ධර්මයට ළැදි බොහෝ දෙනා මෙන්ම ගිහි සමාජයේ බොහෝ දෙනා අතර උන්වහන්සේ වඩා ප්‍රකට හිමි නමක වන්නේය. ‘‘සුමදුර ස්වරයකින් සිත් නිවන ආමන්ත්‍රනයකින්, කාව්‍ය ධර්ම දේශනා ඉදිරිපත් කිරීම නිසා එලෙසින් බොහෝ සහෘදයින් උන්වහන්සේ ගැන ගරුත්වයෙන් කතා කරති. මානකඳුරේ පඤ්‍ඤාසාර යනු එහිමියින්ය. කාලීන මාතෘකා ඔස්සේ කවි බණ- ඉදිරිපත් කරන උන්වහන්සේ පිය ගුණ-මව් ගුණ අළලා කළ කාව්‍යමය ධර්ම දේශනා ශ්‍රවනය කරන බොහෝ දෙනා අතර ඇති කරවන්නේ මවක - පියකු ගැන වූ නිමකළ නොහැකි භක්ත්‍යාදර හැඟීමකි. ගෞරවනීය හැඟීමකි. වෙසෙසින්ම මවකගේ ගුණය අලලා උන්වහන්සේ කළ කාව්‍යමය දේශනා උතුරා යන මව් ගුණය වඩාත් පහන් වූ සංවේගයක් දනවයි.! මව්වරුන්ගේ දිනය ලෙස අද දින සැමරීම් සිදු කෙරුණද මේ ලෝකයේ ගෙවෙන සෑම දිනක්ම මව්වරුන්ගේම වන්නේය. මානකඳුරේ පඤ්ඤාසාර හිමියන් ඒ අපිරිමිත මව් ගුණය ගැන බොහෝ සෙයින් කාව්‍යමය ධර්ම දේශනා කිරීමට හේතුව සහ උන්වහන්සේ පැවිදි දිවිය ගත කරන විදිහ ගැන අසා දැනගැනීම අපගේ ජීවිතවලට ලොකු අරුතක් සපයාවි!
ප්‍ර අවසර, අපේ ස්වාමින්වහන්ස! ඔබවහන්සේ පැවිදි දිවියට ඒමට හේතු වූ කාරණා හැටියට දකින්නෙ?
අපේ ගම ගාල්ලෙ, යක්කලමුල්ල, මානකඳුර තියෙන්නෙ එහේ. අපේ ගමෙන් වතුරවිල ආරණ්‍යයට අවුරුද්දකට වතාවක් දානයක් දීම සිදුකළා. එතකොට මම හිටියෙ පහේ පංතියෙ. දවසක් මම පාසල හමාර වී ඇවිත් අපේ ගමේ ඒ කට්ටිය එක්ක ආරණ්‍යයට දානය දීමේ අවස්ථාවට සහභාගී වෙන්න ගියා. දානයට කලින් දවසේ ගිහින් එහි නැවතිලා දාන කටයුතු පිළියෙල කිරීම සිදුවෙනවා. ඒ ගිය වෙලාවේ ‘‘පොඩි සාදු’’ කෙනෙක් දැක ගන්න ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු 10යි. එදා ඒ දාන කටයුතු එහෙම ඉවර වෙලා ගෙදර ඇවිත් ඉන්න කොට මටත් මහණ වෙන්න ඕනෑය කියලා කිව්වා. අපි සාමාන්‍ය පවුලක්. තාත්තා නම් කැමති වුණේ නැහැ.
ප්‍ර ඔබ වහන්සේ කී වැනියද?
මම බාලයා. අයියලා හතර දෙනයි. අක්කයි.
ප්‍ර පැවිදි දිවිය පටන් ගත්තෙ.
යක්කලමුල්ල, උඩුමලගල ගංගාරාමය සහ දෙහිවල පාමංකඩ ගංගාරාම විහාරය.මබොටුවන ආදිච්චවංශ නාහිමි, ගෝණදෙනියේ හේමාලෝක නාහිමි, මීගොඩ පඤ්‍ඤාලෝක නාහිමි මගේ ගුරුවරු.
ප්‍ර වත්මනෙහි ඔබ වහන්සේ වැඩ වෙසෙන්නෙ?
ශ්‍රී පාද බිමේ ආරම්භයේ සිට ගත්තොත්, කිලෝමීටර එකහමාරක් විතර දුරකින්.
ශ්‍රී පාද අඩවියේ, 2020දී කොවිඩ් නිසා ලෝකෙම වැසී තිබූ සමයක ගමන් බිමන් යාම පවා අසීරු වුණානෙ. ඒ කාලයේදි තමයි මුලින්ම මම මෙතැනට ආවෙ.
