ලේඩිස්ලා වෙනුවෙන් පමණක විවෘත ශ්‍රීපාලීගෙ ලේඩිස් ඔන්ලි ජිම් එක


දාහත් වසරක් පමණ ඇය කටයුතු කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණඩායමේ  ක්‍රීඩිකාවක ලෙසය.  පන්දු යැවීමේදී විශේෂ දක්ෂතා දැක් වූ ඇය එදා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩිකාවක වූවාය. ක්‍රිකට් දිවියට සමුදුන් පසුව, අද ඇය ගැන වැඩි දෙනෙක් කතා වන්නේ ඇය සතු ෆිට්නස් සෙන්ටර් එක හෙවත් ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථානය නිසාය. එය වෙන් කර තිබෙන්නේ කාන්තාවන් වෙනුවෙන් පමණි. ලේඩිස් ඔන්ලි ජිම් ආයතනයක් ලෙස එය කාන්තාවන් බොහෝ දෙනෙක් අතර ප්‍රකට වී තිබේ.  ඇයගේ එම විශේෂිත ව්‍යායාම්  ආයතනයට පැමිණෙන කාන්තාවන් අතර තරු චරිත බොහෝමයකි. කාන්තාවන්ට වෙනස් විදිහෙ ව්‍යායාම් කියාදෙන ඇය ශ්‍රීපාලී වීරක්කොඩිය. බලන්නකො අද ඇයගෙ ලස්සන..  ඒකට හේතුව ව්‍යායාම් කිරීමද? වයායාම් කිරීම නිසා කාන්තාවන් ලස්සන වෙනවද?  ලස්සන ශ්‍රීපාලීගෙ ලස්සන ජිම් ආයතනයට ගිහින් ඒ ගැන විමසමු.

ප්‍ර ශ්‍රීපාලී අපට කියන්නකො  ඔබ ගැන විස්තර ටිකක්?

ක්‍රීඩාවට මම යොමු වෙලා හිටියෙ ළමා කාලයේ සිටමයි. ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ අහම්බයකින්. මගේ පාසල ගුරුදෙණිය  මහා විද්‍යාලය, එතැනදී මගේ අක්කලා ක්‍රීඩා කරන හැටි දැකලා තමයි ක්‍රිකට් ගැන ආසාව ඇති වුණේ. මගේ ගම මහනුවර. පවුලේ අම්මයි තාත්තයි අක්කයි- මමයි. ඉස්සර පාසල් ගිහින් ඇවිත් ගෙවල් ලඟ අයියලා එක්ක ක්‍රිකට් ගහන්න පුරුදු වෙලා හිටියා. පසු කාලයක පාසලේ අක්කලා ක්‍රිකට් ක්‍රීඩා කරද්දී කෝච් සර් ළඟට ගිහින් මටත් බෝල් කරන්න දෙන්න පුළුවන් ද කියලා ඇහුවා. ඒ විදිහට තමයි ආසාව එක්ක සහ උනන්දුව එක්ක පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න වරම් ලබා ගත්තෙ. එතැනින් පසුව මහවැලි ක්‍රීඩා සමාජය නියෝජනය කළා. කැනිඩියන් ලේඩීස් බී ඩිවිෂන් චැම්පියන්ස්ලා වුනාට පස්සෙ 2004 දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුණා. එතැන් සිට අවුරුදු 17 ක් විතර කාලයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා.

ප්‍ර ඒ විදිහට ගමනක් ගිය ශ්‍රීපාලී අද යන්නෙ වෙනස්ම ගමනක්? ලේඩිස් ඔන්ලි විතරක් ජිම් එකක්? මේ ගැන කියමු නේද?

ලේඩිස් ඔන්ලි කියන තැනට මේ ජිම් එක යොමු කරන්න විශේෂ හේතුව වුණේ, මුස්ලිම් ලේඩිස්ලාටත් ඒමේ පහසුව වෙනුවෙන්. එයාලා අඳින පලඳින විදිහ වෙනස් නිසා ඒ ගැන හිතුවා.  නම දැම්මෙ රී බිල්ඩ් ෆිට්නස් ඇන්ඩ් වෙල්නස් සෙන්ටර් කියලයි. වෙනස්ම දෙයක් කිරීම තමයි මගේ අරමුණ.

ප්‍ර මොකක්ද ඒ වෙනස?

ජාතික කණ්ඩායමේ සිටි කාලයේදී මම ලැබුව අත් දැකීම් සහ ක්‍රීඩා අංශයේ නියැළී ලද දැනුම තවත් කාන්තා පිරිසකට ලබා දෙන්න ඕනෑ වුණා. අපේ ලේඩිස්ලා ගෙවල්වල එයාලා ෆැමිලි එකත් එක්ක තමයි වැඩි පුර කාලය ගත කරන්නෙ. ඒ නිසා එයාලා ශාරීරික ව්‍යායාම් පැත්ත ගැන හිතන්නෙ නැහැ. හිතන්න වෙලාවකුත් නැති තරම්. ඒ නිසා එයාලා වෙනුවෙන් වෙනස් විදිහෙ ආකෘතියක් සහිත ව්‍යායාම් මොඩලයක් නිර්මාණය කළොත් හොඳයි කියලා හිතුවා. අනෙක අපේ කාන්තාවන් බොහොමයකට ක්‍රීඩාශීලී  මානසිකත්වය හරි අඩුයි. සමහර කාන්තාවන්ගෙ හෝමෝන බැලන්ස් නැහැ, ඒ වගේම විවිධ සෞඛ්‍ය ප්‍රශ්න සහ ගැටලු තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මානසික පීඩනයෙන් හෙවත් ඩිප්ප්‍රෙෂන් තත්ත්වයේ පසු වෙනවා. මේ ඔක්කෝම ගැටලු වලට ගැළපෙන විදිහෙ ව්‍යායාම් ආකෘතියක් නිර්මාණය කළොත් හොඳ බව මගේ අදහස වුණා. ඒ වෙනස නිසා කාන්තාවන් වගේම විවිධ ක්ෂේත්‍රවල තරු චරිත අතර මගේ ක්‍රමවේදය ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. මම ගොඩාක්ම ෆෝකස් කරලා තියෙන්නෙ කෙනෙකුට මේ ෆිට්නස් ආයතනයට පැමිණෙන විටදීම වගේ සැහැල්ලුවක් ඇතිවන විදිහෙ පරිසරයක්. ස්ට්‍රෙස් රිලීස් වීම වඩා වැදගත්. හැපිනස් හෙවත් එන විටම එයාලට සතුටක් දැනීම වෙනුවෙන් එයාලා පිළිගැනීමේ සිට එයාලගෙ මුහුණට හිනාවක් ගෙන දීමට මා ඇතුළු මගේ කණ්ඩායම සැදී පැහැදී සිටිනවා. ඇත්තටම කාන්තාවන්ට ශාරිරිකව සහ ඉස්සෙල්ලා කිව්ව විදිහට තියෙන ගැටලු එක්ක එයාලා නොදැනුවත්ව හෝ දැනුවත්ව එයාලා ඉන්නෙ ස්ට්‍රෙස් එකක් එක්ක. ඒ සියල්ල ගැන හිතලා තමයි මේ මොඩල් එටක් ෆිට්නස් සෙන්ටර් එකක් හඳුන්වා දුන්නෙ. මේක ඇත්තටම සාම්ප්‍රදායක ජිම් එකක් නෙවෙයි. ඇවිල්ලාම ඒ වෙනස අත් විඳ ගන්න පුළුවනි.

ප්‍ර ව්‍යායාම් වෙනුවෙන් කාන්තාවන්ට වඩා සුදුසු වෙලාවක් තියෙනවද?

අපි බොහොමයක් ක්ලාසස් කරන්නෙ උදේට. ඒ වගේම හවසටත් තියෙනවා. හැබැයි රැකියා කරන අයට මම නම් කියන්නෙ හැන්ඳෑ වරුව හොඳයි. මවක් නම් එයාලට උදේ වරුව හොඳයි.

ප්‍ර කුඩා දරුවන් සිටින කිරිදෙන මව්වරුන්ට මේ වගේ ව්‍යායාම් කිරීම හොඳද?

කිරි දෙන අම්මලාට විතරක් නෙවෙයි, ප්‍රෙග්නන්ට් ලේඩිස්ලාටත් ව්‍යායාම් කිරීම ඉතා හොඳයි. අපි ඒ කෙනාගේ අරමුණ සහ අවශ්‍යතාව අනුව තමයි අපි කටයුතු කරන්නෙ. ආසියානු කලාපයේ රටවල ප්‍රෙග්නන්ට් සහ කිරි දෙන මව්වරු අතර මේ විදිහෙ ව්‍යායාම් ප්‍රචලිත නැතත් බටහිර රටවල බොහෝ කාන්තාවන් අතර මේ වගේ ෆිට්නස් ව්‍යායාම් හරිම ජනප්‍රියයි. ප්‍රෙග්නන්ට් මව්වරුන්ට ගැළපෙන ව්‍යායාම් නිසා එයාගෙ දරු ප්‍රසූතියේදි එයාලට ඒක හරිම පහසුවක් වෙනවා. ඒ වගේම දරුවා වඩා නිරෝගී වෙනවා. මොකද අපි මේ ව්‍යායාම් අාවාට ගියාට කරන්නෙ නැහැ. ඉතා ක්‍රමවත් විදිහකට තමයි කරන්නෙ. මේ වගේ ෆිට්නස් ව්‍යායාම් කරන්නෙ නැත්නම් ඇවිදීම වගේ දේ හරි කරන්න ඕනෑ.  කොහොම වුනත් එකිනෙකාගේ ශරීර සෞඛ්‍යය ගැලපෙන දේ විතරයි අපි කරන්නෙ.

ප්‍ර ස්වභාවිකව කරන ව්‍යායාම්වලටද වැඩිපුර ඉල්ලුම තියෙන්නෙ?

කොහොමටත් මැෂින් ව්‍යායාම් නෙවෙයි අපි කරන්නෙ. නවීන ක්‍රමවේදයන්ට අනුව අනුගමනය කරන්නෙ වඩාත් ස්වභාවික ව්‍යායාම්.

ප්‍ර ලේඩිස්ලා මේ විදිහට ව්‍යායාම් කරද්දී ඔබ වැඩි පුර එයාලා වෙනුවෙන් ලබා දෙන උපදෙස?

කාන්තාවන්ගේ ලෙග්ස් ගැන වැඩි ව්‍යායාම් අවධානයක් යොමු කරන්න වෙනවා.  එයාලගෙ වයස යාමත් එක්ක වැඩිපුර ආබාධ තත්වයන් එන්නෙ, පාදවලට. ලෙග්ස් වඩා ශක්තිමත් නම්? ඉන්ජරීස් හරි අඩුයි. ඒ නිසා මම වැඩිපුර එයාලට කියාදෙන්නෙ ඒ ගැනයි. මේ කාලයේදි අපට ස්වභාවික ව්‍යායාම් ගෙදරදී කිරීමේ අවකාශය අඩු වෙලා, දැන් ඔක්කොම වැඩ කෙරෙන්නෙ මැෂින්වලින්. ඒ නිසා සිරුර වෙහෙසවීම හරි අඩුයිනෙ.  ඇත්තටම අපේ ක්‍රියා කාරීත්වය අඩු නිසා තමයි අද වන විට මේ ජිම් සංස්කෘතිය ප්‍රචලිත වෙලා තියෙන්නෙ. කොහොම වුණත් ජිම් යන්නෙ නැත්නම්, හොඳම දේ ඇවිදීමයි. එයින් පොඩි හරි හොඳක් වෙනවා. බාහිරව ලස්සන වෙන්න කාන්තාවන් බොහෝ දේ කරනවනෙ. හැබැයි කාන්තාවක් වයසට යද්දි එයාලට menopause හෙවත් ආර්තවහරණයට පත්වෙනවනෙ. එයින් පසුව විවිධ ගැටලු වලට සමහර විට එයාලාට මුහුණ දෙන්න වෙනවා. ඉන්ටර්නල් බොඩි එකේ බොහොමයක් සෞඛ්‍යය ගැටලු එන්න පටන් ගන්නවා. ඉතින් එක්සසයිස්වලින් කරන්නෙ හැපි හෝර්මෝන නිපදවිමයි. හැපි වුණාම අපේ මනසත් සැහැල්ලු වෙනවා. එවිට ඩිප්ප්‍රෙෂන් තත්වය පවා නැතුව යනවා. කාන්තාවන් කියන්නෙ බොහෝම ඉවසන පිරිසක්නෙ, ඉතින් මොන ප්‍රශ්න තිබුණත් එයාලා ඒවා දරා ගෙන ඉන්නවා. ඒ නිසාම ස්ට්‍රෙස් ඇති වුණත්, එයලාට ඒ තත්ත්වය තියෙන බව එයාලා දන්නෙ නැහැ. කොලෙස්ට්‍රෝල් පවා එන්නෙ ස්ට්‍රෙස් වුණාමයි. ඒ නිසා හැපි මයින්ඩ් හරි වැදගත්.

ප්‍ර තවත් මොනවද ශ්‍රීපාලී  ලේඩිස් ඔන්ලි වෙනුවෙන් දෙන උපදෙස?

වෛද්‍යවරු පවා බොහෝ විට විවිධ ආබාධ වලදී ප්‍රතිකාර ලෙස ලබා දෙන්නෙ පෙති වර්ග. හැබැයි ඒවාට යාමට පෙර පුළුවන් නම්  ව්‍යායාම්වලින් පාලනය කර ගත හැකි ක්‍රම අනුගමනය කරන්න. ඇත්තටම අපට වේදනා සමනය හෝ වෙනත් දේ වෙනුවෙන් ලබා ගන්නා බෙහෙත් පෙති වර්ග වෙනුවට කළ හැකි ව්‍යායාම් සහ සුම්බා වගේ නර්තනාංග ව්‍යායාම් ක්‍රමවේදයන් බොහෝමයි. ඒ නිසා ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියන දේ මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

සඳුන් ගමගේ