ශිව දුන් වරය පරිදි භාෂ්මසුර අළු ගොඩක් වෙයි


භාරත දේව සභාව

​කෛලාෂ මැදුරේ විවේකීව ගතකළ සැඳෑවකදී ශිවට අමුත්තක් දැනිණි. යම් කිසිවකු තමා වෙනුවෙන් යාච්ඤාකරන හැම ​දිනකම ශිවට ඒ අමුත්ත දැනේ.   


වහා වාඩි වී සිටි පුටුවෙහිම සැහැල්ලුවට වැතිරගත් ශිව දෙනෙත් පියාගත්තේය. තමන්ට යාච්ඤා කරන්නේ කවුදැයි යන්න එවිට ශිවගේ සංසුන් මනසට දැනෙන්නේය. 
  
“භාෂ්මසුර” ශිව තමන්ටම කියා ගත්තේය.
“මොකටද භාෂ්මසුර මට යාච්ඤා කරන්නේ.”   


භාෂ්මසුර යනු අසුරයෙකි. අසුර ලෝකයෙහි ප්‍රබලයකු වීමට සිහින දකින ඔහු ඒ වෙනුවෙන් ශිවගෙන් වරයක් ඉල්ලීමට අදහස් කළේය. භාෂ්මසුර ශිවට යාච්ඤා කරන්නට පටන්ගත්තේ ඒ නිසාය.   
මේ යාච්ඤාව ඇසුණු ශිව, වහා ඊට සවන් දුන්නේය. තමන්ගෙන් යම් වරයක් ඉල්ලා යාච්ඤා කරන බැතිමතා දෙවියකු වුවද අසුරයකු වුවද නොඑසේ නම් මනුෂ්‍යයකු වුවද ශිවට කිසිම ගැටලුවක් නැත. තම බැතිමතුන් වෙනුවෙන් පිහිටවීමට ඉදිරිපත් වන්නේය.   


දින ගණනක් තිස්සේ, දිනකට හෝරාවක පමණ කාලයක් තමන් වෙනුවෙන් යාච්ඤා කරන භාෂ්මසුරගේ භක්තිය ගැන ශිවට සැකයක් නොවීය. ඔහු වහා භාෂ්මසුර ඉදිරියේ පෙනී සිටියේය.
“භෂ්මසුර දෑස් විවර කරන්න” ශිව කීවේය.   


ඒ මෘදු දයාබර හඬට වසඟ වූ භාෂ්මසුර දෙනෙත් විවර කළේය. ඒ මොහොතේ ඔහු දුටුවේ ඇස් තුනක් සතු උත්තම දෙවියන්ය. ශිවගේ රුව දුටු සැණින් භක්තියෙන් උතුරා ගිය භාෂ්මසුර බිම වැටී වැඳ වැටුණේ දෝතම එකතු කරමිනි.   


“දෙවියනි, එසේ නම් අවසානයේ ඔබ මා වෙත පැමිණියා.”   


භාෂ්මසුර කෙඳිරීය.   


ශිව ප්‍රසන්න ලෙස සිනහසුණේය.   


“ඔබ මා වෙනුවෙන් යාච්ඤා කළා, එබැවින්ම ඔබ වෙත පැමිණියා. ඉතින් ඔබ මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද භාෂ්මසුර?”   


“උතුමාණනි මා බලාපොරොත්තු වන්නේ සදාකාලික බව.”   


ශිව තම හිස දෙපසට සැලුවේය   


“නෑ භාෂ්මසුර එය සොබාදහමේ නීතියට පටහැණි දෙයක්. මෙලොව බිහිවන යම් දෙයක් ​ෙවතොක් එහි අවසානයක් ද තිබිය යුතු වෙනවා. උපන්නොත් මිය යා යුතුමයි.”   
එහෙත් භාෂ්මසුර, ශිවගේ කියමන අවබෝධ කරගත්තේ නැත.   


ඔහුට අවශ්‍යව තිබුණේ කෙසේ හෝ සද‌ාකාලිකත්වය ලබාගැනීමටත් තම බලය බොහෝ සේ වර්ධනය කර ගැනීමටත්ය. ඔහු ශිව දෙස බලා සිටියේ කෙසේ හෝ ඔහුගේ මානසිකත්වය වෙනස් කරගෙන තම බලාපොරොත්තුව ඉටුකර ගැනීමටය.   


“උතුමාණනි, එසේ නම් මට බලයක් ලබා දෙන්න. යම් කිසිවකුගේ හිසට මගේ සුරතින් යම්තම් හෝ තට්ටු කළොත් ඒ තැනැත්තා අළු බවට පත්කර ගැනීමේ විශ්මිත බලය ලබා දෙන්න.”   
භාෂ්මසුරගේ මේ අමුතු ඉල්ලීම නිසා ශිව පෙරටත් වඩා පුදුමයට පත්වූයේය. භාෂ්මසුර​ෙග් මේ ඉල්ලීම බොහෝ භයානකය. එවැනි බලයකින් ලෝකයටම අවැඩක් වන්නට ද පුළුවන.   


එසේ වුවත් භාෂ්මසුර සෑහෙන කාලයක් තිස්සේ තමාට භක්තිය දැක්වීය. දිගින් දිගටම යාච්ඤා කළේය. ඔහුගේ භක්තිය සුළුකොට තැකිය නොහැකි වූ බැවින් ශිව ඊළඟ මොහොතේ භාෂ්මසුර දෙස බැලුවේය.   
“හොඳයි, ඔබට ඒ වරය ලැබෙනවා.”   


ශිව, තම බැතිමතාට ආශිර්වාද කළේය. භාෂ්මසුර සතුටට පත්විය.
“දැන් මම බොහොම බලවත්. ලෝකයේ අන් සියලුම දෙනාට වඩා මගේ බලය වැඩියි. උතුමාණනි, මගේ බලය ඔබේ බලයටත් වඩා වැඩියැයි මා හිතනවා”   
ශිව හිස සැලුවේය.   


“ඔව් මා ඔබට ආශිර්වාද කළා.”   
“එසේනම් උතුමාණනි, මට දැන් අවශ්‍යව ඇත්තේ මගේ බලය ඔබේ බලයටත් වඩා වැඩිදැයි සොයා බැලීමටයි. මට අවශ්‍යයි ඔබේ හිස මත අතතබා ඔබ අළු ගොඩක් බවට පත්වන්නේදැයි දැන ගැනීමට”   
භාෂ්මසුර කීවේය.   


ඒ කතාව සවනට වැටුණු විගස ශිව කලබල විය.   
“ඔබ උමතුවෙන්ද?”   


ශිව භාෂ්මසුර දෙස බැලුවේ බියමුසු දෙනෙතිනි.   
එවිටම භාෂ්මසුර තම අතකුත් ඔසොවාගෙන ශිව වෙත එන්නට විය. වහා ආපසු හැරුණු ශිව වේගයෙන් දුවන්නට පටන් ගත්තේය.   
“දුවන්න එපා.”   


භාෂ්මසුර එසේ කියමින් ශිව පසුපස ලුහුබඳින්නට පටන් ගත්තේය.   
හතිදමමින් දිවගිය ශිවට, තමන් කළේ අනුවණ ක්‍රියාවක් බව පසක් විය.   


“මං කළේ මෝඩකමක්.” ශිව තමන්ටම කියාගත්තේය.   


“මම කළ වැඩෙන් දැන් කොහොමද මම ගැලවෙන්නෙ?”   
ශිව තමන්ගෙන්ම විමසුවේය.   


“ඔහු මගෙ ඇඟට අත තිබ්බොත් මං අළු ගොඩක් බවට පත්වෙයි.”   
ශිව තමන්ටම කියාගනිමින් පසුපස බැලුවේය.   


භාෂ්මසුර තමන් ලුහුබඳින්නේ සුරත තමන් වෙත දිගු කර ගෙනය. 

 
තමා ළඟින්ම එන භාෂ්මසුර දුටුවිට ශිව තම වේගය වැඩි කළේය.   


දුවගෙන දුවගෙන යන ඔහුට එක්වරම විෂ්ණු සිහිපත් විය.   
“නාරායන, නාරායන කරුණාකර මට පිහිටවන්න” ශිව ​ෙකඳිරීය.   


එවිටම හමුවුණු වනාන්තරයේ ගස් ගොම්මනක සැඟවීගන්නට ශිවට හැකිය.   


ශිව කොහේ ගියාදැයි නොවූ බැවින් භාෂ්මසුර ඒ වනගහනය අද්දර නතරවූවේය. ඔහු වට පිට බැලුවේ ශිව කොහේද කියා සොයන්නටය එහෙත් එවිටම වනයෙන් එළියට පැමිණියේ සුන්දරම කාන්තාවකි.   
ඇගේ සුන්දරත්වය කොයිතරම්දයත්, භාෂ්මසුරට සියල්ලම අමතක විය. දුහුල් ​ෙස්ලයෙන් වැසුණු ඇගේ පුන් පියොවුරු ගිරි දෙකක් වැන්න. භාෂ්මසුර ඒ හංසගිරි දෙස බලා සිටියේ දෙනෙත් විශාල කරගෙනය.   
ඇගේ මුහුණු සඳක් මෙන් පියකරු විය. ඒ සඳ මුහුණ මැද දිලුණු ඇස් දෙක තරු දෙකක්මය.   
“ඔබ කව්ද?”   


දිගු කරගෙන සිටි අත පහතට දැමු භාෂ්මසුර විමසීය.   
කාන්තාව සිනා නැගුවේ ඇස් දෙකද නටවමිනි ඒ ඉඟිබිඟි වලින් භාෂ්මසුර උමතුකරමිනි.   
“මට කියන්න ඔබ කව්ද කියා” කාන්තාව ඇසුවාය.   


ඇගේ කටහඬ කිව නොහැකි තරම් මිහිරිය. කිසිම නාග කන්‍යාවකගෙන් ඒ සා මිහිරි කට හඬක් අසන්නට භාෂ්මසුරට බැරිවිය. ඒ නිසාම මේ ප්‍රිය තෙපුල්වලට ඔහු කන්දුන්නේ ලෝලකමෙනි.   
“ඔබ කව්ද?” ගැහැනිය යළිත් විමසුවාය.   
වේගයෙන් හුස්ම ගත් භාෂ්මසුර අමාරුවෙන් කටහඬ අවදි ක​ෙළ්ය.   
“ම මම ද මම භාෂ්මසුර.”   


“භාෂ්මසුර.” ගැහැනිය කී​ෙව් ඇස් දෙක නටවමිනි.
“එහෙනම් මේ උදාවෙලා තියෙන්නෙ ඔබට මා හඳුන්වා දෙන්නට සුදුසු මොහොත.”   
“ඇත්තටම ඔබ කව්ද සුන්දර ලලනාවනි?”   


“මම මෝහිනී.” කාන්තාව පැවසුවාය.   
“ඔබ කැමති නැද්ද මා සමඟ විවාහවීමට.”   


භාෂ්මසුර පහව නොගිය අනුරාගී හැඟීමෙන් විමසීය.   
මහ හඬින් සිනාසුණ මෝහිණී ආපසු යන්නට හැරුණාය.   


ඇවිද යන වේගයට මෝහිණීගේ නිතඹ සැලුණේය. ඒ අසිරියෙන් මත් වූ භාෂ්මසුර දිගින් දිගටම මෝහිණීගේ ආල හැඟුම් වර්ධනය කර ගැනීමට වෙහෙසුණේය.   
ඔහු නොයෙක් දෑ ඇගෙන් ඇසුවේය.   

 

 

“මෝහිණී, ඔබ දන්නවද මට හිතෙන දේ?” භාෂ්මසුර ඇසුවේය.   
“ඔබ සතු ලස්සන ගැනයි මං හිතුවෙ. ඇත්තටම මම ඔබව විවාහ කරගැනීමට කැමතියි.”   


“භාෂ්මසුර මම හොඳ නර්තන ශිල්පිනියක්. ඒ වගේම මම තාම තරුණයි. ඉතින් මගේ සැමියා වන පුද්ගලයා අනිවාර්යයෙන්ම මා සමඟ නර්තනයේ යෙදෙන්නට ඕනෑ.”
භාෂ්මසුර සැලිණ.   


ඔහු කවදාවත් නර්තනයේ යෙදුණු පුද්ගලයෙක් නොවේ. නටනවා තබා තාලයකට අඩියක් තැබීමටවත් ඔහුට පුළුවන්කමක් නැත.   


“හරි මම ඔබ සමඟ නර්තනයේ යෙදෙන්නට ඉගෙනගන්නම්” භාෂ්මසුර කෙඳිරීය.   


“හොඳයි, එහෙනම් මම ඔබට නර්තනය උගන්වන්නම් ඔබ මා අනුව ඔබේ අත් පා තබන්න ඒ අනුව ක්‍රමයෙන් ඔබටත් දක්ෂ ලෙස නටන්නට හැකි වේවි. එවිට මා ඔබ සමඟ විවාහ වෙන්නම්.”   
ඊළඟ මොහොතේ මෝහිණී සහ භාෂ්මසුර එක්ව නටන්නට පටන්ගත්හ. මෝහිණී අතිදක්ෂ ලෙස නර්තනයේ යෙදුණු අතර විටෙක ඇය ළය මඬල සෙලෙව්වාය. එවිට ඇගේ රූසපුව උමතුවෙන් මෙන් සෙලවිණි. තවත් වරෙක ඇය නැටවූයේ පුළුල් වූ නිතඹයි. ඇගේ නර්තන ලීලා දෙස බලා සිටි භාෂ්මසුරද ඒ අයුරින්ම නටන්නට උත්සාහ ගත්​ෙත්ය.   


එක් මොහොතක මෝහිණී තම සුරත සිය හිසමත තබාගත්තාය. ඒ නර්තන ලීලාවම අනුගමනය කළ භාෂ්මසුරද තම සුරත ඔහුගේම හිස මත තබා ගත්තේය.   


ශිව දුන් වරයට අනුව භාෂ්මසුර සැණෙකින් අළු ගොඩක් බවට පත්වන හැටි මෝහිණී බලා සිටියාය.   


ඒ මොහොතෙහිම ශිව එතැනට දිව ආවේය.   


“ඔබට ස්තුතියි” ශිව කීවේය.   


“ඔබ යමක් කරන්නට කලින් ඉතා හොඳින් ඒ ගැන සිතා බලන්නට පුරුදුවෙන්න ඔබ ඔබේ බැතිමතුන්ට ඔවුන් ඉල්ලන ඉල්ලන වරය ලබා දීමෙන් ලෝකයට සිදුවන්නේ අනර්ථයක්.” මෝහිණී ගේ වේෂය ගත් විෂ්ණු පැවසුවේය.   


ශිව එකඟතාවය පළකරමින් හිස සැලුවේය.   


විෂ්ණු සිය මැදුරට පිටත්ව ගිය පසුව ශිව කෛලාෂ මැදුරට ගියේ අනූනවයෙන් තම ජීවිතය බේරාගැනීමට හැකිවීම ගැන සතුටට පත්වෙමිනි.   

 

 

 

 


ශාන්ත කුමාර විතාන