වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වූව ද – ලේඛකයෙකු , ගී පද රචකයෙක්, චිත්‍රපට නිශ්පාදකවරයෙක්, නළුවෙකු, කථිකාචාර්ය වරයෙක්, වශයෙන් පමණක් නොව අති දක්ෂ ගොවියෙකු යනාදී වශයෙන් භූමිකාවන් රැසකට පණ පොවන විරළ ගනයේ නිපුණතා සහ චරිතාංග ඇති තැනැත්තෙක් ගැනයි මේ සටහන.
වෛද්‍ය අසේල විජේසුන්දර කියන්නෙ එවැනි පුද්ගලයෙක්. ඉතින් අපි හිතුවා මුලින්ම ඔහු ගැන විස්තර ටිකක් අහලා දැනගන්න.
"මේ වන විට මම ජ්‍යේෂ්ඨ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු විදිහට වැඩ කටයුතු කර ගෙන යනවා. ඊට අමතරව මට අයත් Rosewood රෝහල් සමූහයේ පරිපාලන අධ්‍යක්ෂකවරයා වශයෙනුත් කටයුතු කරනවා. මගේ වෘත්තීය ජීවිතේ තවත් ඉතා වැදගත් අංගයක් තමයි ගොවියෙක් වශයෙන් ද කටයුතු කිරීම. ඒ වගේම මම ලේඛකයෙකු, ගී පද රචකයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, නළුවෙක්, දේශන පවත්වන ගුරුවරයෙක් සහ විචාරකයෙක් ද වෙනවා කීවොත් නිවැරදියි. ප්‍රවීණ ගායනවේදීන් වෙන විශාරද කසුන් කල්හාර, විශාරද අමරසිරි පීරිස්, සමන් ලෙනින් වගේ අය මා රචනා කළ ගී ගායනා කරලා තියෙනවා.”
අසේල විජේසුන්දර නම් වූ සුන්දර මිනිසා “සඳැල්ල” සමග දොඩමලු වෙමින් අප ඇරයුම පරිදි ඒ අයුරින් ස්වයං හැඳින්වීමක් සිදුකළා.
ඒ අයුරින් ජීවිතය නමති රඟමඬලේ භූමිකා රංගනයන් කීපයකට සමවැද සිටින ඔහු - මූලිකව Rosewood රෝහල් සමූහයේ පරිපාලක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා කීවොත් වඩාත් නිවැරදියි. එහි ඇති විශේෂත්වයක් තමයි එම ආයතනයට සමගාමීව සහ සහසම්බන්ධව ආයතන ගණනාවක් පැවතීම. ඒ අතර අලුතින්ම පටන් ගත්ත “සොබාදහම” කියන ආපනශාලාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම ආපනශාලාවේ විශේෂත්වය වෙන්නේ ඔහුගෙම ගෙවත්තෙන් නෙළා ගන්න කාබනික අස්වැන්නෙන් ආහාර සැකසීම. ඔහු පවසන විදිහට රෝගීන්ට මෙන්ම ජනතාවටත් ගුණාත්මක ආහාර වේලක් ලබා දීමේ අරමුණින් තමයි, මේ ආපනශාලාව ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම Rosewood ආයතනයට සමගාමීව රූපලාවණ්‍යාගාරයකුත් තියෙනවා.
වර්තමානයේ මෙවැනි දැවැන්ත ආයතනයක් පරිපාලනය කරන ඔහු මේ තත්ත්වයට එන්න මුහුණ දුන් දුෂ්කරතා සහ අභියෝග රැසකි. ඒ පිළිබඳව අසේල සිය මතකය අවදි කළේ මෙලෙසින්.
“මගේ ගම නාගොල්ලාගම. මම ඒ ගමේ උපදින්නේ දුෂ්කරතා රැසක් මැද. ඒක ගොවිතැනට හරියට වතුර පොදක්වත් නොලැබෙන කර්කශ භූමියක්. එහෙම ඉපදිලා ගොඩක් අභියෝග මැද තමයි අද මම මේ ඉන්න තැනට ආවේ. මම පොඩි කාලේ පාසල් ගියේ නාගොල්ලාගම මහා විද්‍යාලයට. පොඩි කාලේ මම ඉගෙන ගන්න දක්ෂ කෙනෙකු නෙවෙයි. ගොවිතැන් කරන්න තමයි මම කැමැත්තෙන් හිටියේ. හැබැයි ජීවිතේ සහ පාසල ඇතුළේ සිදුවෙන හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක් නිසා මට ඉගෙනීමට උනන්දුවක් ඇති වෙනවා. ඊට පස්සේ මම කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ඇතුළත් වෙනවා. උසස් පෙළට මම ජීව විද්‍යාව කරන්නේ අඩුම සුදුසුකම් තියෙන ශිෂ්‍යයා විදිහට. ඒ පාසලේ ඉඳලා මගේ ගෙදරට දුර 72Km ක් තියෙනවා. මම හැමදාම ඒ දුර ගෙවා ගෙන යනවා. ඒ විදිහට ඒ හැම දුෂ්කරතාවටම මම ගොඩක් අභියෝග මැද සාර්ථකව මුහුණ දෙනවා. ඊට පස්සේ මට උසස් පෙළින් පළවෙනි පාර ලැබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒත් මට යන්න ඕනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නිසා මම ආයෙ වතාවක් උත්සාහ කරනවා. හැබැයි ඊළඟ පාරත් මට ලැබෙන්නේ ඒ විශ්වවිද්‍යාලය. කොහොම හරි අවස්ථා තුනක් උත්සාහ කරලා මට තුන්වෙනි වතාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දන්ත වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න ලැබෙනවා. ඒ කාලෙ දි තමයි මම කලාවට නැඹුරු වෙන්නේ. මම කැම්පස් එක ඇතුළෙ දි දේශන වලට විතරක් කොටු වෙන්නෙ නැහැ. කැම්පස් ජීවිතේ දි බාහිර ක්‍රියාකාරකම් හැම එකක්ම වගේ කරමින් විඳින්න පුළුවන් හැම දේම අත් විඳිනවා.”
“මට දන්ත වෛද්‍යවරයෙකු ලෙස පළවෙනි පත්වීම ලැබෙන්නේ ගොඩක් දුෂ්කර රෝහලකට. ඒ වකවානුවේ මගේ තාත්තා මරණාසන්නව රෝහල් ගත කරලා ඉන්නේ. මම ඒ හැම දේටම මුහුණ දෙන ගමන් සේවය කරනවා. පසුකලෙක මම මගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් එංගලන්තයට යනවා. එතැනින් පටන් ගෙන රටවල් ගණනාවකට මම මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගිහින් තියෙනවා. එතකොටත් මම ගොඩක් පහළ ආර්ථික මට්ටමක ඉන්නේ. ඒ නිසා ඒ රටවල දී මම විවිධ රැකියා කරලා තියෙනවා. තාමත් මට ලන්ඩන් වල අස්සක් මුල්ලක් නෑර මතකයි. කොහොම හරි ඉගෙන ගෙන අවසන් වෙලා මම නැවත ලංකාවට ඇවිත් රෝහල් ගණනාවක වැඩ කරනවා. අවසානයේ කොළඹ දන්ත වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස වැඩ කරලා කල් ඇතුව විශ්‍රාම යනවා. ඒ මගේම කියා පුද්ගලික රෝහලක් ආරම්භ කිරීමේ අරමුණෙන්. Rosewood නමින් එය ආරම්භ කළා. අද වෙන විට ශාඛා කීපයකින් සමන්විත රෝහල් ජාලයක් තෙක් එය සංවර්ධනය වී ඇති බැව් සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.”
ඔහු ගොවිකමට නැත්නම් ගොවිතැනට දක්වන්නෙත් විශාල ඇල්මක් හා ගෞරවයක්. වෛද්‍ය උපාධිවලට අමතරව පරිපාලනය සම්බන්ධ උපාධි කීපයක්ම විදේශීය විශ්ව විද්‍යාල වලින් ලබාගෙන ඇති ඔහු ඒ දැනුමෙන් Rosewood ජාලය සාර්ථක කර ගත් බව පවසයි. මේ ගොවිතැන ගැන ඔහු කියන කතාවයි.
“මගේ තාත්තා ගොවියෙක්. මම පාසල් යන කාලේ ඉඳන්ම ගොවියෙක් විදිහට වැඩ කළා. තවමත් මම කෘෂිකර්මාන්තය පිළිබඳව දැනුම සොයා යනවා. ඒ ආසාව නිසා තමයි තවමත් මම ගොවියෙක් විදිහට ඉන්නේ."
මෙලෙස නොයෙක් ක්ෂේත්‍රවල දස්කම් දක්වන ඔහු - එළඹෙන අගෝස්තු මස 10 වෙනි දින, “යාත්‍රාව ස්නේහයේ” නමින් සිය අඩ සියවසක ජීවන මං සැරිය ඇතුළත් පොතක් එළි දැක්වීමට නියමිතව ඇත. එය ද ඔහු මෙන්ම විචිත්‍ර අමුතුම ආරෙක කෘතියකි.
ජ්‍යේෂ්ඨ මහාචාර්‍යවරු ඇතුළු ආචාර්ය මණ්ඩල සාමාජිකයින්, වෘත්තීයවේදීන්, ජ්‍යේෂ්ඨ සම්භාවනීය කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙක් සම්බන්ධ තොරතුරු ද සහිතව එළි දැක්වීමට යන මෙම කෘතිය පිළිබඳව ද අප ඔහු ගෙන් විමසුවා.
“ඕනෑම පුද්ගලයෙක් ගේ ජීවිතේ අපිට ඉගෙන ගන්න හොඳ සහ නරක දේවල් තියෙනවා. මම පොඩි කාලේ ඉපදිලා හැදුණු වැඩුණු පරිසරය සහ විඳි දුෂ්කර අත්දැකීම් ඔස්සේ වර්තමානයේ මම ඉන්න තත්ත්වයට ආපු ගමන් මග ගැන වර්තමාන පරපුරට අත්දැකීමක් ගන්න පුළුවන් විදියට මගේ කතාව පොතක් විදිහට ලියන්නැයි මගේ ඥාති හිතවතුන් නිරතුරුව මගෙන් ඉල්ලුවා. මේ ඒකේ ප්‍රතිඵලයක්.”
“මේ පොත ලේඛකයන් තිදෙනෙකු ගේ එකතුවකින් ලියැවූවක්. හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථයක් වුණු පූජ්‍යපාද බුලත්සිංහල සිරි ඥානරතන ස්වාමින් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්ය ගයන්ත දුෂාන් කරුණාතිලක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථිනියක් වන තිලංගනී මානෙල් ජයකොඩි යන තිදෙනායි ඒ. මේ තුන් දෙනාම හොඳ කවියෝ. මම 2023 අමිල තේනුවර උදෙසා කරපු අමිල කෘතියට මේ තුන් දෙනා ගෙන් මට සහයෝගය ලැබුණා. ඒ තුන්දෙනා ගේ උනන්දුව හා කැපවීම මත තමයි මගේ ජීවන කතාව පොතක් විදිහට එළි දක්වන්නේ.”
මේ පොතේ මගේ ගමේ මම කුඩා කාලේ අත් විඳපු ජීවිතේ, අධ්‍යාපන ගමන් මග, දෙස් විදෙස් ජීවිතය, වෘත්තීය ජීවිතේ, මම අද දක්වා පැමිණි ගමන් මඟ, වගේම මගේ කලා ජීවිතය යනාදිය විශේෂයෙන් හුවා දක්වලා තිබුණත් - මේකෙ වැඩිපුරම තියෙන්නේ සාමාන්‍ය චරිතාපදානයකට වඩා එහා ගියපු වෙනම ජීවන කියවීමක්. මේ කතුවරු තුන් දෙනා මගේ ජීවිතේ වැදගත් සන්ධිස්ථාන අරගෙන ඒවා ඔස්සේ සාහිත්‍යමය නිර්මාණයක් විදිහට තමයි පොත ලියලා තියෙන්නේ. මගේ හොඳ වගේම තියෙන අඩුපාඩු දුර්වලතාත් මෙහි ඇතුළත්. ඒ වගේම පොතේ මගේ චරිතය මතු කරනවට වඩා සමාජයට හරවත් දෙයක් දෙන්නේ කොහොමද කියන එක තමයි මතු කරලා තියෙන්නේ. ඒකයි පොතේ විශේෂත්වය. ඒ වගේම පොතේ තවත් විශේෂත්වයක් තමයි කතුවරු තුන් දෙනා පොත ලියන්න කළින් මම හැදුණු වැඩුණු, අධ්‍යාපනය ලැබු ස්ථානවල ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවලත් නිරත වුණා. මොකද ඔවුන්ට සියැසින් දැකලා මගේ අත්දැකීම්වලට කිඳා බහින්න අවශ්‍ය වුණා. ඒ වගේම පොතේ අමතර පරිච්ඡේදයක් විදිහට මාව දන්න අඳුනන සහෘදයන්, කලාකරුවන් සහ ගමේ ගැමියන් ගැන පවා ලියලා දුන්නු ලියවිලි මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඒ වගේම මේ පොත එක පැත්තකින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක්, තව පැත්තකින් සාහිත්‍ය ග්‍රන්ථයක්. තවත් පැත්තකින් ධනාත්මක චින්තනය හා පුද්ගල අභිප්‍රේරණයකට සුදුසු ග්‍රන්ථයක් කියලාත් හඳුන්වන්නත් පුළුවන්."
කෞශල්‍යා ලක්ෂානි