වසර දෙසීයක් පවතින නිවසක් හඳමු


මිනිසාගේ මූලික අවශ්‍යතා අතර නිවසත් ප්‍රධාන වේ. මිනිසාට මෙන්ම සතුන්ටද මේ ධර්මතාව පොදු​ෙව්. අපට විවිධ ආකාරයට නිවස උරුම වේ. දෙමාපිය උරුමය නිසාද තවත් අයකුට විවාහයෙන් පසුව දායාද ලෙසද ලැබේ. තවත් අයකුට ඉතා අමාරුවෙන් විදේශ රැකියාවෙන් හෝ රැකියා ව්‍යාපාර කිරීමෙන් උපයා ගන්නා මුදලින් හෝ තම අර්ථසාධක අරමුදල් ​ෙහා් බැංකු ණය මගින් නිවසක් උරුම කර ගැනීමට හැකියාව ලැබේ.   

එහෙත් වැඩිපුරම සිදුවනුයේ රැකියාව නිසා නගරයට පැමිණ කුඩා ඉඩම් කැබැල්ලක් රැගෙන නිවසක් ඉදිකර ගැනීමය. කෙසේ හෝ යම් පුද්ගලයකු ඉදිකර ගන්නා නිවස කිසිදු කරදරයකින් තොරව බොහෝ කාලයක් පැවතීම අවශ්‍ය කරුණකි. නිවසක් ඉදිකිරීමේදී ජ්‍යොතිෂඥයකු කරාගොස් නැකතක් බලා ඉදිකිරීම් කිරීම සම්මත සිරිතයි. එහිදී නිවස ඉදිකිරීමට අදහස් කරන පුද්ගලයන්ගේ ඡන්ම පත්‍රය පරික්ෂාකර බලා නිවස පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් එයට පිළියම් යෙදීම සඳහා උපදෙස් දිය යුතුය. මෙහිදී ඔහුගේ/ ඇයගේ හතර වැන්න හා හතර අධිපතියාගේ තත්ත්වය සැලකිලිමත් විය යුතුය. යමෙකුට තම උප්පත්ති කේන්දරයේ යම් ගැටලුවක් ඇතොත් එයට පිළියම් සිදුකර නිවසක් ඉදිකිරීම් කළ ඉදිරියට එන බාධා අවම කරගත හැකිය.   


නමුත් යමෙකුට කෙතරම් ලාබ දේපළ ලාබ පැවතියද නිවස ඉදිකිරීමට යොදාගන්නා නැකත් බලය මත යමෙකු ඉතා ඉක්මනින් නිවසේ කටයුතු නිමකර ලීමටත්, තව කෙනකුට ජීවිත කාලය පුරාම වැඩ නිමකිරීමට නොහැකිවීමටත් නැකතෙහි බලය හේතුවෙයි.   


නිවසක් ඉදිකිරීමේදී පළමු කුඤ්ඤය ගැහීම, නූල් ඇදීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම, බිත්ති බැඳීම, උලුවහු තැබීම, වහළ ගැසීම සහ නිවසට පදිංචිවීම ආදී සියල්ලටම නැකත් සැදිය යුතුය.   


අද බොහෝ දෙනා ආරම්භ කළ නිවස ඉදිකිරීම අතරමඟ නැවතිලාය. නැතිනම් කිසි දිනෙක වැඩ නිමකර නොතැබී ඇත්තේය. එමනිසා නිවසක් සෑදීමේදි හොඳින් කල්පනා කර බලා නැකත් ගත යුතුය.   


යම් කිසි පුද්ගලයකු නිවසක් සැදීමේදි තක්කාල ලග්නයේ සඳුද, හත්වැන්න තුළ ගුරුද, තක්කාල දස වැන්නේ බුදද පිහිටුවා ගත්කළ ශුභ වේ. යමකු ගත්කළ ලග්නය මීන ලෙස ගෙන එහි සිකුරු වේනම් වඩාත් සුබවේ. එමෙන්ම කටක ලග්නයේ සඳුද කේන්ද්‍රස්ථානයක සඳුද පිහිටීම ඉතාම සුභයි.   


යමකු වර්ෂ සියයක් පවතින ලෙස නිවසක් ගොඩ නගන කල ලග්නයේ ගුරුද, දස වැන්නේ රවිද, එකොළොස්වැන්නේ සිකුරුද පිහිටිය යුතුය. ගුරු ලග්නයේද, ශනි තෙවැන්නේද කිවි හතර වැන්නේද, රවි හය වැන්නේද, බුධ හත් වැන්නේද සිටි කල සැදු නිවසද වර්ෂ සියයක් යහපත් පලදෙයි. බුදු ලග්නගතව, ගුරු හත් වැන්නේද සඳු දස වැන්නේද තබා සෑදු මුහුර්තියක ගොඩනැගු කල එම නිවස පුරා දශක දහයක් පවතිනු ඇත.   


යම් අවස්ථාවක සිකුරු ලග්නයේද, ගුරු පස් වැන්නේද, කුජ සය වැන්නේද, රවි තෙවැන්නේද සිටිය කල අරඹනු ලබන ගෙය වර්ෂ 200 ක් පවතිනු ඇත. ගුරු හතර වැන්නද, සඳු දස වැන්නේද, ශනි කුජ එකෙළොස්වැන්න තුළද තබා සැදු නිවස වර්ෂ 80 ක් පවතී තක්කාල ලග්නයේ එකොළොස්වැන්න තුළ වී ශනි සිටිය කල අරඹණ ලද නිවස සුභ ඵලදේ.   
යමෙකු නිවසක් ඉදිකිරීමේදදී මේ ආකාර ශුභ ග්‍රහ ඵල සහිත කාලයක සිය ඉදිකිරීම් ආරම්භ කළ යුතුය. නමුත් මේ සඳහා සමහර විටක යම් කාලයක් ගතවීමටද ඉඩ ඇත. අද බොහෝ දෙනා දෛවඥයා කරා පැමිණ ඉක්මනින් වැඩ ආරම්භ කිරීමට නැකත් ඉල්ලන අතර ඒ අය පවසනුයේ තමන් මේ වන විට ගෙවන ගෙවල් කුලිය ඉතිරිකර ගැනීම පිළිබඳවය.   


යමකු නිවසක් ඉදිකිරීමේදී චන්ද්‍ර, සූර්යය මස කෙරෙහිද සැලකිය යුතුය. වෙසක් චන්ද්‍ර මස මේස රවි හෝ වෘෂභ රවිය සංයෝග වූ කාලයක ආරම්භ කරන නිවසින් නිවැසියන්ට ධනවත්වීමට වාසනාව ලැ​ෙබ්. 

 
ඇසල මස කටක, රවි හෝ වෘෂභ සංයෝග තුළ යෙදුණ ශුභ මුහුර්තියක නගන ආරම්භය ධන සම්පත්, තමන්ට හිතවත් සේවකකරකාදීන් ලැබීමට හේතු වේ. නිකිනි මස සිංහ රවිය තුළ අාරම්භ කළ නිවැසියන්ට උසස් හිත මිත්‍රාදීන් ලැබේ. නිකිනි මස කටක රවිය තුළ නිවසක් සැදීම ආරම්භක බාහිර පුද්ගලයන්ගේ උපකාර ලැබේ. ඉල් මස වෘශ්චික රවිය තුළ ආරම්භ කළහොත් ධන ධාන්‍ය, සැප සම්පත් උරුම වේ. ඉල්මස තුලා රවිය තුළ යෙදුණ සුභ මුහුර්ථයක ආරම්භ කළ නිවසින්ද ධන ධාන්‍ය බලය සැපය නොඅඩුව ලැබේ.   


උඳුවප් මස වෘශ්චික රවිය හෝ මකර රවිය තුළ නිවාස කටයුතු ආරම්භයද ඉහත ප්‍රතිඵලම ලබා දේ. යමකු මැදින් මස කුම්භ රවිය තුළ නිවසක් ඉදි කරයිද ඔහුට මැණික් හෝ පොළොවෙන් සම්පත් ලැබෙනු ඇත. 

 
ඔබත් නිවසක් ඉදිකිරීමේදි මේ ආකාරයට සුභ මුහුර්ථ යොදා ගත් තුළ යහපත් ප්‍රතිඵල ලබාගෙන ජීවිතය පුරා ජීවිත්වීමට අවකාශය සලසා ගන්න.   

 

 

 

 

 

 

 

 


එන්.කේ. ධනසේකර   
අංක 381, ගාලු පාර, වාද්දුව (පල්ලිය ඉදිරිපිට)