“පුන් සඳෙන් රැස් ගං තෙරෙන්
කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්
සතුට උදා වේවා...
මිහිර බෙදා දේවා”
පොසොන් මහේ සුබ ප්‍රාර්ථනා රැසක් අරගෙන මෙවර සඳැල්ල ආලෝකමත් කරන්නේ පුරා වසර 60 ක් තිස්සේ සිංහල සංගීත කලාව රසවත් කළ පුන්සිරි සොයිසා නම් ඒ අසහාය ගායන ශිල්පියාගේ දියණිය වන විශාර ද සත්මිණි සොයිසායි.
පුන්සිරි කියන්නේ දුක දිනා ජය ලැබූ, උත්සාහය ශක්තිය කරගත් අතීතයක් තියෙන ශිල්පියෙක්. “එගොඩත් මෙගොඩත් ගම් යා කරලා” ගීතයෙන් තමයි ඔහුගේ හඬ පෞරුෂය 60 දශකයේ රසිකයො දැන හැඳින වැලඳ ගත්තේ.
ඔහුගේ සමකාලීන ශිල්පීන් වේදිකාවෙන් වගේම ජීවිතයෙනුත් සමුගනිද්දී පුන්සිරිගේ ජීවමාන රුව හා හඬ තවමත් නිම්නාද දෙනවා. පියාගෙන් ලද සංගීත දායාදය ගැන අපි සත්මිණි දුවගෙන්ම විමසා බලමු.
කොහොමද සත්මිණිගෙ වාස දේස එහෙම?
අපේ ගම පිළියන්දල. මගේ අක්කා අක්නා පවනි. නංගී විශෝධා උවිනි. දෙන්නටමත් මටත් සින්දු කියන්න පුළුවන්. නමුත් ගායනය කියන විෂය පථය ඉහළට ඉගෙනීමට යොමු වුණේ මං විතරයි. තාත්තා තමයි මගේ පූර්වාදර්ශී ගුරුතුමා. එතුමා සමග මම දිගු ගමනක් යනවා.
තාත්තා ගැන ආඩම්බරද?
අනේ ඔව්. මං පුංචි කාලෙ ඉඳන්ම මගේ වීරයා තාත්තයි. එතකොටත් එයා ජනප්‍රිය තලයේ හිටියා. රටේ ජනප්‍රිය ගායක ගායිකාවන් එයා ඇසුරු කළා. මගේ හැකියාව දැකලා මාව විශාරද අමරසිංහ මුණසිංහ ගුරුතුමා වෙත යොමු කළා. එතුමා යටතේ තමයි ගායනය මෙන්ම වයලින් වාදනය හදාරලා විශාරද විභාගය සම්පූර්ණ කළේ.
තාත්තා සහජ කුසලතාව තුළින් ක්ෂේත්‍රයට ආව කෙනෙක්. ආධුනික ගීත ගායනා තරගවලින් ජයග්‍රහණ රැසක් ලැබුවා. ඊළඟට ගුවන්විදුලියේ සරල ගීත පරීක්ෂණය සමත් වෙලා 1974 දී ‘නොහඬන් ළඳුනේ’ ගීතය තුළින් ලංකාවේ ජනප්‍රිය වුණා. ඒ තැන තාත්තා තවමත් රැකගෙන ඉන්න එක පෙර කුසලයක් කියල මට හිතෙන්නෙ.
පාසල් අවදිය මතක් කළොත්?
මගේ මුල් පාසල මොරටුවේ වේල්ස් කුමරි විදුහලයි. පසුව උසස් අධ්‍යාපනය සඳහා සමුද්‍රදේවි බාලිකා විදුහලට ඇතුළත් වුණා. පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් විද්‍යාවේ දී විශේෂ උපාධිය සම්පූර්ණ කළා.
දැනට ගණකාධිකාරිවරියක් ලෙස පෞද්ගලික ආයතනයක සේවය කරනවා. රැකියාවත් හැකියාවත් සමබරව ගෙන යාම තමයි අරමුණ. ඒ අතර CMA සහ CPM විභාග දෙකත් සම්පූර්ණ කර සාමාජිකත්වයත් ලබා තිබෙනවා.
තාත්තා ගයන ගීවලින් ඔබ කැමතිම මොනවටද?
එහෙම වෙන් කරන්න බෑ. තාත්තා ගයන ගීතවල තේමාවන් පද පෙරළි, සංගීත විලාස, ගැයුම් රිද්ම එකිනෙකට වෙනස් නිසා අසන්නාට රසවිඳින්න ආසයි. සමහර ගී අහලා රසිකයො අහනව ඒ ගීය ගැයුවෙත් පුන්සිරිම ද කියලා. තාත්තා කවුරුවත් අනුකරණය කර හෝ අනුගමනය කරලා නැහැ. හැම ගීයකම අනන්‍යතාව රැකගෙන ඉන්නවා. තාත්තා මුල් කාලේ ගායනා කළ හැකියාවෙන්ම අදටත් ගායනා කරනවා. ඒ වගේම අදටත් ප්‍රසංගවල අඩුවක් නෑ. තාත්තා සමග රූපවාහිනී වැඩසටහන් රැසකට මා සහභාගි වී ගී ගයනවා. ගෘහස්ථ ප්‍රසංගවලට ඇරයුම් එමටයි.
ඒ වුණාට අලුත් පරපුරේ වින්දනය වෙනස්නෙ?
මං හිතන්නෙ එම මතය තාත්තට අදාළ වෙන්නෙම නෑ. මොකද යොවුන් ප්‍රේමය ගැන වගේම යොවුන් ප්‍රේම වියෝගය ගැනත් තාත්තා හදවතට දැනෙන්න ගීත ගයනවා. සමහරු කියනවා තාත්තා “යොවුන් ගායකයා” කියලා.
බලන්නකො “නොහඬන් ළඳුනේ” (ගෘහස්ථ ප්‍රේමය), “එකම මගක පියවර මැන යන්නයි” (යොවුන් ප්‍රේමය), “සෙව්වන්දියකට පෙම් බැන්දා” (ප්‍රේම වියෝගය), “බිඳුණු කලක අමතක කළ” (වියෝගය දරා ගැනීම), “බිඳුවක් ඉවසා අහන්න හිතවත” (සෞම්‍ය ප්‍රේමය) වැනි ගීත තරුණ පරපුර මෙන්ම වැඩිහිටි රසිකයොත් ඉල්ලනවා.
“සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රසවින්දා
අතු අග කටු මත කටුක බව දැනී
හදවත පාරයි වේදනා”
බලන්න කොච්චර සරල සුගම පද ද කියලා. තාත්තාට තාරුණ්‍යය තවමත් දැනෙනවා.
ප්‍රසංගවලදි ප්‍රතිචාර කොහොමද?
මමත් තාත්තා සමග ප්‍රසංග වේදිකාවේ ඉන්න නිසා පෙනෙනවා දැනෙනවා රසිකයන්ගෙ හැඟීම්. ඒ විතරක් නොවෙයි තාත්තා මේ රටේ තරුණ සංගීත කණ්ඩායම් රැසක් සමග මෙන්ම පරිණත කණ්ඩායම් රැසක් සමගත් වෙනස් නැතිව ගී ගයන කෙනෙක්. ඔවුන් තාත්තාට ගී ගයන්න ඇරයුම් කරන්නේද ඔහුගේ දෙපා නමස්කාර කරලයි. තාත්තට හැමෝම දූ දරුවො වගෙයි.
තාත්තා සමග ඔබ ලැබූ අත්දැකීම්?
මමත් තාත්තගෙ ගීත ගායනා කරනවා. යුග ගීතවලටත් තාත්තට ඕනෑ මාවයි. සියත ටීවී, යූටියුබ්, ටික් ටොක්, Instagram, තරු පිරි රෑ, ඇතුළු සෑම රූපවාහිනී චැනලයකම අපේ සංවාද හා ගායනා රැඳී තිබෙනවා. ජාතික රූපවාහිනියේ නුග සෙවණෙ “කැදැල්ලක සඳැල්ල”, හිරු අවුරුදු සාජ්ජේ වැනි වැඩසටහන් රාශියකම අපි සජීවීව ගී ගැයුවා.
මෙරට විතරක් නොවෙයි විදෙස් සංචාර කිහිපයකම රසික ජනතාව පිනවීමට අපි දෙන්නා ඇතුළු පිරිස ගියා. තාත්තගෙ පරණ ගී අහන්න එයාලා ආසයි. සත්මිණි සමග සංවාදයේ යෙදෙන අතරේ ගුවන්විදුලි නාළිකාවක ගැයුණු ගීයක් මගේ සවන වැකුණා.
“කවදාද ඉතින් යළි හමුවන්නේ
මේ සංසාරේ දෙන්නා ආයේ
රෑ සිහින ලොවේදී හිනැහෙන්නේ
මා හඬවන්නේ ඇයිදෝ ළඳුනේ...”
මෙම යුග ගීතයේ සහාය ගායිකාව මමයි. පෙම් සිතුවම් කැසට් පටයට ගැයූ ගීතයක්. තාත්තා සමග සමාජ මාධ්‍ය රැසක ගී ගැයීමට මට වාසනාව ලැබුණා. හික්කඩුවේ ෂයිනි සංගීත කණ්ඩායම සමග අපි ළඟදි ගැයූ “මේ බස් නැවතුම” ගීතයට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා.
තව කවුද ඔයාගෙ දියුණුව පසුපස ඉන්නෙ?
අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෑ පාසලේ දී මගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කළ ගුරුවරුන්, සංගීත විශාරද ගුරුතුමන්ලාත්, මගේ සහෝදරියෝ. ගායන ක්ෂේත්‍රයේ නැතිවුණත් ඔවුන්ගේ සහයෝගය ලැබෙනවා. ඔවුන් රාජ්‍ය ආයතනවල සේවය කරනවා.
මගෙ අම්මා කුමුදිකා පෙරේරා මගේ සංගීත අධ්‍යාපනයට උනන්දු වුණා. ඒ වගේම මගේ ස්වාමිපුරුෂයා රන්දුල නානායක්කාර රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කරනවා.
ඉදිරියෙදිත් තාත්තත් එක්කද සංගීත ගමන යන්නෙ?
තාත්තගෙ ආශීර්වාදය ඇතුව ස්වතන්ත්‍ර ගී රැසක් රසික ජනතාවට හඳුන්වා දීමටයි මගේ සිහිනය. ඒ වගේම තාත්තගෙ ගීතයක් මගේ හඬින් ගයන්න සැලසුම් කරගෙන යනවා රූප රචනාවකුත් සමග.
අනිත් කාරණේ මං ගොඩක්ම කැමති සරල ශාස්ත්‍රීය ගී වලටයි. මං හිතන්නෙ මං හැදුණු පරිසරය නිසා වෙන්න ඇති. අදටත් ප්‍රවීණ පැරණි ශිල්පීන්ගෙ ගීත රසවිඳිනවා.
පුන්සිරි සොයිසා කියන්නෙ කොහොම චරිතයක් ද?
තාත්තා සුහදශීලී නිහතමානී චරිතයක්. සරලව ජීවත් වෙන නිහඬ කෙනෙක්. මගේ සීයා නම් කලාවට සම්බන්ධ නැහැ. ඒත් තාත්තව සින්දු කියන්න උනන්දු කරලා තියෙන්නේ එයාලු.
තාත්තා විවිධ රැකියා රාශියක් කළා. රැකියාවට වඩා හැකියාවට සමාජයේ තැන ලැබුණු නිසාම වෙන්න ඇති වෘත්තීය ගායන ශිල්පියෙක් වුණේ.
මං විභාග සමත් වන වාරයක් ගාණේ තාත්තා මට සංගීත භාණ්ඩයක් තෑගි කරන්න අමතක කළේ නෑ. ශිෂ්‍යත්ව විභාගෙ පාස් වුණාම එයා මට වයලිනයක් තෑගි දුන්නා. ඒක තාම මා ළඟ තියෙනවා. උසස් පෙළ සමත් වුණාම තාත්තා දුන්නෙ ගිටාරයක්. තාත්තා අනිත් පියවරුන්ටත් ආදර්ශයක් නේද? දරුවකුගේ කුසලතාවලට ගැළපෙන දේවල් අරන් දෙන්න තරම් එයා සංවේදී චරිතයක්.
තව මොනවද අලුත් පරපුරට කියන්න තියෙන්නෙ?
අලුත් අයට මං කියන්න කැමතියි සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවර චරිතයක් වෙන්නට නම් ඒ ගැන හැදෑරීමක් කරන්න කියලා. එතකොට දිගු කලක් රැඳෙන්න පුළුවන්. ඒ වගේම වෙනස් තේමා සහිත පද රචනා, අලුත් සංගීත රටා සමග ගීත කිරීමට පෙලඹුණොත් හොඳ ගමනක් යන්න පුළුවන් වේවි. එසේ පවසමින් සත්මිණි සඳැල්ලෙන් සමුගත්තා.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි