රසවිත අතුරුපස


මුංඇට හතර


‘ දිනක් බිරියගේ අල්මාරිය විවෘත කර බැලූ සැමියාට එහි තිබී අමුතු යමක් හමුවිය. කුඩා කවරයක සුරක්ෂිතව තබා තිබුණු රුපියල් පන්දහසක් සහ මුංඇට හතරකි.  


‘‘චාපා! මොකක්ද මේ? රුපියල් පන්දාහක්? මුංඇට හතරක්?’’  


‘‘අනේ මෙයා...! මං ඔයාට බොරුවක් කියන හැම වතාවකම මුංඇටයක් අල්මාරියෙ අරන් තිබ්බා. ඒකයි ඔය.’’ චාපා කීවේ මඳ ලජ්ජාවකිනි.  


‘‘හැබෑටම? බැඳලා අවුරුදු දහයටම බොරු හතරනෙ කියලා තියෙන්නෙ. කමක් නෑ මම අහන්නෙ නෑ මොනවද කියලා. ඔයා හොඳ බිරිඳක්. මම වාසනාවන්තයි.’’ තුංගපාල සතුටින් ඉපිලෙමින් කීය.


‘‘එතකොට මේ රුපියල් පන්දාහ?’’  


‘‘ඒ මුංඇට විකුණලා ගත්ත සල්ලි!’’  


වග වීම


ගඟබඩ වෘක්ෂයක, යොවුන් කුරුලු ජෝඩුවක් අලුත් කැදැල්ලක් තනනු දුටු පිඹුරු රාළහාමි එතැනට පැමිණ ගෝරනාඩු කළේය. තමන්ට සම්බාධක නොදමන ලෙස කුරුලු ජෝඩුව ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ.  
‘‘හොදයි එහෙනම්... ඔතන ඉන්න පුළුවන්. හැබැයි තමුසෙලා මට වගවෙන්න ඕනෑ. හරිය?’’  


මාස කීපයකට පසු පිඹුරා යළි පැමිණියේය.  


‘‘ආ... තමුසෙලා ජොලියෙ ඉන්නවා නේද? බිත්තර කාරිය දැම්මයැ?’’  
‘‘එහෙමයි රාළහාමි. හතරයි.’’  
‘‘කෝ ගන්නවා. එයින් බාගයක් මට ඕනෑ.’’  
‘‘ඈ?’’  


පිඹුරා කූඩුවට හිස පොවා බිත්තර දෙකක් ගිල දමා යන්නට හැරුණේ මෙසේ කියමිනි.  
‘‘වගවෙනවා කියන්නේ මේකට තමයි!’’  


අමතක වීමක්


වැඩ ඇරී ගෙදර ආ සැමියා දුටුවේ, තම බිරිය තුන් මස් වියැති සිඟිති පුතා උඩ දම දමා අල්ලන ආකාරයයි.  
‘​‘දෙයියෝ සාක්කි! මොකක්ද ඔය කරන්නේ?’’ ඔහු කඩා පැන්නේය.  


‘‘අනේ අද මට බෝතලේ හොලවලා බෙහෙත් දෙන්න මතක නැතිවුණා මෙයා...!’’  


සම්මුතිය


කොම්පියුටර මේසය මත සිය යොවුන් පුත්‍රයා නිතර ගැවසෙනු දුටු මී මවක් ඔහුට තරයේ අවවාද කළාය.  
‘‘පුතා... ඔය කාමරේ ඉන්නවා වැඩියි. අදත් බළල් මොටා ඔය පැත්තේ කැරකුණා. මතකනේ තාත්තට වෙච්ච දේ?’’  


‘‘අම්මලා දන්න දෙයක් නෑ.’’ මී පුත්‍රයා කීවේ අවඥාවෙනි.  


‘‘දැන් මේක ගෝලීය ලෝකයක්. සිංහයො කොටි හිටන් ඔය සංහිඳියාවෙන් ඉන්නේ!  
සම්මුතියකට ආවම ඉවරනේ!’’  


එදා සිට මී අම්මා සිය පුත්‍රයා දුටුවේ නැත. 


 හදිසි වැඩ


සොයිසා මහතාට හදිසියේ ඇඳුමක් මසාගැනීමට අවශ්‍ය විය. ඔහු ටේලර් සාප්පුවකට ගොඩ වැදුණේය.  
‘‘දවස් දෙකෙන් මේ වැ​ඩේ කරදෙන්න බෑ සර්...! සුට් එක හොඳට තියෙන්න එපායැ?’’  


‘‘ඇයි එහෙම කියන්නෙ?’’ සොයිසා මහතා සිනාසුණේය. ‘‘දෙවියන් වහන්සේට ලෝකය මවන්න ගියෙත් දවස් හතයි!’’  


‘‘අන්න ඒක තමා... බලන්න ඒකෙ හැටි!’’  


දීර්ඝ වාක්‍යම් අලංකාරං  


යම් තුරුණුවකු විසින් විවාහය පිණිස තරුණියක් තෝරාගන්නට පෙර, ඒ ඒ පළාත් පිළිබඳ හොඳින් දැන, ඒ ඒ පවුල්වල තරාතිරම හොඳින් සොයා බලා, ඒ ඒ මාමණ්ඩිලාගේ වත් පොහොසත්කමද, ඒ ඒ නැන්දම්මලාගේ ගතිගුණද දැන, ඒ ඒ යුවතියන්ගේ අතීතය සහ වර්තමානයද, උගත්කමද, නැණවත්කමද, ගුණ අගුණද මනාව අවබෝධ කොටගෙන, ඇයගේ ඒ ඒ සහෝදරයින්, ඒ ඒ මිතුරු මිතුරියන්ද ඇසුරු කොට, ඒ ඒ අයට ගැලපෙන තාලයට හැඩගැසීමෙන් අනතුරුව, යුවතියගේ ඒ ඒ රුචි අරුචිකම් පිළිබඳව දිගු කාලයක් හදාරා, මංගල්ලයට දින නියමකොට ඒ ඒ වස්ත්‍රාභරණ, ඒ ඒ උත්සව ශාලා, ඒ ඒ ආහාරපාන, ඒ ඒ ඡායාරූප ශිල්පීන්, ඒ ඒ මල් කුමර කුමරියන්, ඒ ඒ අරුමෝසම් සූදානම් කර, ඒ ඒ නැකැත් අනුව, ඒ ඒ චාරිත්‍රනුකූලව මංගල උත්සවය පවත්වා, රාත්‍රියේ රෙස්ට් හවුසියේදී කළ යුතු ඒ ඒ කාරණා ඉටුකොට අභිනව ජීවිතයට පිවිසිය යුතු වන්නේය.  

 


කලණ මිතුසඳ