Hot ගොසිප්
එංගලන්ත රජ පවුල වර්තමාන ලෝකයේ කැපී පෙනෙනම රජ පවුලය. ලෝකයේ යම් යම් රටවල තවමත් රජ පවුල් ඉතිරි වී තිබුණද ඒ සියලු රජ පවුල් අභිබවන්නට එංගලන්ත රජ පවුල සමත් වී තිබේ. ඒ නිසාම රජ පවුලේ මඟුල්, හොර මඟුල් සේම දික්කසාද පිළිබඳවද තොරතුරු කියවන්නට ලෝකයේ බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති. ඒ ගොඩට ඔබත් අයිතිය, මාත් අයිතිය.
අටවැනි එඩ්වඩ් රජු, තම රජ කිරුළට පයින්ගසා සිම්ප්සන් ආර්යාව සරණ පාවාගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නට පටන්ගත්තේ ඔහු ලෝකයේම ආදරණීය මිනිසා බවට පත් වෙමිනි. ඒ පරිත්‍යාගය අදටත් ලෝකය පුරා කතා බහට ලක්වෙයි. ඔහු සිම්ප්සන් සමඟ යහතින් පවුල් කෑවත් රජ පවුලේ බොහෝ දෙනාට ආදරණීය පවුල් ජීවිත නැත.
දෙවැනි එලිසබත් රැජිනගේත් පිලිප් කුමරුගේත් දරුවන් හතර දෙනෙකි. චාල්ස්, ඈන්, ඇන්ඩෘ සහ එඩ්වඩ් යනුවෙනි. මොවුන් අතරින් චාල්ස් කුමාරයත් ඈන් කුමරියත් විවාහ අතින් අසාර්ථක වූහ.
1948 නොවැම්බර් 14 දා රාත්‍රී 9.14ට උපන් චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් තරුණ වියට එළඹීමත් සමඟ සෙල්ලක්කාරයකු ලෙස ප්‍රසිද්ධ වූයේය. එක අතකින් තරුණ රූමත් කාන්තාවන්ගෙන් ඔහුට ගැලවීමත් නොවුණු අතර, තවත් පැත්තකින් ඔහුගේ හිතද ලස්සන ගැටිස්සියන් වෙත යොමු විය. මේ නිසාම චාල්ස් කුමරයා යුවතියක් සමඟ ගැවසීම සාමාන්‍ය දෙයක් වූයේය. ඔහුගේ හිතගිය කාන්තාවන් අතර මුලින්ම වාර්තාවන්ගේ ජෝර්ජියානු රසල් ය. සුන්දර යුවතියක වූ ඇය ස්පාඤ්ඤ බ්‍රිතාන්‍ය තානාපතිගේ දියණිය වූවාය.
චාල්ස්ගේ හිතගිය තවත් යුවතියක වූයේ වෙලිංටන් ආදිපාදවරයාගේ දියණිය වූ ජේන් වෙලෙස්ලි ය. ඔවිනා ෆෙෆිල්ඩ්, සාරා ස්පෙන්සර්, කැමිලා වැනි යුවතියන්ටද ඔහු පෙම් කළේය. එහෙත් 1981 ජුලි 29 වැනිදා ලෝකයම බලාසිටියදී චාල්ස් විවාහ වූයේ ඩයනා ස්පෙන්සර් සමඟය. තරුණ පාසල් ගුරුවරියක වූ ඩයනා කුමරිය වරක් දුටුවන් ආකර්ශනය කර ගැනීමට සමත් වූ සුන්දර තරුණියකි. කොටට කැපූ ඇගේ කෙස් කළඹ කොච්චර මනස්කාන්ත වීද යත්, ලොව බොහෝ යුවතියන් ඩයනා කට් කපන්නට පටන් ගත්තේය. ඩයනාගේ සිනා සපිරි මුහුණ රජ පවුලට පමණක් නොවේ, මුළු එංගලන්තයටම වාසනාව අරන් ආවේය. ඒ නිසාම එංගලන්ත රජ පවුලට එතෙක් නොතිබූ අන්දමේ ජනප්‍රසාදයක්ද උරුම වූයේය.
එහෙත් චාල්ස්ට ඔහුගේ කලින් පෙම්වතිය වූ කැමිලා පාකර් අමතක කරන්නට බැරි විය. චාල්ස් ඇය සොයා ගියේය. ඒ වනවිට ඇයද විවාහ වී සිටියාය. එහෙත් චාල්ස් කැමිලා හමුවීම සිදුවූ අතර ඒ හමුවීම් ඩයනාට රහසක් වූයේද නැත. එහි ප්‍රතිඵලය වූයේ චාල්ස් සහ ඩයනා අතර විරසකවීම් ඇතිවීමයි. පරණ හාදකම් නතර නොකරන විට පලිගන්නට තීරණය කළ ඩයනා වෙනත් පෙම් සබඳකම් ඇති කරගත්තාය. අන්තිමේදී පැණි වරකයට පාත්වූ හෙණයක් පරිද්දෙන් චාල්ස්-ඩයනාගේ දික්කසාදය සිදුවිය. ඊටත් වසරකට පසු ඩයනාගේ මරණය සිදුවිය. රජ පවුලට ආදරය කළ මිනිස්සුන්ට රජ පවුල වහකඳුරු වන්නට විය. තවදුරටත් රජ පවුල නඩත්තු කරන්නට ජනතා මුදල් වැය නොකළ යුතු බව පවා කියවිණි. ඒ තරමට, රජ පවුලට එකතු වූ කලු පැල්ලම ප්‍රබල විය. ඊට කලකට පසු චාල්ස් ඔහුගේ පරණ පෙම්වතිය වූ කැමිලා විවාහ කර ගත්තේය.
ඈන් කුමරිය 1973 වසරේදී විවාහ වූයේ කපිතාන් මාක් පිලිප් සමගය. ඔවුන්ගේ විවාහයද රන්රස සේ පෑහේ යැයි සිතූ නමුත් ඒ විවාහයටද කණ කොකා හැඬුවේය. අන්තිමේදී ඈන් කුමරිය තවත් සරණක ගියාය. ඒ වයිස් අද්මිරාල් තිමොනි ලෝරන්ස් සමඟය. ඒ 1992 දීය.
චාල්ස් ඩයනාගේ වැඩිමල් දරුවා විලියම් ය. ඔහුද තාත්තා මෙන්ම ප්‍රේම හුටපට රාශියකට මැදි වූයේය. රජ පවුලේ වීමත් කඩවසම් තරුණයකු වීමත් නිසා බොහෝ යුවතියන්ගේ ඇල්ම බැල්මට පාත්‍ර වූ ඔහු අවසානයේ කේට් මිඩ්ල්ටන් බැඳගත්තේය.
ඔවුන්ගේ වෙන් වීමක් නැතත් බොහෝ පත්තර සහ වෙබ් අඩවි ඉඟි පළ කළත් තවත් ඒ දෙන්නා එකට ජීවත්වෙති.
රජ පවුලේ විවාහ වීම් ඉක්මණින්ම දෙකඩ වන්නේ ඇයි යන ප්‍රශ්නය රජ පවුලට ආදරය කරන උදවිය මතුකරයි. ඒ හේතුව අනියම් පෙම්බැඳුම් බව පැවසුවහොත් වඩා නිවැරැදි පිළිතුරක් විය හැකිය. කෙසේ වෙතත් චාල්ස්ගේ අම්මා වූ දෙවැනි එලිසබත් රැජිනිගේත් පීලිප් කුමාරයාගේත් ආදර අන්දරය කියවුවහොත් සාර්ථක ලෙස විවාහ ජීවිත ගත කිරීමට අපුරු පාඩමක් ලැබේයැයි සිතමි.
පිලිප් කුමාරයා, ග්‍රීසියේ දූපතක ඉපදුණේය. රාජකීය නෞකා හමුදාවේ ලුතිනන් වරයකු ලෙස රැකියාව කළ ඔහු දෙවෙනි ලෝක යුද්ධය සමයේ එංගලන්තයට පැමිණියේය. මවුන්ට්බැටන් සාමිවරයා ඔහුගේ මාමා වූයෙන් ස්කොට්ලන්තයේ අධ්‍යාපනය ලබන්නටද රජ ගෙදර ගැවසෙන්නටද වරම් ලැබුවේය. අන්තිමේදී ඔහුට පින පළ දුන්නේය. එවකට රජ වූ හයවැනි ජෝජ්ගේ දූ කුමරිය, එලිසබෙත් සරණ බැඳ ගන්නට තරම් වාසනාවන්ත වූවේය.
1947 නොවැම්බර් 21 වැනිදා විසිඑක් වියැති එලිසබෙත් කුමරිය හා පිලිප් කුමරුගේ විවාහ මංගල්‍යය චාරිත්‍රානුකූලව මෙන්ම උත්කර්ශවත් ලෙසද පැවැත්විණි.
1948 නොවැම්බර් 14 දා චාල්ස් කුමරු ද 1950 දී අෑන් කුමරිය ද 1960 දී ඇන්ඩෘ කුමරු ද 1964 දී එඩ්වඩ් කුමරු ද යන දුවා දරුවන් ලද එලිසබෙත් රැජින පිලිප් කුමරුන් සමඟ ගෙවූයේ සමගි සම්පන්න, ආදරණීය, ප්‍රීතිමත් යුග දිවියකි, එහෙත් රැජිනගේ ළමාවියේ සිහිනය වූයේ ගොවියකු සමඟ විවාහ වී පුතුන් දෙදෙනෙකුගේ සහ දියනිවරු දෙදෙනෙකුගේ මව වීමටය. එහෙත් ඇයට සිදු වූයේ ගොවියකු වෙනුවට නැවියෙකු කසාද බැඳීමටත් පුතුන් තිදෙනෙකුගේ සහ දියනියකගේ මව වීමටත්ය.
එසේ වුවත් ඇය එකම දියණියටත් පුතුන් තිදෙනාටත් අසීමිතව ආදරය කළාය. ඇය පමණක් නොවේ, ඇගේ සැමියා පිලිප් කුමාරයා ද තම දරු පැටවුන් සමඟ හරි හරියට සෙල්ලම් කළේය. චාල්ස් සහ ඈන් සමඟ රජමැදුරු අංගනයේ සෙල්ලම් කිරීමට පිලිප් කුමරු දැක්වූයේ විශාල කැමැත්තකි. ඒ විතරක් නොවේ. පිලිප් කුමාරයා වාහන පදවන විට කුමාරවරු ඒ වාහන පදවන්නට පටන්ගත්තේ ඔවුන්ගේ වයස අවුරුදු දහය දොළහා තරම් වෙද්දීය.
එවකට රජ පවුලේ සම්ප්‍රදාය වූයේ ගුරුවරුන් රජ මැදුරට ගෙන්වා දරුවන්ට ඉගැන්වීමටය. රැජින අවුරුදු දෙක තුනක් යනතුරු ගුරුවරියක මැදුරට ගෙන්වා චාල්ස් කුමරුන්ට අධ්‍යාපනය දුන්නාය.
එහෙත් ඊළඟට ඇය කල්පනා කළේ කුමාරයාත් රටේ අනෙක් දරුවනුත් එකට අධ්‍යාපනය ලැබිය යුතුය කියාය. ඒ අනුව ඇය බටහිර ලන්ඩනයේ හිල් හවුස් විදුහලට චාල්ස් කුමරුන් ඇතුලු කළාය.
‘මගෙ දරුවාට කිසිම විශේෂ සැලකිල්ලක් දක්වන්න එපා. ඔහුටත් අනෙක් දරුවන්ටත් සමාන සැලකිලි දක්වන්න.’
රැජින, චාල්ස් කුමරු ඇතුළත් වූ විදුහලේ විදුහල්පතිට දන්වා යැවූවාය.
චාල්ස්ගේ නංගීටත් මල්ලිලාටත් ඉගෙන ගන්නට සිදුවූයේ ඒ ආකාරයට මය.
එසේ වුවත් රජ පවුලේ විවාහ සම්ප්‍රදාය සාමාන්‍ය ජන ජීවිතයට එහා ගියේය. රාජකීයත්වයක් නැති කිසිවකු සමඟ විවාහ වීමට රැජිනගෙන් අවසර ලැබුණේ නැත. කවුරුන්ට පෙම් කළත් කවුරුන් හා පෙම් සබඳකම් තිබුණත් විවාහය සඳහා ‘රජ ලේ’ තිබිය යුතු විය.
රැජිනගේ පවුල් පාලනය ඒ අයුරින් විනය ගරුක වූයේය. පිලිප් කුමාරයා, රට වැසියකු වශයෙන් රැජිනට දෙවෙනි වුවද පවුල් සංස්ථාවේදී රැජිනට වඩා දෙවෙනි වූයේ නැත. ඔහු තාත්තා ලෙසින් දරුවන්ට බලපෑම් කළේය. රැජින වුවද ඔහුගේ මූලිකත්වය පිළිගත්තාය.
ඔවුන් සාර්ථක පවුල් ජීවිත ගෙවමින් විවාහ ජීවිතයේ හතළිය පනහ ආදී වූ සමරු උත්සව මහා ලොකුවට පැවැත්වූහ.
ඒ විතරක් නොවේ, මහා ආඩම්බරයෙන් ඒ සමරු උළෙලවලට සහභාගී වූහ. ඒ වෙලාවට චාල්ස් සහ ඈන් තමන්ගේ පවුල් ජීවිත සාර්ථකව ගත කරන්නට බැරි විම ගැන කනගාටු වුවද ලැජ්ජාවටද පත් වූවාට කිසිම සැකයක් නැත. එසේම ඒ ගැන රැජිනටත් දුක හිතෙන්නට ඇත. කෙසේවෙතත් රැජිනගේ බාල පුතුන් වන ඇන්ඩෘ ද එඩ්වඩ් ද විලියම් මුනුබුරාද තවමත් පළමු කසාදය තුළම රැඳී සිටීම ගැන රැජිනට සතුටු ඇති.
රැජිනගේත් පිලිප් කුමරුගේත් හැත්තෑ වැනි විවාහ සංවත්සරය අද හෙටම පැවැත්වීමට නියමිතය.