියන කෙනා නිදහස් වුණාට පස්සේ රට ගියා යැයිද සීලන් වැඩිදුරටත් කියා සිටියේය.  


ප්‍රභාකරන් වෙල්ලමුල්ලි වෛයික්කාල් යුද මුක්ත කලාපයේ හිරවෙලා ඉන්න කාලයේ අපිත් එක්ක කිව්ව කතාවක් මට තවත් මතකයි. ප්‍රභාකරන් කිව්වා හමුදාවේ ප්‍රහාරවලින් මගේ බෝට් එක විනාශ වුණොත් මිනිස්සු හිතයි මම රටින් පැනගත්තා කියා. ඔන්න ඔහොම තමා ප්‍රභාකරන් අපිත් එක්ක කිවුවේ.  


ප්‍රභාකරන් ඔහුගේ ජීවිතයට ආදරය කළා. ඔහුගේ බිරිඳට හා දරුවන්ට ආදරය කළා. නිතරම ඔවුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා. පොට්ටු අම්මාන්වත් ප්‍රභාකරන් ඉන්න තැනක් ගැන හරියටම කියන්න දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ ශරීරාරක්ෂකයින් කිහිපදෙනෙක් විතරයි ඔහු ඉන්නා තැනක් ගැන කියන්න දැනගෙන හිටියේ. ඒ තරමට ඔහු පරිස්සම් වුනා. ඕනෑම කෙනෙක් දිහෑ ප්‍රභාකරන් බැලුවේ සැකයෙන්. ඔහුගේ ආරක්ෂාව ගැන ඔහු දැඩි ලෙස සැලකිල්ලක් දැක්වූ නිසා තමා ඔච්චර කාලයක් ජීවත්වුණේ.  
ඒ සීලන්ගේ හඬයි.  


අප සමග තවදුරටත් අතීතය හාරා අවුස්සමින් සීලන් මෙසේද කීය.  


සීලන් මේ කියන්නට යන්නේ ඔහු 1997 වසරේ සිට 2000 වසර දක්වා එල්ටීටීඊ සංවිධානයට අවි ආයුද හා පුපුරණ ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනා ආකාරය ගැනය.  


සමහර විදෙස් රටවලින් එල්ටීටීඊ එකට අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය තොග ඒ රටවල ඉඳලා අපේ මුහුදට යාත්‍රාවලින් ගෙනාවාම අපි යනවා ඒවා ගේන්න. ලොකු යාත්‍රාවල තියන අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය කුඩා යාත්‍රාවලට බෝට්ටුවලට පටවාගෙන අපි අපේ බේස්වලට ගේනවා. 1997 වසරේ ​ඉඳලා 2000 වසර දක්වාම මම මේ කටයුත්තට සහභාගි වුණා. ඒ කාලයේ මම මුහුදු කොටි බළකායේ නායකයෙක් නෙමේ. නැව් වලින් ගෙනා අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය බෝට්ටුවලින් මුලතිව් මුහුදු වෙරළට ගේන්න මුහුදු කොටි 100 ක් වත් යනවා.  
මුලතිව් මුහුදු වෙරළ තීරයට අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය ගොඩබාන සෑම අවස්ථාවකම ප්‍රභාකරන් එ​ෙතන්ට නොවරදවාම එනවාමයි. අපිට කන්න බත් අරගෙන එනවා. මේ බත්වලට කියන්නේ කුකුල් කිරි බත් කියලයි. කුකුළුමස් රෝස්ට් කරලා තමා ඒ බත් එකදෙන්නේ. හරිම රසයි. ප්‍රභාකරන් එයාගේ අතින්ම තමා බත් පාර්සල් අපිට දෙන්නේ. අවි ආයුධ ගොඩබාලා කඳවුරුවලට යනකම්ම අපිත් එක්ක ඉන්නවා. අවි ආයුද අතපතගාලා බලනවා යැයිද සීලන් පවසයි.  


හමුදාවට බාරවී ඕමන්ත කඳවුරේ සිටියදී මුහුදු කොටින්ගේ සබ්මැරීනයක් සොයාදුන් ආකාරය ගැන තොරතුරු සීලන් හෙළිකළේ මෙසේය.  


මුලතිව් පාරා නැව නැංගූරම්ලා තිබුණ තැන ඉඳලා කිලෝමීටර් 2 ක් විතර දුරින් සබ්මැරීනයක් මුහුදේ ගිල්වා තිබුණා. මුහුදු කොටි බලකායේ පුහුණු මාස්ටර් සින්නවන්ද ඒ වෙනකොට හමුදාවට බාර වෙලා හිටියේ. අපි දෙන්නා මේජර් ගැමුණු මහත්තයා ඇතුළු හමුදා කණ්ඩායමක් එක්ක සබ්මැරීන් එක හොයාගන්න ගියා. මමයි සින්නවනුයි මුහුදේ කිමිදිලා සබ්මැරීන් එක තියන තැන සොයාගෙන ලොකු කඹ දාලා බැන්දා. ඊට පස්සේ ක්‍රේන් දාලා ගොඩබිමට ඇද්දා. අපි සබ්මැරීන් හැදුවේ මුහුද යටින් අවි ආයුද ප්‍රවාහනය කරන්නයි. අපේ ආයුද නැව්වලට නාවික හමුදාව ප්‍රහාර එල්ල කරලා ඒවා දිගින් දිගටම විනාශ කරන්න පටන්ගත්ත නිසා මුහුද යටින් ඒවා ප්‍රවාහනය කරන්න සැලසුම් කළා. ඒකට තමා සබ්මැරීන් නිෂ්පාදනය කළේ. නාවික හමුදාව අපේ සැපයුම් මාර්ග අවහිර කර තිබුණා. ඒ නිසා අවි ආයුධ යාත්‍රාවලින් ප්‍රවාහනය කරන්න බැරි තත්ත්වයක් ඒ වෙන​කොට උදාවෙලා තිබුණා.  

 

 

හමුදාව බාරයේ ඉන්නකොට ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඒ.එස්.පී. බෝවල, සාජන් නන්දසිරි හා සාජන් තෙන්නකෝන් සර්ලා ඕමන්ත කඳවුරට ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ඒ වෙනකම් මම හිටියේ හමුදාව බාරයේ. බෝවල සර්ලා මගෙන් ප්‍රශ්න කරලා මරාගෙන මැරෙන බෝට්ටු, පුපුරන ද්‍රව්‍ය තොගයක් හා ක්ලේමෝ බෝම්බ​ තොගයක් සොයාගත්තා. බෝවල සර් ඒ කතාව කියයි. මම පොලිසියට හමුදාවට ගොඩක් උදවු කරලා තියනවා.  


මම පුනරුත්ථාපනය වෙලා. දැන් රජයේ සාක්කිකාරයෙක් විදිහට එල්ටීටීඊයේ අයට විරුද්ධව උසාවියේ සාක්කි දෙනවා. බෝවල සර්ලාගේ අත්අඩංගුවේ ඉද්දි මාව ටී.අයි.ඩී. එකේ බාරයට වැඩිදුර පරීක්ෂණවලට ගත්තා. ගාල්ල බූස්ස කඳවුරේ මාස ගණනාවක් හිටියා. ටී.අයි.ඩී. එකේ හිටිය නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ සර් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සර් ළඟට එක්කගෙන ගියා. මම එල්ටීටීඊ එක ගැන දන්න කරුණු සේරම හෙළිකළා.  


වාකිෂ්ඨ සර් ගෝඨාභය සර් ගෙන් කරපු ඉල්ලීමක් නිසා මට සීමන් කෙනෙක් විදිහට ගාල්ලේ ආයතනයකින් මාස හයක පුහුණුවක් ලබාගන්න පුළුවන්කමක් ලැබුණා. එල්ටීටීඊ එකේ ඉන්න කාලෙත් මම සීමන් කෙනෙක් විදිහට මැලේසියාවේදී පුහුණුවීමක් ලබාගෙන තිබුණා. ගාල්ලේ පිහිටා තිබූ ජර්මනියේ ආයතනයකින් තමා මම සීමන් කෙනෙක් විදිහට පුහුණුවීමක් ලබාගත්තේ. ඒ පුහුණුවට ලංකාවේ හැම තැනකින්ම වාගේ 33 දෙනෙක් ඇවිත් හිටියා. පුහුණුව අවසානයේ පැවති විභාගයෙන් මම දෙවැනි තැනට තේරුණා. පළමු වැනියා වුනේ කුරුණෑගල පැත්තේ සිංහල තරුණයෙක්. ඔහුගේ නම දැන් මට මතක නැහැ.  


ප්‍රේම සම්බන්ධතාවයක් මත මම 2014 වසරේ විවාහ දිවියට ඇතුළත් වුණා. මට ගැහැනු දරුවෝ ඉන්නවා. මම වෙඩිං එකට බෝවල සර්ට, තෙන්නකෝන් සර්ට හා නන්දසිරි සර්ටත් ආරාධනය කළා. හමුදාවට බාරවුන වෙලාවේ ඕනනම් මාව ලෙහෙසියෙන්ම ඔවුන්ට මරා දමන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. හමුදාව මට හොඳට සැලකුවා. පොලිසිය අත්අඩංගුවට ගන්න වෙලාවෙත් මට හොඳට සැලකුවා. මාව නුවර පෙරහර බලන්න පවා එක්කගෙන ගියා. ඒ විතරක් නෙමේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග බලන්න පවා කැඳවාගෙන ගියා. ටීඅයිඩී එකේ ඉන්න කාලෙත් මට හොඳට සැලකුවා. වධහිංසා කළේ නැහැ. අන්න ඒ නිසා තමා අපි අතර මේ විදිහට බැඳීමක් තියෙන්නේ යැයිද සීලන් කියා සිටියේය.  

 

 

පූජිත් ජයසුන්දර මහත්තයාවද සීලන් සිහිපත් කළේ ඔහු හරිම සංවේදී සර් කෙනෙක් යැයි පවසමිනි.  


විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කේ.එම්.එච්. බෝවල මහතා සීලන් අත්අඩංගුවට ගැනීමට මග පෑදුණු ආකාරය ගැන තොරතුරු සැකෙවින් හෙළි කළේ මෙසේය.  


කොත්මලේ කෝවිලක් ළඟ සැක කටයුතු විදිහට හිටිය දෙදෙනෙක්ව දමිල මිනිස්සු විසින්ම අල්ලා කොත්මලේ පොලිසියට බාරදී තිබුණා. කොත්මලේ පොලිසියේ එවකට පොලිස් ස්ථානාධිපතිවරයාව සිටියේ උපපොලිස් පරීක්ෂක බණ්ඩාර දෙවටගෙදර මහත්තයා. දෙමළ මිනිස්සු අල්ලා දුන් දෙන්නාගෙන් එක්කෙනෙක් පොලිසිය ඇතුළේදීම සයනයිඩ් කා සියදිවි නසාගත්තා. අනෙකාට සයිනයිඩ් කන්න බැරිව ගියා. ඔහුත් මරාගෙන මැරෙන කළු කොටියෙක්. ඔහුගේ නම දයාලන්. අපි දයාලන් කොත්මලේ පොලිසියෙන් අල්ලාගෙන ප්‍රශ්න කරන්න පටන්ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කරලා ප්‍රධාන පෙළේ කොටි ගණනාවක් අත්අඩංගුවට ගත්තා. එහෙම අත්අඩංගුවට ගත්ත කෙනෙක් තමා සීලන් කියන්නේ. සීලන් මුහුදු කොටි බළකායේ නියෝජ්‍ය නායකයා බව අපේ පරීක්ෂණවලින් තොරතුරු හෙළිකරගත්තා.  


මුහුදු කොටි බළකායේ නියෝජ්‍ය නායක සීලන්ගෙන් ප්‍රශ්න කළාම ඔහු මුලතිව් වෙල්ලමුල්ලි වෛයික්කාල් ප්‍රදේශයේ සඟවා ඇති පුපුරන ද්‍රව්‍ය ඇටවූ බෝට්ටු ගැන තොරතුරු හෙළිකළා. පස්සේ අපි ඔහුත් එක්ක ඒවා සොයාගන්න ගියා. මමත් එක්ක සාජන් නන්දසිරි හා සාජන් තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමක් ගියා. අධි බලැති පුපුරන ද්‍රව්‍ය අටවා තිබූ මරාගෙන මැරෙන බෝට්ටු හයක් සී 4 වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 970 ක් අධිබලැති ක්ලේමෝ බෝම්බ 04 ක් අපි සීලන්ගේ මගපෙන්වීම යටතේ ගොස් සොයාගත්තා. මේවා සඟවා තිබුණේ වෙල්ලමුල්ලි වෛයික්කාල් මුහුදු වෙරළ තීරයේ පාරා කියන නැව නැංගූරම්ලා තිබුණ ප්‍රදේශයේ යැයිද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා කීය.  


මුලතිව් ප්‍රදේශයේ හමුදා කඳවුරක් ඉදිරිපිට ප්‍රදර්ශනය සඳහා එල්ටීටීඊයෙන් අල්ලාගත් බෝට්ටුවක් තබා තිබුණා. සීලන් ඒ බෝට්ටුව දැකපු ගමන් කිව්වා සර් ඔය බෝට්ටුවත් මරාගෙන මැරෙන බෝට්ටුවක්. ඕකෙත් සී 04 අධිබලැති පුපුරන ද්‍රව්‍ය අටවා තිබෙනවා කියා. පස්සේ අපි මේ බව ඒ කඳවුරේ හිටිය හමුදා නිලධාරීන්ට දැනුම් දුන්නා. සීලන්ම ඒ බෝට්ටුව පොරවකින් ගසා පලා බෝට්ටුවේ බඳේ සූක්ෂම ලෙස අටවා තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් අපට සොයාදුන්නා යැයි කියා කීවේද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි බෝවල මහතාය.  


එල්ටීටීඊය ක්‍රියාත්මකවූ සමයේ එම සංවිධානයේ මුහුදු කොටි බළකායේ නියෝජ්‍ය නායකයාව සිටි සීලන් මොරවැව ප්‍ර​දේශයේ සිංහල ජනතාවගේද හොඳ මිතුරෙක්.  


සීලන් බිරිඳ හා දරු පැටියා සමග ජීවත්වන්නේ බිරිඳගේ පියාගේ නිවසේම පුංචි කාමරයකය. ඔහුගේ එකම අපේක්ෂාව තමාටම කියා ඉඩමක් මිලදී ගෙන නිවසක් තනාගැනීමටය.  


එහෙත් ඒ අපේක්ෂාව ඉටුකර ගැනීමට ඔහුට හැකිවී නොමැත්තේ මිල මුදල් යහමින් අතේ නොමැති නිසාය. සමහරවිට එය සදාකාලික සිහිනයක්ද විය හැකිය.  


උපපොලිස් පරීක්ෂකවරුන් වන ඒ.එච්. ඒකනායක (විශ්‍රාමික), නිහාල් රාජපක්ෂ (ගම්පොළ කුරුඳුවත්ත පොලිසියේ සේවය කරයි), උපනන්ද තෙන්නකෝන්, පොලිස් පරීක්ෂක සුනිල් යටවර (විශ්‍රාමික) සහ කාන්තා කොස්තාපල් සුජීවා ද මෙම පරීක්ෂණ සඳහා මුල සිටම සහභාගි වී ඇත.  

 

 

 

 


සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප - මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රි