ශ්‍රීපාද අඩවියේ රතුපාලම ළඟ බෞද්ධ මධ්‍යස්ථානයට එන්න කියලා එහි ස්වාමින්වහන්සේ මට ආරාධනා කළා. එතැන් සිට වැඩි කාලයක් ගත කරන්නෙ කඳු පාමුල සිට ගත්තොත් කිලෝමීටර එකහමාරක් විතර උඩට වන්නට ඇති පුංචි ආවාසයක.
ප්‍ර එතකොට දාන එහෙම සපයා ගන්නෙ.
තවත් හිමිනමක් සිටිනවා. අපි දෙනම තමයි අපේ දාන සියල්ල උයා පිහා ගන්නෙ. පසුගිය සිරිපා කරුණා සමයේදී සිරිපා වන්දනා කරන්න වැඩිය ස්වාමීන්වහන්සේලාට අපි දානය පවා පිළියෙල කර දුන්නා. ඒ කටයුතු කරන්නෙ සැදැහැවත් පිංවතුන්ගෙන් ලැබෙන පඬුරු වලින්.
ප්‍ර මේ විදිහට සීත හිමේ, වන ගහණයක, ආවාසයක වැඩ වෙසෙන ඔබ වහන්සේට ඒ ස්වභාවය දැනෙන්නෙ මොන විදිහටද?
මම වැඩියෙන්ම කැමති අවාර සමයෙදි මේ ආවාස භූමියේ වැඩ වෙසෙන්න. ඒ කාලයට වැස්ස. ඒ වගේම කිසිවෙක් එන්නේ නැහැ. ඒ වැස්සට, ගලායන දිය දහරේ සද්දයට, සීත ගඟුලේ නාදයට සතුන්ගේ හඬවල්වලට, ගහ කොළ නංවන නාදයට කොච්චර නම් හිත නිවෙනවද. ඒ නිදහස ඒ නිවීම නේද අප සොයන්නෙ. අප තථාගතයාණන් වහන්සේ ජනිත වුණේ ගහක් යට. ගහක් යට බුදු වුණේ. පළමු ධර්ම දේශනාව කළේ ගහක් යට. ගහක් යට පිරිනිවන් පෑවෙ. ඉතින් ඊට එහා තව වෙන මොනවද මේ පරිසරයෙ නිවුණු ස්වභාවය පවසන්න.
වත්මනෙහි අපි බොහොමයක් ප්‍රශ්නවලට මුහුණදී සිටින්නෙ මේ පරිසරයෙන් ඈත්වීම නිසයි. සියලුම ප්‍රශ්නවලට මුල ඒක. සියයට සියයක්ම අපට පරිසරය හා බැඳී කටයුතු කරන්න බැරි වුණත් යම් තාක් දුරකට හෝ පරිසරය හා බැඳී කටයුතු කරන්න පුළුවනි. ඒත් අද සිදුවෙන්නෙ පරිසරයට සමීප වනවාට වඩා අපි දකින්නෙ මිනිසා විසින් පරිසරය විනාශ කිරීමේ ප්‍රවනතාවයයි. පරිසරයට ආදරය කරනව නම් ඒ ආශීර්වාදය අපට ලැබෙනවා. මිනිස්සුන්ට වෙච්ච ලොකුම ප්‍රශ්නය පරිසරයෙන් සහ සොබා දහමෙන් ඈත්වීමයි.
ප්‍ර මේ විදිහට පරිසරය හා බැඳී හුදෙකලාව සිටින විට ඔබ වහන්සේ විශ්වයේ දකින දේ තිබෙනවාද?
එහෙම එක පාරටම කියන්න බැහැ. මට දැනෙන හැඟෙන එකම දේ හිතේ තියෙන සැනසිල්ලයි. දැනට මට කියන්න පුළුවන් එහෙමයි. ඉදිරි කාලයේදී මීට වඩා දෙයක් පැවසීමේ බුද්ධිය ලැබේවි.
ප්‍ර සතා- සීපාවුන්ගෙන් අනතුරක් නැද්ද?
මම වැඩ සිටින්නෙ කැලේ ඇතුළෙම නොවෙයිනෙ. ඒත් දිවියා -ගෝන්නු එහෙම ඉන්නවා. දිවියා දැක්කෙ නැහැ. ඌරු රංචු, ඉත්තෑවෝ එහෙම දකිනවා. නමුත් කැලේ ඇතුළෙ ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලා වැඩ සිටිනවා. මම සිටින්නෙ හැටන් පාරෙ සිට ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ. හැටන් පාරට වඩා පලාබද්දල- කුරුවිට පාරෙන් යනවිට නිසංසල පරිසරයක් හමුවෙන්නෙ. සිත දියුණු කර ගත් ස්වාමීන් වහන්සේලා බොහොමයක් එහි වැඩ සිටිනවා.
ප්‍ර ඔබ වහන්සේ කවි බණ සී-ඩී සහ කැසට් පට කීයක් විතර සමාජ ගත කර තිබෙනවද?
මුලින්ම පටන් ගත්තෙ 2001 දී කැසට් නිර්මාණවලින්. ඉන්පසුව 2003දී විතර සී.ඩී. තැටිවලට විවිධ ජාතක කතාවලට අනුව කවි බණ නිර්මාණය කළා. මේ ඔක්කොම ගත්තොත් 90 ක් විතර ඇති. ඉන් බොහොමයකට රචනා කළේ ‘මීගල මුදියන්සේ’ මහත්මයා. 2008 දී ස්වර්ණවාහිනියේ අමාදහරටත් සම්බන්ධ වුණා. අපවත් වී වදාල පන්නල ඥානෝලෝක හිමි තමයි මාව අමාදහරට සම්බන්ධ කළේ. ඒ සියලු දේට වඩා 2013 දී නිකුත් කළ අම්මා කවි බණ දේශනා සහිත ‘CD’ තැටිය තමයි පෙරළියක් ඇති කළේ. එය රචනා කළේ මම. අපේ අම්මා අසනීපව අසාධ්‍යව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි මම මට දැනුණ දේ ලියුවේ.
ප්‍ර අදටත් ඒ මව් ගුණය ගැන ඔබවහන්සේ දෙසූ කාව්‍යමය ධර්ම දේශනා බොහෝ දෙනා ශ්‍රවණය කරනවා නේද?
අදටත් ගම් දනව්වල අය එය ශ්‍රවණය කරනවා. එදා වගේම තමයි.
ප්‍ර ඔබ වහන්සේ ඒ කවි ගයන අයුරු අපට දනවන්නෙ, වඩා පහන් වූ හැඟීම්. මව ගැන වූ විශාල ගරුත්වයක්?
ඔබගෙ අම්මට ඔබ ආදරෙයිනෙ. මාත් මගේ අම්මට හරි ආදරෙයි. සිහියක් නැතුව අම්මා සිටින අයුරු කවදාවත් මම දැක තිබුණෙ නැහැ. එදා එහෙම දැක්කාම මට දරා ගන්න බැරිව ගියා. අද තරමට එදා මගේ හිත ශක්තිමත් නැහැ. වට පිටාවේ අය අම්මා මැරේවි කියන අදහස් කියද්දී මගේ අම්මා මට දකින්න නොලැබේවි කියලා එදා මම හිතුවා. අම්මට තව ටිකක් සලකන්න තිබුණා නම්, ඇයව සතුටු කරවන්න තිබුණා නම් හොඳයි කියන සිතිවිලි ඇතිවුණේ. ඒ අදහස එක්ක එක දවසකින් ඒ කවි ලියන්න පුළුවන් වුණා. අපේ අම්මා අපව හදන්න ගත්ත වෙහෙස මහන්සිය-කැපවීම ගැන තමයි ඒ සෑම කවියකින්ම ප්‍රකාශ වෙන්නෙ. ලෝකයේ කොතැනකදිත් අම්මෙකුගෙ ආදරය වෙනස් වන්නෙ නැහැ. ඒ නිසා ඒ කවි බණ ධර්ම දේශනාව හැමෝටම දැනුණා. හැමෝම තමන්ගේ අම්මට ආදරෙයිනෙ.
ප්‍ර ඔබ වහන්සේ මව ගැන කළ ඒ කාව්‍යාත්මක දේශනාවේ කවියකින්ම මේ හමුවට සමුදෙන්න අවසර අපට?
බලන්න අන්න පුතේ බුදු සාදු
කියමින් ඔබ මට දුන්නා හාදු
මතකෙට එනවිට ඔබෙ ගුණ වීදූ
නෙතඟින් කඳුළක් වෙනවා මෝදු
සඳට වඩා සිසලයි මගෙ අම්මා
හිරුට වඩා එළියයි මගෙ අම්මා
මලට වඩා සුවඳයි මගෙ අම්මා
බුදුන් ළඟට බුදුවන මගෙ අම්මා
- සඳුන් ගමගේ -