බක්මහ ගෙවිලා වෙසක් මහ උදා වුණා. සෑම මුහුණකම දක්නට ලැබෙන්නේ සතුට, සැනසිල්ල, සාමය පිරුණු බැතිබර බවක්. සමහරු තෙල්, මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස පුදා තෙරුවන් නමදිනවා. සමහරු ශීල භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවල යෙදෙනවා. තවත් අය බැති සිතින් වුවත් වෙසක් සැරසිලි නිර්මාණය කරමින් හා වෙසක් සිරි නරඹමින් විනෝද වෙනවා.
ඇයි මේ වෙනස?
මේ පිළිබඳව සැඳැල්ලෙ අපි විමසන්නට තීරණය කළා, ජනප්‍රිය මෙන්ම අර්ථාන්විත ගේය පද නිබන්ධකයකු මෙන්ම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විචිත්‍ර ධර්ම දේශක මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් වෙතින්.
වෙසක් කියන්නෙ ප්‍රතිපත්තිමය දවසක් පමණක්ද?
බුදු දහම අපට උගන්වන්නෙ පන්සිල් පෙරදැරිව, අවබෝධ පූර්වකව ලස්සන ජීවිතයක් ගත කරන පිළිවෙළයි. නිවන කරා ළඟා වෙන්නට පුළුවන් මෙලොව ජීවිතය යහපත්ව ගත කරන කෙනකුට පමණයි.
වෙසක් කියන්නෙ ඒ දහම කියලා දුන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උතුම් තෙමඟුලයි. එනම් උන්වහන්සේගේ ඉපදීම, බුද්ධත්වය ලැබීම හා පිරිනිවන් පෑම යන අවස්ථා තුන සැමරීමයි.
ඒ උතුම් දහමට කරන උපහාරයක් ලෙසයි බෞද්ධ ජීවිතය වෙසක් දවසේ ගත කළ යුතුව ඇත්තේ. ඒ අනුව වෙසක් දවස බෞද්ධයන්ට සුවිශේෂී දිනයක් වෙනවා. ඔවුන්ට හැඟෙන විදියට පුළුවන් අයුරින් ආගමික බව සමරනවා.
ඒ අනුව ආමිස වශයෙන් හෝ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ කුමන විදියකට එය කළත් වරදක් නැහැ. හැබැයි, දහමේ යථාර්ථය දැනගෙන කිරීමයි වැදගත්කම.
බුදුරජාණන් වහන්සේ පහළවෙලා ලොවට නව දර්ශනයක් හඳුන්වා දුන්නා. එවැනි නිවැරදි දහමක් කලින් තිබුණේ නැහැ.
කලාකරුවාගේ බැති හැඟුම් මතුවන ශ්‍රද්ධාව ඇති කරන නිර්මාණ වන තොරණ, කූඩු, ප්‍රසංග බුදු දහමට අකැපද?
කලාකරුවෙක් කියලා ජාතියක් මේ රටේ නැහැ. ඉන්නේ කලා ශිල්පීන් හා ශිල්පිනියන් පමණයි. ඔවුන් මේ ආගමිකභාවය වෙනුවෙන් තම හැකියා මට්ටමින් කටයුතු කරනවා. තොරණ, වෙසක් කූඩු හදනවා. දන්සල් දෙනවා. හැබැයි අවසානෙ ධර්ම දේශනයක් පවත්වන්නත් අමතක කරන්නෙ නෑ.
ප්‍රසංග පැවැත්වීම තුළින් තුනුරුවන් පිළිබඳ සැදැහැ බවක් නිරූපණය වනවා නම් එහි ද වරදක් නෑ. කොච්චර සැදැහැ බව ඇතිකරන, දහමේ අර්ථය දැක්වෙන ගීත නිර්මාණ තියෙනවද? බැති ගී මෙන්ම සරල ගී තුළත් ඒ ගුණය තියෙනවා.
හැබැයි දන්සල් ගැන නම් පදනමක් නැති කතා ඇසෙනවා. ඒ වගේ කතා කරන පිරිසකුත් අප අතර ඉන්නවා. එයින් වන්නේ සමාජයටත් තමන්ටත් අයහපතක් කර ගැනීමයි. මෙවැනි අර්ථ ශුන්‍ය කතා ‘ගුථ භාණී’ (වාගාලාප) ලෙස බුදු දහමේ දක්වනවා. අද අපටත් අවශ්‍ය ශ්‍රද්ධාව මතු කරන නිර්මාණ මිස පටු මතවාද නෙවෙයි.
බුද්ධ කාලෙත් ප්‍රදර්ශනාත්මක පින්කම් කළාද?
ඇයි නැත්තේ. ඒ යුගයට සාපේක්ෂව යම් යම් දර්ශනීය විචිත්‍රනීය පින්කම් සිදුවෙලා තිබෙනවා. ‘ප්‍රදර්ශනාත්මක’ යන්න යුගයට සාපේක්ෂනෙ. කෙනකුගේ මනසේ ඇඳි ප්‍රදර්ශනාත්මක බව කෙනකුට එසේ නොවෙන්නට පුළුවන්. බුද්ධ කාලයේ මිනිසුන් සත්‍යවාදී මතවලට ගරු කළා. අවංක වුණා.
පුද්ගල අවංකභාවය තමයි සමාජ ප්‍රගමනයට හේතු වන්නෙ. අසුබව බලන කෙනාට සියල්ල අසුබව පේනවා. පාට කණ්ණාඩි දාගත්තම මුළු සමාජයම පේන්නෙ තමන්ගෙ පාට අනුවයි.
ලෝකෙ පවතින විවිධ සමාජ අරමුණුත් බොහෝ විට ආගම තුළට එනවා වගේ. බුද්ධ කාලේ වංචනික අරමුණු යටි හිතේ තබාගත් මිනිස්සු හමුවන්නේ නැති තරම්.
වංචනිකයා වංචනික මුහුණෙනුත් යහපත් තැනැත්තා යහපත් මුහුණෙනුත් පෙනී සිටි බව පෙනී යනවා. එතකොට හඳුනාගන්න ලේසියි. අද එහෙමද සමාජයේ වංචනික පැත්ත දියුණු වෙලා ආධ්‍යාත්මික ගුණධර්ම පල්ලම් බැහැලා.
සංගීතය, නර්තනය, ප්‍රාසාංගික බව පිරි දෘශ්‍ය මාධ්‍ය හිමිවරුන්ට අකැපද?
විනය නීතිවල නම් ඊට යම් යම් වාරණ තියෙනවා තමයි. හැබැයි දහමේ අරමුණු ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මතයි ඒ නීති ක්‍රියාත්මක වෙන්නෙ. අපි පූර්ණකාලීනව ආගමික ජීවිතයට කැපවුණු උදවියනෙ. ගිහි අයට එවැනි බලපෑමක් නැහැ. ඒ අය අර්ධකාලීන පිරිසක්.
පංචශීලය, අෂ්ටාංගශීලය මත තමයි ඔවුන්ගේ විනය රැඳෙන්නේ. ඒ අනුව ගීත නිර්මාණය, ගායනයට වාදනයට සවන් දීම, විචිත්‍රවත් සැරසිලි, නාට්‍යාංග, ප්‍රාසාංග දැකීම, වත්සුණු ගැට මල්මාලා ආදී රූපලාවණ්‍ය වර්ධනය කරන, විච්චූරණ ඈ භාවිත කිරීම ශික්ෂාපද කැඩීමක් ලෙස දැක්වෙනවා. සංඝයා වහන්සේලාගේ සීලය ඊට වඩා සංකීර්ණයි.
ඉතින් තමන්ගේ මූලික අරමුණ මත තමන්ගේ සීමාවේ ඉඳ අර්ථ රස උද්දීපනය වන පරිදි බෞද්ධ නිර්මාණවලට දායක වීමටයි සඟරුවන උත්සාහ ගත යුත්තේ.
60/80 කාලෙ ගුවන්විදුලිය හා සිනමාව තුළ බෞද්ධ ගීත අනිවාර්ය කර තිබුණත් අද එසේ නැත්තේ ඇයි? එය පිරිහීමේ ලක්ෂණයක්ද?
පිරිහීමයි වෙනස්වීමයි කියන්නෙ දෙකක්නෙ. හැම වෙනස්වීමක්ම පිරිහීමක් නොවෙයි. සමාජය හැමදාම එක තැන රැඳෙන්නේ නැහැ. ආගමිකභාවය තියෙන්නේ අපේ සිත් සතන්වලයි.
ගුවන්විදුලියේ සරල ගී අතර බෞද්ධ ගීයක අවශ්‍යතාව අදටත් තියෙනවා. ඒ වගේම ගුවන්විදුලිය තුළ එවැනි ගීත තවමත් පටිගත වෙනවා. ඒ ගැන එහි සංගීත අංශයේ ප්‍රධානී විශාරද දිනේෂ් බෝගොඩයන්ට පින් දිය යුතුයි.
ඔබවහන්සේගේ ගේය පද නිර්මාණත් එහි තිබෙනවාද?
ඔව්. එතුමාගේ අධීක්ෂණය මත සෑම පුර පෝය දිනකම මගේ බෞද්ධ ගීත නිර්මාණය වෙනවා. ගිය පෝයටත් මා ලියූ දළදා නමස්කාරය ගීතය නිර්මාණය වුණා.
“බුද්ධ රාජ ධර්ම රාජ
ශාක්‍යවංශ රාජනේ
ලංකදීප විරාජමාන
දන්ත ධාතු ස්වාමිනේ
කල්ප කාල එක්ක ආව සිංහලේ අපි
ජීවිතේ වගේම රැකබලා ගන්නැති
සංසාරයේ පුරාම
දන්ත ධාතු ස්වාමිනේ
භක්ති ජාත පුෂ්ප දාමයෙන් සැදි නිති
දන්ත ධාතු වඩින පෙරහරේ යන්නැති
සෙත් පිරිත් වගේය රටට
දන්ත ධාතු ස්වාමිනේ”
මෙහි සංගීතය නිර්මාණය කළේ සෑම් විමලධර්ම. ගැයුවේ දුමිත් ගයාන්.
ධම්මපද ගී නිෂ්පාදනය කරන්නේ ප්‍රමෝදි මදනායක. සිංහල සේවා අධ්‍යක්ෂ වූ ඉන්දික ජයරත්නයන්ගේ සමයේ මේ වැඩසටහන විධිමත්ව සැකසෙන්නෙ.
වෙසක් පොහොය වෙනුවෙන් ගීයක් නිර්මාණය වෙනවාද?
අපොයි ඔව්. ඒ ගී බුදු දහම තුළින් ජීවන දර්ශනය විදහාපාන නිර්මාණයක්. උපන්නොත් මැරෙන්න වෙන එක ධර්මතාවක්නෙ.
ජාති ආගම් භේදයකින් තොරව අපට ඊට මුහුණ දෙන්න වේවි. ඒ බව අඳුනාගෙන ඊට අනුගත වීමයි කළ යුත්තෙ. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය වැනි දුගඳ වෙනුවට කරුණාව, දයාව, සෙනෙහස වැනි සුවඳින් මනස පිරෙන්න නම් දන් පින් බණ භාවනා කර සිත තැන්පත් කර ගත යුතුයි.
“ඉතින් උපන්නොත් ලෝකේ
නිතින් විඳින්නට වෙයි සෝකේ
සැණින් ළඟා වේවි මරණේ
සැනසීම නම් ඒ නිවනේ”
මා ලියූ එම පදමාලාව චාමර හපන්ගම සංගීතවත් කළා. ගැයුවේ කාංචනා අනුරාදි.
කාන්තා රැඟුම් හා දායකත්වය ඇතැම් පෙරහර වැනි අවස්ථාවලට අකැපද?
එහෙම නීතියක් නැහැ. බුදු දහම පිරිමින්ට පමණක් සීමා වූ දහමක් නොවෙයි. සොබාදහමේ හැම ක්‍රියාකාරකමකටම කාන්තා දායකත්වයත් අවශ්‍යයි. ඇය ඈත් කරනු ලැබුවේ එදා බමුණු සමාජයයි.
බුදු දහම පටලවාගත් ඇතැම් බමුණු මතධාරීන් අද සමාජයෙත් ඉන්නවා. එදා මෙදා තුර බොහෝ කාන්තාවන් ශාසනික දියුණුවට වැඩ කටයුතු කළා. විශාකා, සුජාතා, බන්දුල මල්ලිකා වැනි චරිත එදත් අදත් බෞද්ධ සමාජයේ ඉන්නවා. බුදු දහම සුරැක පවත්වාගෙන යාමට ඔවුන් ඉටු කරන මෙහෙවර, කැපවීම උදාරයි.
වෙසක් සමයේ පවා කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ප්‍රශස්ත මට්ටමේ පවතිනවා.
බුදු හාමුදුරුවෝ රූපලාවණ්‍ය බැහැර කළාද?
පිරිසිදුකම හා පිළිවෙළ බුදු දහමේ අගය කොට තිබෙනවා. කාන්තාවන්ටත් එම පිළිවෙත එපා කියලා නැහැ. බාහිර අලංකාරය වගේම ආධ්‍යාත්මික අලංකාරයත් අගය කරලා තියෙනවා. විවාහයෙන් පස්සෙ බිරිඳට අලංකාර දේවල් දීම සැමියාගේ යුතුකමක් වගකීමක් ලෙස දේශනා කරල තියෙනවා. බාහිර පෙනුමෙන් ගැහැනු මිනිස්සු මනින එක බුදු දහමට අනුගත නැහැ.
සමාජයේ අසරණ ජනතාවගේ හැඩ බොදු ගීතයෙන් ජනගත වී තියෙනවද?
“පාත ඉඳන් අපි ආවේ”, “පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය” වැනි ගීත රචනාවලින් එම කාර්යය ඉටු වී තිබෙනවා.
සමාජයේ සැප විඳින හා දුක් විඳින මිනිසුන් ලෙස වර්ග වෙලා තියෙනවා. එම කර්ම බලවේගයන් නවත්වන්න කා හටවත් බැහැ. හැබැයි බුදු දහම තුළින් පීඩිත පන්තියේ ජනතාවට කරුණාබරව සම මෙත් සිත්ව සලකලා ශාසනය තුළත් ඔවුන්ට සම තැන දීලා කටයුතු කරනවා.
පරෝපකාරය පිළිගත් දහමක් ලෙස අනෙකාගේ දුක ගැන ලියැවෙන, ගැයෙන ගී වලින් අදහස් කරන්නේ නැති බැරි අයට උපකාර කළ යුතු බවයි.
“සා දුකින් පෙළෙන්නේ මන්ද
බාල බිලින්දූ
කෝ ඉතින් නුඹේ දුක සැප
බලන නිරින්දූ
රෝස කැලෙන් ඇහිදලා
ස්නේහයේ කිරි පොවා
හැදූ ළමයි ලෙසින්
ආදරෙන් බලන්න
මාවතේ ළමයි දිහා...
රේණු රොනින් තවරලා
ශෘංග රාව නඟමිනා
පිපි කුසුම් ලෙසින්
ප්‍රේමයෙන් පිපෙන්න දෙන්න
පෙති නොදා හලා...”
මගේ මෙම පද මාලාවට පණ දුන්නේ එච්.එම්. ජයවර්ධනයන්. ගයන්නේ පණ්ඩුක සමරසේකර.
මීට අමතරව නව බොදු ගී පෙළක් මා ජනගත කළා.
“දොරින් දොරට ඇවිළෙන ගිනි දැල්
ගමින් ගමට මතුවෙනා කඳුළැල්
නිවන්න ආයෙත් එකම වතාවක්
වඩින්න බුදු හාමුදුරුවනේ”
රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගයන්නේ ශාලිත අබේවික්‍රම.
පරිසර සුන්දරත්වයෙන් පිවිතුරු වුණු ගැමි ආධ්‍යාත්මය මුදල මුල් වූ සමාජ විපර්යාසය තුළ දූෂණය වූ හැටි මගේ පන්හිඳෙන් සටහන් කළා. නිශ්ශංක විජේරත්න ගැයූ ඒ හැඟීම් පෙළ ගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ.
“ජීවිතයේ බර උගසට තියලා
තරග වදිනවා දිවි ගමනේ
ගමේ ඇළේ දොළ අඬා වැටෙද්දි
ගිම් සනසනවා කොළොම්පුරේ”
විරෝධාකල්ප ගීත කලාව ගැන අත්හදා බලා ඇද්ද?
සමාජයේ ඇතැම් විෂමකාර ක්‍රියා කලාපයන් ගැන ඇතිවන භාවමය හැඟීම් තුළින් ලියැවුණු ගීත නම් තියෙනවා. බුදු දහමේ හරය වටහා නොගෙන මිත්‍යා විශ්වාස සිරසට ගත් අපේම බෞද්ධයන් ගැනත් ලියන්න සිදු වුණා.
“අංගො නැන්ද පෝයට
සිල් දෙනකොට පන්සලේ
උඩැක්කි තාලෙට
ලෙඩ හොඳ කරනවා පල්ලියේ
කඩිප්පු නැතුවත් තාලෙ
නොවරදියි පෙරහරේ
මුරුක්කු කන්නට
ඩොලර් කොහේද මට මල්ලියේ”
“පන්සිල් නොකියා දන්සල් කන්නට” නම් මගේ පද මාලාව කිත්සිළු වික්‍රමසිංහගේ සංගීතයට ටිනායා රංදිසා ගයනවා.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි