චොක්ලට් කිව්වම ලොකු පොඩි කාටත් රස මතක තියෙනවානේ. හැබැයි ඒ රස මතක අතරේ කට්ටක් කාලා තමන්ගේ ජීවිතේ ජය ගත්තු තරුණ ව්‍යාපාරිකයෙක් අපට හමු වුණා. ඔහු නමින් මදුෂාන් නානායක්කාර සමරසේකර.බොහෝ දෙනාගේ ජීවිතවලට රස මතක එකතු කළ ඔහු පැමිණි දුර ගැන මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
මුලින්ම කියන්නකෝ අපට ඔබ ගැන විස්තර ටිකක්..
මගෙ ගම මාතර, පාසල සාන්ත සර්වේශස් විද්‍යාලය. උපන්ගම කොළඹ. හැබැයි ඉතින් හැදුණේ වැඩුණේ ඔක්කොම මාතර. මම කරන්නේ අපනයනය කරන චොක්ලට් විකුණන මගේම ව්‍යාපාරයක්. මේ වෙනකොට Shops තුනක් තියෙනවා, මාතර, තංගල්ල සහ දික්වැල්ල තුනේ. ඊට අමතරව දැන් ලොකුවටම යනවා ඔන්ලයින් ෆ්ලැට් ෆෝම් එකක්.
ව්‍යාපාරයට ඇයි චොක්ලට්ම තෝර ගත්තේ කියලා ඇහුවොත්?
ඇත්තටම මම මීට කලින් කළා Rent A Car ව්‍යාපාරයක්. හැබැයි කොරෝනාත් එක්ක 2020 වගේ වෙද්දි මගේ ව්‍යාපාරය සෑහෙන්න වැටුණා. ලීසිං දාලනේ වාහන ගන්නේ. ඒ නිසා මගේ ළඟ තිබ්බ වාහනත් ඔක්කොම වගේ විකුණන්න වුණා.
ඊට පස්සේ 2022 මුල වගේ මාව කෙනෙක් එක්ක ගියා දෙහිවල තිබ්බ චොක්ලට් කඩේකට. එදා තමයි මම දැක්කේ චොක්ලට් විතරක් විකුණන්න කඩ තියෙනවා කියලා. Rent A Car ව්‍යාපාරය වැටුණට පස්සේ මම සෑහෙන දේවල් උත්සාහ කළා. හැබැයි ඒ එකක්වත් හරි ගියේ නැහැ. මම රට යන්නත් උත්සාහ කළා. ඊට පස්සේ අර මාව එක්කන් ගියපු කෙනා මට අදහසක් දුන්නා, මාතර එහෙම කඩයක් නෑ නේද? නිකන් කරලා බලන්න කියලා. හැබැයි මම චොක්ලට් කඩේ දාන්න යනකොට ලංකාවේ ලොකුවටම ආර්ථික අර්බුදේ යනවා. ඒත් කමක් නෑ කියලා මම කල්පනා කළා මොකක් හරි වෙයිනේ කියලා. ඒ වෙලාවේ මට පොඩි කඩයක් හම්බ වුණා ටවුන් එකේම. ඒක මම ගෙවන්න ගත්තා. ඇත්තම කතාව මම කඩේ විවෘත කරන්න යන කොටත් මිනිස්සු තෙල් පෝලිම්වල. මගෙන් කට්ටිය ඇහුවා කන්නත් නැතුව ඉද්දි මිනිස්සු චොක්ලට් කයිද කියලා. ඒත් ඉතින් මම කොහොම හරි මිනිස්සුන්ට චොක්ලට් කැව්වා.
එක ව්‍යාපාරයක් වැටිලා මේ විදිහට තව ව්‍යාපාරයක් පටන් ගද්දි බය හිතුණේ නැද්ද?
අභියෝගයක් තිබ්බා, නැත්තේ නෑ. කඩේ රෙන්ට් එක, අනික මම විකුණන්නේ චොක්ලට්. මේවා කල් ඉකුත් වෙයිද? දිය වෙයිද? වගේ දේවලුත් මට හිතුණා. කොරෝනා කියලා වසංගතයක් අපි මීට කලින් දැකලා තිබුණේ නැහැනේ. හැබැයි ව්‍යාපාරයක් කරනවා නම් ඒ අභියෝගය භාර ගන්න වෙනවා. ඒක භාර ගත්තෙ නැත්තම් අද මෙතනට එන්නත් බැහැ.
මේ වෙනකල් ආපු ගමන මතක් කළොත්?
දැන් ව්‍යාපාරයේ හොඳම පීක් එකට ඇවිත් තියෙන්නේ. මම 2022 පටන් අරන් 2023දි තව ශාඛාවක් විවෘත කළා දික්වැල්ලේ. ඒත් එක්කම වගේ මාතර ශාඛාවත් ලොකු කරගෙන 2024 තංගල්ලෙත් ශාඛාවක් දැම්මා. මේ වෙන කොට ඒකත් කර ගෙන යන ගමන්. ඒ වගේම මේ වෙද්දි ටික්ටොක් එකත් එක්ක, ෆේස්බුක් එකත් එක්ක Content Create කරලා දැනට සාමාන්‍ය තැනකට ව්‍යාපාරය ගෙනත් තියෙනවා. මගේ ළඟ දැනට ස්ථීරව සේවකයෝ හයක් හතක් වගේ වැඩ කරනවා. ඊට අමතරව සහයෝගය දෙන්නත් ලොකු පිරිසක් ඉන්නවා. ඒ විදිහට මේ වෙද්දි මගේ කණ්ඩායමත් එක්ක මේ ව්‍යාපාරය කර ගෙන යනවා.
කොහෙන්ද මේ වෙන කොට චොක්ලට් ගේන්නේ?
අපේ කඩේ තියෙන හැම එකම ආනයනය කරපු චොක්ලට්. දැනට මටම විතරක් චොක්ලට් ගේන මගේ ආනයනකරුවන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි ඩුබායිවලින්, මැලේසියාවලින් වගේම UK වලිනුත් චොක්ලට් අරන් එන්නේ.
ව්‍යාපාර කරන්න කලින් ඒ ගැන හැදෑරීමක් කළාද?
මම උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. මගේ පවුලේ අයත් රුකියා තමයි කළේ, ඉතින් ව්‍යාපාර ගැන දැනුමක් නැහැ. හැබැයි මට ව්‍යාපාර ගැන ලොකු දැනුමක් දුන්නේ මගේ යාළුවා අමිල ලියනගේ. එයාගේ අම්මයි තාත්තයි පොඩි කාලේ ඉඳලම ව්‍යාපාර කළේ. ඒ නිසා එයාට ව්‍යාපාර ගැන ලොකු දැනුමක් තිබ්බා. එයාට තමයි අදටත් මම ව්‍යාපාරවලට මොකක් හරි අදහස් ගන්න තියෙනවා නම් පළවෙනියට කෝල් කරන්නේ. ඒ වගේම එයත් ව්‍යාපාර කරනවා. එයා මට ලොකු සහයෝගයක් දෙනවා. එයාගෙයි මගෙයි දෙන්නගෙම ව්‍යාපාර කොරෝනා කාලේ වැටුණම කොරෝනාවලින්ම ගොඩ යන්න ඕනේ කියලා අපි දෙන්නා කඩවලට සර්ජිකල් මාස්ක් පවා දාන්න ගියා.
මේ විදිහට ව්‍යාපාරයක් කරනවා කියන එක පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක්ද?
ඇත්තටම කිව්වොත් මම මොකක්ද කරන්න ඕනේ කියලා පොඩි කාලේ ඉඳන් මට අදහසක් තිබ්බේ නැහැ. මම උසස් පෙළ කරන කොට හරින්ද්‍ර ජයලාල්ගේ Announcing Academy එකකට ගියා. එවලේ මට හිතුණේ මම කවදා හරි නිවේදකයෙක් වෙන්න ඕනේ කියලා. අවරුදු පහක් විතර මම ඒක පස්සේ එළෙව්වා. FM Channel දෙකක වැඩ කරන්නත් ගියා. හැබැයි මට කොළඹ ඉන්න පොඩ්ඩක් අමාරුයි. ඒකත් එක්ක ඒ රුකියාව මම මාසයක් දෙකක් විතර කරලා ආයේ මාතර ආවා. ඒ ඇවිත් මම රට යන්න ට්‍රයි කළා. ඒ හරි ගියෙත් නෑ. කොළඹ රැකියාව කරන කොට අර මම කියපු අමිල කියන යාළුවා කතා කරලා කිව්වා වරෙන් මොකක් හරි කරමු කට්ටක් කාලා කියලා. ඒ ඇවිත් තමයි මේ විදිහට ව්‍යාපාරයක් කරන්න හිතුවේ.
ව්‍යාපාර පසුබිමක් පවුලේ නැති නිසා ගෙදරින් ව්‍යාපාර කරනවට අකමැති වුණේ නැද්ද?
අකමැති වුණා. මගේ අම්මට ඕනේ වුණේම මාව රට යවන්න. හරියටම ෂොප් එක විවෘත කරපු දවසෙත් මගේ තාත්තගේ යාළුවෙක් මාර්ගෙන් මට UK යන්න අවස්ථාවක් ආවා. අම්මා කිව්වා මේක වහලා දාලා යන්න කියලා. ඒ වුණත් මම අතෑරියේ නැහැ.
ව්‍යාපාරයක් කරනවා කියන්නේ අනිවාර් යයෙන්ම අභියෝගත් එනවා. මොනවද මේ ගමනෙදි ආපු අභියෝග?
අභියෝග කියන්නේ අපි සාමාන්‍ය පවුලක අය. ඒ නිසා ව්‍යාපාරෙට ආයෝජනය කිරීම තමයි මුලින්ම ආපු අභියෝගය. හැබැයි ඒකට මගේ අම්මා මට උදව් කළා. බැංකුවකිනුත් සහයෝගයක් ලැබුණා. ඒ වගේම ටික ටික මේක කරගෙන යනකොට කඩවල්වලට හොරුත් පැන්නා. ඒ ඇරෙන්න ඕනෙම කෙනෙක් ගේමක් ගහන කොට මුහුණ දෙන්න වෙන අභියෝග මටත් ආවා. ඒත් මම ව්‍යාපාරය සාධාරණව කර ගෙන ආපු නිසා ඒවට මම සාර්ථකව මුහුණ දුන්නා.
ඒ කාපු කට්ටත් එක්ක අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
හරිම සතුටුයි. මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ නැකත්වත් හොඳ වෙලාවක්වත් බලලා නෙවෙයි. කඩයක් හොයාගෙන ඒකේ තිබ්බ අඩුපාඩු ටික හදාගෙන අම්මයි තාත්තයි එක්ක ගිහින් කඩේ විවෘත කළා, කාටවත් ආරාධනා නොකර. ඒ විදිහට තනියෙන් පටන් ගෙන මගේ ළඟ අද වෙද්දි අවුරුදු දෙකහමාරක ඉඳන් වැඩ කරන ස්ථීර පිරිසකුත් ඉන්නවා. ඒ විදිහට මම අද යම් ස්ථාවරයක ඉන්නවා. ඊට අමතරව මේ වෙන කොට මම ලංකාවට චොක්ලට් ගෙන්නන්නත් බලනවා. මම පිටකොටුවේ ගිහින් පෙට්ටි උස්සන් බස් එකට දාගත්තු කාලයක් තිබුණා. ඒ අතින් ගෙවුණු අවුරුදු තුන එක්ක බලද්දි අද ඉන්න තැන ගැන මට මාර සතුටුයි.
ඉදිරි බලාපොරොත්තුව
මම ලංකාවේ තාම දැකලා නෑ තට්ටු දෙක තුනක් තියෙන චොක්ලට් කඩයක්, මගේ ඊළඟ සැලැස්ම ඒක. මට ඕනේ ලංකාව ඇතුළේ චොක්ලට් ගන්න නම් මේක තමයි තැන කියලා වෙනම බ්‍රෑන්ඩ් එකක් හදන්න. ඒ නිසාම වෙන අය චොක්ලට් කඩවලට දානවා වගේ නැතුව මම කඩේට නම දැම්මේ The Mack කියලා. ඉතින් මට ඕනේ මාතර තට්ටු තුනකවත් චොක්ලට් කඩයක් දාන්න.
අලුතින් ව්‍යාපාර කරන්න ආස අයට මොකක්ද කියන්න තියෙන්නේ?
මම කියන්නේ අත්දැකීමක් නැතුව ව්‍යාපාරයක් කරන්න එන්න එපා. ලංකාවේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා කියන්නේ බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕනේ වැඩක්. මොකක් හරි ක්ෂේත්‍රයක ඉඳලා අත්දැකීමක් එක්ක ආවොත් දුර ගමනක් යන්න පුළුවන් වෙයි. මිනිස්සු ගැන අත්දැකීමක් අරන්න එන්න, මිනිස්සු විවිධයි. නැත්තම් ප්‍රශ්න වැඩියි. ඒ වගේම එක පාර දියුණු වෙන්න බැහැ කියලා මතක තියා ගන්න. කට්ටක් කන්න බලා ගෙන එන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයක් කරන්න ආවම තව වැදගත් දෙයක් තමයි සේවක පරිපාලනය කියන්නෙ. ස්වාමියා සහ සේවකයා අතර හොඳ බැඳීමක් හදා ගන්නවා කියන එක ව්‍යාපාරයකදී ගොඩක් වැදගත්.
මේ ගමනට හයියක් වුණ අයත් මතක් කරමු..
මගේ අම්මයි තාත්තයි මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම මට ඉන්නවා නංගි කෙනෙක්. එයා බැඳලා ඉන්න කෙනත් මට සහෝදරයෙක් වගේ. එයාලට පුළුවන් උපරිම සහයෝගය මට දෙනවා. ඒ වගේම මගේ යාළුවා. අමිල ලියනගේ. එයා මට ලොකු හයියක්. ඕන දේකට මාත් එක්ක ඉන්නවා. තව මගේ ළඟ වැඩ කරන තරින්දි, ටෂ්මිලා සහ පාරමී. ඒ තුන් දෙනා තමයි මගේ ළඟින්ම ඉන්නේ. තරින්දි කියන්නේ මගේ පටන් ගැනීමේ ඉඳන්ම මාත් එක්ක හිටපු කෙනෙක්. ඒ ඇරුණම මගේ ළඟ වැඩ කරන අනිත් සේවකයන්ගේ ඉඳලා මාව විශ්වාස කරන හැම පාරිභෝගිකයෙකටමත් මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.
මදුෂාන් හිතන විදිහට ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ මොනවා කළොත් ද?
හම්බකරන හැම රුපියලක්ම සාධාරණ වෙන්න ඕනේ. එහෙම කළොත් තමයි අපට ලොකු ගමනක් යන්න පුළුවන්.
මෙච්චර චොක්ලට් දෙන මදුෂාන් තාම කාටවත් චොක්ලට් දීලා නැද්ද?
දීලා තියෙනවා, හැබැයි දැන් නම් චොක්ලට් දෙන්න කවුරුත් නැහැ, අම්මත් කියනවා චොක්ලට් දෙන්න කවුරු හරි හොයා ගන්න කියලා. මම කිව්වේ මේ බිස්නස් එක පටන් ගන්න මට කෙනෙක් අදහසක් දුන්නා කියලා. එයාට චොක්ලට් දීලා තියෙනවා.
කෞශල්‍යා ලක්ෂානි