රන් ටිකිරි සිනා අරන් ගඟ අද්දරින් ආ... - සංජීවනී වීරසිංහ


‘රන් ටිකිරි සිනා 
උව මුව පාලා 
ළංවී අත් අල්ලාගෙන 
ඇස් දැල්වූවා’

දිවංගන සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් නිර්මාණය කළ ‘ගඟ අද්දර චිත්‍රපටයේ එන ‘රන් ටිකිරි සිනා’ ගීතය සම වයසේ යෙහෙළියන් හා ගයමින් රසික සිත්සතන් මන්මත් කළ ඇයට සඳැල්ලේ කවුළු පියන්පන් විවෘත කිරීමට අපට හිතුණා. 

කාර්ය බහුල ව්‍යාපාරික පවුලක උපත ලැබුවද සංගීතය නමැති අමිල දායාදය ළඟා කර ගන්නට සමත් වූ ඇය අද වනවිට ගුවන් විදුලිය, රූපවාහිනිය, ප්‍රාසාංගික වේදිකාව, ප්‍රචාරක ක්ෂේත්‍රය හා සමාජ මාධ්‍යයන් තුළින් රසිකයන් පිනවනවා. 

ඇය රසිකා සංජීවනී වීරසිංහ 

සංගීතය ඔයාට උරුම වුණේ කොහොමද? 

මගේ මව නොබෝදා අප අතරින් වියෝවුණු ප්‍රවීණ ශිල්පිනී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ. ඇය අපේ ගෙදර ‘සංගීත උල්පත’ යැයි කීවාට වරදක් නැහැ. මගේ පියා ජීවතුන් අතර නැහැ. අම්මාගේ කුසලතා හඳුනාගත් තාත්තා දුන් ධෛර්යය හා අනුග්‍රහය නිසා සංගීත ලෝකයේ ඉදිරියට එන්නට මටත් වාසනාව ලැබුණා. ව්‍යාපාරික හා ක්‍රීඩා ආදි ක්ෂේත්‍රවල නියැළී හිටියත් මගේ සහෝදරයන් දෙදෙනා හා සහෝදරියන් දෙදෙනාත් සංගීතමය රසවතුන් බව නොකියාම බැහැ. 

ඔයත් ගමේ ඉඳන් කොළඹට ආ කලාකාරියක්ද? 

එහෙමම කියන්න බැහැ. තාත්තා නම් නාවලපිටියේ. අම්මා නම් අම්බලන්ගොඩ. ඒත් දන්න කාලේ ඉඳන් පදිංචිය නම් කොළඹ, බොරැල්ල සංඝමිත්තාවට හා මරදානේ ආනන්ද බාලිකාවට තමයි මං ඉගෙනගන්න ගියෙ. අම්මාගේ ගීත. ඒ දවස්වල හරි ජනප්‍රියයි. අපි නිතරම ඉන්නේ ඒවා මුමුනමින්. අම්මගේ එක් ගීයක මාත් ඉන්නවා. දන්නවද? 

ඒ කිව්වේ 

‘චන්ද්‍රා වාගෙ දිලේ 
මේ අඹරේහී 
හිනැහේවී පොඩි දුවණි,
සංජීවනී’ මෙවැනි ගීත 60 දශකයේ ඉතා ජනප්‍රියයි. 

හින්දි තනුවක් අනුව ලලිත් එස්. මෛත්‍රීපාල මාමා ලියූ මේ ගීයේ තියෙන ලස්සන නිසාම ඒ කාලේ අම්මලා තමන්ගේ දූවරුන්ටත් ‘සංජීවනී’ කියලා නම් දැම්මලු.

අම්මා ළමා ගීත ගායිකාවක් හා සෞන්දර්යාත්මක ගීත ගායිකාවක ලෙස ජනප්‍රිය වුණා. ඉඩ ලැබුණු හැම මොහොතකම ඇය සිහිකර ඒ ගී මා ගයනවා. 

ප්‍රවීණ ශිල්පීන් සමග අම්මා ගී  රැසක් ගැයුවා නේද? 

ඔව්. සීටී ප්‍රනාන්දු අන්කල් සමග ‘පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ’ ජෝතිපාල අන්කල් සමග ‘සුහද දිවි පිදුම’ චිත්‍රපටයේ ‘සිනහාවන්නේ ඇයි මේ ප්‍රමාදේ හින්දයිනේ, ජයසිරි මහබෝධි රාජා මගේ හෙළ බිම සෙවණ කළා’ දිය ඇල්ලෙන් නෑව කාලේ ‘ඔංචිල්ල, පැද්ද කාලේ, පෙම් දැලෙහි පැටලිලා පිපුණු මල් නෙළා’ වැනි ගීත තවමත් ජීවමානයි. දිවංගත කරුණාරත්න අබේසේකර වගේ එකල ගීත ලියූ අයත් බී. ඇස්. පෙරේරා වැනි සංගීතඥයොත් අම්මාට ගීත නිර්මාණය කළා. 

ඔයා පවුලෙ බඩපිස්සිනෙ. අම්මා ගොඩක් ආදරේ ඇති. 

අනේ ඔව්. මං අම්මගෙ පණනෙ. එයා ගුවන් විදුලියට ප්‍රසංගවලට යද්දිත් තනියට මාව එක්ක යනවා. ගුවන් විදුලියේ  හැමෝම මට ආදරෙයි. අම්මා පටිගත කිරීම් මැදිරියට ගියාම මට හරි පාළුයි. සනීපයට සෙටිය උඩම නින්ද යනවා. අම්මා මේ ගැන හිතලා මාව එක්කරගෙන ගිහින් ‘හඳ මාමා’ ළමා වැඩසටහනට දැම්මා. 

හැබැයි, ඔයාට ලොකු වාසනාවකුත් පෑදුණා නේද? 

ඔව්නෙ. මං සංඝමිත්තාවේ ඉගෙන ගන්න කාලෙ ඉස්කෝලෙට අමුත්තො තුන් හතර දෙනෙක් ආවා. එයාලා හදන චිත්‍රපටයකට සින්දු කියන්න පුළුවන් ගෑනු ළමයි ටිකක් හොයා ගන්නලු. ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරමින්  අපේ ගායනා දිහා බලාහිටියා. ඊට පස්සේ කට්ටියක් තෝරා ගත්තා කියලා කිව්වා. ඒ අතර මාත් හිටියා. අපිට ස්ටුඩියෝවට එන්න කියලත් කිව්වා. 

පස්සෙයි දන්නේ එයාල සුමිත්‍රා පීරිස් ඇන්ටි සහ සංගීතවේදී නිමල් මෙන්ඩිස් අන්කල් ඇතුළු පිරිසක් කියලා. මිලිනා සුමතිපාල මහත්මියගෙ ස්ටුඩියෝ එකේදී තමයි අපේ හඬ පරීක්ෂා කළේ. ඒ චිත්‍රපටය තමයි ‘ගඟ අද්දර’ නිරෝෂා පෙරේරා මං වගේ සම වයසේ අයට තමා ගායනා කරන්න වුණේ. සුමිත්‍රා ඇන්ටිලා එදාලු දන්නේ මං අම්මාගෙ දුවක් කියලා. අම්මටත් හරි සන්තෝසයි. 

එදා පුංචි අපට අමතක නොවන දවසක්. සීතලට සීත කාමරේක, වාද්‍ය මණ්ඩලය මැද, ප්‍රවීණයන් බලා ඉන්දැද්දි, මයික්‍රෝපොනයක් ඉදිරියේ ගී ගයන්න ලැබුණු එක හීනයක් වගේ. අපේ කටහඬින් චිත්‍රපටයේ රූපවලට පණ දෙනකොට ඊටත් වඩා පුදුමයක්. අපි චිත්‍රපටයේ ගී ගැයුවට කැසට් පටය සඳහා නම් ගී ගැයුවේ නීලා වික්‍රමසිංහ මහත්මියයි. 

තාත්තත්  ගොඩක් සතුටු වෙන්න ඇති? 

අනේ ඔව්. තාත්තා මගේ දස්කම් ගැන හරියට සතුටු වුණා. තාත්තා කලාවට නාවට හැම ශිල්පියෙක්ම හොඳට අඳුරනවා. ඒ නිසා 1984 දී මං සා.පෙළ කරද්දී මටම කියලා තාත්තා සිංදුවක් නිර්මාණය කරල දුන්නා. ‘සඳ කිඳුරු විමානේ’ කියලා ලිව්වේ උපාලි බණ්ඩාර වීරසේකර අන්කල්. ග්‍රේෂන් ආනන්ද අන්කල් තමයි මෙලඩිය දැම්මේ. 

සංජීවනී පිළිතුරු ගී නිර්මාණය කළා නේද? 

ඒකනම් ලස්සන අත්දැකීමක්. ඒ කාලෙ ජනප්‍රිය වී තිබුණු ගීතවලට පිළිතුරු ගී හදල කැසට් ලෙස ජනගත කිරීම. මේක මුලින්ම ඇරඹුවේ ජාතික තරුණ සේවා සභාවෙන්. ඒක ජනප්‍රිය වෙනකොට ව්‍යාපාරිකයොත් මේක පටන් ගත්තා. මගේ ගීතත් උණු කැවුම් වගේ අලෙවි වුණා. 

දවසක් ගෙදර එනකොට ලොකු ලොරියක් ඇවිත් වටිනා ගෘහ උපකරණ පුටු, මේස එහෙම මිදුලෙ බානවා දක්කා. අපි ඒවා ඕඩර් කළේ නැහැ කියලා කිව්වට එයාල කිව්ව පිළිතුරු ගී කැසට් විකිණිලා ලාබ ලැබිල නිෂ්පාදකරු පරිත්‍යාග කරපු ඒවා කියලා කොහොමද වැඩේ? 

පිළිතුරු ගීවලටට මුල් ශිල්පීන් තරහ වුණේ නැද්ද? 

එහෙම වෙන්න හේතුවක් නැහැනෙ. ඒක කුසලතාවත් විනෝදයත් තරගකාරි බවත් පෙන්වන අත්හදා බැලීමක්නෙ. ජෝති අන්කල්ලා එදා ගැයුවේ ගොඩක් හින්දි කොපි තනු ඉතින් අපි ස්වතන්ත්‍ර ගී වලින් උත්තර දුන්නම වැරදිද? මර්වින් බෙන්ස් ස්ටුඩියෝවෙ තමයි ගීත පටිගත කළේ. 

රසිකයො කොයිතරම් කුල්මත් වුණාද කිව්වොත් ටොරානා වගේ ආයතනවලට ගිහිල්ල ගී දෙකම එකම කැසට් පටයට අරන් ඇවිත් රස වින්දා. මට ගොඩක් ගී ලිව්වේ සරත් ගලප්පත්තියි. ‘ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම, ‘‘අපේ දිහා ගෑනු ළමයි නෑ’ පියල් පෙරේරා ගැයූ ‘අමතක කරන්නෙපා’ වැනි ගී  විකල්ප ගී හරි ජනප්‍රිය වුණා. 

තව මොනවද කළ අපූරු දේ?

චිත්‍රපට 50ක පමණ ගී ගැයීමට එක්වුණා. නන්ස්ටොප් නිර්මාණ රැසකට ප්‍රවීණයන් සමග ගී ගැයුවා. විශේෂයෙන් කීර්ති පැස්කුවල් සමග ගැයූ ‘ගයන ගැයුම්’ ගීතයට රන්පොට තෙළඹුව මැණිකෙට’ ගීතය ගැයූ නිමල් ජයමාන්නත් එක්වුණා. 

මගේ පළමු කැසට් පටය ‘සුබ ගමනක් වේවා’ ගීතය ඇතුළත් ‘ලස්සන මගෙ ගීතය ඒ ගී අදටත් ජනප්‍රියයි. 

රූපය අනුව නම් රඟපෑමත් පුළුවන් වගේ. 

ඇත්තටම රංගනයටත් මට වාසනාව ලැබුණා. ඒ මුලින්ම විජය ධර්ම ශ්‍රී අන්කල්ගෙ ‘ක්ෂේම භූමි’ චිත්‍රපටයේයි. මෙගා ටෙලිනාට්‍ය රැසකටම දායක වුණා. රංගනයෙන් සුනිල් රත්නායකයන් මෙහෙයවූ ‘නිල් මහනෙල්’ නාට්‍යයෙන් ඇරඹු ටෙලි නාට්‍ය ගමන ‘වසූදා, සුජාතා වගේ අාදර දිගු කතා 15ක් දක්වා විකාශය වුණා. වේදිකාවටත් ආසයි. 

ඒත් අම්මා නාට්‍ය රංගනයට එතරම් කැමති වුණේ නෑ. තාත්තා නම් ඉහළින්ම කැමැතියි. 1977 දී එයාගෙ වියෝගය නිසා ඒ හීන බොඳ වුණා. දැන් අම්මත් නැහැ. තාත්තත් නෑ. 

ඒ හැරෙන්න ජීවිතයේ සංවේදීම දින මොනවද? 

මගෙ පුතාගෙ අධ්‍යයන කටයුතු සඳහා අපි ඔක්කොම මරිකාවටත් ආවා. අප ළඟින්ම හිටිය අම්මා හදිසියේ පසුගිය මැයි 24 වෙනිදා වියෝ වුණා. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාමයේදී ඇගේ සමරු පින්කම් පැවැත්වුණා. විහාරාධිපති තලංගම දේවානන්ද හාමුදුරුවන් තමයි පුණ්‍යානුමෝදනාව කළේ. ජූලි 20 වැනිදා තුන් මාසේ පින්කමත් සිදුකළා .

එම ශෝකය දරන්න බැරිව ඉන්දැද්දි ආරංචි වුණා නිළි රැජින මාලනී  ෆොන්සේකාත් අපේ රටේ ප්‍රථම බයිලා ගායිකාව ලෙස සැලකූ ‘මුනි නන්දන සිරිපාද වඳිම්’ වැනි ගීත ගැයූ ග්‍රේටා ජෙනට් ඇන්ටිත් දිවිමගට සමුදුන් වග. මේ සියල්ලන්ම අපට ජීවිතයේ ඉතා සමීප අය. මේ අයට පින්පෙත් දුන්නා. ඉදිරියටත් සමරනවා. 

රූ රැජිනක වීමට ඔබටත් වාසනාව ලැබුණා නේද? 

1992 සෝමා එදිරිසිංහ, රෝසි සේනානායක, රවීන්ද්‍ර රන්දෙණිය වැනි අය ඉදිරියේ සිංහ සමාජය සංවිධානය කළ සේවිකා රූ රැජින වීමට වරම් ලැබුණා. 

ගුවන් විදුලි සරල ගී ගායිකාවක ලෙස 2018 සමත්ව වැඩ  කළා. රූපලාවණ්‍ය, නායකත්ව පුහුණු, පෞරුෂ සංවර්ධන ක්ෂේත්‍රවල කියැලුණා. 

දැන් කවුද ඔබේ තනියට ඉන්නේ? 

ඇයි මගේ දයාබර සැමියා. එයාගේ අපරිමිත සහය මට ලොකු ශක්තියක්. එයා ව්‍යාපාරිකයෙක්. මෙන්ම රසිකයකුද වන සුසන්ත ද මෙල්. ඊළඟට මගේ පුතා සරින්ද නීතිය හදාරනවා. එයා නිසාම තමයි අපි ඔක්කොම ඇමරිකාවට ආවේ. මගේ දුව සංජානි ව්‍යාපාරිකත්වය අබිබවා ගායනයට සමත්කම් දක්වනවා. පුතාට වාදනයත් පුළුවන්. 

ඔබේ රැකියාව? 

මම මෙගෙ පාසලක Leed Teacher ලෙස සේවය කරනවා. පූර්ව පාසල තුළින් ඇරඹු එම ව්‍යාපෘතිය ඉහළ තලයේ පවතිනවා. ලංකාරාමය මුල් කරගෙන ආගමික හා සමාජ සේවා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. මෙහෙ කලාකරුවන්ට, ගුරුවරුන්ට, හමුදාවේ අයට හරියට සලකනවා. පරිත්‍යාග කරනවා. හැඳුනුම්පත් පවා දෙනවා. 

දැන් සංගීත සංදර්ශන නැද්ද? 

ඇත්තෙන්ම අපි ලංකාවේ හිටි කාලෙ රැය පහන්වතුරුම ප්‍රසංග කලා. ඇඟලුම් ආයතනවල පවා. රාත්‍රි ප්‍රසංග පැවැත්වීම නතර වූ පසුව වෘත්තිය කලාකරුවන් අසරණ වුණා. 

‘සංජීවනී සමග පැයක්’ මතකද? 

මොකද මතක නැත්තේ. 2000දී පමණ ගුවන් විදුලියේ ඉන්දැද්දී සංජීවනී සමග පැයක්’ කියල විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් මැදිරියට ගෙන්වලා කතාබහ කර පටිගත කළා. ඒ අතර වයස්තගම උපාධිධාරිනිය වූ ආචාර්ය ලීලා විතානගේ, රූ රැජින රෝසි, ප්‍රවීණ ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජා, රවීන්ද්‍ර රන්දෙණිය, සුනේත්‍රා වීරසිංහ වැනි අයත් ප්‍රධානයි. පස්සේ මෙම කතාබහ ටිකක් පොතකට ගත්තා. ඊට සංජය සිරිවර්ධන වැනි පිරිසක් උදව් කළා. ඒ අතර නිවේදන කටයුතු හා දැන්වීම් ප්‍රචාරණ කටයුතු සඳහා ද එක්වුණා. මේවා බොහොමයකට මං මුදල් ගත්තේ නෑ සමාජ සේවයක්  නිසා. 

සෙලින්කෝ ෆැමිලි සවාරිය අමතක නැහැ. 

ඔව්. දිගුකලක් එය ප්‍රචාරය වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස් සමග මම. ඊට එක්වුණේ සන්නාම තානාපතිනියක් විදිහටයි. 

ලංකාවෙන් ඇරයුම් ලැබුණොත් එනවාද? 

ඇත්තෙන්ම එනවා. ‘ලෝකෙ කොයි මුල්ලක හිටියත් අංක එක තමයි මගේ රට’ සංජීවනී හැඟුම් බරව කිව්වා. 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි