ආන්දෝලනාත්මක වීඩියෝ දසුන් පෙළක් පසුගිය දා යූ ටියුබ් හරහා අප කාට කාටත් දැක ගැනීමට හැකිවිය. වීඩියෝ දසුන් පෙළට අයත් වන්නේ ඇමෙරිකාවේ යෙලෝස්ටෝන් ජාතික වන රක්ෂිතයේ දසුන් පෙළකි. මේ වනවිට ඇමෙරිකාවෙන් දැඩි හිම පතනයක් වාර්තා වී අතර, යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය ද හිමෙන් වැසී පවතී. එම දසුන් පෙළේ බයිසන් ගවයන් දකින්න ලැබෙන අතර, පසුබිමින් ගස් අතර දෙපයින් ඇවිද යන දැවැන්ත මිනිස් රූප දෙකකි. බැලූ බැල්මට මේ දැවැන්තයන් මිනිසුන් සේ පෙනුනත් ඔවුන් මිනිසුන් නොවන බව පැහැදිලිය.
වීඩියෝ දසුන් පෙළේ සිටින්නේ බිග්ෆුට් යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකාවේ වාසය කරනවා යැයි පැවැසෙන දැවැන්ත මානව වානරයා යැයි සැක කෙරේ. කෙසේ නමුත් දසුන් අපැහැදිලි හෙයින් වීඩියෝ දසුන්වල සිටින්නේ බිග්ෆුට් ද යන්න තහවුරු වී නැත.
වීඩියෝ දසුන් පෙළෙහි දැවැන්තයන් හය දෙනකු සිටිනු පෙනෙයි. බොහෝ ගුප්ත සත්ව විද්‍යාඥයන් මීට පෙර ද අදහස් දක්වමින් කියා තිබුණේ බිග්ෆුට් සතුන් රංචු වශයෙන් ගැවසෙන බවය. මෙම දසුන් පෙළ අනුව එය තහවුරු වන බව ද ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.
මානව/වානරයකු යැයි පැවැසෙන බිග්ෆුට් ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙයි. කැනඩාවේ ඌ හැඳින්වෙන්නේ ‘සැස්කොච්’ කියාය. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මේ බිග් ෆුට් ජීවත්වෙන බවට විශ්වාස කෙරේ.
උතුරු විස්කොන්සින්හි ලැකෝටා ඉන්දියානුවන් මේ යෝධයා හැඳින්වූයේ ‘චියේ-ටන්කා’ හෙවත් ‘යෝධ ලොකු අයියා’ යන නමිනි. නේපාලයේ හා ටිබෙටයේ ‘යෙටී’ කියාත්, චීනයේ ‘යෙරන්’ කියාත්, ඕස්ට්‍රේලියාවේ ‘යෝවී’ කියාත් හැඳින්වෙන්නේ මේ බිග්ෆුට් ම හෝ ඔහුගේ නෑයකු බවට ද සැක කෙරේ.
ඇමෙරිකාවේ මෘගයෝ
1. ඇල්කලයි මෘගයා: මේ සත්වයා ඇල්කලයින් විලේ ජීවත් වන කිඹුලකු වැනි සතෙකි.
2. අල්ටමහා-හා මෘගයා: ලොක් නෙස් විලේ මෘගයා වැනි විලේ ජීවත් වන සත්වයෙකි.
3. බෙයාර් මෘගයා: විලේ ජීවත් වන මෘගයෙකි.
4. බුස්කෝ මෘගයා: යෝධ ඉදිඹුවෙකි. ස්නැපින් ටර්ටල් නමැති ඇමෙරිකාවේ වෙසෙන යෝධ ඉදිඹුවා හා මේ සත්වයා අතරේ සමානකම් පවතින බව ද පැවැසෙයි.
5. බෙසී මෘගයා: විලේ ජීවත් වන මෘගයෙකි.
6. බිග්ෆුට්
7. බිග් බර්ඞ්: ඩයිනසෝර කුරුල්ලකු ලෙස සැලකෙන ටිරොඩැක්ටිල් වැනි සත්වයෙකි.
8. කැඩී: විලේ ජීවත් වන මෘගයෙකි.
9. කැසී: විලේ ජීවත් වන මෘගයෙකි. චීන මිථ්‍යා කතාවල මකරකු වැනිය.
10. චෙසී: විලේ ජීවත් වන මෘගයෙකි.
11. චෑම්ප්: විලේ ජීවත් වන මෘගයෙකි
12. චුපකාබ්රා: කෙසඟ කියෝටි නරියකු වැනි විරූපී සත්වයෙකි.
13. පළල් හිසැති මෘදු රකුසා: මේ සත්වයා විලේ ජීවත් වන යෝධ මත්සයෙකි.
14. හනී දූපතේ වගුරු සත්වයා: වගුරේ ජීවත් වන දෙපයින් ඇවිද යන දැවැන්තයෙකි. මිනිසුන් ඩැහැගන්නා බිහිසුණු මෘගයකු ලෙස ද සැලකෙයි.
15. ෆූක් මෘගයා: දෙපයින් ඇවිදින දැවැන්තයෙකි.
16. ජර්සි ඩෙවිල්: විරූපී අශ්වයෙකු බඳු වුවත් පියඹා යා හැකි යෝධ පියාපත් මේ සත්වයාට ඇත. දෙපයින් ගමන් කරන බව ද පැවැසෙයි.
17. ක්‍රිස්පි: විලේ ජීවත් වන මෘගයෙකි
18. ක්නොබී: දෙපයින් ඇවිදින දැවැන්තයෙකි.
19. ස්කේප් ඕර් විලේ උරග මිනිසා: විලේ වෙසෙන දෙපයින් ඇවිදින මනුෂ්‍යයකු වැනි සත්වයෙකි. උරගයකු මෙන් කොරල මේ ජීවියාගේ සිරුරේ දකින්න ලැබෙන බව ද පැවැසෙයි.
20. ලව්ලෑන්ඞ් ෆ්රොග්මන් හෙවත් ගෙබි මිනිසා: මානවයකු බදු යෝධ ගෙම්බෙකි.
21. මොගොලොන් මෘගයා: දෙපයින් ඇවිදින දැවැන්තයෙකි.
22. මොත්මෑන්: ඇමෙරිකාවේ වෙසෙනවා යැයි පැවැසෙන මෙම මෘගයන් අතරින් කැපී පෙනෙන මෘගයෙකි. මේ සත්වයා මනුෂ්‍යයකු වැනිය. පිටෙහි පියාපත් යුගලක් ඇති අතර, රාත්‍රී කාලයේ අහසේ සැරිසරමින් මිනිසුන් පැහැර ගන්නා බව පැවැසෙයි.
23. මෝමෝ: දෙපයින් ඇවිදින දැවැන්තයෙකි.
24. ඔසාක් හවුලර්: යෝධ ව්‍යාඝ්‍රයකු බදු බිහිසුණු සත්වයෙකි. මෙම සත්වයාගේ ගර්ජනා රාත්‍රී කාලයේ අසන්න ලැබෙන බව පැවැසෙයි.
25. පැඞ්ලර්: විලේ ජීවත් වන මෘගයෙකි.
26. පුකුඞ්ජී: කුඩා දරුවකු වැනි මනුෂ්‍ය සත්වයෙකි. මේ සතාට ඇත්තේ ලොකු හිසක් සහ ලොකු කන් දෙකකි.
27. පෝප් ලික් මෘගයා: එළුවකුගේ හිසක් ඇති ලොකු අං යුගලක් සහ පාදවල කුර ඇති සත්වයෙකි. දෙපයින් ගමන් කරනවා යැයි පැවැසෙයි.
28. ෂොන්කා වොරකින්: මේ සත්වයා යෝධ වෘකයෙකි.
29. ස්කන්ක් වානරයෝ: බිග්ෆුට් වැනි දෙපයින් ඇවිදින සත්වයින් වර්ගයක් යැයි පැවැසෙයි.
30. ටෙසී: විලේ ජීවත් වන මෘගයෙකි.
31. තන්ඩර්බර්ඞ්ස්: යෝධ මාංශ භක්ෂක කුරුලු විශේෂයකි.
32. වොම්පස් බිළාලයා: කොටියකු හා සමාන මාංශ භක්ෂක බිළාලයෙකි.
“හොඳටම විශ්වාසයි. බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක්” මෙහෙම කියන්නේ ජේන් ගුඩෝල්. ජේන් ගුඩෝල් කියන්නේ ප්රිමාටේස් හෙවත් අග්‍රේශයන් ගැන අද ලෝකයේ ඉන්නා ප්රමුඛ පෙළේ විශේෂඥවරියකි. ප්රිමාටේස් කියලා කියන්නේ වානර පවුලේ සතුන්ටය. ජේන් විශ්වාස කරන අන්දමට ‘බිග් ෆුට්’ කියන්නේ වානරයෙක්. ‘බිග්ෆුට්’ යන්නේ තේරුම ‘යෝධ පා ඇත්තා’ යන්නය. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්වයෙකු බව පැවැසෙයි. “මේ වන විට බිග්ෆුට් ලොව පුරා ජනප්‍රිය වීමට හේතුව රූපවාහිනී වැඩසටහන්වලින් හා ඕපාදූපවලට මුල්තැනක් දෙන ජනප්‍රිය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ බිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්” ජේන් ගුඩෝල් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නීය. ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකිය.
ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවූ පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත්‍රිකයන් ගල්වල කෙටූ චිත්‍ර හා රූප සටහන් හමුවී ඇත. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවූ නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා ඇත. මේ රූප අතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිත කිරීමට සමත් විය. ඒ, දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයකි. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණාවක් විය. කිසිදාක එකිනෙකා හමුවී හෝ කතාබහ හෝ නොකළ එකිනෙකට වෙනස් ගෝත්‍රික ජනයා එක හා සමාන වානරයෙකුගේ රූපයක් ඔවුන් හැමෝම චිත්‍ර ඇන්ද ලෙන් චිත්රවලට ඇතුළත් කර තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණකි. බිග්ෆුට් සැබෑවක් යැයි කීමට මෙය ද ප්‍රබල සාක්ෂියක් යැයි පැවැසෙයි.
ගුප්ත සත්ව විද්‍යාඥයන් යනු බිග්ෆුට්, ලොක් නෙස් විලේ මෘගයා, හිමාලයේ හිම මිනිසා යෙටී වැනි සැබෑවක් යැයි පැවැසිය නොහැකි සතුන් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයන්ටය. එම සතුන් සම්බන්ධයෙන් පවතින විද්‍යාව හැඳින්වෙන්නේ ගුප්ත සත්ව විද්‍යාව කියාය. මිථ්‍යාවලට පමණක් සීමා වුණු මේ අපූරු සතුන් ගැන හදාරණ, එම සතුන් හැබෑවක් යැයි ඔප්පු කිරීමට උත්සහ ගන්නා මෙවැනි ගුප්ත සත්ව විද්‍යාඥයෝ ලොව පුරා සිටිති.
එක්සත් ජනපද ඇමෙරිකාව, ‘එක්සත් ජනපද මෘගයන්ගේ ඇමෙරිකාව’ ලෙසින් හඳුන්වමින් පසුගියදා බ්‍රිතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියේ විශේෂාංගයක් පළ විය. බිග්ෆුට් පමණක් නොව, ජර්සි ඩෙවිල්, මොත්මෑන් ආදී වශයෙන් ඇමෙරිකාව පුරා සෑම ජනපදයකින්ම නොයෙක් විදියේ අපූරු මෘගයන් එසේත් නැතිනම් අපූරු ජීවීන් ගැන අසන්න ලැබේ. මේ සතුන් හැබෑවක් හෝ වේවා බොරුවක් හෝ වේවා මොවුහු ඇමෙරිකන් සිනමාව, ප්‍රබන්ධ කතා, මාලා නාටක ජනප්‍රිය කිරීමට දායක වී සිටිති. ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය එම ජීවීන්ගේ රූපසටහන් ද සහිත ඇමෙරිකාවේ සිතුවමක් ද පළ කළේය. එම සිතියම සිතුවම් කරනු ලැබ ඇත්තේ මාර්ක් ඇඩම්ස් විසිනි.
ඇමෙරිකාව පුරා ඇති ජනපද සහ ප්‍රාන්තවල මෙවැනි අද්භූත සතුන් එසේත් නැතිනම් විකෘති මෘගයන් තිස් දෙදෙනකු වාසය කරන බව එම සිතියමේ දැක්වෙයි. බිග්ෆුට් වැනි විවිධ නම් ඇති දෙපයින් ගමන් කරන මානව වානරයන් රැසක් සහ ලොක් නෙස් විලේ මෘගයා වැනි විල්වල වාසය කරන සත්වයෝ රැසක් ද මේ සිතියමේ සිටින සත්වයන් අතරට අයත් වෙති.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි