අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ ළමා ගීතයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක් වුවද අද දවසේදී ළමා ගීත මෙන්ම ළමා ගායන ශිල්පීන් ශිල්පිනියන්ද අමතකව ගොස් ඇත්තේ ළමා ගීතයට එහා ගිය හරසුන් නිර්මාණ ජනගත වී ඇති බැවිනි. එදා ගුවන් විදුලියේ ළමා සංගීතමය වැඩසටහන් තුළින් ගීත ක්ෂේත්‍රයට පය ගැසූ බොහෝ දෙනකු අද දවසේ විශිෂ්ට නිර්මාණ කරමින් රැඳී සිටීම තුළ ළමා නිර්මාණකරුවකු ලෙස කලඑළි බැසීම අගය කළ යුතු කාරණයකි.
දක්ෂතා සපිරුණු දරුවන් අද දවසේද සංගීත ක්ෂේත්‍රය තුළ තම දක්ෂතා එළි දක්වමින් නිර්මාණකරණයේ යෙදීම අගය කළ යුතු අතර මෙවර සඳැල්ල සරසන්නේ එවන් දක්ෂතා පිරුණු ළමා ගායන ශිල්පියෙකි. ඔහු පසුගිය වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම ළමා ගායන ශිල්පියා ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබූ ශහේන් දෙද්දුවකුමාර ය.
ප්‍ර ශහේන් කොහොමද ගායන ක්ෂේත්‍රයට යොමුවන්නේ
මම පුංචි කාලෙ ඉඳලම සංගීතයට කැමතියි. නිතරම ගිත අහනවා. ඒ වගේම මට ගයන්නත් හැකියාවක් තියෙනවා කියලා අම්මයි, තාත්තයි හඳුනාගෙන තිබුණේ. ඒ නිසා ඒ දෙන්නා මාව ප්‍රවීණ ගායන ශිල්පිනියක වන උමාරා සිංහවංස ගුරුතුමියගේ සංගීත ඇකඩමියට බාර දුන්නා. ඒ වයස අවුරුදු හතේදි. එතැනින් තමයි මම පළමුවෙන්ම සංගීතය හදාරන්නේ.
ප්‍ර එතැනදි ඔබට සුවිශේෂී අවස්ථා රැසක් හිමිවනවා නේද?
ඔව්. ඒ සංගීත ඇකඩමියට බඳවාගන්නෙත් පරීක්ෂණයක් මගින්. ඒ වගේම තමයි ඒ ඇකඩමිය මඟින් සෑම වසරකම වන් මයික් නමින් ප්‍රසංගයක් පවත්වනවා. ඒ ප්‍රසංගයේ ගායනා කරන්න ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකට. මට වසර තුනක්ම එම ප්‍රසංගයේ ඒකල ගායනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. මම ඒක දකින්නේ මට ලැබුණු සුවිශේෂතම අවස්ථාවක් ලෙසයි. ඒ වගේම 2022 වසරේ එම ප්‍රසංගයේ මම නියෝජනය කළ කාණ්ඩයේ හොඳම ගායකයා ලෙස අගැයිම් ලැබුණා.
ප්‍ර ඔබ පසුගිය වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ ප්‍රශස්තතම ළමා ගායන ශිල්පියා ලෙසිනුත් සම්මාන ලබනවා. ඒ සතුට කොහොමද දැනෙන්නේ..
එදානම් මට පුදුම සතුටක් දැණුනා. මට එම සම්මානය ලැබුණේ ප්‍රවීණ ගීත රචක අසංක රුවන්සාගර මාමා ලියා ප්‍රවීණ සංගීතවේදී හර්ශන දිසානායක මාමා සංගීතවත් කළ මා ගැයූ ’ රන්වැලි සෑයද සල්මල ඇතුළේ’ ගීතය වෙනුවෙන්. ඒ තමයි මම ගැයූ පළමු ස්වතන්ත්‍ර ගීතය.
ප්‍ර ඔබ ඊට පසු කළ නව නිර්මාණ මොනවාද?
අසංක රුවන්සාගර මාමා ලියා උදාර සමරවීර මාමා සංගීතවත් කළ ‘හැංගි මුත්ත හැංගියෝ’, දේ.වී. ගාල්ලගේ මාමා ලියා රෝහණ ධර්මකීර්ති මාමාත් නාලක අංජන කුමාර මාමාත් සංගීතවත් කළ ’ගිරි මුදුනින් හා ගමට යමු ද අම්මේ’ ගීත දෙකත් ගායනා කළා. ඒ වගේම හර්ෂණ දිසානායක මාමාගේ ගීත දෙකක් වන ‘පාන්දරින් ඉස්කෝලෙට හා පොළොවෙන් මතුවන මිණි කැට’ ගීත දෙකට, මමත් ආදිත්‍යා වැලිවත්ත අක්කාත් අත්වැල් ගායනයෙන් සහාය වුණා.
ප්‍ර ශහේන්ගේ පාසල ගැනත් අපි මතක් කරමු
මම අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විදුහලේ දහය වසරේ. අධ්‍යාපන කටයුතුවලට වගේම බොහෝ බාහිර කටයුතුවලටත් මම එකතුවෙනවා. ඒ අතරින් සංගීතය විශේෂයි. මම පාසලේ තූර්ය වාදන කණ්ඩායමේ බෑග් පයිප් හා කහෝන් කියන වාද්‍ය භාණ්ඩ වාදනය කළා. ඒවගේම පාසලේ බටහිර ගායන වෘන්දයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරනවා. පද්‍ය ගායනා තරගවලින් ජයග්‍රහණ රැසක් මේවනවිට ලබාගෙන තියෙනවා.
ප්‍ර ඉදිරි සංගීත කටයුතු මොන වගේද?
මම මේවනවිට විශාරද ධම්මි සුජීවා ගුරුතුමිය යටතේ සංගීත විශාරද උපාධිය හදාරනවා. මේ වනවිට ප්‍රවේශිකා,පාරම්භ ,ඩිප්ලෝමා අධියර තුන අවසන් වී සිටින්නේ.
ප්‍ර මේ ගමනේදි සිහිපත් කළ යුතු බොහෝ පිරිසක් ඇති නේද?
ඔව්. මට මේ කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය දෙන්නේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නාට මම සදා ණයගැතියි. ඒවගේම තමයි මට ගීත ලියා දුන්, සංගීතවත් කර දුන් මාමාලාට, මට සංගීතය ඉගැන්වූ උමාරා සිංහවංස,ධම්මි සුජීවා,රාජකීය විදුහලේ සංගීත ආචාර්යවරුන් වන ප්‍රියන්ති සුදුසිංහ, සුරේකා අමරසිංහ ගුරු මෑණිවරුන්ට මම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මට මඟ පෙන්නුවාට. ඒ වගේම මට වචනයකින් හෝ උදව් උපකාර කළ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
ප්‍ර අනාගත බලාපොරොත්තුත් ඇති.
ඔව්. සංගීත විශාරද උපාධිය හොඳින් හදාරා ස්වතන්ත්‍ර ගීත තවත් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම තමයි මට ගීත නිර්මාණකරණය ගැන හදාරන්නත් ආසාවක් තිබෙනවා. හොඳින් ඉගෙනගෙන රට වැඩදායි පුරවැසියෙක් වෙන්න ආසයි.
සුජිත් ප්‍රසංග