වසංගත සහ යුද ගිනි මැදින් දියුණුවේ හිණි පෙත්තට ගිය ජපානය


වැටුණු රටක් ගොඩ ගත්තේ මෙහෙමයි

 

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ලත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘නිප්පොන්/නිහොන්”‍ යනුවෙනි. එය ‘‘නි”‍ ඉර සහ ‘‘හොන්”‍ මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 377,835 කි.   


ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කිලෝ මීටර 362,000 කි. උස් කඳු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වූ රාජ්‍යයකි.   
දෙවැනි ලෝක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආර්ථිකය විනාශ කර ගත් ජපානය 1970 වනවිට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් යහපත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇති බව නොරහසකි.   


දෙවැනි ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයේ නිෂ්පාදන හා සේවා ශීඝ්‍ර නවීකරණයකින් සහ ඉහළ තාක්ෂණයකින් දියුණු කෙරිණි. මේ අනුව 20 සියවස ආරම්භ වනවිට කාර්මික අංශය සංවර්ධනය කරමින් ආසියාවේ නවීකරණය වූ රාජ්‍යය බවට පත් විය. 

 
ජපානය අවස්ථා දෙකකදී ආර්ථික අවපාතයක් ඇති වී ආර්ථික වර්ධනයක් අත්පත්කරගත් අතර අද වනවිට ආර්ථික වශයෙන් ලොව බලවත්ම රටක් ලෙස පත්ව සිටියි. බටහිර රටවලින් පිටස්තරව ඉහළම ආර්ථික සංවර්ධනයක් ලබාගත් මුල්ම රට වන්නේ ජපානයයි. දෙවැනි ලෝක සංග්‍රාමයේදී ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් නැත්තටම නැතිවී, විනාශ වී ගියද ජපානයට අද නැවත වරක් ලොව ප්‍රධාන ආර්ථික බලවේගයක් බවට පත්වීමට හැකි වී ඇත. මෙම කරුණු හේතු කොටගෙන ජපානයේ විවිධ බාධා කම්කටොළු මැද ආර්ථික, දේශපාලන හා සමාජයීය. බලවතකු වූ ආකාරය මත ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ගත හැකි ආදර්ශ බෙහෝය.   


දිනකට ඇති පැය 24 ක් වූ කාලයෙන්, පැය 14ක් ම වැඩ කරනා මේ ජපනාගේ හපන්කම් අතිමහත්ය.   
දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් 1945 වනවිට ජපානය දේශපාලන වශයෙන් අතිශයින් අසීරු තත්ත්වයකට පත්විය. නමුත් ජපානය දෙවැනි ලෝක යුද්ධයට ප්‍රවේශ වූයේ අධික බලාපොරොත්තු ඇතිවය. ඇමෙරිකාව විසින් 1945 අගෝස්තු 09 වැනිදා හිරෝෂිමා හා නාගසාකිවලට පරමාණු බෝම්බ 2 ක් හෙලීය. යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් ජපාන ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්වූ අතරම ඒ වනවිට නිෂ්පාදනය සියයට 60 ක් දක්වා පහත වැටුණි. කියෝතෝ නගරය හැර සියලු‍ම නගර මත බෝම්බ හෙලීමෙන් ඇමෙරිකාව ජපානය ආක්‍රමණය කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යටිතල පහසුකම්, වරාය ගමනාගමනය, පාලම්, ප්‍රධාන ගොඩනැගිලි සියල්ලම සියයට 25කට අධික ප්‍රමාණයක් විනාශ විය.   

 


