වෙළෙඳාමටම සින්න වූ පෝරුවේ චාරිත්‍ර


කිඹුල්වත් පුර නුවර ඉපදුණු එබෝසත් ජය මංගලම් 
මගුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට දැමු බෙලෙන් 
අගුල් ලාලා තිබුණු වාසල් ඇරපු හැම දෙවියන් විසින් 
මගුල් වේවා යුවතිපති හට බෝ කලක් සුබ මංගලම්’’ 


පෙම්වතුන් වී දින සති ගෙවෙද්දී මංගල නැකත බොහෝ තරුණ තරුණියන්ගේ අහිංසක සිහින අපේක්ෂාවයි. සිය ජීවිතවල තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ එම සුබ නැකතට විවාහ වීමයි. 


හෙළ පුරාතනයේ සිට පැවත එන සංස්කෘතියට අනුව විවාහය සිදුකිරීමට බොහෝ තරුණ තරුණියෝ මෙන්ම මවුපියවරුද සැමවිටම උත්සාහ කරති. මෙලෙස හෙළ සංස්කෘතියට අනුව සිදුකෙරෙන විවාහ මංගල්‍යයකදී පෝරුව චාරිත්‍ර ඉතා වැදගත් ස්ථානයක් ඉසිලු‍වද එම මංගල අවස්ථාව වර්තමානය වනවිට වාණිජ පරමාර්ථ නමැති ගණදුරෙන් වැසීයන්නට පටන්ගෙන තිබේ. 


සිංහල සංස්කෘතික පරිසරය තුළ කොහේ කොතැන සිංහල ක්‍රමයට විවාහ මංගල්‍යයක් සිදුවුවත් එහි පෝරුව චාරිත්‍රවල මූලිකාංග සමාන වුවද ඒවා භාවිත කරන ආකාරය ලංකාවේ එක් එක් ප්‍රදේශවලදී පුද්ගලානුබද්ධව විවිධාකාර ස්වරූපයක් ගනී. 


එම චාරිත්‍ර විධි එකම ප්‍රදේශයක දී වුවද එක් එක් අෂ්ටක ශිල්පියාගෙන් ශිල්පියාට පෝරුව චාරිත්‍ර ඉටුකිරීමේදී එහි අනුපිළිවෙළ සේම පෝරුවට ගන්නා කළමනාද විවිධාකාර වෙයි. එහෙත් මෙහිදී කෙරෙන කාර්යය සුබ කටයුත්තක් නිසාත් මුදලට මුල්තැන දෙනවාට වඩා සියලු‍ දේ සිත් සතුටෙන් කිසිදු අඩුවකින් තොරව ඉටුකිරීමට සියල්ලෝම පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙති. 


සිංහල ක්‍රමයට විවාහ මංගල්‍යය පළමු දිනය මනාලියගේ පාර්ශ්වයෙන් සංවිධානය කරන අතර එහිදී එදවස වැඩිම බරපැණ දැරීමට සිදුවනුයේ මනාලියගේ පාර්ශ්වයටයි. එම හේතුවෙන් අෂ්ටක ශිල්පියකු තෝරාගැනීමේ මූලික වගකීම පැටවෙන්නේද මනාලියගේ පාර්ශ්වයටයි. 


තමන්ට විශ්වාස අෂ්ටක ශිල්පියකු තෝරාගැනීමෙන් අනතුරුව පෝරුවට අවශ්‍ය කළමනා ලැයිස්තුවක් අෂ්ටක ශිල්පියා විසින් මනාලියන්ගේ පාර්ශ්වයට ලබා දෙන අතර ඔවුහු එය කිසිදු අඩුපාඩුවක් නොවන අයුරින් කල්තියා සම්පූර්ණ කිරීමට වගබලා ගනිති. එහෙත් වර්තමානය වනවිට මෙම උතුම් මංගල දිනයේ මෙම හෙළ සිරිත් ඉතාම ආගමානුකූලව පූර්ණ වගකීමකින් මනාව සිදුකරන අෂ්ටක ශිල්පීන් බහුතරයක් සිටින අතර ඒ අතරතුරම තවත් සුළු පිරිසක් විවිධාකාර වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ කූට අරමුණු ඇතිව සිදුකිරීම සුලබව දැකිය හැකිය. ඇතැම් අෂ්ටක ශිල්පීන් සතුව ඒ ඒ ශිල්පීන්ට අනුකූල පැකේජ ක්‍රම පවතින අතර එම පැකේජවල මිල ගණන්වල වෙනස්කම් අනුව ලබාදෙන සේවාවල වෙනස්කම්ද දැකිය හැකිය. පිළිගැනීමේ උඩරට නැටුම් කණ්ඩායම සහ පෝරුව චාරිත්‍රවල ජයමංගල ගාථා ගායනා කරන දැරියන් කණ්ඩායම ද ඔහු විසින්ම පුහුණු කරනු ලැබ සිටියි. හෙළ සිරිතට අනුව ජයමංගල ගාථා ගායනා කිරීමට යොදාගන්නේ පාසල් යන වයසේ ගැහැනු දරුවන් වුවත් වර්තමානය වනවිට සරසවි සිසුවියෝද මෙම කර්තව්‍ය මැනවින් ඉටු කිරීමට ඉතා කැමැත්තෙන් පෙළඹී සිටිති. එහි වරදක් නැතැයි සිතමි. 
එහෙත් ඇතැමුන් මෙය ව්‍යාපාරයක් ලෙස සිදුකරන අතර ඒ සඳහා දැරියන් යොදා ගැනීම කෙතරම් දුරට යෝග්‍යදැයි ගැටලු‍වකි. ඇතැම් දැරියන් සිය අධ්‍යාපන කටයුතු පවා පසෙකලා මෙම කාර්යය ඉටු කිරීමට තරම් ඔවුන් වටා ඇති ප්‍රශ්න මේ සඳහා පොළඹවා තිබේ. 


අෂ්ටක ශිල්පීන් විසින් විවිධ මිල ගණන් යටතේ මුදල් අයකරන අතර මෙලෙස අයකරන මිල ගණන් ප්‍රදේශය අනුව සහ අෂ්ටක ශිල්පියාගේ හැකියාව, පළපුරුද්ද ආදී කරුණු මත තීරණය වේ. පිළිගැනීමේ නැටුම් කණ්ඩායම සහ ජයමංගල ගාථා ගායනා කරන ළමයින් කණ්ඩායම සිටින අෂ්ටක ශිල්පීන් තම සගයන්ටද අවශ්‍ය මිල ගණන් සමග ඔහු ලබාගන්නා මිල තීරණය කරයි. එවිට ඉතා ඉහළ මිලක් තීරණය වෙයි. මෙම දරුවන්ට ගෙවිය යුතු මිල ගණන් ඔහුගේ සිතැඟි පරිදි මනාලියගේ පාර්ශ්වයෙන් විවාහයට පෙරම ඉල්ලා ගනියි. එහෙත් ජයමංගල ගාථා ගායනා කරන දැරියන්ට මනාලයාගේ පාර්ශ්වය විසින් පෝරුව මතදී තෑගි ලබාදීම සිරිතක්ය. එවිට එම දරුවන්ට පෝරුව මතදී ලබා දෙන ත්‍යාගවලට අමතරව අෂ්ටක ශිල්පියාගේ ඉල්ලීම අනුව වෙනම ගෙවීමක්ද සිදුකළ යුතු වේ. එහෙත් ඇතැම් අෂ්ටක ශිල්පීන් එම තෑගි මුදල්වලිනුත් මුදල් ලබාගෙන එම දැරියන්ට සොච්චම් මුදලක් ලබා දෙන අවස්ථා ඕනෑතරම් දැකිය හැකිය. 
පෝරුවට අවශ්‍ය කළමනා ගැන සැලකූ කල ඒ අතර පොදු අංග කිහිපයක් තිබේ. සුදු රෙදි, විවිධ ධාන්‍ය වර්ග, පැදුරක්, පොල් මල්, පුවක් මල්, පඬුරු කාසි, බුලත්, දෙහි, මෝල් ගසක්, පැන් කෙන්ඩි, පොල්, කැවිලි වර්ග, කපුරු ඇතුළු බොහෝ ආදිය වෙයි. පෝරුව සැකසීමේදී මෙම කළමනා සම්පූර්ණ කිරීමට මනාලියගේ ඥාතීන්ට යම් තීරණාත්මක වියදමක් දැරීමට සිදුවෙයි. අශ්ඨක ශිල්පීහුද මෙම කළමනා විවිධ ප්‍රමාණවලින් ඉල්ලා සිටිති. ඇතැමුන් සුදු රෙදි යාර දෙකක් පමණක් අවශ්‍ය බව කියද්දී ඇතැම්හු සුදු රෙදි යාර 9ක්ද ඉල්ලති. 
ඇතැමුන් ධාන්‍ය වර්ග සුළු ප්‍රමාණයක් පමණක් ඉල්ලද්දී ඇතැමෙක් ධාන්‍ය කිලෝ දෙකහමාරක් තුනක් වැනි ප්‍රමාණවලින්ද අවශ්‍ය බව කියති. කවුරුන් කෙසේ මෙම කාර්යය සිදුකළත් පෝරුව චාරිත්‍රවලින් සිදුකෙරෙන්නේ එකම කාර්යයක් නම් එලෙස එක් එක් ප්‍රමාණවලින් කළමනා අවශ්‍ය කරන්නේ කුමක් සඳහාදැයි මහත් ප්‍රශ්නකාරීය. කෙසේ වුවද දින, සති සහ ඇතැම්විට මාස ගණන් තිස්සේ මනාලියගේ පාර්ශ්වයේ ඥාතීහු මෙම කළමනා සපුරා ගැනීමට වෙහෙසෙති. මිල මුදල් යහමින් නොමැති අයට මෙය මහමෙරකි. එහෙත් සිය දියණිය කිසිදු අඩුපාඩුවක් නොමැතිව පෝරුවට නංවා චාරිත්‍ර කිරීම සෑම මවුපියකුගේම අරමුණය. මේ හේතුවෙන් තම අඩුපාඩුකම් පසෙක දමා කෙසේ හෝ මෙම කළමනා සකස් කර දීමට ඔවුහු උත්සාහ කරති. 


විවාහ මංගල්‍ය අවසානයේදී මේ ගැන සොයාබලන ඥාතීන්ට වටිනාකමෙන් වැඩි කළමනා කිසිවක් පෝරුවෙහි නොමැති බව පෙනී ගියත් ඔවුන්ට එවිට එයට කරන්නට කිසිවක් නොමැත. එයට හේතුව ඒ වන විටත් අෂ්ටක ශිල්පීන් ඇතුළු කණ්ඩායම පිටව ගොස් බොහෝ වේලාවක් ගත වී අවසන් නිසාය.

 

 

සිටිනාමළුව - අනීෂා මානගේ