බලය පෙන්වීමේ අනවරථ යුද්ධයක පැටලීම හා ඉන් සිදුවූ ආර්ථික විනාශය නිසා ඉහළ උද්ධමනයක් හා රැකියා වියුක්තියක් ජපානයේ එකල ඇති විය. යුද්ධය තුළින් ජපන් ජාතිකයන්ට ලැබුණු පාඩම වෙස්වලාගත් ආශීර්වාදයක් කර ගනිමින් යථාර්ථවාදී දේශපාලන දැක්මකට එළ‍ැඹෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟකට අවතීර්ණ වූ ජපානයට නැවත නැගිටීමට හැකි විය. මෙම නැගිටීම 1960 වනවිට පැහැදිලිව දක්නට ලැබෙන අතර, ආර්ථික වර්ධන වේගය සියයට14 ක් පමණ වීමටත් ඒක පුද්ගල ආදායම බටහිර රටවල මට්ටමට ගෙන ඒමටත් ජාතික ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථිකය බවට පත් කිරීමටත් මෙම නැවත නැගිටීම හේතු විය.   
පශ්චාත් යුද කාලීන ජපානයේ දේශපාලන ආර්ථිකය යුග කිහිපයකට වෙන් කිරීමකට හැකියාව ඇත. එක් යුගයක් ලෙස ඇමෙරිකාව, ජපානය ඍජු වශයෙන් පාලනය කිරීම දැක්විය හැකිය. 1947 දී ඇ‌මෙරිකාව විසින් ජපානයට අලු‍ත් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර මෙම ව්‍යවස්ථාව මෙයිජි ව්‍යවස්ථාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය. මෙහිදී ප්‍රථමවරට සර්වජන ඡන්ද බලය හා මානව අයිතිවාසිකම් අන්තර්ගත කර තිබුණි.මෙම කාලය තුළ ඇමෙරිකාව ජපානයට විශාල ලෙස විදේශ ආධාර ලබා දුන්නේය. පාරිභෝගික ආධාර ලෙස දුන් මෙම ආධාර පසුව සංවර්ධන ආධාර ලෙස ලබා දුන්නේය. මැක් ආතර්ගේ නායකත්වයෙන් ඉඩම්, අධ්‍යාපනය, කාර්මික හා සමාගම් ප්‍රතිසංස්කරණ ලබා දුන්නේය. ඉඩම් අයිතිය අහෝසි කිරීමෙන් ඉඩම් අයිතිකරුවන්ගේ දේශපාලන හා ආර්ථික බලය සීමා කරනු ලැබීය. ජාතිවාදී අධ්‍යාපනයක් වෙනුවට ලිබරල්වාදී අධ්‍යාපන ක්‍රමයක් ලබා දුන් අතර මධ්‍යම ප්‍රමාණයේ සහ ස්වාධීන ව්‍යාපාර ආයතනවලට ඉදිරියට ඒමට අවස්ථාව ලැබුණි. මීට අමතරව ජපානයේ ආර්ථික සැලසුම් මෙහෙයවීමට ජපන් පාලකයින්ට හැකි විය. මෙහිදී ප්‍රධාන ස්ථානයක් ගත්තේ එරට ජාත්‍යන්තර වෙළෙදාම හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයයි. 

 
මෙම ආයතනයේ මූලික කාර්යභාරය වූයේ කර්මාන්ත දියුණු කිරීම හා එම නිෂ්පාදන විදේශවලට අලෙවි කිරීමයි. මෙම ආයතන තුළ ඊළඟ විශේෂ අවස්ථාව වූයේ ජපන් බැංකු පිහිටුවීමය. මින් පසුව නගර මට්ටමින් බැංකු හඳුන්වා දුන් අතර මෙය 1950 වනවිට බැංකු ජාලයක් බවට පත්විය. මෙම බැංකුවල පෙළඹවීම වූයේ අධික ලෙස ණය දීමයි. මොවුන්ගේ කාර්ය වූයේ කඩිනමින් අඩු පොළියට අවම කොන්දේසී යටතේ ණය දීමය. මෙයින් පිළිබිඹු වන්නේ මෙම ලිහිල් බැංකු ක්‍රමය යටතේ ණය ගැනීමට පෙළඹවීමක් ඇති කිරීමයි.   
ජපන් ආණ්ඩු ක්‍රමයේ සඳහන්ව තිබූ ස්ථාවර හමුදාවක් පවත්වාගෙන යාම තහනම් කිරීම හා යුද්ධයකට සම්බන්ධ නොවිය යුතු බව මඟින් අද දක්වාම ජාතික ආදායමෙන් සියයට එකක් යුද වියදම් සඳහා ඉක්මවා නැත.   

 


ජපානයේ ආර්ථික වර්ධනය හේතු කොට ගෙන උද්ධමනය පහළ මට්ටමකත් ඉතිරි කිරීම ඉහළ මට්ටමකත් තිබිණි. මෙහිදී රාජ්‍ය ප්‍රතිපත්ති වැදගත් වේ. නිර්යාථ දිරිගැන්වීම සඳහා සමහර සමාගම් රාජ්‍ය විසින් යොමු කරවනු ලැබීය. මෙම සමාගම් සෝගේ සෝෂාන් ලෙස හඳුන්වයි. මෙම ආයතන 1980 ගණන්වලදී රටේ නිර්යාථ ආයාථ මෙහෙය වන ලදී. ජපානයේ දේශපාලන අර්ථ ශාස්ත්‍රීය ඥානයට නව කළමනාකරණයක් ඉදිරිපත් කළේය. එනම් මුල සිටම ජීවිතාන්තය දක්වාම රැකියා යන සංකල්පයයි. එනම් ජපන් ජාතිකයන් තම රටේ සංවර්ධනය සඳහා තමන්ගේ විවේකය පරිත්‍යාග කර තිබෙන බවයි. රාජ්‍ය ප්‍රතිපත්ති හා ජනතාව තුළ පවතින්නාවූ කැපවීම මත ජපානය තුළ 1960 දී ආර්ථික සංවර්ධනයක් අත්කරගත් ආකාරය මෙහිදී ගම්‍ය වේ. ඒ අනුව ජපානය අද වනවිට ලෝකයේ ඉහළම ආර්ථික බලවතුන් බවට පත්ව සිටියි.   


දෙවැනි ලෝක යුද්ධයේ අවසානය වනවිට ලෝකයේ පැවැති ආර්ථික මිථ්‍යාවක් වූයේ සංවර්ධිත රටක් බවට පත්වීමට නම්, බටහිර රටක් විය යුතුය, නැතහොත් කතෝලික රටක් විය යුතුය යන්නයි.   
ජපානය සංවර්ධිත රටක් බවට පත් වී ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වීමත් සමග යථෝක්ත ආර්ථික මිථ්‍යාව බිඳ වැටිණ. දෙවැනි ලෝක යුද්ධය අවසන් වනවිට ජපානයේ බිඳ වැටිය හැකි සියළු අංශ බිඳ වැටී අවසන්ව තිබුණි. ලංකාවේ හැටියට නම් ආයේ කවදාවත් ඔලු‍ව උස්සන්න බැරි තරමට බිඳ වැටී තිබුණි. එහෙත් ජපානය නැවත හිස එසවූයේ කිසිදා නැවතත් බිඳ නොහෙලිය හැකි ආකාරයට කීවොත් එය නිවැරදිය.   


රටේ ස්වභාවික සම්පත් කිසිවක් නැත. ස්වභාවික සම්පත් වෙනුවට ඇත්තේ ස්වභාවික විපත් ය. සුනාමි, භූමිකම්පා, ගිනි කඳු ආදියෙන් කිසිදු අඩුවක් මේ රටට නැත. ස්වභාවික සම්පත් කියා කීමට ඇත්තේ වර්ග දෙකකි. ඒ මානව සම්පත හා සමුද්‍ර සම්පත පමණි.   


දෙවැනි ලෝක යුද්ධයෙන් අළු ගසා දා නැගී සිටි ජපානයේ ඉහළම ආර්ථික වර්ධනය වාර්තා වන්නේ 1955 සිට 1961 කාලයේ දීය. ඒ එරට 38 වන ජනාධිපතිවරයා වූ හයාටෝ ලිකේඩා යටතේ ය. ලොව දැනට වාර්තා වී ඇති ඉහළම ආර්ථික වර්ධන අනුපාතයක් වන සියයට 13.9 ක වර්ධනයක් ඔවුන් අත්කර ගත්තේ මෙම වකවානුවේ දීය.   


මෙකී ආර්ථික වර්ධනයට මග පෑදුනේ අගමැති ලිකේඩා යටතේ සිදු වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් අනුගමනය කරමින් රජය පොදු පහසුකම් දියුණු කිරීම හා පෞද්ගලික අංශයෙන් ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා ගැනීම, පොළී අනුපාත අඩු කරමින් ජනතාවගේ ආයෝජන වියදම් වැඩි කිරීමට හා ණය ගැනීමට ඇති උනන්දුව වැඩි කිරීම, රාජ්‍ය ආයෝජන ඉහළ නංවා, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, උමං මාර්ග, ගුවන් තොටුපල, වරාය, තොරතුරු තාක්ෂණය ආදී යටිතල පහසුකම් දියුණු කිරීම හරහා ඉදිරි ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම හේතු වූයේය.   


අනුකරණයේ දක්ෂයන් වන ජපානය එංගලන්තයෙන් රූපවාහිනී සාදන ආකාරය අනුකරණය කළේය. ඔවුන් අලුතින් හැදුවේ රිමෝට් කන්ට්‍රෝලය පමණි. ජර්මනියෙන් මෝටර් රථ සාදන ආකාරය ඉගෙන ගත් ඔවුන් ජර්මනියට වඩා අඩු මිල වාහන ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කර ලෝක වෙළෙඳපොළ ජය ගත්තේය. ටොයෝටා සමාගම මේ වනවිට ලොව 06 වැනි විශාලතම මූල්‍ය නොවන බහුජාතික සමාගම බවට පත් වී ඇති අතර එහි වාර්ෂික ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් 700 ගුණයකි!   


ඔරිගාමී කඩදාසි කලාව, බොන්සායි කලාව, කුංෆු සටන් කලාවන් හරහා ඔවුන් ඔප්පු කර ඇති තවත් කාරණාවක් වන්නේ කොතරම් ආර්ථික වශයෙන් දියුණු වුවද කලාවෙන් ඈත් නොවිය යුතු බව ය. සතියේ දින 07 ම වැඩ කරන ජාතියක් කලාව හරහා මානසික ආතතිය දුරුකර ගන්නා ආකාරය අපට මහඟු‍ ආදර්ශයකි.

 

 

සටහන   
තිළිණි ද සිල්වා